පුරවැසි කොලම

රටේ ඩොලර් සංචිතය සිදීයාම තුළ උත්සන්න වූ ආර්ථික අර්බුදය ක්‍රමයෙන් දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වූ බව සත්‍යයකි. ඒ අනුව දේශපාලන අර්බුදය විසඳිය හැක්කේ ආර්ථික අර්බුදය විසඳීමට සමගාමීව බව ඉතා පැහැදිලිය. නමුත් ආණ්ඩුවෙන් ස්වාධීන වී විසඳුම් ඉල්ලා සිටි බලවේග මෙන්ම විපක්ෂයේ සිට ආණ්ඩුවට චෝදනා එල්ල කළ බලවේග ඊට අදාලව නිශ්චිත යෝජනා යම් කාල රාමුවකට යටත්ව ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කරන බවක් දක්නට නැත. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 කට අයත් මන්ත්‍රීවරු ප්‍රමුඛ බලවේගය එසේ ආණ්ඩුවෙන් ස්වාධීන වීමට පෙර “මුළු රටම හරිමගට” නමින් විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් ආණ්ඩුව විසින් පණිවුඩකරුවා ට වෙඩි තැබීම නිසා ඊට අදාළ සංවාදය ඉහලට එස වූ අතර වැඩපිළිවෙළ පිළිබඳ සංවාදය යටපත්විය. එවැනි තත්වයක් තුල අවසානයේ දී වැඩපිළිවෙළ පූර්ව කොන්දේසියක් බවට පත් කිරීමෙන් තොරව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම මගින් අර්බුදයට මුහුණ දිය යුතු බවට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ශව විසින් යෝජනා කරනු ලැබීය.

එම සංවාදය තුළ ආර්ථික අර්බුදයෙන් වියුක්තව දේශපාලන අර්බුදය විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් වූ අතර ඒ තුළ යම් පාර්ශව විසින් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබීය. අවසානයේදී ව්‍යවස්තා සංශෝධන යෝජනාව මූලික විසඳුමක් ලෙස ඉහළට එසැවුණු නමුත් අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා එකඟතාවයක් ඇති නොවීය. ඊට හේතු වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අමාත්‍යධූර පමණක් නොව නාමිකව හෝ අගමැතිධුරය ලබාදිය නොහැකි බවට දැඩි කොන්දේසියක් පැනවීම බව දැන් ඉතා පැහැදිලි කරුණකි. නමුත් සාකච්ඡා ක්‍රියාවලිය තුළ දැඩි ලෙස ඉදිරිපත් නොවූ යම් කොන්දේසිවලට ජනාධිපතිවරයා විසින් එකඟතාවය පළ කරනු ලැබීය. උදාහරණ ලෙස මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සෙසු සියලු‍ රාජපක්ෂවරුන්ට ඇමතිකම් ලබා නොදීම මෙන්ම ජනතා අප්‍රසාදයට ලක් වූ වෙනත් ප්‍රබල ඇමතිවරුන්ට අමාත්‍ය ධුර අහිමි කිරීම සහ අමාත්‍ය මණ්ඩලය 15කට සීමා කිරීම් ආදි කොන්දේසි ජනාධිපතිවරයා විසින්ම ඉදිරිපත් කරනු ලැබීය. එසේ වුවත් අගමැති පිළිබඳ එකඟතාවයක් ඇති නොවූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ශව විසින් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර නව අමාත්‍යවරයකු තම පාර්ශවයෙන් පත්කළ යුතු බවට දැඩි ස්ථාවරයක් ගනු ලැබීය.

අවසානයේ දී මහින්ද හිතවාදී නූගත් එහෙත් බලවත් අමාත්‍යවරුන් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතා සිය දිවි නසාගැනීමේ දේශපාලන මෙහෙයුමකට තල්ලු‍ කරනු ලැබීය. පංචතන්ත්‍රයේ රජතුමා සහ වඳුරා කතාව සිහිගන්වන එම පිරිස සෙසු පක්ෂ වලින් මහින්ද රාජපක්ෂ මහතා දුරස් කිරීමේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුර සල්ගාදු පිටියෙනි. ඒ අනුව මැයි 9 දින අරලියගහ මෙහෙයුම එහිම දිගුවක් ලෙස සැලකිය හැක. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමෙන් පසුව ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ශව විසින් අගමැති ධූරය සඳහා නම් ත්‍රිත්වයක් යෝජනා කරනු ලැබීය. එසේ වුවත් ජනාධිපතිවරයා විසින් අනපේක්ෂිත ලෙස ඒකපාර්ශවීයව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිළිගන්වනු ලැබීය. ඒ පිළිබඳව ඒ වනවිට අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡා පැවැත්වූ පාර්ශව සමඟ කිසිඳු එකඟතාවයක් ඇති නොවූ බව පැහැදිලි කරුණකි. එහෙත් ඒ සඳහා බටහිර සහ ඉන්දියානු තානාපති අංශ වලින් මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ජනාධිපතිවරයාට ප්‍රබල බලපෑමක් එල්ල වූ බවට සමාජ මතයක් ගොඩනැගී ඇත.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ තනතුරු අහිමි වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට ආරක්ෂාව තහවුරු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පමණක් බවට මතයක් ඉදිරිපත් වූ බව ද වාර්තා විය. මහින්ද රාජපක්ෂ මහතාට මැයි 9 වැනිදා මුහුණ දීමට සිදු වූ බරපතළ මහජන විරෝධය සහ ඊට අදාලව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා ලෙස අසරණව බලා සිටීමට සිදු වූ ආකාරය නිරීක්ෂණය කිරීමේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය සාධාරණ යයි පිළිගත හැක. ඒ අනුව අවසානයේ දී ආණ්ඩුවේ ජනවරමට පටහැනිව ගෝඨා – රනිල් සන්ධානයක් නිර්මාණය විය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරමේ මූලය රනිල් වික්‍රමසිංහ විරෝධය බව ඉතා පැහැදිලි කරුණකි. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලයෙකු ලෙස පැහැදිලි ජනවරමක් ලැබී නැත. එතුමා පාර්ලිමේන්තුවට ඇතුල් වන්නේ මැතිවරණයේදී පරාජය වූ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පත් නොකළ යුතු බවට තමා විසින්ම පැනවූ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමිනි. ඒ අනුව ඊට පෙර ජනවරම සහිත ව බිහි වූ චන්ද්‍රිකා – රනිල් සහ මෛත්‍රී – රනිල් සන්ධාන වලට වඩා ගෝඨා – රනිල් සන්ධානය අශුද්ධ සන්ධානයක් බවට අර්ථකථනය කිරීම වැළැක්විය නොහැක.

ඒ ආකාරයට දේශපාලන අර්බුදයට අදාළ අතීත ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ පූර්විකාවක් ඉදිරිපත් කිරීමට සිදු වන්නේ මෙතැන් සිට සිදුවිය හැකි දේ පිළිබඳව තර්කානුකූල අවබෝධයකට මඟ පෑදීම සඳහාය. විශේෂයෙන්ම අද රටේ පවතින තත්වය විග්‍රහ කිරීම සඳහා ලෝක පරිමාවෙන් හෝ උදාහරණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැත. පස්වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසර හතළිහකට අධික කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සිදුකළා යයි කියන කිසිදු සාධනීය වෙනස්කමක් සඳහා දායක වූ බවට සාක්ෂියක් සොයාගත නොහැක. ඔහුගේ නමට අදාළව සටහන් වී ඇති සාක්ෂි බොහොමයක් ඇතත් ඒ සියල්ල රටේ ස්වෛරී භාවය සහ භෞමික අඛණ්ඩතාවය අනතුර ලක් කිරීමට අදාළ චෝදනා ලෙස සටහන් වී ඇත. ඒ අතුරින් 2002 සටන් විරාම ගිවිසුම සහ ඉන්පසුව ප්‍රභාකරන්ට තාවකාලික ආණ්ඩුව ලබාදීමේ යෝජනාව මෙන්ම සුනාමි සහන මණ්ඩල යෝජනාව ප්‍රමුඛතම පාවාදීම් ලෙස සැලකිය හැක.

අද රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට අගමැතිකම කඩාවැටෙන ලෙස ගල් ගැසූ පිරිස් විසින් එදා එම පාවා දීම් වලට එරෙහිව දිවි පරදුවට තබා කටයුතු නොකළා නම් අද ශ්‍රී ලංකාව සුඩානයක් බවට පත්වී හමාරය. එදා එම නෝර්වේජියානු මෙහෙයුම පරාජය කිරීමෙන් පසුව ද රනිල් වික්‍රමසිංහ මහතා යුද ජයග්‍රහනය වැළැක්වීම සඳහා උපරිම වශයෙන් කැප වූ බව රහසක් නොවේ. ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසුව 2015දී ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන් යුද අපරාධ කාරයන් ලෙස නම් කිරීම සඳහා ප්‍රබලතම දායකත්වය සපයනු ලැබුවේ ඔහු විසිනි. ඉන්පසුව ඔහුගේ ප්‍රබල මැදිහත් වීම මත දියත් වූ, ආරක්ෂක හමුදා, විශේෂයෙන්ම ඔත්තු සේවා, දුර්මුඛ කිරීමේ ක්‍රියාවලිය අවසන් වූයේ පාස්කු ප්‍රහාරයට මග පෑදීම මගිනි. ඒ සියල්ල එතුමා විසින් ඉටු කරනු ලැබුවේ ගෝලීය නව ලිබරල් ක්‍රියාන්විතයට අදාල තමා ගේ පරම යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමින් බවටද මතයක් ඇත. සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමේදී ජනාධිපතිවරිය දැනුවත් කිරීමට පියවර නොගැනීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඔහු ක්ෂණික ව සඳහන් කළේ “ඔව් මා පෑන ගත්තා අත්සන් කළා” යනුවෙනි. තමාගේ ප්‍රතිපත්තිය විවෘත ව ප්‍රකාශ කිරීම සහ ඒ වෙනුවෙන් නොසැලී පෙනී සිටි එතුමා ගේ සුවිශේෂී ලක්ෂණයකි. යම් විචාරකයින් විසින් ගෝලීය නව ලිබරල් ක්‍රියාන්විතයේ දේශපාලන සියදිවි නසා ගැනීමේ බළඇණියේ දකුණු ආසියා කලාපයේ ප්‍රභලතම අණදෙන නිලධාරියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ගරු සම්මාන පුද කරන්නේ ඒ නිසාය.

ශ්‍රී ලංකාවේදී 1977දී ආරම්භ කළ එම මෙහෙයුමට අදාල අණදෙන නිලධාරීන් අතුරින් අද ජීවත් වන ප්‍රබලතම චරිතය රනිල් වික්‍රමසිංහ මහතා බවට විවාදයක් නැත. ඔහු විසින් නායකත්වය සපයන ලද සුවිශේෂී ක්‍රියාන්විත වලට අදාල ඉතිහාස සටහන් පිරික්සීමේදී ජේ.ආර්. ජයවර්ධන මහතාට වඩා ඔහු ඉදිරියෙන් සිටින බවට විවාදයක් නැත. ඔහුගේ පළමු ක්‍රියාන්විතය වූ අධ්‍යාපන ධවල පත්‍රිකාව නම් මූ මෙහෙයුමේදී ශිෂ්‍ය සටන් පරාජය කරනු ලැබුවේ අශ්වාරෝහක හමුදාවලින් පාගා දැමීම මගිනි. ඉන් පසුව බලයට පත් වූ සෑම රජයක්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඔහුගේ න්‍යය පත්‍රය බව ඉතා පැහැදිලි කරුණකි ඉන්පසුව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ඒ වන විට බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් ආරම්භකර තිබූ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් වූ යූරියා පොහොර කර්මාන්ත ශාලාව වසා දමා එය යකඩවලට විකුණා දැමීමට පසුබට නොවීය. එහිදී ගෝනවල සුනිල් නම් වූ පාතාල නායකයා ට මිනිස් බල සහ වාහන සැපයුම් කොන්ත්‍රාත් ලබා දීම මගින් එම ආයතනය පාඩු ලැබීමට සලස්වා ඒ ආකාරයට වසා දැමීම සාධාරණීකරණය කරනු ලැබීය. ඛණිජ තෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් වූ නැප්තා වලින් යූරියා පොහොර දිනකට මෙට්රික් ටොන් 1000ක් නිපදවිය හැකි එම කර්මාන්ත ශාලාව මගින් දේශීය පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යම් ප්‍රමාණයක් අපනයනය කිරීමට ද අපේක්ෂා කරන ලදී. අවසානයේ දී කර්මාන්තශාලාව යකඩවලට විකිණීමෙන් පසුව ඊට අයත් වූ සේවක නිවාස සංකීර්ණය 1989දී වධකාගාරයක් බවට පරිවර්තනය කිරීම මගින් ඔහු ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය.

එම ක්‍රියාවලියේ දිගුවක් ලෙස අගමැතිවරයා බවට පත්වන රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය සපයන ලදී. යළි පුබුදමු ශ්‍රී ලංකා නම් වූ බහු විධ නව ලිබරල් මෙහෙයුම අදටත් විවිධ ලේබල යටතේ ක්‍රියාත්මක වේ. එහි යම් කොටස් මහින්ද රාජපක්ෂ මහතා යටතේ පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවා ක්‍රියාත්මක විය. ගෝඨා – රනිල් සන්ධානය යනු ඉතිහාසයේ තර්කානුකුල ප්‍රකාශනයක් ලෙස ද හුවා දැක්විය හැක. නමුත් එම තර්කානුකූල අන්තය දක්වා සමස්ත සමාජය දක්කා ගෙන යෑම සඳහා සුවිශේෂී අපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් දියත් වූ බව පිළිගැනීමට සිදුවේ. ආර්ථික අර්බුදය වර්ධනයවීම සමග එම අපදාව යොදාගනිමින් සමස්ථ සමාජය සහ දේශපාලන තන්ත්‍රය ගෝඨා – රනිල් සන්ධානය දක්වා තල්ලු‍ කිරීම සඳහා යම් මධ්‍යගත මෙහෙයුමක් දියත් වූ බවට ප්‍රබල තර්ක ඉදිරිපත් කළ හැක. ආර්ථික අර්බුදය මුල්කරගෙන පැන නැගුණු මහජන විරෝධය ක්‍රමයෙන් උත්සන්න කිරීම සහ අර්බුදයට නිසි විසදුම් ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා දායක වූ පාර්ශ්ව ලැයිස්තුගත කිරීමෙන් ඒ බව වටහා ගත හැක. එහිදී නීතිඥ සංගමය, මානව හිමිකම් කොමිසම යොදාගනිමින් ආරක්ෂක අංශ වලට සහ ජනාධිපතිවරයාට මානසික බාධක පැනවූ ආකාරය සහ සමාජ මාධ්‍ය ඡාලා හරහා දේශපාලන ක්‍රියාකාරීන්ට මානසික බාධක පැනවූ ආකාරය එක් මහා මෙහෙයුමක කොටස් බව පෙනේ. අවසානයේදී මහා භිෂණයක් මගින් සමස්ථ සමාජය හිරිවට්ටන ලද ආකාරය සහ සමස්ථ සිදුවීම් පෙළ ගැස්වීමේදී ඒවා අහඹු සිදුවීම් නොවන බව පහැදිලි වේ. අවසාන‌යේදී ඒම ක්‍රියාවලිය තුළ ප්‍රමුඛතම විසදුමක් ලෙස ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉහළට එසවීම මගින් පෙන්වන්නේ කුමක්ද? ඒ මගින් ඉතා හොදින් පැහැදිලි වන්නේ 2003දී සහ 2019 දී අවසන් කළ තැනින් නැවත පටන් ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යොදාගන්නා බව නොවේද?

රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2002දී ආරම්භ කළ රාජ්‍ය ආයතන විකිණීමේ ක්‍රියාවලිය සහ ඔහුගේ යම් ක්‍රියාමාර්ග ආපසු හැරවීමට හැකිවූ ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් 158/2007 අංක දරන මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව මගින් ප්‍රකාශයට පත්විය. ඒ මගින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා, පී.බී. ජයසුන්දර මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට එක්ව අමාත්‍ය මණ්ඩලය නොමග යවමින් කොළඹ වරායේ “බන්කරින්” ව්‍යාපාර සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වටිනාකම අවතක්සේරු කර පුද්ගලික අංශයට තුට්ටු දෙකට විකුණා දැමූ ආකාරය විචිත්‍රවත් ලෙස හෙළිදරව් කෙරිණි. කෙසේ වෙතත් ඒ ආකාරයට 2003 දී අවසන් කිරීමට නොහැකි වූ යම් උපායමාර්ගික මෙහෙයුම් රනිල් වික්‍රමසිංහ මහතා මෙදා 2022දී බලයට පත්වීමට පෙර ප්‍රගතිශීලි කඳවුරේ දේශපාලඥයන් විසින් ඉටුකිරීම මගින් අද පවතින තත්ත්වයේ බරපතළකම පැහැදිලි වේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නීත්‍යානුකූලව ඉන්දියානු තෙල් සමාගමට පැවරීම හොඳම උදාහරණයකි. අද වන විට එම තත්ත්වය කෙතරම් වර්ධනය වී ඇද්ද යන්න පුදුමසහගතය. මහින්ද රාජපක්ෂ මහතා එලවා දමා ජනවරමට පටහැනිව එම තනතුර රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීම සාධාරණීකරණය කිරීමට එම බලවේග ක්‍රියා කිරීම පුදුම සහගත නොවේ ද? රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයෙන් ඩොලර් හිඟා කෑමට දක්ෂයෙකු බැවින් ඔහුට එම වගකීම පැවරිය යුතු බවට තර්ක ඉදිරිපත් කරන්නේ මීට පෙර ඔහුගේ සතුරු කඳවුරේ සිටි පිරිස් විසිනි. එසේ නොකළහොත් මධ්‍යම පන්තිය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවන්නන්ට එරෙහිව කැරලි ගසනු ඇති බවට සමාජ මාධ්‍යට මගින් සැලසුම් සහගතව මානසික බාධක පනවන බව දැන් රහසක් නොවේ. ප්‍රගතිශීලි කඳවුරේ පිරිස් විසින් රනිල් වික්‍රමසිංහ මහතා එකම සුදුස්සා ලෙස හුවා දැක්වීම තුළින් සහ ඔවුන් විසින් ඔහුගේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සාධාරනීකරණය කිරීම තුළින් තත්ත්වයේ බරපතළකම පැහැදිලි වේ.

තත්වය කෙතරම් බරපතලද යත් රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූ සහ මෑතකාලීනව වත්මන් අර්බුදය උත්සන්න කිරීමට හේතු වූ ප්‍රබල කාරණා පිළිබඳව පවා ඔවුහු මුනිවත රකිති. උදාහරණ ලෙස අද පවතින විදේශ විනිමය අර්බුදයට විශාල වශයෙන් දායක වන ගැටලු‍වක් ලෙස හඳුනාගෙන ඇති විදේශ විනිමය පාලනය දුර්වලතා වලට මුල්වන්නේ 2017 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ විදේශ විනිමය පනත බවට විවාදයක් නැත. විදේශ විනිමය ජාවාරම්, විශේෂයෙන්ම කළු වෙළෙඳපොළ, දිරිමත් වන සහ මුදල් විසුද්ධිකරණය ප්‍රචලිත කෙරෙන එම පනත් මගින් මහ බැංකුවේ පාලනය සහ ස්වාධීනත්වය දුර්වල කෙරෙන අතර මහ බැංකුවට නියෝග දීමේ බලය මුදල් අමාත්‍යවරයා අතට පත්වේ. රනිල් වික්‍රමසිංහ මහතා එම පනත් කෙටුම්පත විදේශ විනිමය කළමනාකරණ පනත නමින් 2003 දී සම්මත කිරීමට උත්සාහ කළ ද ජේෂ්ඨ නීතිඥ කල්යාානන්ද තිරාණගම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊට අභියෝග කළ බැවින් එදා එම පනත් කෙටුම්පත හකුලා ගැනීමට සිදුවිය.

කෙසේ වෙතත් ඉන්පසුව 2015දී බලයට පත්වීමෙන් පසුව 2003 දී නැවත් වූ තැනින් පටන් ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පසුබට වූයේ නැත. ව්‍යවස්තා සංශෝධන ක්‍රියාවලිය ද එසේමය. එදා රනිල් වික්‍රමසිංහ සහ විජයදාස රාජපක්ෂ යුගලය විසින් දියත් කළ ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම දැන් නැවත වටයකින් පටන් ගැනීමට හැකිවී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කිරීමට එරෙහිව ප්‍රගතිශීලී යැයි කියාගන්නා බලවේග විසින් ස්වයංව පනවාගෙන ඇති මානසික බාධක කොතෙක් ද යත් වත්මන් විදේශ විනිමය අර්බුදයට ප්‍රබල ලෙස දායක වූ සෛවරී බැඳුම්කර හෙවත් වාණිජ ණය ප්‍රතිශතය ඉහළ යෑමට හේතු වූ රනිල් වික්‍රමසිංහ භූමිකාව හෙළිදරව් කිරීමට ඔවූහු මැලිවෙති. ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිශතය සමස්ත විදේශීය ණය වලින් 47% කි. එම ප්‍රමාණයෙන් 78%ක් එනම් ඩොලර් මිලියන 12500ක් නිකුත් කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ ය. ඒ මගින් යම් කිසිවකු විසින් ලබාගත් කොමිස් මුදල් දේශීය බැඳුම්කර වංචාවට වඩා වැඩි බව අංක ගණිතය දන්නා මහ බැංකු නිලධාරිහු ඉතා හොඳින් දනිති. එහෙත් කිසිවකු විසින් අර්බුදය නිර්මාණය කළ පුද්ගලයාට එනම් ලෙඬේ අසාධ්‍ය තත්වයට පත්කළ වෙදා රෝගියා සුවපත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන්නේ නැත. එම තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයාට ඉතිහාසයේ කිසිදිනෙක නොලැබුන ආකාරයේ බාධක රහිත දිවීමකට පිටිය සකස් වී ඇති බව පිළිගැනීමට සිදුවේ. එම තත්ත්වය වෙනස් කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ඔහු විසින් නොකළ යුතු දේ සහ කළ යුතු දේ පිළිබඳව නිශ්චිත ප්‍රමිතීන් පැනවීම මගිනි. එසේම ඔහුගේ කෙටිකාලීන වැඩපිළිවෙල නිසි ලෙස ආවේක්ෂණය කිරීම මගින් ඔහු තම ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරන සෑම විටම ඊට එරෙහිව මහජනයා පෙළ ගැස්වීම මගිනි. ඔහු මහජන හඩට කන් නොදොන තත්වයක් යටතේ ඊලගට යොදාගත හැකි අවිය වන්නේ විශ්වාසභංගයකි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More