මේ තමයි, අද දවසේ දැවෙන ප්‍රශ්නෙ. අරගලකරුවන් කියන්නෙ “අන්තර්කාලීන ආණ්ඩුවක්” හදන්න කියල. 225 ට්‍රයි කරන්නෙ “සර්ව පාක්ෂික ආණ්ඩුවක්” හදන්න. මට නං මේ දෙක අතරෙ ගැටුමක් පේන්නෙ නෑ. මොකද එකක් කාලය මුල්කරගත් කතාවක්. අනික අන්තර්ගතය මුල් කරගත් කතාවක්.
මේ දෙක හයිබ්‍රිඩ් කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. ඒ කියන්නෙ “සියළු පක්ෂ නියෝජනය කරන අන්තර්වාර ආණ්ඩුවක්” පිහිටුවන්න පුලුවන්. සියලු පක්ෂ කිවුවට සියළුම පක්ෂ නෙවෙයි. අනිවා මොන සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවත් විපක්ෂයට කීපදෙනෙක් සෙට් වෙනවාමයි. ඒ නිසා “බහුතර පක්ෂවල එකඟතාව සහිත අන්තර්වාර ආණ්ඩුවක්” තමයි හැදෙන්න ඉඩ තියෙන්නෙ. ඒ හැදෙන අන්තර්වාර ආණ්ඩුවට “උපදේශක සභාවක්” විදියට අරගලයේ නායකයින්ට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුනම – සියළුදෙනා සතුටින්.
දැන් තියෙන ප්‍රශ්නෙ තමයි ඒ අන්තර්වාර ආණ්ඩුවේ සංයුතිය මොකද්ද, ජනාධිපති, අගමැති, කැබිනට්ටුව කවුද කියන එක. මේකට උත්තර දෙකක් තියෙනව. එකක් ව්‍යවස්ථාව තුළ තියෙන උත්තරය. අනික ව්‍යවස්ථාවට පිටින් තියෙන උත්තරය.
මම හිතෙන්නෙ නෑ මේ වෙලාවෙ ව්‍යවස්ථාවට පිටින් තියෙන උත්තරයක් වෙත කවුරුවත් යයි කියල. හේතු දෙකක් නිසා. එක, ව්‍යවස්ථාව ඇතුලෙ සැළකිය යුතු මට්ටමින් ඕනෑම උත්තරයකට ප්‍රතිපාදන තියෙන නිසා. දෙක, ව්‍යවස්ථාවට පිටින් යන එකේ තියෙන අවදානම කාට උනත් වැඩි නිසා.
ඒ අනුව දැන් අවශ්‍ය වෙන්නෙ නව ජනාධිපතිවරයෙක්, නව අගමැතිවරයෙක් සහ නව කැබිනට්ටුවක් පත්කරගන්න. මේ කටයුත්තෙදි “සැනසියයුතු” ප්‍රධාන පාර්ශ්ව කිහිපයක් ඉන්නවා.
අරගලකරුවන් සහ සම්බන්ධිත සිවිල් සංවිධාන
ඉන්දීය, ඇමරිකා ඇතුළු තානාපති කාර්යාල සහ ඩයස්පෝරාව
ජවිපෙ, පෙරටු ඇතුළු අරගලයේ වැඩි බරක් ඇද්ද කණ්ඩායම්
ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ මිලිටරි ව්‍යූහය
රටේ ජාතික බලවේග, හාමුදුරුවන් ඇතුළු ඒ වර්ගයේ තවත් පිරිස්
මේ සේරටම එකඟවෙන්න පුලුවන් කෙනෙක් ජනාධිපති කරන්න අමාරුයි නෙවෙයි බෑ. ඒ නිසා යම් කොටසක් නොසලකා හරින්නම වෙනවා.
බොහෝදුරට ඒ අංක 5 කණ්ඩායම වියහැකියි. මොකද ඒ කණ්ඩායමට “කටඋත්තර නැති කරල, මුක පූට්ටු කරල සමාජය හමුවේ කූජිත කරල කට හොල්ලන්න බැරි තැනට දාන වැඩේ”මේ වෙනකොටත් රාජපක්ෂල හොඳටම කරල තිබීම හේතුවෙන්, ඒ කණ්ඩායම නොසලකා හැරියට අඬන්න කවුරුත් ඉදිරිපත් නොවන නිසා.
එහෙම ගත්තම 1. 2 සහ 3 කියන කණ්ඩායම් සනසන කෙනෙක් තමයි හොයාගන්න වෙන්නෙ. ඒ වගේම ඒ කෙනා 225ට පිටින් කෙනෙක් වෙන එකත් මේ වෙලාවෙ හොඳ තීරණයක්. ධම්මික පෙරේරාට එන්න කපපු පාර දිගේම එහෙම කෙනෙකුට එන්න පුලුවන්. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත්, බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා ලෙස ජනාධිපති වෙන එක ව්‍යවස්ථාවටත් අනුකූලයි.
මට පෙනෙන හැටියට නං ඒකට ගැලපෙන වැඩිම ලකුණු ලාභියා ලෙස දැන් ඉන්නෙ “නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්.” සාලිය පීරිස් ඒකට ඉදිරිපත් වෙනව නං, දෙමළ ජාතික සන්ධානය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ වෙනත් සුළු පක්ෂ ඒ වෙනුවෙන් හිටගන්නවා ෂුවර්. සාධාරණ සමාජයක් ඇතුළු සිවිල් සංවිධානත්, බොහෝ වෘත්තීය සමිතිත් ඒකට සම්මාදම් වේවි.
දැනටත් ඒ කණ්ඩායම් සාලිය පීරිස් එක්ක එකතුවෙලා සෑහෙන වැඩ ප්‍රමාණයක් කරලත් තියෙනවනෙ. අනික මේ වෙනකොට ඒකට ගැලපෙන “හෝම්වර්ක්” වැඩිපුරම කරල තියෙන්නෙත් සාලිය පීරිස්ම තමයි. අරගලයට නීතීඥ රැකවරණය ලබාදීම, රට ගොඩදමන වැඩපිළිවෙල කෙටුම්පත් කරල මහනාහාමිවරුන්ටත් ඉදිරිපත් කරල තිබීම, සජබෙ, ජාජබෙ නීතීඥ කණ්ඩායම් එක්ක හරි හරියට වැඩ කරමින් ඒ බලවේගවල නිලනොලත් නායකයා ලෙස කටයුතු කිරීම ඉන් සමහරක්.
සාලියට පුලුවන් අගමැතිකමට සුමන්දිරන්, සජිත් දෙන්නගෙන් කෙනෙක්ව තෝරාගන්න. සජිත් ඇරෙන්න “වෙන්ඩ ජනාධිපතිල”කවුරුවත් මේ වෙලාවෙ අගමැතිකම ගන්න ඉදිරිපත් වෙන එකකුත් නෑ. නමුත් ඒ අයට පුලුවන් කැමති විදියට ඇමති තනතුරු ගන්න. ඒ කැබිනට් එකේ අනුර, පොන්සේකා, චම්පික, දයාසිරි, අමරවීර, සම්බන්ධන්, දේවානන්දා, තොණ්ඩමන්, හකීම්, බදුර්දීන් විතරක් නෙවෙයි රතන උනත් ඉන්න පුලුවන්. ඒ් වගේම ස්වාධීන වූ පශ්චාත් පොහොට්ටු කිහිපයක් උනත් කිසි අවුලක් නැතුව ඔය කොටයක් දෙකක් අල්ලගන්න බැරි නෑ.
පොහොට්ටුව නැතුවත් මේ එකතුව ඉලක්කම් විදියට ගත්තොත් 80ක් පමණ වෙනවා. පොහොට්ටුව ඇතුලෙ ඉන්න ශ්‍රීලනිප සහ ස්වාධීන වුනු අය අතරින් තව 35ක් එකතු කරගත්තොත් 115ක්ම ඉන්නවා. අනික නොයෙක් ක්‍රමවලින් “හරීන්-මනුෂ වර්ගයේ මන්ත්‍රීවරුන්” ටිකක් හොයාගන්න එක මේ වගේ වෙලාවක හරිම පහසු වැඩක්.
අනික තවමත් නොපිපුණු බලාපොරොත්තු කන්දක් එක්ක ඉන්න කිරිකෝඩු පොහොට්ටු කීයක් නං ඔතන ඇත්ද? ඒ වගේම ගේමක් ගහන්න හිතාගෙන සහ පරිස්සම් වෙන්න හිතාගෙන “කපුටාස් හිට් ද මන්ත්‍රී” ලත් කීයක් නං ඇත්ද?
මම කලින් කියපු “4වන සැනසිය යුතු කණ්ඩායම” වන ශවේන්ද්‍ර ප්‍රමුඛ මිලිටරි කණ්ඩායමත් මේ වෙලාවෙ යම් තරමකට වැදගත් සාධකයක්. ඒක කළමනාකරණය කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියේවි. එක්කෝ තරවටුකොට පාලනය කරගැනීමෙන් හෝ බ්ලැක් මේල් කිරීමෙන්. ඒක කරන්න ඕන කරන “මිස්ටේක් සහ නඩුහබ” ඕනතරම් හොයාගන්න පුලුවන්. නැත්නං අනාගත බලාපොරොත්තුදීමෙන්. ඒත් නැත්නම් ෆොන්සේකා වගේ ආරක්ෂක ඇමතිවරයෙක් විසින්- ජනාධිපතිතුමාගේ එකඟතාව සහිතව, ශවේන්ද්‍රව ඉවත්කරල ඒ වෙනුවට, තමන්ට ගැලපෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කෙනෙක් පත්කරගැනීමෙන්. බොහෝ දුරට වෙන්න පුලුවන් මේ අන්තිම එක.
මේ විදියට හදාගන්න අන්තර්වාර ආණ්ඩුවක් අපට ලැබෙයි කියන අනුමානය තමයි මට තියෙන්නෙ. වරදින්න, සුලු වෙනස්කම් සහිතව සිද්දවෙන්න වගේම මේකම වෙන්න උනත් පුලුවන්.
කොහොම උනත් මේ සේරම උනායින් පස්සෙත්, අපේ ගුරු හාමුදුරුවන් කිවුවා වගේ “අනේ කූඹින්නේ-තොපටත් රජෙක් ඉන්නේ” කියල හූල්ලන්න නොවුනොත් ඒ ඇති කියලයි මට හිතෙන්නෙ. මොකද, මේ ක්‍රමේ වෙනස් කරල සිස්ටම් චේන්ජ් එකකට යනවට වඩා වැඩ මේ හැමෝටම තියෙන්න පුලුවන් නිසා. ඊළඟට තියන්නට නියමිත මැතිවරණය ඉන් ප්‍රධානයි. ඒක දිනාගන්න ගේමක් ගහන එක ඇතුලෙ වෙලාවක් තිබුනොත් මේ අය අපේ ප්‍රශ්න ගැනත් නොබල ඉන්න එකක් නෑ.
උදිත සෙනරත් කුංකුනාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...