පුරවැසි කොලම

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ 1.

අතිගරු ජනාධිපතිතුමනි,

ඉන්දියාවේ බලපෑම මත විදුලිබල පනත සංශෝධනය කිරීම මගින්
බලශක්ති සුරක්ෂිතතාවය පමණක් නොව ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් විය හැක:
වහාම සොයා බලා නිවැරදි කිරීම ඔබතුමාගේ ජාතික වගකීමකි

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ සිදු කළ ප‍්‍රකාශයක් මගින් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ බලපෑම මත විදුලිබල පනත සංශෝධනය කිරීමට සිදු වූ බව හෙළිදරව් විය. ඔහු විසින් ඊට ඔබතුමාගේ සම්බන්ධයක් තිබෙන බව ද සඳහන් කරනු ලැබීය. ඔබතුමා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් එය ප‍්‍රතික්ෂේප කළ පමණින් වරද නිවැරැදි වන්නේ නැත. සභාපතිවරයා විසින් තමා මුහුණ දුන් පීඩාකාරී මානසික වාතාවරණය නිසා එවැනි ප‍්‍රකාශයක් සිදුකළ බවට නිදහසට කාරණු ඉදිරිපත් කරනු ලැබීය. ඒ මගින් රජයේ තීන්දු ගැනීමේ ක‍්‍රියාවලිය පිළිබඳ සහ ඊට අදාළ මහජන වගවීම පිළිබඳව මහජනයා තුළ බරපතළ අවිශ්වාසයක් ඇති වීම වැළැක්විය නොහැක.

පවතින අර්ථික අර්බුදය සහ ඒ තුළින් උත්සන්න වූ දේශපාලන අර්බුදය යොදා ගනිමින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය දණගස්වා තම භූ දේශපාලන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට ඉන්දියානු රජය ක‍්‍රියා කරන තත්වයක් තුළ රාජ්‍ය නායකයන්ගේ වගකීම සහ වගවීම වඩා බරපතළ වේ. විදුලිබල පනත සංශෝධනය කිරීම මගින් ඉටු කරගැනීමට උත්සාහ කරන අරමුණ දෙස බලන විට එය ඉන්දියාවේ බලපෑම මත සිදු කෙරෙන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් බව සැකයකින් තොරව පිළිගැනීමට සිදුවේ.

මේ වන විට ඉන්දියාවේ අධානි සමාගම විසින් මන්නාරම ප‍්‍රදේශයේ මො.වො. 500ක සුළං බලාගාරයක් ඉදිකිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම ව්‍යාපෘතිය තරගකාරී ලංසු කැඳවීමකින් තොරව එම සමාගමට ලබා දීම සඳහා පනත සංශෝධනය කළ බව ඉතා පැහැදිලිය. විදුලි ඉංජිනේරු සංගමයේ අදහස් හෝ වෙනත් විද්වතුන් සහ මහජනයාගේ අදහස් සැලකිල්ලට ගැනීමකින් තොරව ඉතා හදිසි කර්තව්‍යයක් ලෙස පනත සංශෝධනය කිරීම මගින් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමේ තරම පැහැදිලි වේ. ඊට අමතරව සාම්පූර් ප‍්‍රදේශයේ ඉන්දියානු රාජ්‍ය සමාගමක් විසින් ඉදිකිරීමට යෝජිත මෙගාවෝට් 500 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ද තරගකාරී ලංසු කැඳවීමකින් තොරව අනුමැතිය ලබාදීම ද දෙවනුව සිදුවුන බව ඉතා පැහැදිලිය.
ඒ ආකාරයට බලපෑම් වලට යටත්වීම මගින් රටේ බලශක්ති සුරක්ෂිතතාවයට සහ ජාතික ආරක්ෂාවට අදාළ තීන්දු ගැනීම මගින් අනාගතයේ දී රට බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්වන බව ඔබතුමාට පෙන්වා දිය යුතුය. එක් පැත්තකින් තරගකාරී නොවන ආකාරයට විදුලි ජනන ව්‍යාපෘති වලින් විදුලිය මිලදී ගැනීම මගින් වංචා දූෂණ සිදුවන අතර එම ක‍්‍රියාවලියේ අමතර පිරිවැය පොදු මහජනයාට දැරීමට සිදුවේ. ඒ මගින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය අනතුරට ලක්වේ. අනෙක් පැත්තෙන් ඒ ආකාරයට රාජ්‍යයේ කොටස් අයිතියක් නොමැතිව මහා පරිමාණ විදුලි ජනන ව්‍යාපෘති විදේශීය සමාගම් වලට ලබාදීම මගින් ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්වේ. විද්වතුන්ගේ මතය අනුව මො.ොවා. 100කට වැඩි සුනිත්‍ය බල ව්‍යාපෘතියක අයිතිකරුට උපක‍්‍රමශිලීව සමස්ත පද්ධතිය බිඳ වැට්ටවීමේ හැකියාවක් ලැබේ. ඒ අනුව එමගින් ජාතික ආරක්ෂාවට පවා බලපෑම් ඇතිවන බව පැහැදිලි කරුණකි.

ඒ අනුව පහත සඳහන් පියවර ගැනීම මගින් මේ වන විට සිදුකර ඇති සහ සිදුකරමින් පවතින වැරදි නිවැරදි කරන ලෙස ජාතික සංවිධාන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

1) විදුලිබල පනත යටතේ 2019දී ගැසට් කරන ලද බලශක්ති ප‍්‍රතිපත්තිය සහ පසුගිය දිනවල සිදු කළ සංශෝධනය අතර පවතින පරස්පරතාවය නිවැරදි කිරීම සඳහා නිහතමානීව පනත නැවත සංශෝධනය කිරීම සහ අවශ්‍ය වේ නම් ප‍්‍රතිපත්තිය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත සංශෝධනය කිරීම.

2) එම සංශෝධන මගින්,

i) මෙගාවොට් 25 කට අඩු සුනිත්‍ය බල ව්‍යාපෘති සඳහා විවිධ ධාරිතාවන්ට අනුව මිල සූත‍්‍ර හඳුන්වාදීම මගින් සහ පොදු ගිවිසුමක් හඳුන්වාදීම මගින් රජය විසින් මිල නියම කිරීම. (එම මිල ආයෝජකයාට ආකර්ෂණීය විය යුතු අතර ඊට රාජ්‍ය භාගයක් එකතු කිරීම මගින් සුනිත්‍ය බල ක්ෂේත‍්‍රයේ ගැටලූ විසඳීම සඳහා අරමුදලක් පිහිටුවිය යුතුය.)

ii) සුනිත්‍ය බල ව්‍යාපෘති අනුමත කිරීමේ දී මෙන්ම පද්ධතියට සම්බන්ධ කිරීමේදී සහ මුදල් ගෙවීමේදී ඇතිවන ගැටලූ විසඳීම සඳහා සුනිත්‍ය බලාධිකාරී පනත යටතේ අර්ධ අධිකරණ බලය සහිත අභියාචනා කොමිසමක් පත්කිරීම.

iii) මෙගාවොට් 100කට වැඩි සුනිත්‍ය බල ව්‍යාපෘති අනුමත කිරීමේ දී රාජය විසින් යම් කොටස් අයිතියක් ලබාගැනීම සහ පාලනය සඳහා බලය ලබා ගැනීම.

iv) මෙගාවොට් 25 ට වැඩි සියලූ ව්‍යාපෘති සඳහා තරගකාරී ලංසු කැඳවීම.

v) රාජ්‍යයන් දෙකක් අතර වාණිජ නොවන ගනුදෙනුවක් මගින් ව්‍යාපෘතියක් ඉදිකිරීමේදී අනුමැතිය ලබාදීම සඳහා විශේෂ ක‍්‍රමවේදයක් හඳුන්වා දීම.

අත්සන් කළේ,

ආචාර්ය ගුණදාස අමරසේකර,
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.

පිටපත් 1. විදුලිබල අමාත්‍ය කන්චන විජේසේකර මැතිතුමා
2. සියලූම පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්
3. සියලූ ජනමාධ්‍ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More