පුරවැසි කොලම

ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වී රුවන් වැලි සෑය අභියස කල ඓතිහාසික කතාවේ එක් කොටසක මෙසේ කියවිනි.

“මා වෙනුවෙන් චන්දය භාවිතාකල 69 ලක්ෂයක ජනතාව මේ ජන වරම මට ලබා දී තිබෙන්නේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප රටට යෝජනා කල ‘ජනතාව විසින්’ ‘ජනතාව උදෙසා සකස් කල’ ‘ජනතා වැඩපිලිවෙල’ ක්‍රියාත්මක කිරීමටයි”.

ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ සිටියේ හිටපු ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න මහතාය. අලුත් ජනාධිපති ලේකම් ලෙස චන්ද ව්‍යාපාරයේ ඔහු සමග සමීපව කටයුතු කල අයෙක් පත් වනු ඇතිය යන්න බොහෝ දෙනෙකුගේ විශ්වාසය විය. ‘ජනතාව විසින්’ ‘ජනතාව උදෙසා සකස් කල’ ‘ජනතා වැඩපිලිවෙල’ ක්‍රියාත්මක කිරීමට’ නම් ප්‍රතිපත්ති ප්‍රකාශය හොඳින් වටහා ගත් එය විශ්වාස කරනා අයෙකු ජනාධිපතිතුමා සමීපවම සිටීම වැදගත් විය.
.
සියල්ල කනපිට හැරෙන්න පටන්ගත්තේ කිසිවෙකු නොසිතු ආකාරයට ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී බී ජයසුන්දර පත් වීමත් සමගය.

ආචාර්ය පී බී ජයසුන්දර යනු ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණයට කිසිසේත් සහභාගී නොවූ , ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර පවා තැන් තැන් වල සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණයට උසුළු විසුලු කරමින් සිටි අයෙකි.

චන්ද්‍රිකා බන්ඩාරණායක සමයේ භාන්ඩාගාරික ලේකම් හා ඇයගේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස කටයුතු කල පී බී 2002 වන විට රටේ ආර්ථික වර්ධන වේගය ඍණ කිරීමට දායක වූ ප්‍රධාන පුද්ගලයාය. ඉන් පසුව මහින්ද රාජපක්ෂ රජයේ භාන්ඩාගාරික ලේකම් හා ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස රට විශාල ණය උගුලක පැටලු පුද්ගලයාය. භාන්ඩාගාරික ලේකම් ලෙස මිස ජනාධිපති ලේකම් ලෙස ඉන් පෙර කටයුතු කොට නොතිබුන ආචාර්ය පී බී ජයසුන්දර එතැනට ගෙනැවිත් තිබුනේ ජනාධිපතිවරණයට පසුවදා සිට පිටුපසින් සිට සුක්කානම මෙහෙයවූ පවුලේ ප්‍රබලයෙක් විසින් බව වැඩි කල් යන්නට පෙර කාටත් පසක් විය.

ජනාධිපති ලේකම්ට අමතරව ජනාධිපති කාර් යාලයේ සිටි අනෙකුත් ප්‍රධාන නිලධාරීයා වූයේ ජනාධිපති උපදේශක ලෙස පත් වූ ලලිත් වීරතුංග මහතාය. ඔහුද ජනාධිපතිවරණයට පෙර කිසිවිටක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට ඍජු දායකත්වයක් දැක්වූවෙක් නොවේ. ලලිත් වීරතුංග මහතා පුරුදුව සිටියේ තම නායකයා කියනා ඕනෑම දෙයක් හොඳයි කියා ඔහුව සතුටු කරන්නට මිස එහි අඩු පාඩු පෙන්වා දී වෙනස් කරන්නට නොවේ.

නව ජනාධිපතිවරයාට කාර් ය මන්ඩල ප්‍රධානියෙක් නිල වශයෙන් නොසිටි අතර එම කටයුත්ත ඉටු කරනා ලද්දේ විශ්‍රාමික මේජර් ජෙනරාල් එගොඩවෙල විසිනි. ඔහු විශ්වාසවන්ත පුද්ගලයෙක් වුවද දේශපාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් ඔහුට නොතිබුනි.

පෞද්ගලික ලේකම් ලෙස පත් වූ සුගීශ්වර ජනාධිපතිවරණයට ආසන්න කාලයේ දේශපාලනඥයින් පිරිසක් විසින් ආරම්බ කරනා ලද එලිය සම්මන්ත්‍රණ මාලාවේ සම්බන්ධීකාරක විය. ඔහුට දේශපාලන අවභෝධයක් හා සම්බන්ධතා තිබුනද කාර්යාලයේ සිටි ප්‍රධාන නිලධාරීන් සිව් දෙනා අතරින් ඔහු කනිෂ්ඨතම නිලධාරියා වූ නිසා ඔහුට කල හැකි බලපෑම ඉතා සීමිත විය.

ජනාධිපති ලේකම් ලෙස පී බී කල මුල්ම කටයුත්තක් වූයේ වියත්මගේ කිසිවෙකුට ජනාධිපති කාර්යාලයේ මේසයක් පුටුවක් හෝ තබාගන්නට ඉඩක් නොදෙන ලෙස කාර්ය මන්ඩලයට උපදෙස් දීමය. වියත්මග ක්‍රියාකාරීන් නිතර තමා මුනගැසී පෙර පරිදිම බුද්ධි මනඩලයක් ලෙස ක්‍රියා කල යුතු බව ජනාධිපති වරයාගේ අපේක්ෂාව වුවද ඉතා සූක්ෂම ලෙස එම සම්බන්ධයට වැටක් බඳිනා ලදී. ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ වියත්මගය යන වැරදි මතය පතුරවන පොහොට්ටුවේ ක්‍රියාකාරීන්වත් බොහෝ දෙනෙකු නොදැන සිටියේ මේ සත්‍යය.

නව ජනාධිපතිවරයා උත්සව වලට මගුල් ගෙවල් වලට මරන ගෙවල් වලට නොඑනා බවට නිවේදනයක් නිකුත් වූ අතර කලක් යත්ම දුරකථනයෙන් හෝ ඔහුව සම්බන්ධ කරගැනීම ඉතා අපහසු විය.

ජනාධිපති ගෝඨාභය අනෙක් ජනාධිපතිවරුන් මෙන් ජනාධිපති මන්දිරයේ පදිංචියට නොයා මිරිහානේ තම කුඩා නිවසේම ජීවත් වන්නට තීරණය කලේය. මෙය ඔහු විසින් කරනා ලද විශාල දේශපාලන වරදකි. ජනාධිපති මන්දීරයේ සිටියානම් හිතවතෙකුට හෝ දේශපාලනඥයෙකුට අවසර නොමැතිව පවා මන්දීරයට පැමිණ යම් කාලයක් ගත කොට හෝ ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාවක් සලසා ගත හැක. එසේම උදේ සිට රාත්‍රී කාලය දක්වා කොයො මොහොතේ හෝ ඒ අවස්තාව ලැබිය හැක. ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මිරිහානේ ආරක්ෂාව තරකරනා ලද අතර සවස් කාලයේ හෝ නිවාඩු දිනක කලින් ලබා ගත් අවසරයකින් තොරව පුද්ගලික නිවසකට යාමට බොහෝ දෙනෙකු අකමැති විය. ජනාධිපති වරයා තම කාර්යාලයේ සිටිනා වේලාවල රාජකාරි කටයුත්තකට ඔහු හමු වීමට නම් ජනාධිපති ලේකම්වරයාගෙන් අවසර ලබා ගත් යුතු වූ අතර කිසිදිනෙක දුරකතනයට නොඑන පී බී ගෙන් එවැනි අවසරයක් ලබා ගැනීම ඉතා අපහසු මෙන්ම අප්‍රසන්න කටයුත්තක් විය. පුද්ගලික ලේකම් සුගීශ්වරද කාර් ය මන්ඩල ප්‍රධානී ලෙස වැඩ බැලූ එගොඩවෙලද පී බී ගේ දැඩි පාලනයට නතු වී සිටියහ.

ජනාධිපති ගෝඨාභය හා අනෙකුත් දේශපාලනඥයින් අතර සම්බන්ධයද බොහෝ සේ දුරස් වීමට මේ තත්වය හේතුවක් විය.

එසේ නම් ඔහු බලයට ගෙන එන්නට බොහෝ සේ කැප වූ අනෙකුත් බලවේග ගැන කුමන කතාද. නායකයා ජනතාවගෙන් දුරස් වූ කල ඔහුට ජනතාව පිළිබඳ සත්‍ය තොරතුරු ලැබෙන්නේ කෙලෙසද ?

මේ ආකාරයට මුල් වසර දෙකේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුව දිනපතා කාර්යාලයේදී කිහිපදෙනෙකුගේ සිරකරුවෙක් වූයේ ඔහුටවත් නොදැනුවත්වය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවල සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත් කරමින් නිතරම කී කතාවක් වූයේ ” අපිට අවුරුදු 15 ක වැඩ අවුරුදු පහකින් කරන්න තිබෙනවා” කියාය. ඒ සැලස්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය තුල තිබුනි. හැට නම ලක්ෂයක් ජනතාව චන්දය දී තිබුනේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටය.

නමුත් අළුතින් පත්වූ ජනාධිපතිවරයා වටකරගෙන සිටියේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය” කියවා නොමැති එය විශ්වාස නොකල පිරිසකි.

මේ අනුව ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති වලට වෙනස් වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නට පටන්ගන්නේ තුන්වන වරටත් ලංකාවේ ජනාධිපතිවරයෙකුගේ සමීපතම ආර්ථික උපදේශකයා බවට පත් වී සිටි වරක් විමල් වීරවංශ විසින් ආර්ථික ඝාතකයෙකු ලෙසනම් කරනා ලද ඒ වන විටත් වසර 20 ක් ලංකාවේ ආර්ථිකය මෙහෙයවා කිසිදු සාර්ථකත්වයක් පෙන්වා නොතිබුන පුද්ගලයෙක් හරහාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More