මාතලේට ගිය 16 දෙනාගේ කල්ලිය
16 දෙනාගේ කණ්‌ඩායමේ දේශපාලනය පසුගිය සතියේත් අපේ දේශපාලන කරලියේ කැපී පෙනෙන භූමිකාවක් විය. ඔවුන් ලංකාව පුරා පවත්වන ජනරැලි මාලාවේ දෙවැනි ජන රැලිය මාතලේ නගරයේ දී පවත්වනු ලැබුවේද මේ සතියේ 16 වැනිදාය.
ඊට පෙරදා (15 දා) රාත්‍රියේ 16 දෙනාගේ කණ්‌ඩායමේ සාමාජිකයෝ ගණනාවක්‌ම මාතලේ නගරයට පැමිණ එහි තිබෙන ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාට අයත් හෝටලයේ නවාතැන් ගත්තේ පසුදාට පැවැත්වෙන ජන රැලියේ සංවිධාන කටයුතු බලා ගන්නටත් එක්‌කය. එහෙත් ඔවුන්ට බලන්නට කිසිවක් එහි නොවූයේ ලක්‍ෂ්මන් වසන්ත ඒ සියල්ල කල්තියා හොඳ හැටි සංවිධානය කර තිබූ නිසාය.
“ඊයේ 14 වැනිදා මෙතැනදීම තිබුණා මාතලේ ඉෆaතාර් උත්සවයත්. ඒකටත් 3000 ක් විතර මේ පළාතේ මුස්‌ලිම්වරු සහභාගි වුණා. දැන් අපටත් ජනමතයක් තියෙන බව නෑ කියන කට්‌ටිය බලා ගනීවි. බලන්නකෝ හෙට රැස්‌වීමට එන සෙනඟ…” ලක්‍ෂ්මන් වසන්ත පැමිණ සිටි මිතුරන්ට දිස්‌ත්‍රික්‌කයේ තත්ත්වය විස්‌තර කළේය.
පසුදා උදේ වන විට රැස්‌වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කර අවසන් කළ ලක්‍ෂ්මන් වසන්ත සියල්ලන්ටම මාතලේ විද්‍යානන්ද පිරිවෙනට යන්න කතා කළේ සියලු ආගමික කටයුතු එහි ඉටු කිරීම සඳහාය. මහා සංඝරත්නය 39 දෙනෙක් මෙහිදී මෙම කටයුත්තට සෙත් පතන්නට එක්‌ව සිටීම විශේෂත්වයකි.
ජනරැලිය පටන් ගනු ලැබුවේ ඉන් පසුවය. මාතලේ නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිට්‌ටනිය ඒ සඳහා සූදානම් කර තිබූ අතර සැලකිය යුතු ලොකු සෙනඟක් ඊට සහභාගි වී සිටියහ. සුසිල් ප්‍රේමජයන්ත ඒ වන විට සිටියේ මදක් අසනීපවය. ඒ නිසා ඔහු හැරුණු විට අනෙකුත් සියලුම දෙනා මේ රැස්‌වීමට පැමිණ සිටියහ. එස්.බී., ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා, චන්දිම වීරක්‌කොඩි, දයාසිරි ඇතුළු කථිකයෝa මෙම රැස්‌වීමේදී ජනතාව අමතා තත්කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳ විග්‍රහයක් ඉදිරිපත් කර සිටියහ.
හවස 2.30 ට පමණ රැස්‌වීමේ කටයුතු අවසන් කළ 16 දෙනාගේ කණ්‌ඩායම විසිර ගියේ තවත් සාර්ථක ජනරැලියක් සංවිධානය කිරීම ගැන ලක්‍ෂ්මන් වසන්ත පෙරේරාට ස්‌තුතිවන්ත වෙමිනි.
මංගලට එකඟයි ස්‌වාමිට විරුද්ධයි
පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්‌ඩල විශේෂ රැස්‌වීමක් ද පැවැත්විණි. කැබිනට් හමුවේදී මුදල් ඇමැති මංගල සමරවීර මෙවර රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඉතා වටිනා පියවරක් ගන්නට යෝජනාවක් ඉදිරිපත් කිරීම කා අතරත් කැපී පෙනෙන සිදුවීමක් විය.
ඔහු යෝජනා කළේ පුද්ගලික රෝහල්වලින් බෙහෙත් ගැනීමේදී හා වෛද්‍යවරු චැනල් කිරීමේදී අයකරන 15% ක වැට් බද්ද අහෝසි කිරීමටය. ඊට මුළු කැබිනට් මණ්‌ඩලයේම අනුමැතිය හිමි විය.
මංගල මෙහිදී පෙන්වා දුන්නේ රාජිත ඇමැතිවරයා මෙය කිහිප වරක්‌ම තමන්ගෙන් ඉල්ලා සිටි යෝජනාවක් බවය. රාජිත ද මේ ඉල්ලීම ඉටුකරන්නට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මංගල ඇමැතිවරයාට විශේෂ ස්‌තූතියක් කළේය.
ඒ අතර ස්‌වාමිනාදන් ඇමැතිවරයා කැබිනට් මණ්‌ඩලයට තරමක් වෙනස් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. යෝජනාවේ තිබුණේ පසුගිය 30 අවුරුදු යුද්ධයේ අවසාන අවස්‌ථාවේදී විපතට පත් දෙමළ ජනතාවට රජයෙන් වන්දි ගෙවීම සම්බන්ධයෙන් වූ යෝජනාවකි. මේ යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්‌ඩලයට එකඟතාවකට එන්නට නොහැකි විය. ස්‌වාමිනාදන්ගේ යෝජනාව පසෙකට කරන්නට ඒ අනුව කැබිනට් මණ්‌ඩලයට සිදුවිය. මේ යෝජනාව සම්මත කර දෙමළ ජනතාවට වන්දි දෙන්නට පටන් ගතහොත් එහි සීමාවන් හා මිනුම්දඬු සකස් කරන්නේ කෙසේ දැයි කියා ප්‍රශ්නයක් මතු විය.
සටන හඳුනාගෙන ඉදිරියට ගමනක්
ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම පසුගිය අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේ දී රැස්‌විණි. එහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට ලක්‌කෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ 16 කණ්‌ඩායම පිළිබඳවය.
“ආණ්‌ඩු විරෝධී බලවේගය ශක්‌තිමත් කරන්න මේ 16 දෙනා අපිට වැදගත්. ආණ්‌ඩුවට පාර්ලිමේන්තුවේ තියෙන තුනෙන් දෙකක බලය අහිමි කරන්න නම් අපිට මේ අය එකතු කරගන්න වෙනවා” දිනේෂ් පෙන්වා දුන්නේය.
“අපිට 16 කණ්‌ඩායම එක්‌ක වැඩ කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපිට මේ 16 කණ්‌ඩායමේ අවංකභාවය පැහැදිලි වෙන්න ඕනේ. ඒ අය අපේ පැත්තට එනවා නම් මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිඅරන් එන්න ඕනේ. එහෙම නැතුව අපේ පැත්තේ ඉඳගෙන මෛත්‍රී මහත්තයාගේ නායකත්වයෙන් වැඩ කරන්න ගියොත් ඒක ගැටලුවක් වෙනවා” ප්‍රසන්න පෙන්වා දුන්නේය.
“16 කණ්‌ඩායම ඉන්නෙත් විපක්‌ෂයේ. අපි ඉන්නෙත් විපක්‌ෂයේ. ඒ හින්දා අපි දෙගොල්ලන්ට එකතු වීම ගැටලුවක් නෙමෙයි. හැබැයි අපේ පැත්තට එනවා නම් ඒ අය මේ සටන හරියට හඳුනා ගන්න ඕනේ” ඩලස් පැවසීය.
“අපිත් එක්‌ක එකතු වෙන්න ඕනේ නම් මෙයාලා 16 කණ්‌ඩායම් විදියට ඉන්නේ නැතුව අඩුගාණේ ඒකාබද්ධ විපක්‌ෂය එක්‌කවත් ඉන්න ඕනේ” රංජිත් සොයිසා පැවසීය.
“පහුගිය දවසක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට සුදර්ශනී මන්ත්‍රීතුමිය පත් කරන්න හදපු වෙලාවේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අපේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමට නිදහසේ තීන්දුවක් ගන්න මහින්ද මහත්තයා ඉඩදුන්නා. ඒ අනුවයි අපි ඡන්දෙ නොදී ඉන්න තීරණය කළේ. නමුත් මේ කාරණය ගැන වැරැදි අදහසක් තමයි එළියට ගිහින් තිබුණේ. අපි තීන්දුවක් ගත්තේ කණ්‌ඩායමක් විදියටයි” නිමල් ලන්සා පැහැදිලි කළේය.
“සුදර්ශනීගේ ප්‍රශ්නයේ දී මාධ්‍යවල වැරැදි අදහස් ගණනාවක් පළවෙලා තිබුණා. මහින්ද මහත්තයා මට බැන්නා කියලත් ගිහින් තිබුණා. එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. අපි ඒ තීන්දුව ගත්තේ මහින්ද මහත්තයාගෙත් අවසරය ඇතිවයි” ප්‍රසන්න ද පැවසීය.
“ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ නියෝජිතයන් විදියට අපිට මිනිස්‌සුන්ගේ කතාවලටත් ඇහුම්කන් දෙන්න වෙනවා. එතැන දී ජනතාව දැරුව මතය තමයි අපිත් නියෝජනය කළේ” ලන්සා කීවේය.
“අපිට කා එක්‌කවත් පුද්ගලික තරහක් නැහැ. හැබැයි අපි මෙතැන දී බලන්නේ අවුරුදු තුනක් තිස්‌සේ අපි කරපු සටන දියාරු නොවී ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකයි. විවිධ කණ්‌ඩායම් එකතු වෙලා අපේ පැත්ත ශක්‌තිමත් වෙන්න ඕනේ කියන කාරණය අපි පිළිගන්නවා. හැබැයි ඒ එන අය සේරම අවංක වුවමනාවකින් එන්න ඕනේ” ප්‍රසන්න කීවේය.
“ඒකාබද්ධ විපක්‌ෂය මීළඟ ජනාධිපතිවරණයට අපේක්‌ෂකයෙක් නම් කරලා තියෙනවද? මම මෙහෙම අහන්නේ මේ ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කියන නිසයි” කංචන ඇසුවේය.
“නෑ එහෙම නම් කිරීමක් නැහැ. මහින්ද මහත්තයා තමයි අපේ අපේක්‌ෂකයා නම් කරන්නේ” දිනේෂ් පැවසීය.
“මහින්ද මහත්තයා නම් කරන අපේක්‌ෂකයා පමණයි අපේ ජනාධිපති අපේක්‌ෂකයා වන්නේ” ප්‍රසන්න පැවසීය.
“අපිට බැහැනේ මිනිස්‌සු කතා කරන එක නවත්තන්න” දිනේෂ් කීවේය.
“ඒක ඇත්ත. නමුත් මේ රටේ මිනිස්‌සු ඉන්නේ මහින්ද මහත්තයා එක්‌ක. මීළඟ ජනාධිපතිවරණයට මහින්ද මහත්තයට තරග කරන්න පුළුවන්ද බැරිද කියන එක නීතිමය වශයෙන් තවම විසඳිලා නැහැ. එතුමා ඉල්ලුවේ නැත්නම් අපි සහාය දෙන්නේ එතුමා නම් කරන කෙනෙකුට පමණයි” ප්‍රසන්න තදින් කීවේය.
බුද්ධිකට සිදුවූ අපත වැඩේ
පසුගිය දිනවල රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දීමේ සිදුවීම් මාලාව අපේ දේශපාලන කරලියේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්‌වූ මාතෘකාවක් විය. මේ අතර හරි අපූරු අත්දැකීමකට මුහුණ පාන්නට සිදු වූයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාටය.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විදේශ සංචාරයක් නිමාකර ආපසු ලංකාවට ආවේ පසුගිය ඉරිදා පාන්දරය. ඔහු පැමිණි පසු තමන්ට හිමිව ඇති නියොජ්‍ය අමාත්‍ය ධුරය කුමක්‌දැයි විමසා බලන්නට පටන් ගත්තේය.
බුද්ධිකට දෙන්නට නියමිතව තිබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැති ධුරයකි. මාතර දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාපයෙන් කිහිප වරක්‌ම පාර්ලිමේන්තුවට පත්වී ආවත් කිසිදු ඇගයීමකට ඔහු ලක් නොවූයේ නායකත්වය ඔහු සම්බන්ධයෙන් දක්‌වන්නට වූ සමහර පටු ආකල්ප නිසාය. මේ නිසා ප්‍රමාද වී හෝ ඔහුට යම් සැලකිල්ලක් ලැබීම පිළිබඳව බුද්ධිකටත් වඩා සතුටට පත්ව සිටියේ මාතර ප්‍රදේශයේ පාක්‍ෂික ජනතාවය. බුද්ධික ඔවුන්ට සිය ප්‍රශංසාව පළ කරමින් ලැබෙන වගකීම සතුටින් බාර ගන්නට සූදානම් වූයේය.
අඟහරුවාදා ඔහුට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් ආරාධනාවක් ලැබිණි. ඒ අනුව ඔහුත්, ඔහුගේ කාර්ය මණ්‌ඩලයේ කිහිප දෙනෙකුත් ගොස් අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවූ අතර ඔහු බුද්ධිකට එන්න කියා තිබුණේ ඔහු නියෝජ්‍ය ඇමැතිවරයාට ලබාදෙන කාර්යාලය, පහසුකම්, උපකරණ ආදිය පෙන්වා දීමටය. කාර්යාලයට අදාළ ඡායාරූප, ලෙටර්හෙඩ්, විසිටින් කාඩ් ආදියද එදිනම මුද්‍රණයට යවන්නට ලේකම්වරයා කටයුතු යෙදීය.
එදින හවස 5.30 ට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන්නට ජනාධිපති නිල නිවසට එන්නැයි ආරාධනා කර තිබූ නිසා බුද්ධික යුහුසුළුව එම කටයුතු ඉක්‌මනින් ඉවර කළේය.
හවස 5.30 ට දන්වා තිබූ පරිදි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාත්, ඔහුගේ මවත්, නැගණියත්, නැගණියගේ සැමියාත්, කාර්ය මණ්‌ඩලයේ කිහිප දෙනෙකුත් දිවුරුම් දීමේ අවස්‌ථාවට සහභාගි වෙන්නට පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණ සිටියහ. ඔවුන් ඉතා සාදරයෙන් ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු විසින් පිළිගනු ලැබීය.
දිවුරුම්දීම හරි වෙලාවට කරන්න ඕන. ජනාධිපතිතුමාට ඊට පස්‌සේ තියනවා වැදගත් මීටින් කිහිපයකට සහභාගි වෙන්න. මන්ත්‍රීතුමා දිවුරුම් දීමේදී කියවන්න ඕන ප්‍රකාශය මෙතැන තියනවා. කියවලා ඒකට හුරු වෙන්නකෝ… කියමින් ජනාධිපති ලේකම්වරයා බුද්ධික අතට ලිපි ගොනුවක් බහාලු ලිපි දෙකක් දුන්නේය.
අනිත් එක ඔබතුමාගේ ඉල්ලීමට අනුව ඔබතුමා කැමැති නියෝජ්‍ය ඇමැතිකම තමයි ඔය දීල තියෙන්නේ…
බුද්ධික ෆයිල් කවරය පෙරළා බලා ලිපිය අතට ගත්තේය. ඔහුගේ මුහුණ නරක් වූයේ ලිපිය කියවන විටය.
දෙනවා කියූ කර්මාන්ත කටයුතු හා වාණිජ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිකම වෙනුවට ඔහුට දිවුරුම් දෙන්නට සිදුව තිබුණේ නගර සැලසුම් හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේය.
මේ මොකක්‌ද ලේකම්තුමා මේ වෙලා තියෙන්නේ. මට දන්වලා තිබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පත්වීමක් ගැන. දැන් මේ මොකක්‌ද දීල තියෙන්නේ…
ඇයි… ඕකනේ ඔබතුමා කැමැත්තෙන් ඉල්ලනවා කියලා අගමැති ලේකම් සමන් ඒකනායක මට ලිතව දන්වලා තිබුණේ. ඒකයි අපි ඕක දුන්නේ..
නෑ නෑ මම කවරදාකවත් කිසිම දෙයක් ඉල්ලලා නෑ. මේකත් මට දෙනවා කියල දීපු අමාත්‍යාංශයක් මිස මම කතා කරල ඉල්ලපු දෙයක් නොවෙයි. මට අද උදේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා කතා කරලා මට ලබාදෙන කාර්යාලය පෙන්නුවා. පහසුකම් පෙන්නුවා. ලෙටර් හෙඩ්වලට, විසිටින් කාඩ්වලට අනුමැතිය ගත්තා. කාර්ය මණ්‌ඩලයට තැන් නියම කළා. දැන් ඒවා අලුත්වැඩියා වෙනවා. දෙනව නම් මට ලැඡ්ජා නොකර එම අමාත්‍යාංශයම දෙන්න. නැත්නම් මේ අවුරුදු 3 1/2 ක් හිටියා වගේ ඉතිරි අවුරුදු 1 1/2 ත් මෙහෙමම ඉන්නම්…”
එසේ කියමින් බුද්ධික සිය මවගේ අතින් අල්ලාගෙන නැගිට්‌ටේ ආපසු යන්නට බලාගෙනය. ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු සිටියේ කරන්න ගිය යහපත් දේ තමන්ගේ හිස මත කඩාපාත් වීම ගැන විස්‌සෝපයෙනි.
“නෑ නෑ කලබල වෙන්න එපා මන්ත්‍රීතුමා. අපි බලමු මේක කොහොමද වුණේ කියලා. අගමැතිතුමා ඉල්ලීමක් කළේ කර්මාන්ත අමාත්‍යාංශය තමයි. ඒ ලියුම් ලෑස්‌ති කරල තිබියදී තමයි ලේකම් සමන් ඒකනායකගේ ඉල්ලීමකට අපි නැවත නගර සැලසුම් අමාත්‍යාංශයට ලියුම හැදුවේ. මම ජනාධිපතිතුමා සමඟ කතා කරල මේ ප්‍රශ්නය ඉතා ඉක්‌මනින් විසඳන්නම්. ඔබතුමා පොඩ්ඩක් ඉවසන් ඉන්න”
එසේ කියමින් ජනාධිපති ලේකම්වරයා දුරකථනයෙන් එහාට මෙහාට කතා කරන්නට වුණේ සියලු ලිපි කටයුතු ඒ වන විට සිදු වෙමින් ඇත්තේ ඊට තරමක් දුරින් පිහිටි ජනාධිපති කාර්යාලයේ නිසාය.
“හරි… මම ඔක්‌කොම හරි ගස්‌සන්නම්” ලේකම් කීවේය. “වෙලාව තමයි ප්‍රශ්නේ….”
ඔහු ඔර්ලෝසුව බලමින් එසේ කීවේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පත්වීම් ලිපි ගෙන්වා ගැනීමට මේ රථවාහන තදබදය අධික මොහොතේ තව තවත් වෙලා යන නිසාය.
“හරි… ජනාධිපතිතුමාගේ රැස්‌වීම් ඉවරවෙලා හරි කමක් නෑ හරි අමාත්‍යාංශයේ දිවුරුම් දෙමු. මම කැමැති නෑ එක එක්‌කනාගේ ගේම්වල ඉත්තෙක් වෙන්න. මගේ උස අඩි 5 යි අඟල් 3 යි. උසින් අඩු වුණාට මට හොඳ කොන්දක් තියනවා. මට මේ ඇමතිකම් නැති වුණාට මගේ ජනතාවට වැඩ කරන එක නතර වෙන්නේ නෑ”
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරක්‌ෂක වාහන මැද ජීප් රථයක් වේගයෙන් පැමිණ ගේට්‌ටුව ළඟ නතර කෙරිණ.
එහි ආ නිලධාරියෙක් හති දමමින් දිවවිත් ලිපිගොනුවක් ඔස්‌ටින් ප්‍රනාන්දු අතට පත් කළේය. නියමිත දිවුරුම් දීමේ ලිපි ඇතුළත් වූයේ එම ලිපි ගොනුවේය.
ඒ අනුව නිවැරැදි වේලාවට බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දිවුරුම් දුන්නේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද ඒ අතර බුද්ධිකට මුහුණ පාන්නට වූ අකරතැබ්බය ගැන දැන සිටියේය. මේක අගමැති කාර්යාලයේ කාගේ හෝ යටිකූට්‌ටු වැඩක් යෑයි නොකීවත් ජනාධිපතිවරයා තුළ තිබූ සිනහවෙන් බුද්ධිකට ඒ බැව් නොකියා කීවේය.
“ඕවා ගණන් ගන්න එපා බුද්ධික…” කියමින් ජනාධිපතිවරයා ඔහුට සුබ පැතුවේය.
“බ්‍රැඩ්මන් වීරකෝන් මහත්තයා ලිව්වා වගේ අපේ ඔස්‌ටින් ප්‍රනාන්දු මහත්තයත් කවද හරි පොතක් ලියයිනේ… මම කැමැතියි බුද්ධිකට වුණ අපත වැඩේ කියල මේ සිද්ධියත් ඒකෙ ලියෑවෙනවා දකින්න…” බුද්ධික එසේ කියන විට සියල්ලෝම හඬ නඟා සිනා සෙන්නට වූයේ සිදුවූ සියල්ල ගැන කාටත් හොඳ අවබෝධයක් තිබුණ නිසාය.
මහින්ද චන්ද්‍රසේනගෙන් දුමින්ද ගැන අහලා
සිකුරාදා සවස කුරුණෑගල බලා ගිය මහින්ද සෙනසුරාදා උදෑසනම අනුරාධපුරය බලා පිටත්ව ගියේ එදින ඡන්ම දිනය සමරන පල්ලේගම හේමරතන හිමියන් බැහැදැකීමටය. නාහිමියන්ට උපන් දින සුබපැතුම් එක් කළ මහින්ද උදෑසන ආහාරය ගත්තේ චන්ද්‍රසේන, ෂෙහාන් සහ එස්. එම්. රංජිත් සමඟය.
“කොහොමද දැන් ඔයාලගේ හිටපු කෘෂිකර්ම ඇමැතිතුමා වාරිමාර්ග කටයුතු හරියට කරනවද? කෘෂිකර්මය දියුණු වෙලාද? මහින්ද ඇසුවේ චන්ද්‍රසේනගෙනි.
“මොන පිස්‌සුද සර්? අපේ ගම්වල මිනිස්‌සු බයවෙලා ඉන්නේ මේ මනුස්‌සයා.
“එයා බර්ටි ඇමැතිතුමාගේ නමත් එක්‌ක කෑවා” එච්. බී. සේමසිංහ පැවසීය.
“ඔයාලා තමයි ඉස්‌සරහට ඕවා බලාගන්න ඉන්නේ. කෘෂිකර්මය, වාර්මාර්ග කටයුතු ගැන දැන් ඉඳලම හොයලා බලන්න” මහින්ද එසේ උපදෙස් දුන්නේ ෂෙහාන්ටය.
අනුරාධපුරයේ සිට මහින්ද හොරොව්පතාන බලා ගියේ පළාත් සභා මන්ත්‍රි හුසේන්ගේ පියා වන රහීම්ගේ සුවදුක් විමසීමටය. මහින්ද හොරොව්පතානේ යාමට තීන්දු කළේ හදිසියේමය. යාමට පැය භාගයකට පමණ පෙර ෂෙහාන් දුරකථනයෙන් හුසේන් අමතා මහින්දගේ පැමිණීම ගැන දැනුවත් කළ අතර එම පැය භාගයට තුන් දහසකට වැඩි මුස්‌ලිම් ජනතාවක් හුසේන්ගේ නිවසට පැමිණ සිටියේ මහින්ද හමුවීමටය.
හුසේන්ගේ නිවසට ගොස් පියාගේ සුවදුක් විමසූ මහින්දට නිවසින් පිටතට ඒමට විශාල වෙහෙසක් දරන්නට සිදුවුණේ රැස්‌ව සිටි දැවැන්ත ජනකාය නිසාමය. පැමිණ සිටි සියලු දෙනාටම පාහේ මහින්දත් සමඟ සෙල්ෆs ගසන්නට ඕනෑ වී තිබුණි. මහින්ද එයට ද කැමැත්තෙන් ඉඩ දුන්නේය.
අනතුරුව මහින්ද ගියේ සඳ හිරු සෑයේ ඉදිකිරීම් ගැන සොයා බලන්නටය. යුද ජයග්‍රහණය සැමරීම සඳහා පළාත් නවයේ ඉදිකිරීමට නියමිතව තිබුණු චෛත්‍ය නවයෙන් පළමුවැන්න වන සඳ හිරු සෑයේ ඉදිකිරීම් කටයුතු යහපාලන ආණ්‌ඩුව යටතේ මන්දගාමීව සිදුකෙරෙන අන්දම මහින්ද නිරීක්‌ෂණය කළේය.
“මේක හැදුවා කියලා තමයි මාවයි ගෝඨාභයවයි හිරේ දාන්න හැදුවේ. මම මෛත්‍රීටත් කීපවතාවක්‌ම කිව්වා මේක හදන්න කියලා. හැබැයි එයාගේ උනන්දුවක් නැහැ. අපි ආපු ගමන් මේකේ වැඩ ඉවර කරනවා” මහින්ද පැවසීය.
“සර් බලයේ හිටියා නම් මෙලහකටත් මේක හදලා ඉවරයි” එස්. එම්. පැවසීය.
එදින සවස එස්. එම්ගේ නිවසේ සාදයක් පැවැත් වුණේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙනි. පළාත් සභා මැතිවරණය ලබාගැනීම සඳහා රට තුළ මතයක් ගොඩනැංවීමට මූලික වී කටයුතු කරන්නැයි මහින්ද මෙහිදී එස්. එම්. රංජිත්ට උපදෙස් දුන්නේය.
ෆූජියාමා නැගපු හැටි නාමල් කියල දීලා
ඒකාබද්ධ විපක්‌ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් නාමල්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණේ අඟහරුවාදාය. තරුණ සංවිධාන ශක්‌තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවා තිබුණු මෙම හමුවට ෂෙහාන්, ඩී. වී, පියල්, කංචන, ඉන්දික, රණවීර, දිලුම් ඇතුළු පිරිසක් එක්‌ව සිටියහ.
“නාමල් මන්ත්‍රිතුමා ජපානේ ගිය වෙලාවේ ෆූජියාමා නැග්ගේ නැද්ද? ෂෙහාන් ඇසුවේය.
“මම නම් නැග්ගා හැබැයි රොෂානුයි පියලුයි නම් ආවේ නැහැ” නාමල් පැවසීය.
“අපේ ඩී. වීත් ආවේ නැද්ද? ෂෙහාන් ඇසුවේය.
“මම නම් නැග්ගා. නාමල් මන්ත්‍රිතුමාගේ පස්‌සෙන් වැටී වැටී හරි මම උඩටම ගියා” ඩී. වී. පිළිතුරු දුන්නේය.
“ඔව් ඉතින් උඹ කොහොමත් වැටි වැටී හරි නාමල් මන්ත්‍රීතුමාගේ පස්‌සෙන්නේ යන්නේ” කියමින් මන්ත්‍රීවරු මෙහිදී ඩී. වී ට විහිලු කළහ.
රට උණුසුම් කරවූ හිට්‌ලර්ගේ කතාව
ගෝඨාභය රාජක්‍ෂගේ උපන් දිනය පසුගිය බදාදාට යෙදී තිබිණි. ඔහුට හිතවත් නානා විධ පාර්ශව ඒ වෙනුවෙන් එක එක අන්දමේ පුණ්‍ය කටයුතු සංවිධානය කළත් ගෝඨාභය රාජපක්‍ෂ ද වෙනම ආගමික කටයුත්තක් සිය නිවසේ සංවිධානය කළේ එතරම් ලොකු ප්‍රසිද්ධියක් ඇතිව නොවේ. එහෙත් කිසිවෙකුත් නොසිතූ නොපැතූ අන්දමේ ප්‍රසිද්ධියක් ඒ පුණ්‍යකර්මය සඳහා ලැබී තිබුණේ රටේම ජනමාධ්‍ය සියල්ල ඒක කේන්ද්‍රීයව ගෝඨාභය දෙස බලා සිටි නිසාය.
කෙසේ වෙතත් රටේ නමගිය දේශපාලනඥයෝ ව්‍යාපාරිකයෝ හා හිටපු හමුදා නායකයෝ ද මේ පුණ්‍යකර්මයට පැමිණ සිටියහ. අන්තිමේ එය එදා රටේ සිදුවූ ප්‍රධානතම සිද්ධිය බවට පත්වන්නට වැඩි වේලාවක් ගියේ නැත.
ගෝඨාභයට ආශිර්වාද කරමින් අස්‌ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියෝ මෙහිදී ප්‍රධාන අනුශාසනාවක් කළහ.
රට උණුසුම් කළ හිට්‌ලර් කතාව කියෑවුණේ මේ අනුශාසනාවේදීය.
උන්වහන්සේ කියා සිටියේ ගෝඨාභය හිට්‌ලර් වැනි පාලකයකු විය යුතුය කියා නොව මඩේ සිටවූ ඉනි ලෙස වැනෙන තීන්දු ගන්නා නායකයකු නොවී සෘජු තීන්දු ගන්නා හිට්‌ලර් වැනි පාලකයකු විය යුතුය කියාය. කෙසේ වෙතත් එතැන් පටන් ඒ කතාව රට පුරා පැතිර ගියේ ගෝඨාභය හිට්‌ලර් වැනි නායකයකු විය යුතු බවට උන්වහන්සේ අනුශාසනා කළා කියාය.
ඉන් පසුව සමාජය තුළ විවිධ අන්දමේ වාද විවාද ඉස්‌මතු වන්නට වූයේ හිට්‌ලර් පාලනය සම්බන්ධවය. රටේ සමාජ වෙබ් අඩවි මේ සංවාදය කිසිදු ලෝභකමක් නැතිව දිගින් දිගටම පවත්වාගෙන යනු පසුගිය දින කිහිපය පුරාම දක්‌නට ලැබිණි.
ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ පුරාම පෝස්‌ටරයක් අලවා තිබුණේ ගෝඨාභයට සුබපතමිනි. එදින ගෝඨාභයගේ නිවසේ පැවැති දානමය පිංකමට පැමිණි හිතවතකු එම පෝස්‌ටරයක් ගලවා ගෙන විත් ගෝඨාභයට දුන්නේය.
එම දානමය පිංකමට මහින්ද, බැසිල්, චමල් ද පැමිණ සිටි අතර ඒකාබද්ධ විපක්‌ෂයෙන් ප්‍රසන්න, පවිත්‍රා, රෝහිත ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ. ඒ හැර නිදහස් පක්‌ෂයේ 16 කණ්‌ඩායම නියෝජනය කරන තිලංග, දයාසිරි, ජෝන් ද පැමිණ සිටියහ. ගෝඨාගේ නිවසට මුලින්ම ආවේ බැසිල්ය. බැසිල් ආ ගමන් කළේ දානයේ සංවිධාන කටයුතු යනාදිය හරියාකාරව සිදුව ඇත්දැයි සොයා බැලීමය.
අනතුරුව මහින්ද පැමිණියේය. තිලංග, දයාසිරි ඇතුළු පිරිස දානමය පිංකමට පෙරත් පසුවත් මහින්ද, ගෝඨා, බැසිල් සමඟ මෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ද අදහස් හුවමාරු කරගන්නා ආකාරය දකින්නට ලැබුණි. ඇතැම් අවස්‌ථාවල දීර්ඝ කතාබස් දෙපිරිස අතර හුවමාරු විය.
දානමය පිංකමට වැඩම කර සිටි කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අනුශාසනාවේ දී සඳහන් කළේ රටට වැඩ කළ රාජපක්‌ෂවරුන්ගේ සමගිය රටටම ආදර්ශයක් බව කියමිනි. වෙඬරුවේ උපාලි නාහිමියන් කීවේ අද රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගත හැකි එකම පුද්ගලයා ගෝඨාභය බවය.
මහා සංඝරත්නය දානය වැළඳීමෙන් පසු රෝහිත සහ පවිත්‍රා ආහාර ගැනීමට සැරසෙනු දුටු තිලංග විහිලු කළේ “අපිට ඉතින් යන්න වෙන්නේ මේ අයට පස්‌සෙන්නේ” කියමිනි. “ඔව් ඔව් අපි මේකේ පෙරගමන්කරුවෝ. ඔයාල ඉතින් පසුගමන්කරුවෝ විදියට පස්‌සෙන් තමයි එන්න ඕනේ” රෝහිත ද තිලංගගේ දේශපාලන කතාවට එවැනිම පිළිතුරක් දුන්නේය.
දානය අවසන් වූ වහාම බැසිල් නෙළුම් මාවතේ කාර්යාලයට ආවේ පොදුජන පෙරමුණේ මාතර දිස්‌ත්‍රික් ප්‍රවර්ධන කටයුතු සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණු නිසාය. ඩලස්, කාංචන ඇතුළු පිරිසක් ඊට එක්‌ව සිටියහ.
“මාතර දිස්‌ත්‍රික්‌කයේ වසම් 650ක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අගෝස්‌තු මාසය අවසන් වීමට පෙර සියලුම වසම්වල ශාඛා සමිති ප්‍රතිසංවිධානය කරන්න” ඩලස් පැවසීය.
ඩිලාන් පෙරේරා, තාරනාත් බස්‌නායක පසුගිය සතියේ මහින්ද මුණගැසුණේ විඡේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
“රට වෙනුවෙන් ඔයාලා ගන්න තීන්දුවක් ගන්න. අපි තීන්දු ගන්න ඕනේ නායකයෝ ගැනවත් එයාලගේ වටේ ඉන්න අය ගැනවත් හිතලා නෙමෙයි ජනතාව ගැන හිතලයි. අද මේ ආණ්‌ඩුවට වෙලා තියෙන්නේ එයාලා හැමතිස්‌සෙම තීන්දු ගන්නේ තමන්ගේ වටේ ඉන්න අය ගැන හිතලා වීමයි” මහින්ද පැවසීය.
“ඒකනේ සර් අගමැතිතුමා 66 වතාවක් දෙණියායට ගිහින් තියෙන්නේ. ඒකෙන්ම පේනවානේ එතුමා වටේ ඉන්න අය ගැන කොච්චර හිතනවද කියලා” ඩිලාන් පැවසීය.
අඟහරුවාදා පාර්ලිමේන්තු කටයුතු නිම වී නිවස බලා යාමට මන්ත්‍රී පිවිසුම වෙත පැමිණි සනත් නිශාන්තට එතැන සිටි හෙක්‌ටර් අප්පුහාමි සහ බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මුණගැසුණේය. හෙක්‌ටර්ට අත වනා යාමට සනත් සැරසුණත් එය නොදුටු බණ්‌ඩාරිගොඩ සනත්ගෙන් ඇසුවේ මොකද මේ එකම දිස්‌ත්‍රික්‌කයේ අය දැකලත් අහක බලන් යන්නේ, මනාප ප්‍රශ්නයක්‌වත්ද කියාය.
“අපෝ එහෙම දෙයක් නැහැ. හැබැයි ඔබතුමාලට මේ පාරවත් මොකුත් ලැබුණේ නැහැ නේද? සනත් ඇසුවේය.
“අපි ඕවා ගණන් ගන්නේ නැහැ. ලැබෙන වෙලාවට ලැබෙයි” හෙක්‌ටර් උත්තර දුන්නේය.
“ඔයාලට ආණ්‌ඩුවක් තිබිලත් කිසිම සැලකීමක් නැහැ. හැබැයි අපේ මහින්ද මහත්තයා නම් අපිට ආණ්‌ඩු තිබුණත් නැතත් අපිට හිමිතැන දීලා උදව් උපකාර කළා. ඔයාලගේ නායකයන්ටත් තියෙන්නේ එතුමගෙන්වත් ඉගෙන ගන්න” යෑයි කියමින් සනත් පිටත්ව ගියේය.
නිමල්ගේ කැපිල්ල මහින්ද පසසයි
පසුගිය 21 වැනි බ්‍රහස්‌පතින්දා පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කොල්ලුපිටිය සී මෙත් ඇවනිව් එකට ගියේ නීතිඥයන් 4 දෙනෙක් පටන්ගත් අලුත් කාර්යාලයක් විවෘත කරන්නටය. නීතිඥයන් 4 දෙනා ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්‌කොඩි, අනුර යාපා හා අනුරාධ සෙනෙවිරත්නයි. නීතිඥ කාර්යාලය නිදහසේ නීතිඥ හා උපදේශන කාර්යාලය නම් විය. මෙය අලුත් අදහසක් හා අලුත් මුහුණුවරක් ගත් අලුත් වැඩක් වූයෙන් කාගේත් අවධානය දිනා ගන්නට සමත් විය.
මේ සඳහා 16 දෙනාගේ කණ්‌ඩායම, රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලනඥයන් තෝරාගත් පිරිසකට ආරාධනා කර තිබූ අතර සියලුම දෙනා ආරාධනා ලැබ පැමිණ සිටීම විශේෂත්වයකි.
මේ කට්‌ටිය ඉස්‌සර ඇමැතිවරු. දැන් මන්ත්‍රීවරු. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ගැන සමාජයේ තිබෙන කතාබහ ඒ තරම් හොඳ එකක් නොවෙයි. සමහරු කියනවා මන්ත්‍රීවරු නූගතුන් කියලා. මන්ත්‍රීවරු නූගතුන් නොවෙයි. නීති උපදේශකයන් බව රටට කියන්න මේවාගේ දේවල් උපකාරි වෙනවා. හිටපු ජනාධිපතිවරයා කීවේය.
මේ කතාබහ අතරතුර කාර්යාලය විවෘත කරන මොහොත ද එළඹිනි. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය විවෘත කෙරිණි. හිටපු අගවිනිසුරුවරයෙක් වූ සරත් එන්. සිල්වා මහතා ද ඊට සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. කවුරුත් එකතුවී කේක් ගෙඩියක් කපමින් මේ ප්‍රියජනක අවස්‌ථාව සමරන්නට වූ අතර කේක් කැපීම මහින්දට බාර කෙරිණි.
හිටපු ජනාධිපතිවරයා කේක් කපන අතරතුර විශේෂ ආරාධිතයකු ලෙස පැමිණ සිටි නිමල් සිරිපාලට විහිළුවක් ද කළේය.
හරිනම් මේක කපන්න ඕන නිමල්. නිමල්ට තමයි හොඳට කපන්න පුළුවන්…
ඔව්. සර් අගමැති වෙන්නනේ හිටියේ. අගමැති කමත් කැපිල ගියා. කවුදොa කියනු ඇසිනි.
අගමැති වෙන්න බැරි වුණා සර් කියමින් නිමල් සිරිපාල ද විහිළුවට සම්මාදන් වූයේ කාගේත් සිනහව හා සතුටු සාමීචිය වර්ණවත් කරමිනි.
සරත් නන්ද සිල්වා ද මෙහිදී අදහස් කිහිපයක් දක්‌වනු ලැබුවේය. ඔහු අදහස් දැක් වූයේ රටේ නීති ක්‍ෂේත්‍රයට අදාළව සිදුවන පිරිහීම ගැනය. වසර 50 ක පමණ නීති ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඇති තමුන් මේ තරම් නීතිය හා සාමය වල්වැදුණු යුගයක් දැක නැතැයි කීවේය.
මෙතන සිටි සමහරු නිමල් සිරිපාල සිල්වාට විහිළු කළේ අගමැති වෙන්න පෙර මන්ත්‍රී කෙනෙක් වෙන්නැයි කියමිනි. මන්ත්‍රී කෙනෙක් ලෙස විපක්‍ෂයට එන්නේ කවදාදැයි සමහරු ඇසූහ. තවත් සමහරු ඉක්‌මනින් මන්ත්‍රී කෙනෙක් වන්නට සුබ ප්‍රාර්ථනා කළහ.
ටික වේලාවකට පසු වාසුදේව නානායක්‌කාර ද මෙතනට පැමිණියේය. ඉන් පසුව 16 දෙනාගේ කණ්‌ඩායමේ අනාගතය ගැන ද පුංචි කතාබහක් ඇති විය. හසල අත්දැකීම් ඇති දේශපාලනඥයන් කීවේ මේ වෙලාවේ තමන් කළ යුතු දේ දේශපාලනයේදී කරනවා විනා අනවශ්‍ය වාද විවාදවලට පැටලී උත්තර දෙන්නට යැම තේරුමක් නැති බවය.
කෙසේ වෙතත් 16 දෙනාගේ කණ්‌ඩායමේ බොහෝ දෙනෙක් සතුටින් හා ඉවසීමෙන් කටයුතු කරන බව මහින්ද රාජපක්‍ෂ ද හොඳින් තේරුම් ගත්තේ ඔහුත් සමඟ බොහෝ වේලාවක් බොහෝ දේ කතාකර කර සිටීමෙන් පසුවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...