පුරවැසි කොලම

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසින් නිර්මාණය කරන ආපදා තත්වය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යයට එරෙහිව දියත්වන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම් පරාජය කිරීම සඳහා ඉටුකළ යුතු කොන්දේසි 12ක් ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ලිපියක් මගින් එම කොන්දේසි ඉදිරිපත් කර තිබේ.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය…


2022.07.19

ජනාධිපති අපේක්ෂක ගරු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා වෙත,

ගරු මන්ත්‍රිතුමනි,

වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසින් නිර්මාණය කරන ආපදා තත්වය
යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යයට එරෙහිව දියත්වන ආපදා අධිරාජ්‍යවාදී
මෙහෙයුම් පරාජය කිරීම සඳහා ඉටුකළ යුතු කොන්දේසි

මෙම ලියවිල්ල ඔබ තුමා වෙත විශේෂිතව සහ සෙසු දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ සියලුම ජාතික සංවිධානවල පොදු අපේක්ෂාවන් නියෝජනය කරමිනි. මේ වන විට මෙම ලියවිල්ලේ අඩංගු යෝජනා අප විසින් යම් දේශපාලන පක්ෂ වෙත ද ඉදිරිපත් කර ඇත. එමෙන්ම ඔබතුමාට සුබ පැතීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

පූර්විකාව:

වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සහ නිශ්චිත කාල රාමුවකට අදාළව අර්බුදය සමනය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා  මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ පාර්ශ්ව මෙන්ම විපක්ෂයේ පාර්ශ්වද අසමත්වී ඇති බව ඔබ තුමා පිළිගන්නවා ඇත.

මේ වනවිට උත්සන්න වෙමින් පවතින දේශපාලන අර්බුදය උපදින්නේ ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ආණ්ඩුවේ පාර්ශ්ව මෙන්ම විපක්ෂය සහ මහජනයා සමඟ ද එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිවීම නිසා බවද ඔබතුමා පිළිගන්නාව ඇත. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයට අදාළව මූල හේතුව 1977 සිට පවත්වාගෙන එනු ලැබූ ආර්ථික මොඩලය පිළිබඳව සහ ඒ මගින් ඇති වූ ප්‍රතිඵලය සහ එහි ගැඹුර පිළිබඳව මෙන්ම ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන විසඳුම් සහ එම විසඳුම් වල ප්‍රතිඵල ලබා ගැනීමට ගතවන කාලය පිළිබඳව මහජනයා දැනුවත් නොකිරීම නිසා පොදු මහජන විරෝධය වර්ධනය වූ බව පිළිගැනීමට සිදුවේ. එම තත්ත්වය තුළ ඇතිවූ ආපදාව ප්‍රයෝජනයට ගනිමින් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් දියත් කරනු ලබන ජාත්‍යන්තර බලවේගවලට සහ ඊට දැනුම්වත්ව එකඟතාවයෙන් යුතුව සහ නොදැනුවත්ව සහාය ලබා දෙන දේශීය බලවේග වලට තම අරමුණු ඉටුකර ගැනීම සඳහා මනරම් අවස්ථාවක් නිර්මාණය විය.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුව අකර්මන්‍යව සිටීම පිළිබඳව සාමකාමීව විරෝධය පළ කිරීම සඳහා මහජනයාට ඇති අයිතියට ඔබතුමා ගරු කරන බව අපි දනිමු. එසේ වුවත් ප්‍රචණ්ඩ අරගලකරුවන් දේශපාලන වශයෙන් නිරායුධ කිරීම යනු විසඳුමක් සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර වලින් එම අරමුණු ඉටුකර ගත නොහැකි බව දැන් ඉතා පැහැදිලිව දැක ගත හැක. එම නිසා එම පූර්ව කොන්දේසිය ඉටු කිරීම සහ සැබෑ ලෙසම අර්බුදය ජය ගැනීම සඳහා මහජන සහය ලබාගත හැක්කේ ඊට අදාලව පැහැදිලි විසඳුම් යෝජනාවලියක් හෙවත් වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමකට එකඟතාවයක් දේශපාලන පක්ෂ අතර ඇති කර ගැනීම මගිනි. එසේම එම එකඟතාවයට අනුව එය යථාර්ථයක් බවට පත් කළ හැකි යාන්ත්‍රණය හෙවත් එකඟතා ආණ්ඩුවක් ශක්තිමත්ව බිහිකළ හැක්කේ සහ ඊට මහජන සහාය ලබාගත හැක්කේ එවැනි එකඟතාවයක් තුළිනි.

සමාජ එකඟතාවයක් සඳහා දොළොස් වැදෑරුම් කොන්දේසි

1)අන්තර්කාලීන ජනාධිපති අපේක්ෂකයා හෙවත් ඉදිරියේදී බිහිවීමට නියමිත එකඟතා ආණ්ඩුවේ ප්‍රධානියා විසින් තමා ධුරයට පත්වීමෙන් පසුව අර්බුදය විසඳන ආකාරය පිළිබඳව තම දැක්ම සහ උපායමාර්ගික ප්‍රවේශය පිළිබිඹු වන ආකාරයට එනම් අර්බුදය විසඳීම සඳහා විභවය සහිත පාලකයා බවට මහජන විශ්වාසය දිනාගත හැකි ආකාරයට නිශ්චිත ලිඛිත ප්‍රකාශයක් රටට ඉදිරිපත් කිරීම.

2)ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සතියක් ඇතුළත නිශ්චිත කාල රාමුවක් තුළ අර්බුදය සමනය කිරීම මුල්කරගෙන නිශ්චිත වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ග සිතියමක් සකස් කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවීම සහ එම සමුළුවට අරගලයට දායක වී සිටින පාර්ශ්ව වලට ද නිල වශයෙන් ආරාධනා කිරීම.

3)මේ වන විට ජාතික සංවිධාන එකමුතුව මෙන්ම අරගලකරුවන් ඇතුළු වෙනත් දේශපාලන කණ්ඩායම් විසින් සමාජ සංවාදයට ලක් කර ඇති සංකල්පීය රාමු හෝ උපාය මාර්ගික ප්‍රවේශයන් හෝ නිශ්චිතව දැක්වූ ක්‍රියාකාරකම් සහිත වැඩපිලිවෙලවල් හෝ ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ ප්‍රතිඥා සියල්ල සැලකිල්ලට ගැනීම සහ එම ලේඛන සර්වපාක්ෂික සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කර සභාගත කිරීම.

4)සර්ව පාක්ෂික සමුළුව මගින් සම්මත කරනු ලබන වැඩ පිළිවෙළ සහ මාර්ග සිතියම හෙවත් අවම පොදු එකඟතාවය ජනගත කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථානුකූලව ජනවරම සහිත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වවලට ආරාධනා කිරීම මගින් එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම.

5)එකඟතා ආණ්ඩුව තුළ ප්‍රතිපත්තිමය සහ උපායමාර්ගික තීන්දු ගැනීමේ බලය සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන ජාතික විධායක සභාවකට පැවරීම.

6)අරගලයට දායක වූ සියළු පාර්ශ්ව සහ රටේ පොදු ජනතාවගේ, විද්වතුන්ගේ හරස්කඩක් නියෝජනය වන ආකාරයට මහජන සභාවක් පිහිටුවීම සහ එම නියෝජිතයන් ඔවුන්ගේ පසුබිම සහ ඔවුන් විසින් නියෝජනය කරනු ලබන පාර්ශව පිළිබඳව පොදු මහජනතාව දැනුවත් කිරීම.

7)එම මහජන සභාව සහ ජාතික විධායක සභාව ඒකාබද්ධව ජාතික ආවේක්ෂණ සභාවක් පිහිටුවීම මගින් අවම පොදු එකඟතාවය ක්‍රියාත්මක කිරීමට අදාළ සමස්ත ක්‍රියාවලිය ආවේක්ෂණයට ලක් කිරීම. ඊට අනුව ඉදිරි මඟ පෙන්වීම ලබා දීම. එමෙන්ම එම කටයුතු සම්බන්ධීකරණය සහ පරිපාලනය කිරීම සඳහා මෙන්ම මහජන දායකත්වය දිරිමත් කිරීම සහ එම ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීම සහ අදාළ සියලු සාකච්ඡා ජනමාධ්‍යට නිරාවරණය කිරීම.

8)අවම පොදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ වගකීම් සඳහා ප්‍රමුඛතාවය ලැබෙන ආකාරයට අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම සහ එහි සාමාජිකත්වය උපරිම වශයෙන් 30කට සීමා කිරීම මෙන්ම එම අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද පමණක් ලබාදීම. එසේම එම අමාත්‍ය මණ්ඩලය අනිවාර්යයෙන්ම සතියකට දෙවතාවක් රැස්වීම.

9)අවම පොදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අදාළ බහුපාර්ශවීය නියෝජනයක් අවශ්‍ය වන සුවිශේෂී කාර්යභාරයන් ඉටු කිරීම සඳහා නිලධාරීන්ගෙන් සමන්විත කාර්යසාධක බල ඇණි පිහිටුවීම සහ ඒවා තුළ උපදේශකයින් ලෙස හෝ නිරීක්ෂකයින් ලෙස මහජන සභාව විසින් තෝරනු ලබන නියෝජිතයන්ට අවස්ථාව ලබාදීම.

10)සියලුම අමාත්‍යාංශ වලට අදාළව පත් කරනු ලබන උපදේශක කාරක සභා වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා ඔවුන්ගේ කැමැත්ත සහ විශේෂඥතාවයන් අනුව පත්කිරීම. එසේම එම කාරක සභා වලට අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මහජනයාට අවස්ථාව ලබාදීම සහ අදාළ සාකච්ඡා ජනමාධ්‍යට නිරාවරණය කිරීම.

11)සියලුම අමාත්‍යාංශ නියෝජනය වන ආකාරයට ලේකම් මණ්ඩලයක් පත්කිරීම. එම ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් සිදු කිරීම මෙන්ම එම ලේකම් මණ්ඩලයේ නියෝජිතයන් අවශ්‍යතාවය අනුව ජාතික ආවේක්ෂණ සභාවට සහ ජාතික විධායක සභාවට කැඳවීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සහ එම මණ්ඩලය සතියකට එක් වතාවක් රැස්වීම.

12)අවම පොදු එකඟතා වැඩපිළිවෙල මගින් අනිවාර්යයෙන් ඉටු කළ යුතු කාර්යභාරයන් සහ ලබාදිය යුතු ප්‍රතිඥා ලෙස ජාතික බලවේග විසින් ඉදිරිපත් කරන යෝජනා සංෂිප්තව මෙසේ දැක්විය හැක. (ඊට විස්තීරන යෝජනාවලියක් 61 වැදැරුම් සමාජ ගිවිසුම ලෙස ගරු කථානායක තුමා වෙත පිළිගන්වන ලදී)

i)පීඩාවට පත් වන අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම සඳහා විශේෂිත අරමුදලක් පිහිටුවීම සහ කළමනාකරණ ක්‍රියාවලිය සඳහා සම්ප්‍රදායානුකූල පරිපාලන ක්‍රමවේදයෙන් බැහැරව විශේෂිත කාර්යක්ෂම යාන්ත්‍රණයක් පිහිටුවීම.

ii)2017 විදේශ විනිමය පනත සංශෝධනය කිරීම මගින් කළු වෙළඳපොල පාලනය කිරීම සහ විනිමය පාලනය විධිමත් කිරීම. (ඊට අදාලව එම පනත් අහෝසි කොට 1953 මුල් පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම වඩා සුදුසු විය හැක)

iii)විදේශ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා සුවිශේෂී දිරිගැන්වීම් පැකේජයක් හඳුන්වා දීම සහ එම ක්‍රියාවලිය කළමනාකරණය සඳහා මහ බැංකුව මගින් විශේෂිත යාන්ත්‍රණයක් පිහිටුවීම.

iv)කර්මාන්තකරුවන් ණය අර්බුදයෙන් ගොඩ ගැනීම සහ සුලු නිෂ්පාදකයින් ක්‍ෂුද්‍ර මූල්‍ය වහල්භාවයෙන් ගලවා ගැනීම මගින් නිෂ්පාදන පද්ධතියට ජවය ලබා දීම සඳහා විශේෂිත ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා බහුපාර්ශවීය කාර්ය සාධක බලකායක් පිහිටුවීම.

v)දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ගික වශයෙන් වැදගත් තෝරාගත් නිෂ්පදන වලට අදාලව තරගකාරී ආනයනික නිෂ්පාදන අධෛර්යමත් කිරීම සඳහා විශේෂිත පරිභෝජන බදු පැනවීම සහ ඊට අදාළ භාණ්ඩ සහ ද්‍රව්‍ය ලැයිස්තුව ප්‍රමාණයන් ප්‍රසිද්ධ කිරීම එමෙන්ම එම නව බදු අඩු ආදායම්ලාභීන්ගේ සුභසාධනය සඳහා පිහිටුවනු ලබන අරමුදලට සහ නිෂ්පාදකයාට දිරිගැන්වීම් ලබාදීම සඳහා පමණක් විනිවිදභාවයෙන් යුතු යොදා ගැනීම පිළිබඳ සහතිකයක් ලබාදීම.

vi)ඛනිජ තෙල් සහ ගෑස් ආනයනය කිරීමේදී බොරතෙල් නිෂ්පාදනය කරන සහ ලෝක වෙළඳපලේ අඩුම මිලට ඒවා සපයන රුසියාව සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වහාම ආරම්භ කිරීම සහ ගිවිසුම් වලට එළඹීම. එසේම අඩු මිලට බොරතෙල් සැපයීමේ කොන්දේසියට යටත්ව ඛනිජ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම හෝ නව පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම් මගින් රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

vii)අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල පාලනය නැවත පැනවීම සහ එම ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් විශේෂිත යාන්ත්‍රණයක් සකස් කිරීම එසේම ස.තො.ස. ආයතනය මගින් දේශීය තොග මිලදී ගැනීම, ආනයනය කිරීම, තොග බෙදාහැරීම, ආරක්ෂණ තොග පවත්වාගෙන යාම සහ අඩු ආදායම්ලාභීන් සඳහා ආහාර සලාක බෙදාහැරීම යන කර්තව්‍යයන් ඉටු කර ගැනීම සඳහා වහාම එම ආයතනය නැවත ස්ථානගත කිරීම.

viii) ජාතික වගා සංග්‍රාමයක් ආරම්භ කිරීම සහ ඊට අදාලව සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂයෙන්ම බිම් මට්ටමේ නිලධාරීන්ගේ, පළාත් පාලන ආයතන වල, පාසල්, ආගමික ස්ථාන, ගොවි සංවිධාන, වෙනත් පරිසර සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ආරක්ෂක හමුදාවල කාර්යභාරය නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුන්ගේ වගකීම පිළිබඳ අධීක්ෂණය සහ පහසුකම් සැලසීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කාර්ය සාධන බලඇණි පිහිටුවීම සහ ඒවාට අරගලයට දායක වූ පාර්ශව වල නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව සැලසීම.

ix) එරොෆ්ලොට් සිද්ධිය මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳතා ආශ්‍රිතව අර්බුදයට ලක් කිරීම සඳහා සිදුවී ඇතැයි විශ්වාස කරන වෙනත් සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂිත කොමිසමක් පත් කිරීම. එසේම 2015 සිට මේ දක්වා මහබැංකු විසින් ගනු ලැබූ තීන්දු මගින් ආර්ථික අර්බුදයට දැක්වූ දායකත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීම. ඊට අමතරව රාජපක්ෂවරුන්ගේ හොරකම් නිසා ආර්ථික අර්බුදය ඇති වූ බවට පවතින සමාජ මතය පිළිබඳව සත්‍ය සොයාබැලීම අර්බුදය විසඳීමට අමතරව මහජන සහාය ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් වන බැවින් ඊට අදාලව චෝදනා ඉදිරිපත් කරන සියලු පාර්ශව වලට තම චෝදනා සහ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීම.

x)සියලුම ජාත්‍යන්තර ආයෝජන වෙළෙඳ හෝ ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සහ අදාළ සාකච්ඡා ක්‍රියාවලිය මෙන්ම ඊට සහභාගී වන පුද්ගලයින් පිළිබඳව සහ ඔවුන්ගේ නිර්දේශ එළිදරව් කිරීම. එසේම රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම් හැර සෙසු සියලුම ආයෝජන ව්‍යාපෘති සඳහා තරගකාරී ලංසු කැඳවන බවට ප්‍රතිඥාවක් ලබාදීම.

මේ වගට,

වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More