පුරවැසි කොලම

විවේචනය ඉතා පහසුය. ඒත් ඒ සඳහා කාලය වැය කිරීම මේ මොහොතේ ජාතික අපරාධයකි. ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට ඉන් බිඳකුදු උත්තරයක් නොවේ. අවශ්‍ය වන්නේ විසඳුම්ය. එම විසඳුම් යෝජනා කාගෙන්ද කොහෙන්ද කියා නොසොයා ඵලදායී නම් ඒවා ක්‍රියාත්මක කිරීමේ නිහතමානීකම ද මේ මොහොතේ අත්‍යවශ්‍ය වූවකි.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කොටසක් ඉකුත් සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කළේය. එය එක් දේශපාලන ප්‍රකාශනයකි. එහෙත් එමගින් රටේ ප්‍රශ්නවලට ලැබෙන විසඳුම කුමක්ද යන්න පැහැදිලි නැත. ජනතාවගේ ඉරණම සමඟ සූදු ක්‍රීඩාවේ යෙදීමට කිසිවකුට අයිතියක් නැත. අර්බුද වගුරේ කරවටක් ගිලී සිටින ජනයාගේ හෘද ස්පන්දනයට සංවේදී නොවන කිසිවකුට දේශපාලනයේ නියැලීමට සදාචාරාත්මක අයිතියක් ද නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ඉතා යහපත් යෝජනාවක් ගෙන ආවේය. ඔහු කියා සිටියේ මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් පළමුව කළ යුත්තේ ජනයා තුළ විශ්වාසය ජනිත කිරීම බවය. විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් නොඑවන්නේ එම ඩොලර් හොරා කන බවට ඔවුන් විශ්වාස කරන නිසා බව කී මන්ත්‍රීවරයා එම අවිශ්වාසය තුරන් කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ද පැහැදිලි කළේය. මහ බැංකුවට එවන ඩොලර් එක් අරමුදලකට බැරකර භාරකාර මණ්ඩලයක් යටතේ එය පාලනය කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එම භාරකාර මණ්ඩලයේ අවසරයකින් තොරව එක ඩොලරයක් හෝ පාවිච්චි නොකළ හැකි සේ නීති රාමුව සකස් කළ යුතු බව ද පෙන්වා දුන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා එම භාරකාර මණ්ඩලයට සජිත් ප්‍රේමදාස, අනුර කුමාර මෙන්ම ඩලස් වැනි හොඳ මන්ත්‍රීවරුන් ඇතුළත් විය යුතු බව ද පෙන්වා දුන්නේය. එවැනි විශ්වාසයක් ජනිත කළ හැකි නම් මසකට ඩොලර් මිලියන 750ක් 800ක් සොයා ගැනීම අසීරු නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ නායකයෝ මෙරට සිටින රුසියානු තානාපතිවරයා ඉකුත්දා හමුවූහ. එම හමුවේදී රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ රුසියානු රජය ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටින බවය. ඒ සඳහා ඔබේ ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් හෝ ලබා දිය යුතු යැයි තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ. රුසියාවේ තෙල් තිබේ. ගෑස් තිබේ. එසේම අපට දැනට ලැබෙන මුදලට වඩා ඉතා අඩු මිලට තෙල් බැරලයක් ලබාගත හැකි බව ද වාර්තාවේ. එහිදී කළ යුතුව තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දීම පමණි. එරෝෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇති වූ ගැටලුව සමථයකට පත්කිරීමේ අරමුණෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලිපියක් යොමු කළ අතර එයට ස්තුතිය පුදකරමින් රුසියානු ජනාධිපතිවරයා එවනු ලැබූ පිළිතුරු ලිපිය මෙරට සිටින රුසියානු තානාපතිවරයා නිල නිවසටම ගොස් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට භාර දුන් බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

රුසියාවේ ප්‍රතිචාරය ඉතා පැහැදිලිය. එහෙත් රුසියාවෙන් එකී සහයෝගය ලබා ගැනීමට මෙරට පාලකයන් අකමැත්තක් දක්වන බව පෙනේ. එයට හේතුව
ඇමරිකාවය. මෙරට ඇඟලුම් මිලදී ගනු ලබන්නේ ඇමෙරිකාව බැවින් රුසියාවෙන් උදව් ගැනීම එම අපනයනය බිඳවැටීමට හේතුවනු ඇති බවක් ප්‍රකාශ වී තිබේ දැනට එබඳු ප්‍රශ්නයක් නැත. එහෙත් ඉන්ධන ප්‍රශ්නයට, ගෑස් ප්‍රශ්නයට, විදුලි අර්බුදයට එය උත්තරයක් වී නැත. එය උත්තරයක් නම් ඉන්ධන පෝලිම් තිබෙන්නට විදිහක් නැත. එහෙත් සිදුවී තිබෙන්නේ කිලෝ මීටර ගණන් ඉන්ධන පෝලිම් පැවතීමය. ගෑස් පෝලිම් පැවතීමය. තවමත් විදුලිය කැපිල්ලය.

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගනුදෙනු කිරීමේ හැකියාව පාලකයන්ට තිබිය යුතුය. එය කළ නොහැකි නම් රාජ්‍ය පාලනයට එය බලවත්ම නුසුදුසුකමකි. අද ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ එම නුසුදුසුකමය. ජනයා නිරාදුක් විඳින්නේ එහෙයිනි.

මේ මොහොතේ තවත් විකල්පයක් තිබේ. පාලකයන් තම වගකීම නිවැරදිව ඉටු නොකරන්නේ නම් විපක්ෂය ක්‍රියාත්මක විය යුතුය. ඔවුන් මේ මොහොතේ විකල්ප ආණ්ඩුවක් නිර්මාණය කළ යුතුය. ජනයා මේ අපා දුකින් මුදවන වැඩපිළිවෙළකට වහා යා යුතුය. ආර්ථික අර්බුදය මහාම මහා ආපදාවක් බවට පරිවර්තනය වී රටම නොසිතන ඛේදවාචකයක් කරා යාමේ ඉරණම සියල්ලන් ඉදිරිපිට බව අපි අවධාරණය කරමු.

ඉරිදා ලංකාදීප කතුවැකිය
2022 ජුනි මස 26 වැනි ඉරිදා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More