දේශීය පුවත්

අනෙකාට විරුද්ධව අවි අමෝරා ගැනීමෙන් සිදුවන්නේ මේ රට සුඩානයටත් අන්ත තැනකට වැටීම බවත් මේ අවස්ථාවේ සියලු පාර්ශ්ව එක්ව සමගිව රට හමුවේ වන අභියෝගය ජයගත යුතු බවත් පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, රට ඇදවැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම වෙනුවෙන් තම පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලිය පිළිගන්නා ඉදිරියේ දී පත්වන ඕනෑම ජනාධිපතිවරයකුට, අගමැතිවරයකුට ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනාගේ සහයෝගය ලබා දීමට සූදානම් බවත් පැවසීය.
අද(12) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“රට තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි අර්බුදය පිළිබඳව අපි පැවති ආණ්ඩුව අභ්‍යන්තරයේ සිට කරුණු ඉදිරිපත් කළා. එම කරුණු පිළිනොගත් නිසා අපට සිදුවුණා 2022 මාර්තු 02 වැනිදා රට පත්ව ඇති අවදානම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ජනතාව දැනුම්වත් කිරීමට. එහි ප්‍රතිඵලයක් ලෙස අපට අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වුවත් අපි දිගින් දිගටම මේ අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව ඒ සඳහා පොළඹවාලීමට කටයුතු කළා. කුමන අවාසනාවකට හෝ ඒ අදහස් සැලකිල්ලට භාජනය වුණේ නැහැ. මැයි 09 වැනිදායින් පසුවත් අප, රට අරාජික නොවීම සඳහා අන්තර්කාලීන සර්වපාක්ෂික ජාතික එකගතා පාලනයක් ඇතිකිරීමට අදාළ යෝජනාවලියක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් එයත් අසාර්ථක වූවා රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් ඇවිත් අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමත් සමගම.
‘ජනාධිපතිත් සමග අගමැති ඉල්ලා අස්විය යුතුයි’
නමුත් අපට අද ඉතා පැහැදිලියි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පුටුවට පැමිණියා කියා රට තුළ මතුව ඇති ආර්ථික ආපදාවට පිළියම් යෙදීමක් හෝ දේශපාලන, සමාජ අසහන සමනය වීමක් හෝ සිදු වුණේ නැති බව. ඇත්තෙන්ම සිදු වූයේ ඉහත කී සාධක තවදුරටත් උග්‍ර වීමයි. රටේ ජනයාගේ වේදනාව, පීඩාව හේතුකොටගෙන මේ තත්ත්වය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කොළඹට ගෙනවිත් ජනාධිපතිවරයා ඉවත්වීම දක්වා අරගලය තීව්‍ර කිරීමට ඇතැම් පිරිස්වලට අද හැකියාව ලැබී තිබෙනවා. අද සවස හෝ හෙට දිනය තුළ ජනාධිපතිවරයා ධුරයෙන් නිල වශයෙන් ඉවත් වන බවයි අපට ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබී තිබෙන්නේ. ජනාධිපතිවරයා පමණක් නොවෙයි අගමැතිවරයා ද ඒ හා සමාන්තරව ඉල්ලා අස්විය යුතු බවයි අපේ අදහස.
‘ජානිපෙන් යෝජනාවලියක්’
ඒ වගේම මේ අවස්ථාවේදී අප කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවලියක් මුළුමහත් ජාතිය හමුවේ තබනවා. ඒ සඳහා ප්‍රමාණවත් සංවාදයක් සෑදීම සඳහා මැදිහත් වන ලෙස අප සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා. අද අපේ රට තිබෙන්නේ නිහඬව බලා සිටිය හැකි තැනක නොවෙයි. අද ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය යන පෞරාණික ගොඩනැගිලිවලට සිදුවෙමින් පවතින දේවල්, ඒවා තුළ සිදුවෙන ඇතැම් සිදුවීම් දැක්කාම පිටරටවලට යන්නේ ඉතා බිහිසුණු චිත්‍රයක්. සමහර රටවල් ‘මේක දකුණු සුඩානය ද?’ කියා අසන තත්වයට වැටී තිබෙනවා. ‘ශ්‍රී ලංකාව ඉතා භයානක, අරාජික තත්වයක තිබෙන්නේ’කියා ඇතැම් ගුවන් සේවා ගුවන් ගමන් නතර කොට තිබෙනවා. මේ තත්ත්වය දිගටම පැවතීමට හැරීමෙන් මේ රටේ කාටවත් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එමගින් වාසි සැලසෙන්නේ බාහිර බලවේගවලටයි. මේ දෙස නිහඬව බලා සිටියොත් මේ රට තවදුරටත් ආර්ථිකමය වශයෙන් අර්බුදයට පත් වෙලා කාගේ හෝ කොලනියක් බවට පත්වීමයි සිදුවන්නේ.
‘සර්ව පාක්ෂික සමුළුවක්’
අපට උවමනා එවැනි අවසානයක් දැකීමට නොවෙයි. මෙහිදී සිදුවිය යුත්තේ අපි සියලුදෙනා එක්වී ‘ආර්ථික අර්බුදය’ නැමැති පොදු සතුරා සමග සටන් වැදීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමෙන් පසුව නව අන්තර්කාලීන සර්වපාක්ෂික පාලනයක් පිහිටුවා ගත යුතුයි. අපි මේ යෝජනාවලිය මගින් එම පාලනය පිහිටුවා ගත යුත්තේ කෙලෙසද, කියා පෙන්වා දී තිබෙනවා. නව ජනාධිපතිවරයා පත් කරගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නය, අරගලය තුළ යම් යම් අදහස් දක්වා ඇති සිවිල් සංවිධාන, ජාතික සංවිධාන ඇතුළු සියලු පාර්ශව ද ඇතුළත්ව සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි. එවිට සර්වපාක්ෂික සමුළුවේ දී නව ජනාධිපතිවරයා තමන්ගේ මාර්ග සිතියම විනිවිද ලෙස රට හමුවේ තැබිය යුතුයි. එහිදී මේ දැවෙන ප්‍රශ්නවලට ඔහු දෙන විසඳුම් මොනවාද, කියා ජනතාවට පැහැදිලි විය යුතුයි.
ජාතික ආවේක්ෂණ සභාවක්
එම සර්වපාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද මාර්ග සිතියමට අදාළව අනෙකුත් පාර්ශ්ව ඉදිරිපත් කරනු ලබන යෝජනා ද සැලකිල්ලට ගෙන සකසනු ලබන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඊට එකඟ වන පක්ෂ සමඟයි ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසිය යුත්තේ. එම ජාතික එකඟතා ආණ්ඩුවේ ‘දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාතික විධායක සභාවක්’ මෙන්ම මහජන වගවීම සහතික වීම සඳහා ‘අරගලයේ යෙදී සිටින පාර්ශ්ව නියෝජනය වන ජාතික මහජන සභාවක්’ ද පිහිටුවීමට අපේ යෝජනාවලියෙන් අපි යෝජනා කර තිබෙනවා. ඉන්පසු එම ජාතික විධායක සභාව සහ ජාතික මහජන සභාව එක්ව ජාතික ආවේක්ෂණ සභාවක් ක්‍රියාත්මක කළ යුතුයි. ආවේක්ෂණ සභාවක් කියන්නේ රට හමුවේ තබන ලද වැඩපිළිවෙළ අනුව රට ඉදිරියට යනවා ද නැද්ද යන්න පසු විපරම් කරමින් ඒ පිළිබඳව ජනතාවට වගකියන ජනතා ව්‍යුහයක්. මේ ආකාරයට කටයුතු කරනු ලැබුවහොත් අපි විශ්වාස කරනවා, ‘මේ රට අරාජිකත්වයෙන්, කඩාවැටීමෙන් බේරාගෙන මහ මැතිවරණයක් පැවැත්විය හැකි ස්ථාවර වාතාවරණයක් සකසාගත හැකි වේවි’ කියා. තෙල්, ගෑස් තිබෙන, ජන ජීවිතය යථාවත් පරිදි පවත්වාගෙන යා හැකි තත්ත්වයක් තුළයි මහ මැතිවරණයකට යා හැක්කේ.
අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කරනු ලබන්නේ පටු වාසි ලබාගැනීමට නොවෙයි. අපට ඇත්තේ වැටුණු රට ගොඩගැනීමේ න්‍යාය පත්‍රයක්. ඒ නිසා අපි සියලු දේශපාලන පාර්ශ්ව වෙතින් ඉල්ලා සිටිනවා ‘අනෙකාට විරුද්ධව අවි අමෝරා ගැනීමෙන් සිදුවන්නේ මේ රට සුඩානයටත් අන්ත තැනකට වැටෙන එක විතරයි. මේ මොහොතේ සියලු පාර්ශ්ව එක්ව සමගිව මේ අභියෝගය ජය ගනිමු!’ කියා. ඉදිරියේදී පත්වන ඕනෑම ජනපතිවරයකු, අගමැතිවරයකු මේ යෝජනාවලිය පිළිගන්නවා නම් එය යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 06 දෙනා සූදානම්”
මෙම මාධ්‍ය හමුවට ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස හා ගාමිණී වලේබොඩ යන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022.07.12



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More