පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාද තුළ ආණ්ඩු මාරුව හෝ ආණ්ඩු පෙරළිය වැනි වචන අතර “රෙජීම් චේන්ජ්” යන්න අසන්නට ලැබෙන්නේ 2010දීය. ඒ අරාබි රටවල් ආශ්‍රිතව බටහිර රටවල්වල මැදිහත්වීම මත දියත් වූ ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ විරෝධතා පිළිබඳ සංවාදයත් සමඟය. එම විරෝධතාවල අවසන් අරමුණ ලෙස හැදින්වූයේ රෙජිම් චේන්ජ් හෙවත් පවතින රෙජීමය වෙනස් කිරීමය. එහිදී රෙජීමය යන්න යොදා ගනු ලබන්නේ ආණ්ඩුව යන වචනයට වඩා විශේෂිත හැඳින්වීමක් සදහාය. රෙජීමයක් හඳුනා ගැනීමේදී විශේෂිත ලක්ෂණ ප්‍රමාණයක් දක්නට ලැබේ. රෙජීමයක් ලෙස හැදින්වෙන ආණ්ඩුවක් මෙහෙයවනු ලබන්නේ බලවත් නායකයෙකු විසිනි.

එම නායකයා බොහෝවිට අධිරාජ්‍යවාදී කඳවුරේ උදහසට ලක් වූවෙකි. එසේ නැතහොත් එම රටට අදාල පාලකයා අධිරාජ්‍යවාදී රටවල න්‍යාය පත්‍රයට අවනත නොවන්නෙකි. එසේම එම නායකයා සමාජයේ බහුතරය අතර ජනප්‍රියතාවයට පත් වූ අයෙකි. බොහෝ විට එම නායකයා යම් බහුතර ජන කණ්ඩායමක් හෝ යම් ප්‍රබල මතවාදයක් නියෝජනය කරන්නෙකි. ඊට අමතරව එම පාලකයා ප්‍රජාතන්ත්‍රවාදීව හෝ එහිම විකෘතියක් ලෙස දීර්ඝ කාලයක් බලයේ සිටින අයෙකි. ශ්‍රී ලංකාවේ දී පළමුවෙන්ම බටහිර රටවල් විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සංවිධාන ජාලය විසින් රෙජීමය යන වචනය භාවිතා කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පාලනය හැඳින්වීම සඳහාය. විශේෂයෙන් යුද ජයග්‍රහණයෙන් පසුව ඔහු බලවත් නායකයෙකු ලෙස නැගී සිටීම සමගය.
ඒ අනුව අරාබි වසන්තයට සමගාමීව රාජපක්ෂ පාලනයට එරෙහිව එම පාලනය පෙරළා දැමිය යුතු බවට මතවාදයක් විවිධ පාර්ශ්ව විසින් නිර්මාණය කරනු ලැබීය. එම පාර්ශ්වවල එක් පොදු ලක්ෂණයක් වූයේ බෙදුම්වාදයට පක්ෂපාතී වීම හෙවත් බෙදුම්වාදී විරෝධී යුද්ධයට එරෙහි වීමය. යුද ජයග්‍රහණයෙන් පසුව ඔවුන් විසින් මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ අතර ජාත්‍යන්තර තලයේ දී එම චෝදනාව ඉතා බරපතළ ලෙස ඉදිරිපත් කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පවා අරාබි වසන්තය මගින් මහින්ද රාජපක්ෂ රෙජිමය පෙරළා දැමිය යුතු බවට හඬ නැගීය. කෙසේ වෙතත් අවසානයේ දී මහින්ද රාජපක්ෂ රෙජීමය 2015 දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය යොදාගනිමින් වෙනස් කරනු ලැබීය. ඒ සඳහා විවිධ මතවාදී පරස්පරතා සහිත පාර්ශ්ව ගොනු කිරීම සඳහා ජනාධිපතිවරණයේ දී ආකර්ෂණීය පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ලැබීය. එදා ශ්‍රී ලංකාවේ රෙජීම් චේන්ජ් කිරීම පිළිබඳ අදහස් දැක්වූ එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් 2ක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය විසින් ඇමෙරිකන් ඩොලර් මිලියන 585 ක් වෙන් කළ බවය. ඇමෙරිකානු බලධාරීන් විසින් යම් රටක රෙජිම් චේන්ජ් ක්‍රියාවලිය සාධාරණීකරණය කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමේ නාමයෙනි.

ජාත්‍යන්තර අත්දැකීම් අනුව රෙජිම් චේන්ජ් ක්‍රියාවලිය තුළ ප්‍රභේද කිහිපයක් දක්නට ඇත. පළමු වැන්න, 2015 දී ශ්‍රී ලංකාවේ සිදු කළ ආකාරයට සමාජ විරෝධය පවත්වාගෙන යන අතරතුර ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයක් යොදා ගැනීම මගින් බලවත් පාලකයා පරාජය කිරීමය. බොහෝ විට එවැනි ක්‍රියාවලියකින් පසුව අදාළ නායකයා සිරගත කිරීම හෝ ඔහුට නැවත සක්‍රීය දේශපාලන භූමිකාවක් අත්පත් කර ගත නොහැකි වන ආකාරයට නීතිමය ක්‍රියාවලියක් ද යොදා ගනු ලබයි. දෙවැනි ප්‍රභේදයට අනුව ප්‍රචණ්ඩ මහජන විරෝධය මගින් පවතින රෙජීමයට තවදුරටත් බලය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කරනු ලැබේ. එහිදී අදාල ආණ්ඩුවට ඉල්ලා අස්වීමට හෝ පලායාමට ඉඩ සලසනු ලැබේ.

සදාම් හුසේන්ගේ සහ මුහුමර් ගඩාෆිගේ ඉරණම

එවැනි ක්‍රියාවලියකින් පසුව අදාළ පාලකයා ඉතා බලවත් නම් සහ ඔහු නැවත බලය අත්පත් කර ගනු ඇතැයි විශ්වාසයක් පවතීනම්. ඔහුව මරා දමනු ලබයි. එහිදී ද ක්‍රමවේද දෙකක් අනුගමනය කරනු ලැබේ. පළමුවැන්න නීතියට අනුව අධිකරණ ක්‍රියාවලියක් මගින් මරා දැමීමය. ඉරාකයේ සදාම් හුසේන් ජනාධිපතිවරයාට එම ඉරණම අත් විය. දෙවන ක්‍රමය මහජන ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් නීතියට පිටින් පාලකයා මරා දැමීමය. ලිබියාවේ ජනාධිපති මුහමර් ගඩාපිගේ ඉරණම ඒ ආකාරයට තීන්දු කරනු ලැබිය. ඒ සියල්ලට වඩා දියුණු විකල්ප ක්‍රමවේදය වන්නේ පාලකයා බියට පත්කර ඔහු රූකඩයක් බවට පත් කිරීම මගින් අධිරාජ්‍යවාදී ඒජන්තයෙකු මගින් පාලනය පවත්වාගෙන යාමය. මේ වන විට ශ්‍රී ලංකාව තුළ එම ක්‍රමවේදය ඉතා සාර්ථකව අත්හදා බැලීමට ලක් වෙමින් පවතින බවට අනාගතයේදී ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වනු ඇත.

පළමුවෙන්ම කොවිඩ් වසංගත තත්වය නිසා උත්සන්න වූ ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න කිරීම සඳහා ආණ්ඩුව තුළ යම් බලවේගයක් ක්‍රියාත්මක වූ බවට මේ වන විට බොහෝ ශාක්ෂි ඉදිරිපත් වේ. විශේෂයෙන්ම මහා සමාගම්වලට බදු සහන දීම මගින් රුපියල් බිලියන 600කට ආසන්න බදු ආදායම් රජයට අහිමි කිරීමෙන් දැනුම්වත්ව අර්බුදය උත්සන්න කළ බව ඉතා පැහැදිලිය. ඊට අමතරව රාජ්‍ය ආදායම් අහිමි වීම, රාජ්‍ය ණය අර්බුදය සහ විදේශ විනිමය අර්බුදයට අදාළව වර්ධනීය තත්ත්වය පිළිබඳව මුදල් ඇමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීම සඳහා මුදල් පනත යටතේ නිලධාරීහු බැදී සිටිති. කෙටි කාලයක් තුළ මෙවැනි අර්බුදයක් ඇති වන බව වගකිවයුතු නිලධාරීන් නොදැන සිටියා යැයි යමෙකු පවසන්නේ නම් මහා භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට බඳවාගනු ලබන්නේ සාමාන්‍ය පෙළ අංක ගණිතය අසමත් වූවන් දැයි ප්‍රශ්න කිරීමට සිදුවේ. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මහජනයාට ප්‍රකාශ කළේ අර්බුදය පිළිබඳව එතරම් බරපතළ ලෙස කල්පනා නොකරන ලෙසය. ඊට අමතරව රුපියලේ අගය පා කිරීම මගින් අර්බුදය උත්සන්න කිරීම සදහා මුදල් මණ්ඩලයට බාහිරින් බලපෑම් එල්ල වූ බව දැන් ඔප්පු වී ඇත.

ඒ අනුව වත්මන් අර්බුදය ගෝඨාභය රාජපක්ෂ පාලනය මගින් ඇති කළ තත්ත්වයක් නොවූවද තත්ත්වය වර්ධනය කිරීම සඳහා සහ නිසි කළ නිසි පියවර ගැනීම වැළැක්වීම සඳහා යම් ක්‍රියාවලියක් සිදු වූ බව ඉතා පැහැදිලිය. ඊට අමතරව ආර්ථික අර්බුදයේ සැබෑ තත්ත්වය සහ ඊට අදාළ සෘජු හේතු විග්‍රහ කිරීම වෙනුවට වෙනත් සර්වකාලීන පොදු හේතු ඉදිරිපත් කිරීම මගින් විපක්ෂයේ බලවේග ද එම ක්‍රියාවලියට පහසුකම් සලසන බව පෙනේ. මූලික වශයෙන්ම ගෙවුම්ශේෂ අර්බුදය සහ විදේශ ණය අර්බුදය වර්ධනය වන්නේ අප රට 1977 සිට ආරම්භ කළ විවෘත ආර්ථිකය නමින් හැඳින්වූ පරාධීන ආර්ථික මොඩලය නිසා බව ඉතා පැහැදිලිය. අර්බුදයේ මූල හේතුව එය වුවත් හොරකම සහ දූෂණය නිසා මෙම තත්ත්වය ඇති වූ බවට සහ නිදහසින් පසුව වසර 74ක ක්‍රියාවලිය තුළ මෙම තත්ත්වය ඇතිවූ බවට ඉදිරිපත් කරන විග්‍රහයන් නිසා රෝග විනිශ්චය වරදින බව ඉතා පැහැදිලිය. හොරකම සහ හොරකම් කිරීම සඳහාම ප්‍රතිඵලදායක නෙවෙන ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබාගැනීම මගින් අර්බුදය වර්ධනය වූ බව සත්‍යයකි. එහෙත් ඊට පහසුකම් සළසන්නේ පවතින ආර්ථික මොඩලය බව පිළිගත යුතුය. ඒ අනුව රෝග විනිශ්චය වැරදි නම් ප්‍රතිකාරයත් වරදින බව දැන් ඉතා හොඳින් ප්‍රත්‍යක්ෂ වේ. විදේශ රටවලින් ඩොලර් සිඟාකෑම සඳහා ඉතා දක්ෂ බව කියන රනිල් වික්‍රමසිංහ මහතාට දැන් තම බැරිකම ගැන දුක් ගැනවිලි මහජනයාට ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ ඒ නිසා නොවේද?

අන්තර්කාලීන හෝ එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම

ආර්ථික අර්බුදය උත්සන්න වීම තුළ පොදු මහජනතාවට විශේෂයෙන්ම මධ්‍යම පන්තියට මුහුණ දීමට සිදු වූ අපහසුතා නිසා ආණ්ඩුවට එරෙහිව පැවති සාමාන්‍ය හෙවත් පොදු විරෝධය ද අසාමාන්‍ය ලෙස වර්ධනය වූ බව සත්‍යයකි. වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය මතුපිටින් බරපතළ ලෙස ප්‍රදර්ශනය වීමට පෙර ආණ්ඩුව තුළ දේශපාලන අර්බුදයක් ද නිර්මාණය විය. අර්බුදයට විසඳුම් ඉදිරිපත් කළ පාර්ශ්ව ඇමති මණ්ඩලයෙන් නෙරපා හැරීම තුළ එම පාර්ශව විසින් ආණ්ඩුවට එල්ල කරනු ලැබූ ප්‍රහාරය නිසා මහජන විරෝධය තවදුරටත් වර්ධනය විය. ඒ තුළ අරගලකරුවන් නීතිය තම අතට ගැනීමට දිරිමත් විය. ආණ්ඩු විරෝධී මතවාදී අරගලය බොහෝ දුරට සමාජ මාධ්‍ය ජාලා වලට සීමා වුවද සමාජ ජාලා විසින් නිර්මාණය කළ මතවාද සහ මානසික බාධක ප්‍රධාන ජනමාධ්‍ය විසින් ඉහලට එසවීම ද විශේෂ තත්වයකි. ඒ මගින්මිලියන 2 ක උපරිමයක් යැයි කිව හැකි අරගලකරුවන් ගේ මතය මිලියන 13ක සෙසු ඡන්දදායකයන්ගේ මතය බවට සමාජය තුළ තහවුරු කිරීමට හැකිවිය.

මෙම සමස්ත ක්‍රියාවලිය තුළ මානසික බාධක ඉතා ප්‍රබල අවියක් ලෙස යොදා ගත් ආකාරය සමස්ත ලෝකයටම පූර්වාදර්ශයක් විය හැක. ඒ අනුව මානසික බාධකවලින් රෙජීම් චේන්ජ් ක්‍රියාවලියක් දියත් කළ ලෝකයේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්විය හැක. විශේෂයෙන්ම නීතිඥ සංගමය සහ යම් ප්‍රබල නීතිඥවරුන් පිරිසක් මෙන්ම මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරයාට පමණක් නොව ජනාධිපතිවරයාට පවා පනවන ලද මානසික බාධක ඉතා බලවත් විය. එම ක්‍රියාවලියේ උච්චතම අවස්ථාව මැයි 9 දින සවස රට පුරා ඇතිකළ භීෂණය සමග රාජ්‍ය අකර්මණ්‍ය වූ ආකාරය තුළින් දැකගත හැකි විය. එසේ වුවත් ඊට ඉඩ සැලසීම සඳහා පංචතන්ත්‍රයේ සඳහන්වන රජුගේ වඳුරා ලෙස හැසිරුණු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඇමතිවරුන් පිරිසක් මුල් වූ බව සත්‍යයකි. එහෙත් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම සහ අරගලකරුවන් යැයි හැඳින්වෙන ප්‍රචණ්ඩ පිරිස් විසින් නීතිය අතට ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ අප්‍රේල් පළමු සතියේ දීය. ඒ අනුව මැයි 9 වනදා ප්‍රචණ්ඩත්වය භීෂණයක් බවට පත් කිරීම සාධාරණීකරනය වූ බව කිව හැකිය.

සමාජ මාධ්‍ය හරහා මානසික බාධක පැනවීමේ ක්‍රියාවලිය කෙතරම් උච්ච ස්ථානයකට පත්වූවාද යන්න අන්තර්කාලීන හෝ එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම තුළ දැකගත හැකිවිය. ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රබල ඇමතිවරු ඉවත් කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂට අගමැතිකම හෝ ලබාදිය නොහැකි බවට දැඩි මතයක් ඉදිරිපත් වීම නිසා අන්තර්කාලීන එකගතා ආණ්ඩුවක් බිහිවීම වැළැක්වීමට හැකි විය. මූලික වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කිරීම සඳහා අවස්ථාව නිර්මාණය වන්නේ ඒ තුළිනි. ඊට අමතරව ගෝල්පේස් අරගලකරුවන් විසින්ම ප්‍රකාශ කල පරිදි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කළ පසුව අරගල කරුවන්ට ආහාර, මුදල් සහ සෙසු සම්පත් ලබාදුන් බලවත් ව්‍යාපාරිකයන් අරගල භූමියෙන් ඉවත්විය. ඒ මගින් ද සමස්ත ක්‍රියාවලිය තේරුම් ගැනීමට යම් පිටුවහලක් ලැබේ. කෙසේ වෙතත් සදාචාර විරෝධී ලෙස සහ යම් පමණකට ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුවේ එක් අසුනක් හෝ ජය ගැනීමට නොහැකි වූ පුද්ගලයකු අගමැති කිරීමේදී කිසිදු පාර්ශ්වයක් ඊට විරෝධතාව ප්‍රකාශ කළේ නැත. ඊට හේතු විමසීමේ දී පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හිඟාකෑම මගින් හෝ අර්බුදයට විසඳුම් සෙවීමේ හැකියාවක් තිබෙන බැවින් ඊට එරෙහි වුවහොත් මධ්‍යම පන්තියේ විරෝධයට පාත්‍ර විය හැකි යැයි ප්‍රබල රනිල් විරෝධීන් පවා බියට පත්වූ බවය. මානසික බාධක පැන වීමේ ක්‍රියාවලිය කෙතරම් ප්‍රභල ද යන්න එමගින් පැහැදිළි වේ. එසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීමේ අභියෝගයෙන් ගැලවීමට හැකි වන්නේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ ආශිර්වාදය නිසා බව ඉතා පැහැදිලිය.

උපායමාර්ගික මර්මස්ථාන අත්පත් කර ගැනීමේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම

මානසික බාධක ක්‍රියාවලිය හරහා රනිල් වික්‍රමසිංහ මහතා අතට ආණ්ඩු බලය සම්පූර්ණයෙන් ලැබෙන ආකාරයට ජනාධිපතිවරයා රූකඩයක් බවට කිරීමද විශේෂත්වයකි. ඒ නිසා ජනවරමක් නොමැතිව බිහිකළ ගෝඨා – රනිල් සන්ධානය තුළ ඊට පෙර ජනවරම සහිතව බිහි කළ චන්ද්‍රිකා – රනිල් හා මෛත්‍රී – රනිල් සන්ධාන වල දීට වඩා රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා ප්‍රබල භූමිකාවක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී ඇත. ඊට අමතරව 2002 දී එතුමා විසින් නොර්වේජියානු න්‍යාය පත්‍රය දියත් කිරීමේදී ඉන්දියානු රජය එතුමා පිළිබඳව දැක්වූ ආකල්පය ද දැන් වෙනස් වී ඇති බව පැහැදිලිව දැකගත හැක. ඊට ප්‍රතිචාර ලෙස බැසිල් රාජපක්ෂ මහතා අත තිබූ ඉන්දියානු න්‍යාය පත්‍රය නම් වූ රිලේ බැටන් එක දැන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතට ගෙන ඉතා වේගයෙන් දුවන බවක් දක්නට ඇත. බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ගිවිසුම් ත්‍රිත්වයක් අත්සන් කිරීමට පාර කැපූ අතර කන්තලේ අක්කර 20000ක භූමිය ඉන්දියානු සමාගමකට ලබා දීමට එකඟ විය. ඒ අතර බැසිල් විරෝධී අමාත්‍යවරුන් යොදාගනිමින් බැසිල්ට බැරිවූ දේවල් කර ගැනීමට ඉන්දියාව සමත් විය. එනම් එදා රනිල් වික්‍රමසිංහ මහතාට නීත්‍යානුකූලව අවසන් කිරීමට නොහැකි වූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ ත්‍රිකුණාමලයේ වරායේ නැව් වලට ඉන්ධන සැපයීමේ ව්‍යාපාරය නීත්‍යානුකූලව අත්පත් කර ගැනීමට ඉන්දියාව සමත් විය. රට තුළ පවතින ආපදා තත්වය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, විශේෂයෙන්ම උපායමාර්ගික මර්මස්ථාන අත්පත් කර ගැනීමේ ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ සීඝ්‍රගාමී ව සිදුවන බව දැන් ඉතා පැහැදිලි ව දැකගත හැක.
විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා පූර්ව කොන්දේසියක් වන 2017දී රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සම්මත කළ විනිමය පාලන පනත නැවත සංශෝධනය කිරීමට ප්‍රමුඛතාවයක් හිමි නොවුන ද ඉන්දියාවේ අදානි සමාගම වෙනුවෙන් විදුලිබල පනත ඉතා කඩිනමින් සංශෝධනය කරනු ලැබීය. ඒ මගින් මන්නාරම මෙගාවොට් 500ක සුළං බලාගාරයක් සහ සාම්පූර්වල තවත් මෙගාවොට් 500 සූර්ය බල ව්‍යාපෘතියක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අත්පත්කර ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබේ. ඒ මගින් ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියේ පැවැත්ම තීරණය කිරීමට ඉන්දියානු සමාගම් දෙකකට හැකියාව ලැබේ. දැනටමත් ඛනිජ තෙල් සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ ඉන්දියාවේ අනුකම්පාවට යටත් වී ඇත. තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ඒකාධිකාරිය ඉන්දියාවේ ටාටා සමාගම අතට පත්වීමට සහ ඊට පසුව මත්තල ගුවන්තොටුපල ද ඔවුන් අතට පත්වීමට නියමිතය. කොළඹ වරායේ බටහිර ජැටියට අමතරව නැගෙනහිර ජැටිය ද අත්පත් කර ගැනීම සඳහා නැවත වටයකින් ක්‍රියාවලියක් ආරම්භ වී ඇති අතර ත්‍රිකුණාමළ වරාය තුළ නව ජැටියක් අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිතය.

එම දීර්ඝ ලැයිස්තුව ඉන්දු පැසිෆික් භූ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව තවදුරටත් බොහෝ දීර්ඝ කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එක සිතින් සූදානම් බව ඉතා පැහැදිලිය. එනම් 2003දී නතර කළ තැනින් නැවත ආරම්භ කිරීමට ඔහුට අවස්ථාව නිර්මාණය වනු ඇත. එම ක්‍රියාවලිය තුළ ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම හෙවත් මූල්‍ය ඒකාබද්ද කරණයක් සිදු කිරීමටද ඉඩ ඇත. ඒ මගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්ථය බවට පත් කිරීම සඳහා පාර කැපෙන බව ඉතා පැහැදිලිය. අර්බුදය විසදීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට සහය ලබා නොදීම මගින් ක්‍රමයෙන් අර්බුදය උත්සන්න වීමට ඉඩ සැළසීම තුළ ඉන්දියාවට එම අවස්ථාව නිර්මාණය වේ. විශේෂයෙන්ම ඉන්ධන සැපයීම මුල්කරගෙන මූල්‍ය ඒකාබද්ධකරණයට අවස්ථාව නිර්මාණය විය හැක. ඒ සියල්ල දෙස අකර්මණ්‍යව නිහඬව බලා සිටින ජනාධිපතිවරයා විසින් ලෝකයට ප්‍රදර්ශනය කරනු ලබන්නේ රෙජීමය චේන්ජ් වී ඇති බව නොවේද? ඒ අනුව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වන්නේ ජනවරමක් නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා අතට ලැබුණු බලය ව්‍යවස්ථානුකූල තහවුරු කර ගැනීමට නොවේද? ඊට අමතරව 21 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ සංශෝධන දෙක තුනක් ඇතුල් කිරීම මගින් බෙදුම්වාදී මාර්ග සිතියම දිග හැරීමටද අවස්ථාව ලැබේ. එය රෙජීම් චේන්ජ් ක්‍රියාවලියේ එක් මූලික අරමුණක් බව ඉතා කෙටි කලකින් තේරුම් ගැනීමට හැකිවනු ඇත.

වෛද්‍යය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More