පුරවැසි කොලම

නයෝමි ක්ලේන් (Naomi Klein) කියන විදිහට ලංකාවේ මේ වෙලාවේ සිදුවෙමින් පවතින්නේ ආපදා ධනවාදී තත්වයක්. සමස්ත රටම විශාල ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මුහුන දීම තුල මුළු ජන සමාජයම ආතතියකට පත්වී තිබෙනවා. නයෝමි ක්ලේන් ට අනුව මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ Shock Doctrine නැතහොත් ආතති වාදය ලෙසයි. ඒ තුල සිදුවන්නේ අර්බුදයක් තුල බලය ඇත්තන් ලාබ ලැබීමයි (Power profits from disaster). මෙවැනි අවස්ථා රාශියක් නයෝමි ක්ලේන් ගේ The Shock Doctrine නමැති පොතේ උදාහරණ හැටියට දක්වා තිබෙනවා. 1973 චිලියේ සිදුවුණු පිනෝචේගේ කුමන්ත්‍රණය (Coup), 1991 රුසියානු සමූහාණ්ඩුවේ කඩා වැටීම,1997 ආසියානු මූල්‍ය අර්බුදය , 2003 ඉරාක යුද්ධය සහ තවත් කිහිපයක් පෙන්වා දී තිබෙනවා. මේ හරහා ඇති වන ආතතිය (Shock ) ප්‍රයෝජනයට ගනිමින් ලෝකයේ බලවත් රාජ්‍යන් විශේෂයෙන්ම අමෙරිකාව, චීනය , ඉන්දියාව වැනි රටවල් ඔවුන්ගේ බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා.

මේ හා සමාන තත්ත්වයන් කිහිපයක් ලංකාවේ අපිත් අත්විඳ තිබෙනවා (Power profits from disaster). ජාත්‍යන්තර මැදිහත් වීම් වලට අමතරව දේශීයව බලය හිමි පාලකයන් තිස් අවුරුදු යුධ සමයේදී අවි ගනුදෙනු මහා පරිමාණයෙන් සිදු කලා. රටේ අර්බුදය පාවිච්චි කරමින් බලය ඇත්තන් විශාල ලෙස කොමිස් ගැසූ බව ප්‍රසිද්ධ රහස්. උදා: මිග් ගනුදෙනුව, කොරෝනා වසංගතය හරහා බලය ඇත්තන් ලාභ ලැබීම උදා: ඇන්ටිජන් ගනුදෙනුව, විදේශ ගත ශ්‍රී ලාංකිකයන් සහ සංචාරකයන් නිරෝධායන හෝටල් ගත කිරීම හරහා කල වංචාවන් යනාදිය පෙන්වා දිය හැකියි.

ප්‍රකට නව ලිබරල්වාදී චින්තකයෙක් හැටියට පිළිගැනෙන මිල්ටන් ෆ්‍රීඩ්මාන් (Million Friedman) ප්‍රකාශ කරන්නේ මෙවැනි අර්බුදයක් පවතින අවස්ථාවල ආතතියට පත්වන ජනයා තදබල නිර්වින්දනයකට ලක්වන බවත් ඔවුන් නැවැත පියවි ඇස් විවර කිරීමට පෙර පාලකයන් ඔවුන්ට අවශ්‍ය කටයුතු සම්පුර්ණ කරගත යුතු බවයි.

ලංකාවේ මේ ගතවෙන්නේ ඒ නිර්වින්දන කාලයයි. එම නිසා මේ අවස්ථාවේ මිතුරන් සේ වෙස් ගත් ජාත්‍යන්තරයත්, ගැලවුම් කරුවන් සේ පෙන්වමින් පෙරට එන ජාත්‍යන්තරයේ දේශිය නියෝජිතයනුත් මෙම අර්බුදය තම වාසියට හරවා ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම ලිපියේ බලාපොරොත්තුවයි.

1. ලංකාවේ අද පවතින ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ අද ඊයේ නොවෙයි. එහෙත් බොහෝ අය හිතන්නේ 2019 න් පසු මෙය ඇති වුන තත්ත්වයක් බවයි. සෑබෑ ලෙසම මෙම අර්බුදය ආරම්භ වන්නේ 1977 ජේ ආර් ජයවර්ධන ජනාධිපති වී රටට හඳුන්වාදුන් ආර්ථික ක්‍රමය වරින් වර බලයට පැමිණි රජයන් වැරදි විදිහට කළමනාකරණය කිරීම නිසයි. ජනයා අවබෝධ කරගත යුත්තේ මෙම වැරදි කළමනාකරණය උච්චස්ථානයට පත්වීම සිදුවන්නේ 2019 -2020 වැනි වර්ෂ වලයි. එහි ප්‍රතිඵලයක් හැටියට ආර්ථික අර්බුදයකුත් , ඉන් අන්තුරුව එය දේශපාලන අර්බුදයක් දක්වාත් වර්ධනය වී , දේශපාලන අර්බුදය හේතුවෙන් ආර්ථික අර්බුදය තවත් තිව්‍රර වී තිබෙන බව ඔබලා පිළිගන්නවා ඇති .

නයෝමි ක්ලේන්ට අනුව දැන් ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ආපදා ධනවාදයයි. (Disaster Capitalism). ලංකාවේ අද පවතින තත්ත්වය ඔබ හොඳින් නිරීක්ෂණය කළහොත්, මෙම ආර්ථික හා දේශපාලන අර්බුදයේ ප්‍රයෝජනය ගන්නේ විශේෂයෙන්ම අමෙරිකාව සහ ඉන්දියාව බව ඉතා පැහැදිලියි. ඔවුන්ගේ අභිලාෂයන් හොඳින්ම නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ අගමැති වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ පත්වීම. ක්‍රම විරෝධියි. සදාචාර විරෝධියි. රටේ ජනයා මීට අවුරුදු දෙකකට පෙර එකදු ආසනයක් වත් ලබා නොදුන් එක්සත් ජාතික පක්ෂයේ (ආසන්න වශයෙන් ඡන්ද 445000) නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්නේ ජාතික ලැයිස්තුවෙන්. ඔහු ලබා ගන්නේ මනාප ඡන්ද 31000 යි. එහෙත් අසරණ වී සැඟවී සිටි ජනාධිපති ගෝටාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට පත්කරන්නේ ඔහුගේ හෝ පොහොට්ටු පක්ෂයේ උවමනාවට නොව අමෙරිකාව සහ ඉන්දියාවේ උවමනාව මත කියා රටේ ජනයා ගෙන් කී දෙනාද විශ්වාස කරන්නේ?

78 ව්‍යවස්ථාවේ 43(3) ඡේදය අනුව ජනාධිපති වරයා ඔහු විශ්වාස කරන අන්දමට අගමැති හැටියට පත් කල යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා බව සඳහන් වෙනවා. එහෙත් විශේෂත්වය වන්නේ ලෝකයේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජන ඡන්දයෙන් පරාජය වී (ඡන්ද 31000), ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි තනි ආසනයක් හිමි මන්ත්‍රීවරයකු අගමැති වෙනවා.

2. අගමැති වරයා බලයට පැමිණ මේ වනවිට දින 20ක් ගත වී තිබෙනවා. ජනාධිපති වරයා අගමැති රනිල් වික්‍රමසිංහ පත්කරමින් ප්‍රකාශ කරන්නේ ඔහුට තිබෙන පළපුරුද්ද, සහ ජාත්‍යන්තර සම්බන්ධතා, රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ඉවහල් වන බව ප්‍රකාශ කරමින් . එහෙත්, අද වන තුරු අගමැති වරයා විසින් ආර්ථික අර්බුදය විසඳීම සඳහා සැලකිය යුතු මට්ටමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා ද කියන ප්‍රශ්නය ඇසිය යුතු වෙනවා. ඒ වගේම, ලංකාවේ ආර්ථික අර්බුදය ඉන්දියාවට ධන උල්පතක් වී ඇති බව ඉන්දියානු මාධ්‍ය ඊයේ වාර්තා කොට තිබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන සැපැයීමේ ඒකාධිකාරය ඉන්දියාව ලබා ගෙන තිබෙනවා. රුසියාව විසින් වෙළෙඳපොළ මිලට වඩා අඩුමිලට ලංකාවට තෙල් සැපැයීමට එකඟ වුවත් ඉන්දියාවේ මැදිහත් වීම නිසා එය වැලකෙනවා. ඒ වගේම ඖෂධ , ආහාර ආදිය සැපැයුම සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ ඒකාධිකාරයට යටත් වෙනවා. මෙය ආපදා ධනවාදය ඉතා හොඳින් ක්‍රියාත්මක වන අවදියක්.

3. මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට අනුව මේ නිර්වින්දන අවදිය රනිල් වික්‍රමසිංහ හොඳින් ප්‍රයෝජනයට ගනිමින් සිටින බව රටේ ජනයා දැනගෙන සිටිය යුතුයි. ඔහු මුදල් ඇමැති හැටියට මේ වන විටත් විවිධ රාජ්‍ය දේපළ පහලොවකට ආසන්න ප්‍රමාණයක් විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව පැහැදිලියි. එහෙත් රටේ ජනයා මේවා පිළිබඳ අවධානය යොමු නොකරන්නේ ඔවුන්ට අද වැදගත් වන්නේ ඉන්ධන , ගෑස් , ඖෂධ, ආහාර සහ කිරිපිටි සැපැයීමයි. දේපොළ විකිණීම හෝ කොමිස් ගැනීම පිළිබඳ ජනයා මේ අවස්ථාවේ සැලකිලිමත් වන්නේ නැති බව පාලකයන් දන්නවා. ඒ වායේ ආදිනව ජනයාට දැනීමට පටන් ගන්නේ සෑහෙන කාලයකට පසුවයි. එවිට අස්සයා පැන ගොස් අවසානයි.

ආපදා ධනවාදයට නතු වී සිටින ලංකාවට මේ ක්‍රමය තුල පවතින අර්බුදයට විසඳුම් නොමැති බව ඔබට ඉදිරියේදී පැහැදිලි වනු ඇති. අගමැති රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදය විසඳීමට වඩා ප්‍රමුඛතාව ලබා දී තිබෙන්නේ වෙනත් කාරණා වලට බව පැහැදිලියි. ඒ තුල රටේ ජනයා විශාල ලෙස හෙම්බත් වී අවසානයේ රට මහා විනාශයකින් කෙලවර වීම නොවැළැක්විය හැකි බව අවධාරණය කරමි.

ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA
2.6.2022



One thought on “ආපදා ධනවාදය හෙවත් Disaster Capitalism”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More