පුරවැසි කොලම

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

ශ‍්‍රී ලංකාව බරපතල රාජ්‍යතාන්ත‍්‍රික ගැටලූවකට මුහුණ දෙන අයුරින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයක් රඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිසය

මේ වන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ජනමාධ්‍ය සියල්ලම පාහේ වාර්තා කර ඇත්තේ ශ‍්‍රී ලංකා රජය අත්සන් කර ඇති අන්තර්ජාතික සම්මුතීන් හා ගිවිසුම් අනුව ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම රටක ගුවන් යානයක් ගොඩබැස්සවීමට හා පිටව යෑමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකීම බැඳී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නියෝග ලබාදීමේ අධිකරණ බලයක් වාණිජ මහාධිකරණයට නොමැති බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමතිධර්මවර්ධන මහතා දැක්වූ කරුණු වලට පිළිතුරු දෙමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (03) දා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළ බවයි.
එම වාර්තා වැඩිදුරටත් පවසා සිටින්නේ ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට හෝ ශ‍්‍රී ලංකා රජයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් කිසිදු වාරණ නියෝගයක් නිකුත් කර නැතැයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (03) දා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළ බවයි.
එහෙත් එම ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ අධිකරණයේ පිස්කල්වරයා ගුවන් යානය රඳවා ගන්නා ලෙසට ගුවන් සංතරණ අංශයේ අංශ ප‍්‍රධානියාට තර්ජනය කරමින් එරොෆ්ලොට් ගුවන් සමාගමේ ගුවන් යානය රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

මෙම කරුණු අනුව අපට හැඟීයන්නේ අධිකරණ නියෝගයක් වැරදි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගනිමින් රුසියානු- ශ‍්‍රී ලංකා සබඳතා බිඳහෙළීම අවශ්‍යය වන පිරිසක් ඉතාම නිර්ලැජ්ජිත ලෙස කටයුතු කර ඇති බවයි.
ඒ අනුව මෙම නඩු කටයුත්ත ඉතාමත් අපරික්ෂාකාරි ලෙස මෙන්ම වගකීම් විරහිත ලෙස මෙහෙයවූවන් පහත සඳහන් ක‍්‍රියා සිදුකර ඇති බව අපගේ වැටහීමයි.

1) එරොෆ්ලොට් ගුවන් සේවය ශ‍්‍රී ලංකාවට ගෙවීමට යම් මුදලක් වේ නම් හෝ එම ගෙවීම සම්බන්ධව පැන නගින ගැටලූවකදී පිළිතුරු දිය යුත්තේ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වන අතර එතුමා සමාගමේ ප‍්‍රධාන ගණකාධිවරයාගේ උපදෙස් පැතීම සාමාන්‍ය රීතිය වේ. ඒ අනුව එම පිරිස ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වග උත්තරකරුවෙකු කිරීම උවමනාවෙන්ම පැහැර හැර ඇත.

2) නමුත් එරොෆ්ලොට් ගුවන් සේවයේ ගෙවීම් සම්බන්ධ කිසිදු සෘජු සම්බන්ධයක් නොමැති ගුවන් සංතරණ අංශයේ අංශ ප‍්‍රධානියා මෙහි වගඋත්තරකරුවෙකු කිරීම සැක සහිත නීතිමය ප‍්‍රවේශයකි.
මේ වන විට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කොළඹ වානිජ මහාධිකරණය විසින් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බවයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා රජය ජාත්‍යන්්තරය ඉදිරියේ විශාල රාජ්‍යතාන්ත‍්‍රික විහිලූවකට ලක්කරමින් මෙන්ම නුදුරේදීම ශ‍්‍රී ලංකාව මුහුණ දීමට නියමිත දැවැන්ත ආහාර අහේනිය පියමං කිරීමට යහපත් ජාත්‍යයන්තර මිතුරන්ගේ උදව් උපකාර ගැනීමට බාධා කිරිමට උවමනාව පෙරදැරිව මෙම අධිකරණ ක‍්‍රියාවලිය මෙම පිරිස් විසින් යොදාගෙන ඇති බව අපගේ වැටහීමයි.

ඒ අනුව මෙම සිද්ධිය අධ්‍යයනය කිරීමෙන් අපට වැටහීයන්නේ ගුවන් සංතරණ අංශයේ ප‍්‍රධානියා දැනුවත් හෝ නොදැනුවත්ව ඉහත දැක්වූ පිරිසේ ගොදුරක් බවට පත්ව ඇති බවයි. කෙසේ වුවද ඔහුගේ අතීත භාවිතාවන් හැදෑරීමේදී ඔහු මෙම ක‍්‍රියාවලියේ දැනුවත් කොටස් කරුවෙකු බවට පත්ව ඇතිද යන්න අපට මහත් සැකයක් ඇති වේ. එම සැකය තහවුරු කරන අවස්ථා දෙකක් ඔබගේ අවධානයට යොමුකිරීමට කැමැත්තෙමු.

1) කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා පළපුරුදු උපදේශන සේවාවක් මගින් ප‍්‍රධාන හැරවුම් ව්‍යාපෘතියක් ලෙස ගුවන් ගමනා ගමන කළමනාකරණ ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය.(Reorganization of Colombo Flight Information region as a turnkey project through experienced consultancy services for Air Traffic management capacity enhancement.)

යන ව්‍යාපෘතිය ගෙන ඒමට ගුවන් සංතරණ අංශයේ අංශ ප‍්‍රධානියා ඇතුළු ගුවන් ගමන් පාලකවරු පිරිසක් සහභාගිවී ඇති බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරවා ගැනීමට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාවද පොළඹවා ගැනීමට කටයුතු කර තිබුණු බවද අප වෙත වාර්තා විය. කෙසේ වුවද ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ රටට හිතැති නිලධාරින් සහ අමාත්‍යංශයේ සිටි එවැනි නිලධාරින්ගේ මැදිහත්වීමෙන් එම ව්‍යාපෘතිය දැනට අවුල් සහගත තත්වයට පත්ව තිබේ. ඔවුන්ගේ උත්සාහය යම් හෙයකින් සාර්ථක වූයේ නම් ඔස්ට්රේලියානු සමාගමක් මේ සඳහා මැදිහත්වීමට නියමිතව තිබූ බව අපගේ වැටහීමයි.

2) ගුවන් සංතරණ අංශයේ ප‍්‍රධානියා ඇතුළු ගුවන් ගමන් පාලකවරුන් පිරිසකගේ සෘජු මැදිහත්වීම යටතේ අපගේ අසල්වැසි ගුවන් තොරතුරු කලාප සමඟ යාවත්කාලීන කිරීමේ අවශ්‍යයතාවයට අනුව ආයත වෙන්කිරීම (Longitudinal Separation ) දැනට කොළඹ ගුවන් තොරතුරු කලාපය තුළ තිබෙන නාවික සැතපුම් 80 සීමාව නාවික සැතපුම් 50 දක්වා මට්ටමට ගෙන ඒමේ ව්‍යාපෘතිය දීර්ඝ වශයෙන් කල් දැමීමට කටයුතු කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියට සම්බන්ධ වාර්තා සනාථ කරයි.

කෙසේ වුවද අවසානයේදී වත්මන් සිවිල් ගුවන් සේවා අධ්‍යයක්ෂක ජනරාල්තුමාගේ සෘජු මැදිහත්වීම යටතේ මේ වන විට ආයත වෙන් කිරීම (Longitudinal Separation ) පරීක්ෂණ මට්ටමට ගෙන ඒමට හැකියාව ලැබී තිබේ.

යම් හෙයකින් සිවිල් ගුවන් සේවා අධ්‍යයක්ෂක ජනරාල්තුමාගේ සෘජු මැදිහත්වීම නොවන්නට ජාත්‍යයන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සෘජු මැදිහත්වීම යටතේ ඔස්ටි‍්‍රලියානු හෝ ඉන්දියානු රජයට අපගේ ගුවන් තොරතුරු කළාපයේ ඉහළ අවකාශයේ ගුවන් ගමන් පාලන කටයුතු සිදුකිරීමේ දුර්ලභ භාග්‍යය හිමිවනු ඇති බව අපගේ වැටහීමයි.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන ආයතනයක් බවට පත්කිරීමට සමහර දුෂ්ඨ නිලධාරින් දායකවූවාසේම ගුවන තොටුපල සහ ගුවන් සේවා සමාගමද පාඩු ලබන ආයතනයක් බවට පත්කිරීමට එම ආයතනයේ දුෂ්ඨ නිලධාරින් සහභාගි වනවාදැයි යන බරපතල සැකය අප තුල ජනිත වේ. ශ‍්‍රී ලංකාව පත්ව තිබෙන විදේශ විනිමය අර්බූදයේදී රුසියානු රාජ්‍යය අප වෙතින් ලබාගැනීමට නියමිත තේ වලින් ලැබීමට තිබූ විදේශ විනිමය සහ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ලක්ෂ හතරක පමණ සංචාරකයන්ගෙන් ලැබීමට තිබූ විදේශ විනිමය අහිමි කිරීමට දායක වූ සියළුම නිලධාරීන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණ විය යුතු බව අපි අවධාරණය කරමු.

එසේම නුදුරු අනාගතයේදී ශ‍්‍රී ලංකාව තුළ සිදුවනු ඇති බවට විද්වතුන් පුරෝකතනය කරනු ලබන දැවැන්ත ආහාර, ආර්ථික අර්බූදය පියමං කිරීමට උදව් උපකාර කිරීමට සිටින රුසියානු රාජ්‍යය පසමිතුරෙකු බවට පත්කිරීමේ ව්‍යාපෘතියේ දැවැන්ත උදව්කරුවෙකු ලෙස සහභාගි වීමට ගුවන් සංතරණ අංශයේ අංශ ප‍්‍රධානියා කටයුතුකර ඇති බව අපගේ හැඟීමයි. ඒ අනුව මේ ක‍්‍රියාව සම්බන්ධයෙන් අදාළ නිලධාරින්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට ගරු විෂය භාර අමාත්‍යයවරයා වෙත නියෝග නිකුත් කරන ලෙසත් ඔබතුමාගේ සෘජු මැදිහත්වීමෙන් පත්කර ඇති ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ ගරු සභාපතිතුමාට මේ සඳහා යුහුසුළුව මැදිහත්වන ලෙස නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිමු.

අත්සන් කළේ,

ආචාර්ය ගුණදාස අමරසේකර,
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.

වෛද්‍ය වසන්ත බණ්ඩාර
මහලේකම්,
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව,
දේශපේ‍්‍රමී ජාතික පෙරමුණ.

වසන්ත අල්විස්,
කැඳවුම්කරු,
මහජන යුතුකම් කේන්ද්‍රය.

නීතිඥ මධුමාලි අල්විස්,
කැඳවුම්කරු,
යුක්තිය හා පරමාධිපත්‍යය උදෙසා ජනතා හඬ,

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More