පුරවැසි කොලම

2022 පෙබරවාරි මස 06 වන ඉරිදා ජාතික පුවත්පත්හි, මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එම කාර්යාලයේ එක්තරා තනතුරක් සඳහා බඳවාගැනීමට පුවත්පත් දැන්වීමක් පළ කර තිබිණි. එම      තනතුර නම් කර තිබුනේ ‘පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥ යනුවෙනි.

මෙම දැන්වීමෙහි අන්තර්ගතය විශ්ලේෂණය කර බැලීමේදී එය තවත් එක් ‘රැකියා පුරප්පාඩු දැන්වීමක්’ ලෙස නොසලකා හැරිය නොහැකි බවත්, එම දැන්වීමේ අන්තර්ගතය මගින් එක්සත් ජනපද වුවමනාවන් සඳහා මෙරට මාධ්‍ය – දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීමේ උපාය මාර්ගය හඳුනාගත හැකි බවත් අපගේ කල්පනාවයි.

උක්ත රැකියාවේ කාර්යභාරය කෙබඳුද යන්න එම දැන්වීම තුළ සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.

පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥයා තොරතුරු නිලධාරියාගේ හෝ පොදු කටයුතු භාර නිලධාරියාගේ සෘජු අධීක්ෂණයට ලක්වන අතර, ඔහු/ඇය මෙරට සේවය කරන තොරතුරු සහායකයින් තිදෙනෙක් අධීක්ෂණය කළ යුතුය. මාධ්‍ය මැදිහත්වීමෙන් ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප්‍රධාන උපදේශක වශයෙන් ක්‍රියා කළ යුතුය. දීර්ඝ කාලීන ප්‍රවණතාවන් සහ ප්‍රතිපත්තීන්ට අදාළව මතුවන ගැටලු හඳුනාගත යුතු අතර, එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති සහ ඇමරිකානු අභිරුචිය පිළිබඳ සත්කාරක රටෙහි පුවත්පත් සහ මාධ්‍ය ආවරණය සිදු කිරීමට අදාළ උපාය මාර්ග පිළිබඳව තානාපති කාර්යාල නායකත්වය දැනුවත් කළ යුතුය. එක්සත් ජනපදයට වැදගත්කමක් තිබෙන ගැටලු පිළිබඳ සත්කාරක රටෙහි සිදු කරන පුවත්පත් සහ මාධ්‍ය ආවරණයන් අධීක්ෂණය, විශ්ලේෂණය සහ වාර්තා කිරීම සිදු කළ යුතුය. මාධ්‍ය ආයතන හිමිකරුවන්, කර්තෘවරුන්, නිෂ්පාදකවරුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පුවත්පත් සහ මාධ්‍ය වෘත්තිකයින් සමග ඵලදායී සබඳතා ගොඩනඟාගත යුතු වේ. මාධ්‍ය සංචාර, මාධ්‍යවේදී පුහුණු සැසි සහ හුවමාරු වැඩසටහන් නිර්මාණය සහ සම්බන්ධීකරණය කිරීම සිදු කළ යුතු වේ.

ලංකාව තුළ තානාපති කාර්යාල පවත්වාගෙන යන කිසිදු රටක් ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධව මෙබඳු අවධානයක් යොමු කරන්නේ නැත. එබඳු පසුබිමක ඇමරිකාව සිදු කරන මේ මාධ්‍ය මැදිහත්වීමේ අරමුණ කුමක්ද? පැහැදිලිවම ඒ ඇමරිකා එක්සත් ජනපදයට හිතවාදී, එහි විදේශ ප්‍රතිපත්තිය විෂයයෙහි ධනාත්මක හැසිරීමක් සහිත ජනමාධ්‍ය යාන්ත්‍රණයක් මෙරට තුළ ගොඩනංවා ගැනීමය. එක්සත් ජනපදයේ බල දේශපාලන වුවමනාවන්ට අවැසි ලෙස සිය මාධ්‍ය හසුරුවන හා මෙරට විවිධ අංශවල රහස්‍ය තොරතුරු එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත සපයන/ විකුණන ‘මාධ්‍ය වේදීන්’ මෙරට රාජ්‍ය මාධ්‍ය ආයතනවල පවා සිටී. උදාහරණයක් ලෙස, ‘විකිලීක්ස්’ මගින් අනාවරණය කළ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය හා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අතර හුවමාරු වූ කේබල් පණිවිඩවලින් එකක සඳහන් වූයේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන සමයේදී තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරන ‘චන්ද්‍රසේකර’ නමැති මාධ්‍යවේදියා විශ්වාසදායී මූලාශ්‍රයක් වූ බවයි. එබඳු ‘සේකරලා’ ජාලයක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනඟාගැනීම හා පවත්වාගෙන යාම සඳහා ඇමරිකාවට ඇති වුවමනාව ලංකාවේ ‘ඕපාදූප’ ඇසීමට ඇති ප්‍රාථමික කැමැත්තක් නොව, ඉන් ඔබ්බට ගිය මූලෝපායික වුවමනාවක් බව අමුතුවෙන් කිය යුතු නොවේ.

මෙහිදී ලංකාවේ ජනමාධ්‍ය විෂයෙහි ඇමරිකානු මැදිහත්වීම පහළ මට්ටමේ තනි තනි මාධ්‍ය වේදියා ඉලක්ක කිරීමේ සිට, ඉහළම මට්ටමේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති සකසන වෘත්තිකයින් හා ආයතන දක්වා සිදුවන්නක් බව පැහැදිලිය. මේ බව පැහැදිලි කිරීමට මෑත කාලීන අපූරු උදාහරණයක් තිබේ. ලංකාවේ ‘වරලත් ජනමාධ්‍ය ආයතනයක්’ පිහිටුවීම සඳහා මෑතකාලීනව හිටපු ජනමාධ්‍ය ඇමතිවරයකුගේ මූලිකත්වයෙන් පැවති කමිටු සාකච්ඡාවට සහභාගි වූ දැනට මෙරට පවතින ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ ආයතනයක ප්‍රධානියා එම සාකච්ඡාවේදී  මතු කොට තිබුණේ, මේ පිහිටුවීමට යෝජිත වරලත් ජනමාධ්‍ය ආයතනය එක්තරා ඇමරිකානු ආයතනයක විශ්වාසය දිනා ගත හැකි ලෙස පිහිටුවීම සම්බන්ධවය. ශ්‍රී ලංකාවේ රජය විසින් පිහිටුවීමට සැලසුම් කරන ආයතනයක් සම්බන්ධව, ඇමරිකානු ආයතනයක විශ්වාසය ගැන මෙහි සිට සිතන මෙබඳු වෘත්තිකයින්ගේ භූමිකාව අප තේරුම් ගත යුතු වන්නේ කෙබඳු ලෙසද?

එසේම, මෙම ආයතන ප්‍රධානියාගේ මතය වී ඇත්තේ මෙම ආයතනය රජයේ ආයතනයක් ලෙස නොව, ස්වාධීන ආයතනයක් ලෙස (පුවත්පත් පැමිණිලි කොමිසම, ජනමාධ්‍ය විද්‍යාලය වැනි…) පිහිටුවිය යුතු බවයි. එහි අරමුණ මෙම යෝජිත ආයතනයද, තවත් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීම බව පැහැදිලිව හඳුනාගැනීමට පිළිවන. එමගින් ඇමරිකා එක්සත් ජනපදයට අයත් USAID ආයතනයට මෙරට තුළින් තවත් ‘මතවාදී භූමියක්’ නිර්මාණය කර ගැනීමට ඉතා පහසුවෙන් හැකිවන බවට සැකයක් නැත. මෙරට ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා වෘත්තිකයින් රාජ්‍ය නොවන සංවිධානවල අර්ධ කාලීන රැකියා කරන්නවුන් නිසා, අනිවාර්යයෙන්ම රජය යටතේ පිහිටුවිය යුතු වරලත් ජනමාධ්‍ය ආයතනය, තමන්ගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන සඳහා ‘ස්වාධීන යාන්ත්‍රණයක්’ ලෙස පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව රජයට අවධාරණය කිරීමට ව්‍යාපෘති වාර්තා සැකසීමට හා ඒ බව රජයේ ඉහළ බලධාරීන්ට ඒත්තු ගැන්වීමට විවිධ ‘ක්‍රමවේද’ යොදාගත හැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේම, ජනමාධ්‍ය වේදීන්ට එම පිහිටුවන ආයතනය මගින් බලපත්‍රයක් ලබාදීම සඳහා මැදිහත් විය යුතු බවටද මෙම තැනැත්තා විසින් යෝජනා කරනු ලැබ තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දැනටමත් මාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ. ඒ හැඳුනුම්පත නිකුත් කිරීමේදී ජනමාධ්‍ය වේදියාගේ දේශපාලන මතවාදය ඒ සඳහා සලකා බලනු නොලැබේ. නමුත් මෙසේ පිහිටුවීමට යෝජිත වරලත් ජනමාධ්‍ය ආයතනය මගින් එබඳු මාධ්‍ය බලපත්‍රයක් ලබාදීමට මැදිහත්වීම කිසිසේත්ම සාධනීය තත්ත්වයක් නොවන අතර, මේ හරහා එකී වරලත් ජනමාධ්‍ය ආයතනයේ (එය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කරන්නේ නම්) කළමනාකාරීත්වයට (එහි කළමනාකාරීත්වයට පත් වනු ඇත්තේද මෙම පුද්ගලයා ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල හිතවතුන් හා ක්‍රියාකාරිකයන් බවට සැකයක් නැත.) මෙරට ජනමාධ්‍යවේදීන් සිය මතවාදය සඳහා අවනත කර ගැනීමේ හා ඔවුන් මතවාදී වශයෙන් පාලනය කිරීමේ බලයක් ගොඩනැඟේ. මෙබඳු ඊනියා ‘ස්වාධීන’ ආයතන විදේශ රටවල සැඟවුණු භූ දේශපාලන න්‍යායපත්‍රවල ව්‍යාපෘති නියෝජනය කරන බව මෙරට මෙබඳු ආයතනවල ස්වභාවය හා ඒවායේ ප්‍රධානීන්ගේ අල ගිය මුල ගිය තැන් දන්නා කිසිවකුටත් රහසක් නොවේ.

විශේෂයෙන්ම පූර්වෝක්ත දැන්වීමෙහි සඳහන් වන මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අත පෙවීමේ ඇමරිකානු අරමුණ අනුව ගත් විට, යෝජිත මෙම වරලත් ජනමාධ්‍ය ආයතනයද ඊට අනුගත යාන්ත්‍රණයක් බවට පත් කරගැනීමේ විභවය එහි ආරම්භක සාකච්ඡාවේ පටන්ම පැවති බව අප අනාවරණය කරන්නේ, මෙරට මාධ්‍ය සම්බන්ධව ඇමරිකාවේ මැදිහත්වීමේ සියුම්භාවය හා බරපතළභාවය පෙන්වා දීම පිණිසය.

මෙරට ජනමාධ්‍ය සම්බන්ධව සද් භාවයෙන් යුතුව ඉදිරිපත්ව ඇති මෙම වරලත් ජනමාධ්‍ය ආයතනය පිළිබඳ මූලික යෝජනාව අවසානයේ අනපේක්ෂිත ලෙස ස්ථානගත වනු ඇත්තේ, තවත් යුරෝ – ඇමරිකා න්‍යායපත්‍රයක් තුළය.

මෙරට ජනමාධ්‍ය අධ්‍යාපනයේ සිට එහි උපාය මාර්ග සකස් කිරීමේ යාන්ත්‍රණය දක්වා වන්නේ කෙබඳු දැක්මක් සහිත පුද්ගලයින්ද යන්න මෙයින් හඳුනාගැනීමට පිළිවන. මෙබඳු මාධ්‍ය ඔස්තාද්ලා යටතේ ජනමාධ්‍යවේදය හදාරන ශිෂ්‍යයින්ගේ මාධ්‍ය දැක්ම නිර්මාණය වන්නේ එක්සත් ජනපදයට අවශ්‍ය මාධ්‍ය පර්යාලෝකයක් තුළ වන අතර, එම ශිෂ්‍යයින් පසු කාලීනව ජනමාධ්‍ය වෘත්තිකයින් ලෙස මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්ථානගත වූ පසු ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාන්විතය සිදු වන්නේ එබඳු දැක්මකින් බව පැහැදිලිය.

උක්ත දැන්වීමේ සඳහන්, “මාධ්‍ය ආයතන හිමිකරුවන්, කර්තෘවරුන්, නිෂ්පාදකවරුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පුවත්පත් සහ මාධ්‍ය වෘත්තිකයින් සමග ඵලදායී සබඳතා ගොඩනඟාගත යුතු වේ. මාධ්‍ය සංචාර, මාධ්‍යවේදී පුහුණු සැසි සහ හුවමාරු වැඩසටහන් නිර්මාණය සහ සම්බන්ධීකරණය කිරීම සිදු කළ යුතු වේ.” යන කොටස, ඇමරිකානු අවශ්‍යතා වෙනුවෙන් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය බිලී බා ගත හැකි ඇමක් වන ‘මූල්‍ය හා වෙනත් වරප්‍රසාද’ පිළිබඳ ඉඟියකි.

ඇමරිකානු තානාපති කාර්යාලයේ ස්ථාපිත කිරීමට සැරසෙන මෙකී, ‘පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥ’ තනතුර සම්බන්ධ දැන්වීමෙහි ‘රැකියා දැනුම’ යන උප ශීර්ෂය යටතේ මෙසේ සඳහන් කර තිබේ.

“සත්කාරක රටෙහි දේශපාලනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික ප්‍රතිපත්තීන් සහ ප්‍රවණතාවන් පිළිබඳව සවිස්තරාත්මක දැනුමක් තිබීම අවශ්‍ය වේ. සත්කාරක රටෙහි පුවත්පත්/ මාධ්‍ය ආයතන, වෘත්තීමය ජනමාධ්‍යවේද ප්‍රමිතීන් සහ භාවිතයන්, එමෙන්ම මුද්‍රිත, රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාල මාධ්‍ය මගින් තොරතුරු පරිභෝජනය කිරීමේදී ප්‍රේක්ෂක අභිමතයේ ඇතිවන ප්‍රවණතාවන් පිළිබඳව පූර්ණ වටහා ගැනීමක් තිබිය යුතුය. සත්කාරක රටෙහි තොරතුරු පරාසයට බලපෑමක් ඇති කරන අන්තර්ජාතික සහ කලාපීය සන්නිවේදන ප්‍රවණතා පිළිබඳ දැනුමක් තිබිය යුතුය. සත්කාරක රටෙහි භාවිත වන අලෙවිකරණ ශිල්ප ක්‍රම, වෙළෙඳපොළ විශ්ලේෂණය සහ ප්‍රේක්ෂකයින් පිළිබඳ විශ්ලේෂණාත්මක දත්ත සම්බන්ධ දැනුමක් තිබිය යුතුය.”

මෙමගින් ඇමරිකානු ඉලක්කය ඉතා සියුම් ලෙස මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ආදී සකල විධ මාධ්‍ය ඔස්සේ සපුරාගැනීම සඳහා යාන්ත්‍රණය නිර්මාණය වන බව පෙනේ. එහිදී ‘ඇමරිකානු හිතවාදී බව බැලූ බැල්මට නොපෙනෙන ලෙස එහෙත්, අවසාන මතවාදය ඇමරිකානු භූ දේශපාලන උපාය මාර්ගයට අනුගත වන සියුම් මතවාදී හා තොරතුරු ‘එන්නත්කරණ’ ක්‍රියාවලියක් සිදුවීමට නියමිත ය. එසේම, “සත්කාරක රටෙහි දේශපාලනික, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික ප්‍රතිපත්තීන් සහ ප්‍රවණතාවන් පිළිබඳව සවිස්තරාත්මක දැනුමක් තිබීම අවශ්‍ය වේ.” යන්න මගින් එකී ක්ෂේත්‍ර සමග ගැටුමක් හා පරස්පරයක් නොපෙනන පරිදි ‘අන්තර් සංස්කෘතික සන්නිවේදන’ ක්‍රමවේදයක් තුළ මෙරට ජනමතය ඇමරිකාවට වුවමනා පරිදි හසුරුවා ගැනීමේ කාර්යය සිදුවීමට නියමිතය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ ස්ථාපිත කිරීමට සැරසෙන මෙකී, ‘පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥ’ තනතුර සම්බන්ධ දැන්වීම, මේ මොහොතේ පටන් ඉදිරියට ලංකාවේ ජනමාධ්‍ය පිට්ටනිය නිර්මාණය වන්නේ කෙබඳු ඇමරිකානු උපාය උපක්‍රම තුළද යන්න ඉඟි කරන ඉතා වැදගත් මූලාශ්‍රයක් බව අපගේ වැටහීමය.

නමුත් ලංකාවේ ජනමාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පටන් ජනමාධ්‍ය ආචාර්යවරුන් හරහා ජනමාධ්‍ය වෘත්තිකයින් දක්වාම අඩු වැඩි වශයෙන් දැන හෝ නොදැන මෙම උපාය මාර්ගික ජනමාධ්‍ය සැලසුම්වල ගොදුරු වී ඇති යථාර්ථයක, මෙබඳු අනාවරණයක වැදගත්කම හා මෙහි වන ‘දේශපාලන බර’ වටහාගෙන ඊට ප්‍රතිපක්ෂ මාධ්‍ය භාවිතයක් සඳහා මැදිහත් විය හැකි යාන්ත්‍රණයක් හෝ සමාජ – දේශපාලන ව්‍යාපාර නොවීම කනගාටුවට කරුණක් බව අවසාන වශයෙන් පැවසිය යුතුමය.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More