කෙටිකාලීනව අර්බුදයෙන් ගොඩ යාමට ණය ගැනීමට සිදුවුව ත් දිගුකාලීනව යෝජනා කරන විසඳුම කුමක්දැයි ආණ්ඩුව වහා රටට කිව යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
මන්ත්‍රීවරයා මෙසේ පැවැසුවේ, පසුගිය දා පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“නව අගමැති පත්වී දැන් මාසයකට වැඩියි. ඒත් තවමත් ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. අපි මේ අර්බුදයේ හිර වූයේ දරාගත නොහැකි තරමට ණය ගැනීම නිසා නම් ණය ගැනීම තවදුරටත් අර්බුදය තීව්‍ර කිරීමක් මිස අර්බුදයට විසඳුමක් නොවේ, ආණ්ඩුව පමණක් නොවේ, ස්වාධීන පක්ෂ එකමුතුව හැර විපක්ෂයේ වෙනත් කිසි ම පක්ෂයක් අර්බුදයෙන් මිදෙන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. අපි මාර්තු 2 ඉදිරිපත් කළ ‘මුළු රටම හරි මගට’ වැඩපිළිවෙළ විතරයි අදට ත් තිබෙන්නේ.
ජනතාවට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් අයුරින් ලබා දෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිනම් තිබෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න ඕනෑ. ඒ සඳහා කරන යෝජනා බොහෝ විට දිගුකාලීනයි. නමුත් දවස් ගණන් පෝලිමේ ඉන්න ජනතාවට එයින් අස්වැසිල්ලක් වෙන්නේ නෑ.
පසුගිය ජනවාරි මාසයේ අපි ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ නමුත් අවාසනාවට ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩලය කටයුතු නොකළ ඒ යෝජනා අතරින් කෙටි කාලීන අර්බුදයට විසඳුම් ගෙනෙන යෝජනා අද තමුන්නාන්සේලා ඉදිරියේ තබනවා. ජනාධිපතිතුමන්ට ත් අගමැතිතුමන්ට ත් ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා එම යෝජනා වහා ම ක්‍රියාත්මක කරන්න කියන යෝජනාව ලිඛිතව යැවීමට බලාපොරොත්තු වෙනවා.
1) එන්ජිමේ ධාරිතාව සීසී 2,000ට වැඩි සියලු ම කාර් සහ ජීප් භාවිතය තාවකාලිකව තහනම් කළ යුතුයි. ලොක්කන්ට රිදෙයි. කරන්න දෙයක් නෑ. ඔබට පිරවුම්හල්වලින් තෙල් ගන්න රුපියල් තිබුණට රටට ඒවා ආනයනය කරන්න ඩොලර් නෑ. සමහර සුපිරි වාහන තෙල් ලීටරයකට දුවන්නේ කිලෝමීටර් 4යි 5යි. නමුත් ත්‍රිරෝද රථයක් කිලෝමීටර් 25ක් 30ක් දුවනවා. වෙනත් වචනවලින් කිව්වොත් සැප වාහනයක් දවසකට පුච්චන තෙල්වලින් ත්‍රිරෝද රථයක් සතියක් දුවන්න පුළුවන්. මා භාවිත කරන්නේ එන්ජිමේ ධාරිතාව සීසී 1,500 කාර් එකක් බවත් සිහිපත් කරන්න ඕනෑ. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියනවනෙ.
2) තෙල් නැති නිසා පසුගිය සඳුදා ආණ්ඩුව විශේෂ නිවාඩු දිනයක් කළා. දැන් සෑම සතියක ම සිකුරාදා දිනයත් නිවාඩු දිනයක් කරනව ලු. වැඩියෙන් වැඩ කිරීමෙන් මිස වැඩ නොකර සිටීමෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. දැන් සතියකට වැඩ කරන්නේ පැය 8 ගණනේ දින 5යි. ඒ කියන්නේ පැය 40යි. දින 4ක් පැය 10 ගණනේ වැඩ කිරීමෙන් ඒ පැය ගණන ම ආවරණය කරන්න පුළුවන්. එහෙම නැතිනම් චක්‍රලේඛ වෙනස් කරලා සියලුම ලිපි පරිගණක ගත කරලා සතියට දවස් දෙක තුනක් කාර්යාලයට පැමිණත් ඉතිරි දවස් දෙක ගෙදර සිට අන්තර්ජාලය හරහාත් වැඩ කිරීමට පුළුවන්.
3) මහජනතාව රජයේ කාර්යාල වෙත යනවා වෙනුවට සිය ලිපි අයැදුම්පත් ඊමේල් සහ වට්ස්ඇප් වැනි නව තාක්ෂණය ඔස්සේ යැවීමේ පහසුකම් ඇති කිරීම.
4) රජයේ සේවකයන්ට හැකිතාක් දුරට තමන්ගේ නිවෙසට ආසන්නයේ ම ඇති රාජකාරි ස්ථානවලට මාරුවීම් ලබාදීම හරහා ප්‍රවාහන අවශ්‍යතා අවම කිරීම.
5) පාසල් අධ්‍යාපනය සතියට දවස් තුනක් පාසලට පැමිණත් ඉතිරි දවස් දෙක අන්තර්ජාලය හරහාත් අධ්‍යාපන කටයුතු කිරීමෙන් පාසල් දරුවන් ප්‍රවාහනයට යන ඉන්ධන 40%කින් අඩු කරන්න පුළුවන්.
6) ඉන්ධන නොමැති නිසා පාසලට පැමිණීමට නොහැකි වන දරුවන්ට එදින පාඩමට සූම් තාක්ෂණය ඔස්සේද සම්බන්ධ විය හැකි අයුරින් අධ්‍යාපන කටයුතු දෙමුහුන් නැතිනම් හයිබ්‍රිඩ් කිරීම.
7) ආණ්ඩුවේ වගේ ම පෞද්ගලික අංශයේත් සියලු ම රැස්වීම් සූම් ඔස්සේ කිරීමෙන් ඉන්ධන පමණක් නොවේ මගට නාස්ති වන කාලයත් ඉතිරි කර ගන්න පුළුවන්.
8) ලෝකයේ බොහෝ රටවල තිබෙන නම්‍යශීලී රාජකාරි වෙලාවන් හෙවත් flexi duty hours හඳුන්වා දීමෙන් වාහන තදබදය අඩු කර ඒ හේතුවෙන් සිදුවන ඉන්ධන නාස්තිය අඩු කරන්න පුළුවන්. ඒ අනුව නිදසුනක් ලෙස උදේ 10 සිට සවස 3 දක්වා පැය 5 අනිවාර්යයෙන් හැමෝ ම කාර්යාලයේ ඉන්න ඕනෑ.
ඉතිරි පැය තුන තමන්ට පහසු ආකාරයට කලින් පැමිණ, කලින් යන්නත් පුළුවන්. ප්‍රමාද වී පැමිණ ප්‍රමාද වී යන්නත් පුළුවන්. සියලුම කාර්යාල සේවකයන් එකවර පැමිණ එකවර යාමෙන් ඇතිවන දැවැන්ත වාහන තදබදය මෙයින් මගහරින්න පුළුවන්. වාහන තදබදය නිසා නාස්ති වන ඉන්ධන ප්‍රමාණය 10%ක් පමණ වෙනවා.
9) කෙටි දුර ධාවනය සඳහා අසුන් නැති බස් රථ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ හරහා එක බස් රථයක ගමන් කරන මගීන් ගණන වැඩි කර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නංවන්න පුළුවන්.
10) කෙටි දුර සඳහා බයිසිකල් භාවිත කිරීම ජනප්‍රිය කිරීමට ප්‍රචාරාත්මක වැඩසටහනක් දියත් කිරීම.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...