දේශීය පුවත්

මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළෙහි 90%ක කොටසක් එනම් ඒකාධිකාරිය හිමි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එය අහිමිකර අයිඕසී සහ තවත් තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල තෙල් සමාගම් දෙකකට ඉහත ඒකාධිකාරය හිමිකර දී මෙරට බලශක්ති සුරක්ෂිතතාව වැනසීමට පවතින ආර්ථික ආපදාව යොදා ගනිමින් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එසේ කොට මෙරට දාස රාජ්‍යයක් බවට පත් කිරීමට එරෙහිව පෙළ ගැසෙන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සියලු ප්‍රගතිශීලී බලවේග වෙතින් ඉල්ලා සිටියි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

පසුගිය 26 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් ඉහත කටයුත්තට අනුමැතිය ලබාගෙන ඇති බවත් ඒ අනුව, මෙරට තෙල් සිල්ලර වෙළදාමේ 90%ක කොටසක් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන් 60% – 70%ක කොටසක් අහිමි කරමින් තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල සමාගම් දෙකකට එම කොටස් ලබාදීමට නියමිත බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා අනාවරණය කළේය. එසේම දැනට මෙරට තිබෙන ඉන්ධන පිරවුම්හල් 1615න් 1300ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි බවත් ඉන් 600ක් 300 බැගින් ඉහත විදෙස් සමාගම් දෙකට ලබාදීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් ප්‍රතිපාදන සලසා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. තවද මෙරට තෙල් සිල්ලර වෙළදාමෙහි සියයට දහයක් සහ ඉන්ධන පිරවුම්හල් 315ක් සතු ඉන්දීය ඔයිල් සමාගම(IOC)ට තවත් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 315ක් ලබාදීමට මෙම වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දුන් ජයන්ත සමරවීර මහතා ඒ අනුව නුදුරේදීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි තෙල් සැපයීමේ ඒකාධිකාරිය මුලින්ම අහිමිව රටේ බලශක්ති සුරක්ෂිතතාව වැනසී යාමට නියමිත බව ද කීය.

ආර්ථික ආපදාව පෙන්නුම් කරන බරපතලම ආකාරය ඉන්ධන අර්බුදය බවත් දැනට ඉන්ධන හිඟයෙන් පීඩා විඳින ජනතාව පෝලිම්වල මියයෑමට සලස්වා, රටම අකර්මණ්‍ය වීමට ඉඩ හැර වත්මන් ආණ්ඩුව, බාහිර බලවතුන්ගේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම බලගන්වමින් මෙරට බලශක්ති සුරක්ෂිතතාව වැනසීමට කටයුතු කළ බවටත් ආර්ථික ආපදාව ක්‍රමක්‍රමයෙන් උත්සන්න කළ බැසිල් රාජපක්ෂ ඇතුළු නඩය, මෙසේ තම අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට ස්වකීය සේවය හොඳින්ම ඉටු කර දී ඇති බවටත් ඒ මහතා චෝදනා කළේය.

එසේම මෙම ආර්ථික ආපදාව යොදාගනිමින් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරයට තවත් නිදසුනක් ලෙස පසුගිය 26 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සහ වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් මගින් සිදුකර ඇති විනාශය ද පෙන්වා දිය හැකි බවත් එමගින් මෙරටට පැමිණෙන ගුවන්යානා සඳහා තෙල් සැපයීමේ කටයුතු ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉවත්කර වෙනත් විදේශ සමාගම්වලට පැවරීමේ ප්‍රතිපාදන ඇතුළත් කර ඇති බවත් මෙම ඩොලර් හිඟ වකවානුවේ එමගින් දිනකට අහිමි වන ආදායම ඩොලර් එක්ලක්ෂ තිස්දහසක් බවත් සමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.

එසේම පසුගියදා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කරමින් සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති මෙගාවොට් 100ට වැඩි නම් ඒවා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපෘති ලෙස ආරම්භ කළ යුතු බවට වූ ප්‍රතිපාදනය ද අහෝසි කරමින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියාවේ අදානි සමාගමට මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට අවසර ලබාදී ඇතැයි ද පෙන්වා දුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදි ජාතික විදුලිබල පද්ධතිය අක්‍රීය කිරීමේ ඉඩකඩ ලැබී ඇතැයි ද වැඩිදුරටත් කීය.

මේ ආපදා තත්වය යටතේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම විසින් ශ්‍රී ලංකාවට තෙල් සැපයීමේ ‘යතුර’ සහ විදුලිය සැපයීමේ ‘යතුර’ රාජ්‍ය සමාගම්වලින් උදුරා ගනිමින් මෙරට බලශක්ති සුරක්ෂිතතාව වැනසීමේ ගමනක් අරඹා ඇතැයි ද එම තත්ත්වය ආපසු හැරවීම සඳහා පටු වාදභේද අතහැර මෙරට සියලු ප්‍රගතිශීලී ජනකොටස් ඒකරාශී විය යුතු යැයි ද සමරවීර මහතා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාරත්න හේරත් මහතා ද එක්ව සිටියේය.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More