දේශීය පුවත්

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන බවත් කැරලිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත අවධාරණය කළේය.

වැඩ බලන කෙටි කාලසීමාව තුළ හදිසි පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තුවන බව කී ජනාධිපතිවරයා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකස් කරන බව ද පවසා සිටියේය.

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය,

“ශ්‍රි ලංකාවේ අට වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වුණා.ව්‍යවස්ථාවට අනුකූලව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වී නව ජනපති තෝරා පත් කර ගැනීමට පියවර ගන්නවා. ඒ් කෙටි කාලය තුළ වැඩබලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව කටයුතු කිරීමේ වගකීම මට පැවරී තිබෙනවා. මේ කෙටි කාලසීමාව තුළ මා හදිසි පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යළිත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි. ඒ්නිසා 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒ්මට පසුබිම සකස් කිරීමේ වැඩ පිළිවෙල මා ආරම්භ කළා. ලබන සතියේ අලුතින් පත් වන ජනාධිපතිවරයාට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම මේ කෙටි කාලය තුළ සකස් කරනවා. ඒ් වගේම රටේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමී අරගල කිරීමේ අයිතිය මා සියයට සියයක් පිළි ගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කිරීමට උත්සාහ කරනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී තවත් කණ්ඩායම් මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමට උත්සහයක් දැරීමට සුදානම් වන බවට වාර්තා වී තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ස්වාධීනව තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අප සකසා දෙනවා. ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සළසා දෙනවා. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අප කිසි විටක ඉඩ දෙන්නේ නැහැ.

ඒ් වගේම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් ෆැසිස්ට්වාදී ක්‍රමවේද ඔස්සේ රට ගිනි තැබීමට වෙර දරන කණ්ඩායම් සිටිනවා. පාර්ලිමේන්තුව අසලදී ආරක්ෂක කණ්ඩායම් වල තුවක්කු දෙකක් වෙඩි උණ්ඩ සමග පැහැර ගෙන ඇත්තේ එවැනි පිරිස් බව කිව යුතුයි. හමුදාවේ සාමාජිකයින් 24 දෙනෙක්ට තුවාල සිදු කර තිබෙනවා. ඉන් දෙදෙනෙක්ගේ තුවාල බරපතලයි. සැබෑ අරගලකරුවන් එවැනි ක්‍රියා නොකරන බව මගේ විශ්වාසයයි. කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙනවා. කැරලිකරුවන්ට එරෙහිව නීතිය අනුව ක්‍රියා කරනවා. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙනවා. ඒ් අය සමග අප නීතිය හා සාමය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.එසේම මා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මා කිසිවිටක ව්‍යවස්ථා විරෝධි කටයුත්තකට ඉඩ හෝ අනුබල ‌දෙන්නේ නැහැ. මා ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නේ නැහැ. නීතිය හා සාමය බිඳ වැටුණොත් එය අපේ ආර්ථිකයට බලපානවා. ඉන්ධන, විදුලිය, ජලය සහ ආහාර ද්‍රව්‍ය සැපයීම බිඳ වැටෙන්න පුළුවන්. අප සියළු දෙනාම මේ අනතුරුදායක තත්ත්වය තේරුම් ගත යුතුයි. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පෙලිස්පතිවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කළා. කිසිදු දේශපාලන අත පෙවීමකින් තොරව නීත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී අප අවධාරණය කළා. ඒ් සඳහා පොදු ඒකඟතාවයකට වහාම එළැඹෙන ලෙස මා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවලින් ඉල්ලා සිටිනවා. දේශපාලන පක්ෂ බේද හා මතිමතාන්තර පසෙක ලා රට වෙනුවෙන් එකට එක් විය යුතුයි. ඒ් නිසා තම තමන්ගේ පුද්ගලික අභිලාෂයන් පැත්තකට දමන්න. රටේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙන්න. පුද්ගලයන් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන සිතන්න. ජීවත් වීමට සහ දේශපාලනය කිරීමට අපට රටක් තිබිය යුතුයි. ඒ් නිසා රට සහ ජනතාව ගැන සිතා කටයුතු කරන මෙන් මා සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

මුලින්ම මේ ව්‍යාකූල තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරා ගනිමු. ඊට පසුව පක්ෂ දේශපාලනය වෙත හැරෙමු. වැඩ බලන ජනාධිපති ලෙස මට පැවරී ඇති බලය අනුව මා තව තීන්දු දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ජනාධිපති කොඩිය අහෝසි කරනවා. රටකට තිබිය යුත්තේ එක කොඩියයි. ඒ ජාතික කොඩිය පමණයි. අප ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවන ලබමින්.

අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරින් හිතන්න. මුළු රටටම නව ප්‍රවේශයකින් නව ගමනක් යෑමේ පසුබිම සැකසී තිබෙනවා. දූෂිතයෙන් තොර සාමකාමී යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශය වඩාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා. අපේ මව්බිම යළි ඉහළට ඔසවා තැබීමේ ඉඩකඩ පුළුල් වී තිබෙනවා.එයින් උපරිම ප්‍රයෝජනය ගැනීම අප සැමගේම යුතුකම හා වගකීමයි. අලුත් ක්‍රමයක් අලුත් යුගයක් ආරම්භ කිරීමට අප හැමදෙනාම පූර්ණ ශක්තිය සහ සහයෝගය ලබා දෙමු. පුරවැසියන් ලෙස අප සැවොම මේ මල් වට්ටියට අවංකවම අත ගසමු. අවසාන වශයෙන් දෙයක් සිහිපත් කිරීමට කැමතියි. අදට මාස දෙකකට පෙර මැයි 13 දා මා රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා.එම තීරණය ගත්තේ මේ රටේ මිලියන 22 ක ජනතාව ගැන හිතලා. පාර්ලිමේන්තුව විසින් අලුත් ජනාධිපතිවරයකු පත් කරන තුරු එම තීරණයේ වගකීම රට වෙනුවෙන් මා ඉෂ්ඨ කරනවා. ඒ් තීරණයේ වගකීම ඉටු කිරීමට මා ව්‍යවස්ථානුකූලව බැඳී සිටිනවා.”

https://youtu.be/54lxlpGUuiA



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More