දේශීය පුවත්

ඇමරිකාවට සහ ඔවුන්ගේ ඉන්දු-පැසිෆික් මෙහෙයුමට යටත් වී සිටිනවා මෙන් රුසියාවට ද යටත් වන ලෙස තමන් නොපවසන බවත් නමුත් රුසියාව විවර කර දෙන මාවත ඔස්සේ ඉදිරියට ගොස්, ජනතාව තවදුරටත් තෙල්, ගෑස් පෝලිම්වල ඇදවැටී මියයෑම නතර කිරීමට වහා පියවර ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බලකර කියා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාව අද වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සහ එහි ඉන්දු-පැසිෆික් මෙහෙයුමෙහි ගොදුරක් බවට පත්ව ඇති බවත් ඒ නිසා ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ පදයට ‘අයිඑමිඑෆ්’ මේ සරණ යනවා විනා වත්මන් අර්බුදයට ඉන් එහා ගිය විසඳුමක් සෙවීමට අකමැති බවත් ඉන් සිදුවන්නේ ජනතාව වලපල්ලට යාම මිස අනෙකක් නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධ අප්‍රසන්න සිදුවීම පිළිබඳව රුසියානු ජනාධිපතිතුමන්ට කනගාටුව ප්‍රකාශ කරමින් රුසියාව සමග ශිෂ්ටසම්පන්න ගනුදෙනුවක් සිදු කිරීමට අවශ්‍ය ප්‍රවේශය තම පක්ෂ එකමුතුව, පසුගියදා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව සකසා දී ඇති බවත් එවැනි ශිෂ්ට සම්පන්න ගනුදෙනුව සිදු කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සූදානම් නොමැති නම් ඉන් පෙනෙන්නේ ඔවුන් මේ රටේ පීඩාවට පත්ව සිටින මිලියන 22ක ජනතාව පිළිබඳ සිතන ආකාරය බවත් මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ඇමරිකා එක්සත් ජනපදය, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේදී විශාල වශයෙන් ආයුධ භාවිත කොට එම රටවල තමන්ට හිතැති ජුන්ටාවන් පිහිටුවාගත් බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත් කොට කිසිදු ආයුධයක් භාවිතා නොකොට ශ්‍රී ලංකාව ද එම ඉරණමට පත් කිරීමේ ඔවුන්ගේ සැලසුම මේ මොහොතේ වේගවත්ව දියත් වන බවත් එබැවින් කතාවෙන් නොව ක්‍රියාවෙන් සැබෑ මිතුරා හඳුනාගෙන රුසියාව පෙන්වා දෙන මාවතේ ඉදිරියට යාමට දැන්වත් සූදානම් වන ලෙස ද ඒ මහතා අවධාරණය කළේය.

ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට පැමිණි අගමැතිවරයා පමණක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා වෙනුවට ඉබාගාතේ යමින් සිටින බවට ද චෝදනා කළ ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දුන්නේ, විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කළ පසුව තම ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයට පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සැබෑ භූමිකාව ඉටු කිරීමට හැකිවූ බවයි. තම මන්ත්‍රී කණ්ඩායම එම වර්ජනය පැවැති දෙදිනේදී රටට අවශ්‍ය තෙල්, ගෑස්, පොහොර ලබා ගන්නා ආකාරය පිළිබඳව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳන ආකාරය පිළිබඳව මෙන්ම මාසිකව ඩොලර් මිලියන අටසියයකට වැඩි ප්‍රමාණයක් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලෙස ලබාගන්නා ආකාරය පිළිබඳව සැබෑ විපක්ෂයක් ලෙස ආණ්ඩුවට මග පෙන්වීමක් කිරීමට සමත් වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ රට තුළ සාම්ප්‍රදායික දේශපාලනයට තවදුරටත් ඉඩකඩ නොමැති බවත් අලුත් මාවතක් ඔස්සේ නිර්මාණශීලීව ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන දේශපාලනයක් රටත් ජනතාවත් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More