පුරවැසි කොලම

ආර්ථික අර්බුදය නිසා පීඩා විඳින ජනතාවට අවසානයේ දී දේශපාලන අර්බුදයක ප්‍රතිවිපාකවලට ද මුහුණ දීමට සිදු වී ඇත. පසුගිය මැයි 9 ආණ්ඩුව සහ ආණ්ඩුවට එරෙහි වූවන් විසින් ඇති කළ භිෂණය එහි උච්චතම අවස්ථාවකි. ඒ තුළ සමාජය රාජපක්ෂලාට පක්ෂද එසේ නැතහොත් විපක්ෂද යන රේඛාව මගින් දෙකට බෙදා ඇත. ඒ අනුව ජාතියක් ලෙස අප මුහුණ දෙන අර්බුදයේ දිග පළල පිළිබඳව මධ්‍යස්ථ සංවාදයකට තිබෙන ඉඩ බොහෝ සෙයින් හැකලී ඇත. විශේෂයෙන්ම වත්මන් ආපදාව යොදා ගනිමින් ඉන්දියාව ප්‍රමුඛ ඉන්දුපැසිෆික් න්‍යාය පත්‍රයේ පාර්ශ්ව විසින් දියත් කරන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම පිළිබඳව සමාජය තුළ ගැඹුරු සංවාදයක් දක්නට නැත. එවැනි තත්ත්වයක් තුළ නුදුරු අනාගතයේ දී ඇති විය හැකි ආහාර හිගයක්  සහ සාගතයක්පිළිබඳ භීතියක් මැවීම සඳහා යම් පිරිස් ක්‍රියාත්මක වන බව පෙනේ. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාව මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව සහ ඉන්දියාව වහා මැදිහත් විය යුතු බවට දකුණු ඉන්දියානු දේශපාලකයින් විසින් මතවාදයක් ගොඩනැගීමද විශේෂ තත්වයකි.

එසේ භීතිය මවන පුද්ගලයින් විශේෂයෙන්ම අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා ආහාර හිඟයකට මුහුණ දිය යුත්තේ කෙසේදැයි නිශ්චිත වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරන්නේ නැත. ඛනිජ තෙල් සහ ගෑස් මෙන්ම ආහාර ආනයනය සඳහා විදේශ විනිමය හිඟවීම සහ රුපියලේ අගය කඩාවැටීම නිසා ආහාර වෙළඳපළ තුළ අර්බුදයක් ඇතිවිය හැකි බවට ඔවුන් විශ්වාස කරන බව පෙනේ. ඊට අමතරව පොහොර හිගය නිසා යල කන්නය අසාර්ථක වීමට ඉඩ තිබෙන බවට පවතින මතය නිසා ඔවුන් එසේ අනතුරු අඟවනවා විය හැක. කෙසේ වෙතත් එම ක්‍රියාවලිය භීතිය මැවීමක් ලෙස හැඳින්වීමට සිදුවන්නේ කරුණු තුනක් නිසාය. පළමු වැන්න ඔවුන්ගේ උපකල්පන සමස්ත මහා පින්තූරයට අනුව අර්ධ සත්‍යක් වීමය. දෙවැන්න අර්බුදයට මුහුණදීම සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට සහ ඊට මහජන මනස සූදානම් කිරීමට හෝ මහජනයාගේ හැසිරීම් වෙනස් කිරීමට කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීමයි. තුන්වැන්න ඔවුන් ආහාර ලෙස හඳුන්වන්නේ බහුල වවගා කරන ධාන්‍ය වර්ගයක් සහ ආනයනය කරන සෙසු ආහාර වර්ග මිස ආහාර විවිධත්වය අනුව රටේ සමස්ත ආහාර තොගය පිළිබඳව නොවේ.

ඊට අමතරව මෙම ක්‍රියාවලිය තුළ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සබුද්ධික සංවාදය වෙනුවට ඊනියා කාබනික වගාව පිළිබඳ චෝදනාව ඉහලට එසවීම ද සිදුවේ. ඒ තුළ ආර්ථික සහ දේශපාලන අර්බුදයට මෙන්ම ආහාර අර්බුදයට ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වගකිව යුතු බවට වක්‍රව චෝදනා එල්ල කෙරේ. ඒ මගින් දීර්ඝ කාලීනව දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීමේ හැකියාව සහ උවමනාව තවදුරටත් අවතක්සේරු කෙරේ. එනම් එය කිසි දිනෙක කළ නොහැකි දෙයක් බවට ප්‍රබල මතයක් සමාජගත කෙරේ. ඒ මගින් රටේ ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් අනතුරට පත්වේ. නමුත් ඒ ආකාරයට රටේ කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය බාහිර යෙදවුම් වල පරාධීනත්වයෙන් ගලවා ගැනීමේ උපාය මාර්ගික ප්‍රවේශයට කාබනික වගාව හෝ වස විස නැති ගොවිතැන ආදී වශයෙන් වැරදි ලේබල් ඇලවීම මගින් සමස්තය අවුල් කිරීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂයන් වගකිව යුතු බවට විවාදයක් නැත.

 කාබනික වගා අවුලෙන් පසු 2020/2021 මහකන්නයේ වී අස්වැන්න 2014/2015 ට වඩා වැඩියි.

කෙසේ වෙතත් රජයේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2014/2015 මහ කන්නයේ රටේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.8 කි. එහෙත් කාබනික වගාව නම්වූ අවුල ඇති කිරීමෙන් පසුව 2020/2021 මහකන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3කි. ඊට බොහෝ සාදක හේතු වූ බවට විවාදයක් නැත. එසේම ඒ මගින් වැරදි ආකාරයට ක්‍රියාත්මක කළ ඊනියා කාබනික වගාව සාර්ථක වූ බව ද කිව නොහැක. ඊට අමතරව ඊනියා රසායනික කෘෂිකර්මාන්තය තුළ 2015 දී මෙට්‍රික් ටොන් මිලියන 1.3 ක් වූ රටේ තිරිඟු‍ පරිභෝජනය 2018 වනවිට මෙට්‍රික් ටොන් මිලියන 1.8 දක්වා වර්ධනය විය. කෘෂි රසායනික භාවිතාව මඟින් පමණක් රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කළ හැකි බව කියන විද්වතුන් එම තත්ත්වයට හේතු පැහැදිලි කළ යුතුය. සියලු‍ කරුණු සැලකිල්ලට ගැනීමේදී පළමුවෙන්ම ආහාර සුරක්ෂිතතාවය යනු ආහාර ස්වෛරීත්වය බව පිළිගත යුතුය. දෙවනුව ඊනියා රසායනික වගාව වෙනුවෙන් මරාගෙන මැරෙන ආකාරයට පෙනීසිටීම මගින් පමණක් රටේ ආහාර සුරක්ෂිතතාවය රැක ගත නොහැකි බව පිළිගත යුතුය. තුන්වනුව බීජ සහ රසායනික ද්‍රව්‍ය යෙදවුම් සඳහා විදේශ මූලයන් මත යැපීම මගින් ආහාර සුරක්ෂිතතාවය දීර්ඝ කාලීනව පවත්වා ගත නොහැකි බව ද පිළිගත යුතුය. අද වනවිට පොහොර හිඟය සහ මිල අනුව එම සත්‍යය වඩා හොඳින් පැහැදිලි විය යුතුය. ඒ නිසා දැන් අවශ්‍ය වන්නේ දීර්ඝකාලීනව රටේ ආහාර සුරක්ෂිතතාවය රැකගන්නා ආකාරය පිළිබඳව පුළුල් සංවාදයකට අවතීර්ණ වීමය.කෙටිකාලීනව අර්බුදය ජය ගත හැක්කේ ද දීර්ඝ කාලීන උපාය මාර්ගික ප්‍රවේශය තුළ බව මෙන්ම ඊට පරිභාහිරව කෙටිකාලීන උත්තර සෙවිය නොහැකි බව ද පිළිගත යුතුය. ඒ අනුව මෙම ලියුම්කරුගේ අරමුණ දීර්ඝ කාලයක සිට ජාතික බලවේග සහ දේශීය ව්‍යාපාරික ප්‍රජාව විසින් ඉදිරිපත් කළ මතවාද නැවත පෙළ ගස්වා ඉදිරිපත් කිරීම මගින් අවසන් පැයේ දී හෝ පාලකයින්ගේ මොලේ පෑදීම සඳහා යම් උත්සාහයක් ගැනීමයි. එම අරමුණ පෙරදැරිව කොටස් වශයෙන් නොව සමස්තයක් හෙවත් පැකේජයක් ලෙස ක්‍රියාත්මක කළයුතු දස වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශයක් මෙසේ ඉදිරිපත් කළ හැක.

ඒ අතරින් පළමුවැන්න ආහාර වෙළෙඳ පොළ තුළ පවතින මිල විකෘතීන් නිවැරදි කිරීම ය. එනම් විදේශ වලින් ලබාදෙන සහනාධාර සහ දේශීයව ලබාදෙන බදු සහ එමගින් ආනයනික ආහාර අඩු මිලට රට තුළට ප්‍රතාපනය කිරීම මගින් දේශීය නිෂ්පාදන පද්ධතිය ඇදවැට්ට වීම වැළැක්වීම ය. ඊට අමතරව එවැනි බදු සහන මගින් රටේ බදු ආදායම වංචා කිරීම ද සිදුවෙයි. පසුගිය වසරේ සීනි ආනයනකරුවන්ට ලබාදුන් එහෙත් ඔවුන් විසින් මහජනයාට මිල අඩුකිරීමක් ලෙස පූර්ණ වශයෙන් ලබා නොදුන් බදු සහනය හෙවත් බදු වංචාව රුපියල් මිලියන 16,000කි. ඊට අදාළව විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් නිකුත් කර තිබුණද මේ වනතෙක් ඒ පිළිබඳව නීතිමය පියවර ගෙන නැත. ඒ අනුව මිල විකෘති කිරීම් මගින් ආනයන නිෂ්පාදන ප්‍රචලිත කරමින් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැට්ටවීම වැළැක්වීම සඳහා අඩු තරමින් ප්‍රධාන වෙළඳපළවල් තුනක දේශීය නිෂ්පාදන ආරක්ෂාකර ගත යුතුය. ඒ සඳහා එම නිෂ්පාදනවල දේශීය නිෂ්පාදන පිරිවැය අනුව ඒවායේ වෙළඳ පොළ මිලට වඩා ආනයනික විකල්ප නිෂ්පාදන වල මිල අඩුකරමින් 10% ක් ඉහළ මට්ටමක පවතින ලෙස විශේෂ පරිභෝජන බදු පැනවිය යුතුය. ආහාර වලට බදු පැනවීම පිළිබඳව විශේෂයෙන්ම වාමාංශික පක්ෂවල විරෝධයක් පවතින බැවින් එම බදු අරමුදල් විශේෂ ගිණුමකට බැර කළයුතු අතර ඒවා අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබා දීම සහ ගොවියාට නිෂ්පාදන සහනාධාර ලබාදීම සඳහා පමණක් යොදවන බව සහතික කළ යුතුය. ඒ අනුව අඩු තරමින් තිරිඟු‍ පිටි සහ සහල් තරගකාරී ආහාර වෙළෙඳ පොළ මෙන්ම ආහාරයට ගන්නා තෙල් වෙළෙඳ පොළ සහ කිරි පිටි වෙළද පොළ තුළ එම වෙනස සිදු කළහොත් සමස්ත දේශීය නිෂ්පාදන පද්ධතියට විශාල ධනාත්මක බලපෑමක් සිදුවනු ඇත.

දෙවෙනි උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ ප්‍රධාන ආහාර එනම් විශාල වශයෙන් පරිභෝජනය කරන ආහාර සහ වටිනාකම් එකතු කිරීමේ දාමයට බහුතර ජනතාවක් දායකවන නිෂ්පාදන සඳහා මිල පාලනය පැනවීමය. එසේ මිල පාලනය පැනවීමේදී ගොවියාට සාධාරණ ආදායම් මට්ටමක් ලැබෙන ආකාරයට අමුද්‍රව්‍ය සඳහා අවම මිලක් ද පැනවිය යුතුය. උදාහරණයක ලෙස වත්මන් අර්බුදය ට පෙර තිබූ තත්ත්වයට අනුව සළකා බැලීමේදී සහල් මිල නියම කළ යුත්තේ ගොවියාට වී කිලෝ ග්‍රෑමයක් සඳහා සඳහා රුපියල් 60 -70 ක් අතර අවම මිලක් ලැබෙන ආකාරයට ය. ඒ අනුව දියර කිරි වලට අවම වශයෙන් ලීටරයකට රුපියල් 100-110 ක් අතර මිලක් ලැබෙන ආකාරයට දේශීය කිරිපිටි සඳහා වෙළෙඳ පොළ පාලන මිල පැනවිය යුතුය.

ස.තො.ස සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කිරීම සහ නැවත ස්ථානගත කිරීම

තුන්වන ප්‍රවේශය ආහාර වෙළඳපළ තුළ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සහ වෙළඳ පොළ කූඨ උපක්‍රම වැළැක්වීමය. ඒ සඳහා වෙළඳ පොල තුළ රජයේ භූමිකාව වර්ධනය කළයුතුය. ඊට අදාලව පළමුවෙන්ම ස.තො.ස ආයතනය දේශීයව ආහාර තොග මිලදී ගැනීම, ආහාර සෘජුව ආනයනය කිරීම, බෙදාහැරීම, විකිණීම සහ ආරක්ෂණ තොග පවත්වා ගෙනයාම න   මූලික වගකීම් පැවරිය යුතුය. ඒ සඳහා දැනට සුපිරි අලෙවි සැල් ජාලයක් ලෙස පවත්වාගෙන යන එම ආයතනය ය   සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ නැවත ස්ථානගත කිරීමට සිදුවේ. ඊට අදාළ දෙවැන්න දැනට පවතින යන   ජාවාරම්කරුවන්ගේ ආධිපත්‍යයට යටත්කර ඇති ඊනියා ආර්ථික මධ්‍යස්ථාන හෙවත් මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ගොවියගේ සහ ගොවි සංවිධානවල ආධිපත්‍යයට යටත්ව නැවත ස්ථානගත කිරීම ය. ඒ අතරම ඊට සහායවීම සඳහා වටිනාකම් එකතු කිරීම, කල්තබා ගැනීම, බෙදාහැරීම සහ විකිණීම යන සියලු‍ අංශ ආවරණය කෙරෙන ගොවි සමුපකාර ජාලයක් පිහිටුවිය යුතුය.

රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට විශේෂයෙන්ම දේශීය නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට අදාල හතර වැනි උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ ගොවියා ණය බරින් ගලවා ගැනීම සහ නිෂ්පාදන පිරිවැය අඩුකිරීම සඳහා සහනාධාර සහ රාජ්‍ය මැදිහත්වීම විධිමත්කිරීම ය. ඒ අනුව ගොවිජන බැංකුව නැවත ආරම්භ කර ගොවි ණය වැඩසටහනක් ආරම්භ කිරීම ඉතා වැදගත් වේ. දෙවනුව පොහොර සහනාධාරය නිෂ්පාදනය අනුව මුදලින් ගෙවිය යුතු අතර ගොවි උපකරණ ආනයනය කිරීමේදී ලබාදෙන බදු සහන අදාළ උපකරණ මිලදී ගන්නට සහ අවසානයේදී ගොවියාට ලැබෙන බව සහතික කළ යුතුය. ඊට අමතරව 70 දශකයේ තිබූ ආකාරයට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ගොවි සංවිධාන හරහා උපකරණ කුලියට දීමේ වැඩසටහනක්ද ආරම්භ කළ යුතුය. ඒ මගින් ඉන්ධන භාවිතය අවම කෙරෙන සම්ප්‍රදායානුකූල තාක්ෂණික උපකරණ භාවිතය දිරිමත් කිරීමටද කටයුතු කළ යුතුය.

පස්වන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය පරාධීනත්යෙන් ගලවා ගැනීම සඳහා රාජ්‍ය මැදිහත්වීම තුළ අදාළ තීරණාත්මක කොන්දේසි ඉටුකිරීමය. ඒ අතරින් පළමුවැන්න 70 දශකයේ තිබූ ආකාරයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බීජ පර්යේෂණ ආයතන සහ ගොවිපල සියල්ල ඒකාබද්ධ කර බීජ ස්වෛරීත්වය සඳහා ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමය. දෙවැන්න ගොවි සංවිධාන සහ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් පාංශූ සංරක්ෂණ ක්‍රමවේද සහ ගොවිපල ආශ්‍රිත කාබනික ද්‍රව්‍ය ඥානාන්විතව යොදාගනිමින් පස පෝෂණය කිරීම දිරිගැන්වීම සඳහා අධ්‍යාපන වැඩසටහන් දියත් කිරීමය. තුන් වැන්න පසේ පෝෂක පරික්ෂා කිරීම මගින් බාහිර රසායනික යෙදීම අවම කිරීම සහ එය දිරි ගැන්වීම සඳහා ඉහත සඳහන් කළ ආකාරයට පොහොර සහනාධාරය මුදලින් ගෙවීමය. හතරවැන්න අවම පළිබෝධ නාශක ලැයිස්තුව නීතිගත කිරීම සහ පළිබෝධ නාශක භාවිතය ඖෂධ භාවිතය තරමටම දැඩි පාලනයට යටත් කිරීම සඳහා පරිපාලන යාන්ත්‍රණ හඳුන්වා දීමය. මේ සියලු ක්‍රියාමාර්ගවල අවසාන අරමුණ විය යුත්තෙ ගොවිතැන් ක්‍රම වෙනස් කර ගැනීම සඳහා ගොවියා මානසිකව පෙළඹවීමය.

කිරි ගව අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම

සයවැනි උපාය මාර්ගික ප්‍රවේශය වගා කළ හැකි බිම් ප්‍රමාණය, පරිසර ආරක්ෂණ ප්‍රමිතීන්ට යටත්ව උපරිම මට්ටමට ගෙන ඒම සඳහා කෘෂි පරිසර පද්ධති සහ වාරි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමය. ඊට අදාළ පළමුවැන්න අවශේෂ වනාන්තර ලෙස වැරදි ලේබලයක් අලවා හේන් ගොවිතැනට අහිමි කළ ඉඩම් දැඩි පාලනයක් යටතේ ගොවි සංවිධාන හරහා ගොවීන්ට ලබාදීමය. දෙවැන්න ආරක්ෂක හමුදා සතු සම්පත්  සහ පිරිස්  බලය මෙන්ම පළාත්පාලන ආයතන සහ මහජන දායකත්වය සහිතව 35,000ක් පමණ වන කුඩා වාරි පද්ධති සියල්ල නැවත යථාවත් කිරීමය. ඊට සමගාමීව ඒ ආශ්‍රිත පුද්ගලික මෙන්ම රජයට අයත් සහ පාසල් සහ පන්සල් ආදී ආයතන සතු ඉඩම් වල දැනට පවතින බහුවාර්ගික ආහාර භෝග වගා සංවර්ධනය කිරීම සහ නව වගා ආරම්භ කිරීම දිරිමත් කිරීම සඳහා එම ආයතන, ගොවි සංවිධාන සහ මහජනයා මෙන්ම බිම් මට්ටමේ නිලධාරීන් සියල්ල යොදා ගත යුතුය. ඊට අදාළව එම නිලධාරීන්ට නිශ්චිත ඉලක්ක ලබාදිය යුතු අතර අධීක්ෂණය කිරීම ද වැදගත් වේ. හතර වැන්න දේශීය බීජ වර්ග සහ රෝපණ ද්‍රව්‍ය ආරක්ෂා කිරීම සහ ප්‍රචලිත කිරීම සඳහා කුඩා පරිමාණ පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන සහ වෙනස් ස්වෙච්ඡා සංවිධාන දිරිමත් කිරීම සඳහ දිරි ගැන්වීමේ පැකේජයක් හඳුන්වාදීමය.

හත්වන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ බෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම දිරිගැන්වීම මගින් රට කිරි ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම සහ රටේ ආහාර තොග වැඩි කිරීම මෙන්ම ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීම සහ ගොවිතැන් ක්‍රම වෙනස් කිරීම සඳහා පහසුකම් සැලසීමය. ඒ සඳහා පළමුවෙන්ම පශූ සම්පත් මණ්ඩලය යොදා ගනිමින් ජාතික කිරි ගව අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කළයුතුය. එම ව්‍යාපෘතිය සඳහා මෙන්ම ගොවියාට අඩු මිලට පැටව් ලබාදීම සඳහා ආනයනික ආහාර සඳහා පණ වන බදු අරමුදල් යොදා ගත යුතුය. ඊට අදාළ පූර්ව කොන්දේසියක් ලෙස දැනට සිදුකරන පිටරටින් හරක් ආනයනය කිරීමේ “හරක් වැඩසටහන” නැවැත්විය යුතුය. එමෙන්ම බෝග වගාව සහ කිරි ගොවිතැන ඒකාබද්ධ කරන ගොවීන් මගින් ශුන්‍ය අයවැය ස්වාභාවික ගොවිතැන ක්‍රම‍ ප්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීම් ලබාදිය යුතුය. ඒ සඳහා පොහොර සහනාධාර යොදාගත හැකි අතර ස්වභාවික ගොවිතැන් ක්‍රම අනුගමනය කරන ගොවීන්ට සම්පූර්ණ සහනාධාර සහ සෙසු ගොවීන්ට ඊට වඩා අඩු මුදලක් ගෙවිය හැක.

අටවන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ අප රට සතු මහා සාගරය සහ මිරිදිය ජලාශ පද්ධතිය රටේ ආහාර තොගය වැඩිකිරීම සඳහා උපරිම වශයෙන් යොදා ගැනීමය. එහිදී සාගර ආශ්‍රිත ධීවර කර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා යෙදවුම් සහනාධාර විශේෂයෙන්ම ඉන්ධන සහනාධාර සහ යාත්‍රා නිෂ්පාදනය සහ මිලදී ගැනිම සඳහා ණය පොලී සහනාධාර ක්‍රමයක් හඳුන්වාදීම වැදගත් වේ. ඊට අමතරව වසරේ යම් කාලවල මාළු මිල පහත වැටීම වැළැක්වීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික ආයතන මගින් මධ්‍යම පරිමාණ මාළු ටින්කිරීමේ කර්මාන්ත ශාලා ඡාලයක් පිහිටුවීම සඳහා රජය මගින් සුවිශේෂී දිරිගැන්වීමේ පැකේජයක් ඉදිරිපත් කළ යුතුය. එසේම මිරිදිය ජලාශ ආශ්‍රිතව මතස්‍ය අභිජනන කටයුතු සඳහා රාජ්‍ය අංශයේ තාක්ෂණික මඟ පෙන්වීම යටතෙ රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුය. ඒ සඳහා ධීවර සංවිධාන, ගොවි සංවිධාන සහ පරිසර සංවිධාන යොදාගැනීමේ හැකියාව ඇත.

කියුබාව “පියවර දෙකක් පිටුපසට පියවරක් පෙරට”

නමවැනි උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ තරුණ පරපුර කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා විශේෂ මැදිහත්වීමක් සිදුකිරීමය. ඊට අදාල පළමු වැන්න කෘෂි තාක්ෂණය, සත්ව පාලනය, ආහාර සැකසීම ආදී ක්ෂේත්‍රවල වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් මාලාවක් හඳුන්වාදීමය. ඊට සහභාගී වන සිසුන්ට මහ පොළ ශිෂ්‍යත්ව අරමුදලට සමාන අරමුදලක් මගින් ශිෂ්‍යාධාර ලබාදිය යුතුය. දෙවැන්න රජය සතු ඉඩම් විශේෂයෙන්ම අවශේෂ වනාන්තර ලෙස හඳුන්වා හේන් ගොවිතැනට අහිමි කළ ඉඩම් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් පරිසර අධ්‍යයනයන්ට යටත්ව තරුණ ගොවි සමූපකාරවලට බදු පදනමින් ලබාදීමය. එහිදී බදු අයිතිය ලබාදිය යුත්තේ සමූපකාරවලට මිස පුද්ගලයාට නොවේ. තුන්වැන්න එම සමූපකාරවලට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සහ වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක වීම සඳහා රජය මගින් මූල්‍ය දිරිගැන්වීම් පැකේඡයක් හඳුන්වාදිය යුතුය.

දස වන උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ ආහාර සංස්කෘතිය  හෙවත් පරිභෝජන රටාව වෙනස් කර ගැනීම සඳහා මහජනයා පෙළඹවීමය. එනම් ආහාර විවිධත්වය සහ දේශීය ආහාර, විශේෂයෙන්ම වස විස නැති ගෘහස්ථ නිෂ්පාදන, පරිභෝජනය දිරිමත් කිරීම මෙන්ම ඊට සමගාමීව ගෙවතු වගාව දිරිමත් කිරීමය. ඒ සඳහා වන පළමු කොන්දේසිය 2011 දී වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ආරම්භ කළ සහ පසුව අතහැර දැමුණු පාසල් ආශ්‍රිත දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමය. ඊට අදාළ චක්‍රලේඛනය අනුව පාසල් ආපනශාලා තුළ තිරිඟු‍ පිටි ආහාර සහ කෘතිම පැණි බීම වර්ග විකිණීම තහනම් කෙරිණි. එම ප්‍රතිපත්තිය රෝහල්, බන්ධනාගාර හමුදා සහ පොලිස් ස්ථාන ඇතුළු සියලු‍ රාජ්‍ය ආයතන දක්වා දීර්ඝ කළ හැක. ඊට අමතරව පාසල සිසුන් යොදා ගනිමින් ගෙවතු වගාව දිරිමත් කිරීම සහ ගෘහස්ථ ආහාර පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පාසල් ආශ්‍රිතව කෙටි කාලීන වැඩමුළු පැවැත්විය යුතු අතර දීර්ඝ කාලීනව එම ප්‍රවේශය විෂය මාලාවට ඇතුළත් කළ යුතුය. එහිම දිගුවක් ලෙස පාසල් සිසුන් හරහා ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සහ හුවමාරුව දිරිමත් කිරීම සඳහා වන ව්‍යාපෘති වලට රජය මගින් යම් අරමුදල් ප්‍රමාණයක් පාසල්වලට ලබාදිය යුතුය.

මේ වන විට කියුබාව විසින් ඛනිජ තෙල්, කෘෂි උපකරණ වැනි බාහිර යෙදවුම් මත පරාධීන නොවී තම නිෂ්පාදන පද්ධතිය සහ පරිභෝජන රටාව වෙනස් කිරීම සඳහා ජාතික මෙහෙයුමක් දියත් කර ඇත. “පියවර දෙකක් පිටුපසට පියවරක් පෙරට”ලෙස එම විකල්ප කෘෂිකර්ම ප්‍රතිපත්තිය හැදින්වේ. එම හැඳින්වීම මගින් අතීත භාවිතාව තුළින් උත්තර සෙවීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත් වේ. නමුත් අප රටේ කෘෂි විද්වතුන් මෙම දුෂ්කර මොහොතේ දී පවා පරාධීන හරිත විප්ලව මොඩලය තුළින් උත්තර සෙවීමට උත්සාහ කිරීම අවසන්වනු ඇත්තේ ඛේදවාචකයකින් බව අවසන් වශයෙන් ලියා තැබිය යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

ලේකම්

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More