ව්‍යාපාරික පුවත්

යහපාලන රජය බලයට පත්වූ දා සිට රුපියල අවප්‍ර‍මාණය වීම නිසා පමණක්, ශ්‍රී ලංකාවේ සමස්ත ණය තොගයේ ඉහළ යෑම රුපියල් බිලියන 836 ක් වී ඇති අතර, එය හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ණයට ගත් මුදල මෙන් හය ගුණයකට වඩා වැඩිය.

රාජපක්ෂ පාලන සමයේදී, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශත 10 කින් හෝ ශ්‍රී ලංකා රුපියල අවප්‍ර‍මාණය වූ විට, මහත් සේ හඬ නැගූ වර්තමාන රජයේ ආර්ථික විශේෂඥක් යයි කියා ගන්නා පුද්ගලයෙක් ප්‍රකාශ කර ඇත්තේ මෑත කාලීන රුපියල අවප්‍ර‍මාණය වීම, ආර්ථිකයට සහ රටට “හිතකර” බවයි.

රජයේ ණය වාරික සහ පොලී ගෙවීමට සිදුවන විට එසේ කිරීමට අවශ්‍ය වන විදේශ විනිමය රජය විසින් වෙළඳපොළෙන් මිලදී ගන්නා නිසා හෝ මහ බැංකුවෙන් මිලදී ගන්නා නිසා, රුපියලේ අගය අඩුවන විට, එකී විදේශ විනිමය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රුපියල් වලින් වැඩි මුදලක් යෙදවීමට රජයට සිදුවේ.

ආර්ථිකය සහ මිල ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ ව්‍යවස්ථාපිත වගකීම මහ බැංකුව වෙත පැවරී ඇති හෙයින්, මුදල් නීති පනතට අනුව, ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරභාවය රැකගැනීම ඉතා වැදගත්ය. වගකිවයුතු බලධාරීන් ආර්ථිකය සහ විනිමය අනුපාතය සමබරව කළමනාකරණය නොකරන්නේ නම්, ඒ අඩුපාඩුව පිළිබඳව දැනුවත් වීමේ අයිතියක් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇත.

වර්තමානයේ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවය හමුවේ ආර්ථිකය පාලනය කරන නිලධාරීන් බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවක් පෙනී යන නිසා, ඔවුන්ගේ එම ආකල්පය, ආර්ථිකයේ සෙසු පාර්ශවකරුවන්ගේ සිත් තුළ දැඩි කනස්සල්ලක් ඇති කරනු නොඅනුමානය.

ප්‍ර‍ධාන ව්‍යවහාර මුදල් කීපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍ර‍මාණය වීම හේතුවෙන්, රජයේ සමස්ත ණය තොගයේ ඉහල යෑම පිළිබදව මහ බැංකුවේ 2015, 2016 සහ 2017 වාර්ෂික වාර්තා වල, පහත වගුවේ දක්වා ඇති ආකාරයට සදහන් වේ.

තවද, 2017 මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව, 2017 අවසානයේදී, රජයේ විදේශ ණය තොගය රුපියල් බිලියන 4,719 (ඇමරිකාවට ඩොලර් බිලියන 31.4) ක් වුනි. ඒ අතරම, 2018 අප්‍රේල් 25 වැනි දින දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් 2.9% කින් අවප්‍ර‍මාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව එදින කළ ප්‍රකාශයේ සඳහන් විය. එම පදනම ඔස්සේ, 2018 දී රුපියල අවප්‍ර‍මාණය වීම නිසා, සමස්ත රාජ්‍ය ණය තොගය, එදින දක්වා තවත් රුපියල් බිලියන 139.1 කින් වැඩිවී ඇතැයි ගණනය කළ හැකිය.

ඒ අනුව, යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රුපියල අවප්‍ර‍මාණය වීම නිසා පමණක්, රටේ සමස්ත රාජ්‍ය ණය තොගයේ මුළු ඉහළ යෑම රුපියල් බිලියන 836.0 කි. වර්තමාන රජයේ ආර්ථික විශේෂඥයන් යයි කියාගන්නා පුද්ගලයින්, පසුගිය රජයට එල්ල කළ එක් චෝදනාවක් වූයේ, ඔවුන් විසින් ඵලදායි නොවූ යයි හැදින්වූ යටිතල පහසුකම් ඉදි කිරීමට, පසුගිය රජය මුදල් ණයට ගෙන තිබූ නිසා, එම ණය ජනතාවට “බරක්” වූ බවය. එහෙත්, එවන් චෝදනා කරද්දී වුවද, රජයේ සමස්ත ණය තොගය ඉහළ යන අතර, නව යටිතල පහසුකම් රටේ වත්කම් වලට එකතු වූ බව ඒ සියලු දෙනාම අවිවාදයෙන් පිළිගත් කරුණකි.

උදාහරණයක් වශයෙන්, හම්බන්තොට වරාය රටේ වත්කම් තොගයට එකතු වනවාත් සමගම, ඇමරිකානු ඩොලර් මිලියන 1,100 ක (රුපියල් බිලියන 132 ක පමණ) ණයක්, රාජ්‍ය ණය තොගයට එකතු වීය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු සළකා බලන විට පෙනී යන්නේ, එකී සමස්ත ඉදිකිරීම සඳහා රාජපක්ෂ රජය දැරූ පිරිවැයට සමාන මුදලක්, එම සම්පතින් 60% ක කොටසක් පමණක් විකිණීමෙන්, වර්තමාන සිරිසේන රජයට ලබා ගැනීමට හැකිවී ඇති බවය. මෙයින් පැහැදිළි වන්නේ, පසුගිය රජය විසින් ගන්නා ලද එම ණය මුදල හේතුකොටගෙන සැලකිය යුතු වටිනාකමක් ඇති සම්පතක් රටට එකතුවී තිබූ බවය.

කෙසේ වුවද, ඉහත පෙන්වා දී ඇති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් අද සනිටුවන් වෙමින් පවතී. එනම්, රුපියල් බිලියන 836.0 ක මුදලක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගයට එකතු කරනු ලැබුවද, රටේ යටිතල පහසුකම් තොගයට තඹ සතයක්වත් වටිනා කිසිම වත්කමක් එකතු නොවී ඇත.

මේ අතර, මෑතකදී මහ බැංකුව කල ප්‍රකාශයකින් කියවූයේ විදේශ මුදලින් ණය ලබාගත් විට, විදේශ මුදලින් ලැබෙන ආදායමෙන් හෝ විදේශ මුදලින් ලබා ගන්නා අතිරේක ණයවලින්, මේ ණය සහ පොලිය කරදරයකින් තොරව ගෙවිය හැකි බවය. එහෙත්, ඒ ප්‍රකාශනයෙන් නොකියූ කරුණ නම්, එසේ ණය ගෙවන විට, විනිමය වෙළඳපොලෙන් හෝ මහ බැංකුවෙන් අවශ්‍ය වන විදේශ විනිමය රුපියල් ගෙවා මිලදී ගැනීමට, රජයට සිදුවන බවය. එසේ මිලදී ගනිද්දී, රුපියල අවප්‍ර‍මාණය වී ඇත්නම්, ඒ සඳහා රුපියල් වලින් වැඩි මුදලක් වැය කිරීමටද රජයට සිදුවන බව කීමට, මහ බැංකුවට අමතක වුනි.

කවුරුත් දන්නා පරිදි, සෑම වසරකදීම රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල විසර්ජනය පනත හරහා රජය වෙන් කරයි. එසේ කිරීමේදී, එළඹෙන වසරේදී, අපේක්ෂිත විනිමය අනුපාතය පදනම් කරගෙන, අදාළ විදේශ ණය පියවීම සඳහා ගෙවිය යුතු වාරික සහ පොළිය, මුදල් අමාත්‍යාංශය විසින් ගණනය කරනු ලබයි. ඉන් පසුව, ආපසු ගෙවීම් සහ පොලී ගෙවීම් සිදුකරන අවස්ථාව වන විට, මහ බැංකුවේ සංචිතයෙන් රුපියල් වැය කරමින් විදේශ විනිමය මිලදී ගෙන, රජය විදේශ ණය පියවයි.

ඒ අතරම, හැකි අවස්ථාවලදී, විදේශ විනිමය වෙළෙඳ පොළෙන් විදේශ විනිමය මිලදී ගනිමින්, මහ බැංකුව සිය සංචිතයෙන් අඩුවූ විදේශ විනිමය ප්‍රතිපූර්ණය කර ගනියි. ඒ අනුව, විදේශ ණය ආපසු ගෙවන අවස්ථාවේදී රුපියල අවප්‍ර‍මාණය වී ඇත්නම්, ඒ නිසා අවශ්‍ය වන අතිරේක රුපියල් පියවා ගැනීමට, තවත් අමතර මුදල් යෙදවීමට රජයට සිදුවනු ඇත. එසේ කරන විට, ජනතාවගෙන් තවත් බදු අයකර ගැනීමට හෝ රුපියල් වලින් හෝ විදේශ විනිමයෙන් තවත් ණය අලුතින් ගැනීමට හෝ රජයට සිදු වනු ඇත.

මෙයින් සනාථ වන්නේ ණය පියවීම සදහා මහ බැංකු සංචිතය භාවිතා කරමින් විදේශ විනිමය මිලදී ගැනීමෙන් හෝ සැපයුමෙන් රුපියලේ අගයට විශාල බලපෑමක් ඇතිවිය හැකි බවය. එයින් තව දුරටත් පැහැදිළි වන්නේ ආනයනය සහ අපනයන පදනම මත පමණක් රුපියලේ අගය නිගමනය කිරීමට යම් ප්‍ර‍යත්නයක් දැරීම, සහ ඉන් ඉක්බිතිව එලෙස නිගමනය කළ විනිමය අනුපාතය පවත්වාගෙන යාමට උත්සාහ ගැනීම සමහර අවස්ථා වලදී අනිකුත් සාර්ව-ආර්ථික සාධක වලට අනර්ථකාරී වීමට ඉඩ ඇති බවය. එසේ කිරීම, මුදල් නීති පනතේ සමහර විධිවිධාන උල්ලංඝණය කිරීමක්ද විය හැක. ඒබැවින්, මතුපිටින් පෙනෙන යම් සාධක පමණක් මූලික කරගෙන හෝ යම් සීමිත කාලයකට පමණක් බලපාන ලෙස හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයන් අනුව හෝ කටයුතු නොකිරීම ඉතා වැදගත් බව පැහැදිළි වේ.

එසේ නම්, ආර්ථිකයේ සියලු පාර්ශවකරුවන්ගේ සමස්ත යහපත සදහා, දිගු කාලීන තුලිත ප්‍ර‍තිපත්ති අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත්, එසේ කරන බවට මහ බැංකුව පැහැදිළි සංඥාවක් ලෝකයට ලබා දීමත් ඉතා වැදගත් බවත් පැහැදිළි වනු ඇත.

රාජපක්ෂ පාලන සමයේදී, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශත 10 කින් හෝ අවප්‍ර‍මාණය වුවහොත් ඒ පිළිබදව කදුලු හෙලමින් දැඩි කම්පාව පළ කල වර්තමාන රජයේ ස්වයං-ප්‍රකාශිත ආර්ථික පඬිවරයෙකු, මෑතකදී කළ ප්‍රකාශයක සඳහන් වූයේ, රුපියලේ වර්තමාන සීග්‍ර‍ අවප්‍රමාණය රටට සහ ආර්ථිකයට “හිතකර” බවයි. ඔහුගේ එම පුදුමාකාර ප්‍ර‍කාශනයෙන් පෙනී යන්නේ, ඔහු ඇත්තෙන්ම “මෝඩයන්ගේ පාරාදීසයක” වැජඹෙන බවය. රුපියල අවප්‍ර‍මා‍ණය වීම රටට හානියක් නොවේ යැයි ප්‍රකාශ කිරීමට මේ පඩිවරයාට නිදහස ඇති බව අප පිළිගනිමු. එහෙත්, ආර්ථික බලධාරීන් රටේ විනිමය අනුපාතය සහ ආර්ථිකය සමබරව සහ අර්ථවත්ව කළමනාකරණය නොකරන්නේ නම්, එමගින් රටට සහ ආර්ථිකයට මුහුණපෑමට සිදුවන හානිය පිළිබඳව දැනුවත් වීමේ අයිතියක් ජනතාවට තිබෙන බවද අප පිළිගත යුතුය.

මේ හේතූන් නිසා, මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වශයෙන්, 2018 අප්‍රේල් 25 වැනි දින පහත දැක්වෙන ප්‍රකාශය මා මාධ්‍යයට නිකුත් කළෙමි. “පසුගිය සතිය තුළ පමණක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 157.46 සිට 159.04 දක්වා රුපියල් 1.58 කින් අවප්‍ර‍මාණය වී ඇත.

ඒ සමගම, මේ වන විට ශ්‍රී ලංකාව් විදේශ ණය ප්‍ර‍මාණය ඇමරිකානු ඩොලර් බිලියන 30 ක පමණ වන නිසා, පසුගිය සතියේ පමණක් ශ්‍රී ලංකාවේ ණය ප්‍ර‍මාණය රුපියල් බිලියන 47 කින් පමණ ඉහල යා ඇත.

එම ණය ඉහළ යෑමට සාපේක්ෂව වෙනත් පිරිවැයන් විග්‍ර‍හය කරන්නේ නම්: – අ) කොළඹ/කටුනායක අධිවේගී මාර්ගය සදහා ආයෝජනය – රුපියල් බිලියන 48 ආ) මත්තල ගුවන්තොටුපොළ සදහා ආයෝජනය – රුපියල් බිලියන 30 ඇ) 2014 දී සමෘද්ධිය සහ පොහොර සහනාධාරය සදහා පිරිවැය – රුපියල් බිලියන 47

වර්තමාන රජය විසින්, මුලු ශ්‍රී ලංකා ආර්ථිකයම ඉතා සීග්‍ර‍යෙන් කාබාසිනියා කෙරෙන ආකාරය, ඉහත සදහන් සරළ කරුණු වලින් මනාව පැහැදිළිවේ”.

ඉහත දැක්වෙන සරල සැසඳීමෙන් මා පෙන්වා දීමට උත්සාහ කලේ වර්තමාන රජය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොතරම් දුරට විනාශය කරා ඇදගෙන ගොස් ඇතිදැයි විදහා දැක්වීමටය. ඒ සමගම අප රටේ ජනතාවම තදින් වෙලාගෙන, සමස්ත ආර්ථිකයම පුරා කම්පාව පතුරමින්, වර්තමාන රජය හිතාමතාම වාගේ අනුගමනය කරන කඩිනම් රුපියල අවප්‍රමාණය කිරීමේ ප්‍රතිපත්තිය කොතරම් බරපතල හානියකට අප ආර්ථිකය පත්කර ඇතිදැයි පෙන්වාදීමටය.

කෙසේ වුවද, ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම යෝග්‍ය යයිද, ප්‍රතිඵලදායක යයිද, වක්‍රාකාරීව මහ බැංකුවේ විදේශ සංචිත අහසින් පහළ වන්නේ යයිද අර්ථ දක්වමින්, වර්තමාන ආර්ථික පරිපාලකයන් සැබැවින්ම රුපියල අවප්‍ර‍මාණය කිරීමට දැඩි ලෙස උනන්දු වන බවක් දැන් පෙනී යයි. එසේ නම්, මාගේ ප්‍ර‍තිවිරුද්ධ අදහස් පසෙකට දමා, ඔවුන්ගේ රුපියල අවප්‍ර‍මාණය කිරීමේ වර්තමාන ප්‍රතිපත්ති රාමුව ඉදිරියටම පවත්වාගෙන යෑමට, එම ආර්ථික විශේෂඥයින්ට අවශ්‍යතාවය සහ බලය ඇති බව, අකමැත්තෙන් වුවද අප යථාර්තවාදීව තේරුම් ගත යුතුය. තවද, ඔවුන්ගේ ප්‍ර‍කාශන වලින් අපට වැටහී යන්නේ රුපියලේ වත්මන් අවප්‍ර‍මාණය වීම සතුටට පත්විය යුතු කරුණක් ලෙස ඔවුන් සලකන බවය. සමහර විට, ඔවුන්ගේ අභ්‍යන්තර චේතනාවද රුපියල ඕනෑකමින් අවප්‍ර‍මාණය කිරීම විය හැක. එවැනි පසුබිමක, වර්තමාන බලධාරීන්ට ඔවුන්ගේ මතයට ප්‍ර‍තිවිරුද්ධ අදහසක් ඒත්තු ගැන්වීම හෝ ඔවුන් එවැනි මාර්ගයකට යොමු කිරීම කිසි විටෙක සිදු නොවන්නක් බව මා දැනටමත් තේරුම්ගෙන ඇත. එසේ වුවත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන භයානක තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අපගේ වගකීමක් යයි මා තරයේ විශ්වාස කරමි. එහෙයින්, දැනටමත් විනාශ වීමට ආසන්න ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් පිරිහී, රුපියලද වේගයෙන් කඩා වැටී, දැවැන්ත පරිහාණියකට මුලු රටම භාජනය වීමට පෙර, ආර්ථිකයේ අනිකුත් පාර්ශවකරුවන් මේ භයානක තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ අවදානම යොමු කොට, මේ ගමන් මග වෙනස් කිරීමට රජයට බලපෑම් කරන ලෙස මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More