පුරවැසි කොලම

මරණයේ භූමිය (Killing Fields )

May 21, 2022 8:44 pm | Lanka Lead News

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මඟින් ප්‍රකාශිත The SAIS Review of International Affairs ජර්නලයට ‘ලෝක දේශපාලනයේ වතිකානු භූමිකාව’[The Vatican’s Role in Global Politics (Vol. 24, No. 2 (Summer-Fall 2004)] හිසින් ලිපියක් සපයන, ආචාර්ය රොබට් ජේ ෂෙල්ඩි, වර්තමාන ලෝකය දැක්කීමට වතිකානුව ක්‍රියාකරන ආකාරය පැහැදිලි කිරීමට වෙහෙසෙයි. ඔහු දකින ලෙසට රටවල ආණ්ඩු වෙනස් කිරීම, පාලකයින් මාරුකිරීම ආදි සෘජු දේශපාලන කටයුතුවල පටන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි අන්තර් ජාතික සංවිධානවලින් ආධාර ලබාදී ආණ්ඩු රැකගැනීම දක්වා විවිධ කාර්යයන් කිරීමට තරම් වතිකානුව බලසම්පන්නය. ඉස්ලාම් ලෝකයේ ක්‍රියාකාරිත්වය විනිවිද දැකීමේ නෙත් බටහිර බලවතුන්ට ලබාදීමත් වතිකානුවෙන් සිදු වන ක්‍රියාවකි.

වර්තමාන ලෝකයේ සිදු වන බිහිසුණුම දේශපාලන අරගලය වන්නේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමයි. පුටින්ගේ අරමුණ, රුසියාවේ එළිපත්තට ඇමරිකාව පැමිණීම වැළැක්මයි. යුද්ධය අතරතුර, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රාජ්‍යයෝ, පින්ලන්තය සහ ස්වීඩනය ‘නේටෝවට’ බඳවාගෙන රුසියාවේ පස්සා දොරකඩ කඳවුරක් බැඳීමට සැරසෙති. ඊට යම් බාධකයක් වී ඇත්තේ නේටෝ සාමාජික තුර්කිය ඊට දක්වන විරුද්ධත්වයයි. මේ ක්‍රියාවෙන් පැහැදිලි වන්නේද ඉස්ලාම් ලෝකය සහ ක්‍රිස්තියානි ලෝකය අතර පවත්නා අමනාපයයි.

රෝම අධිරාජ්‍යය පැවති සමයේ වතිකානුව ලෝක බලවතා වූයේය. වතිකානුව විසින් බටහිර යුරෝපය පාලනය කරන ලදි. ඉස්ලාම් ලෝකයේ නායක ‘කාලිෆ්’ මුල් වී ගොඩනැගූ ඉස්ලාම් අධිරාජ්‍යය විසින් රෝම අධිරාජ්‍යය දුර්වල කෙරිණි. ඉස්ලාම් හමුදාව යුරෝපය ජයග්‍රහණය කිරීමට ඔන්න මෙන්න තිබියදී, පාප්තුමා ක්‍රිස්තියානි පාර්ශ්වයේ නායකත්වය භාරගත්තේය. ඉස්ලාමිකයන් ලක්ෂ ගණනක් මියගිය කුරුස යුද්ධ සහ කාලිෆ් අධිරාජ්‍යය බිඳවැටීම එහි ප්‍රතිඵලයයි.

11 වැනි පියස් පාප්තුමා, 1936 වසරේ දී ‘භක්තිය සහ විද්‍යාව’ Faith and Science මැයෙන් පර්යේෂණ ආයතනයක් පිහිටුවීය. මැක්ස් ෆ්ලෑන්ක්, වර්නර් හයිසින්බර්ග් නියෙල්ස් බෝ(ර්) ඇතුළු ලෝකයේ කීර්තිමත් විද්‍යාඥයින් 81 දෙනෙකුට එහි සාමාජිකත්වය හිමිවිය. ගැලිලියෝගේ සමයේ පටන් ඒ තාක් යුරෝපයේ සිදුවූ විද්‍යාත්මක සොයාගැනීම් ඔවුන්ගේ අවධානයට යොමුවූ පළමු කරුණයි. ඇතැම් උගතුන් පෙන්වා දෙන පරිදි, මේ විද්‍යාඥයින් අතරින් සමහරු, ‘නාසි’ ලෝකයක් බිහිකිරීමට වෙහෙසුනහ. වතිකානුව, ජර්මනියේ හිට්ලර්ට, ඉතාලියේ මුසොලනිට සහ ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝට උපකාර කළ බවට සාක්ෂ්‍ය තිබේ. ඒ හැම ඒකාධිපතියන් යැයි ලෝක ඉතිහාසයේ ලියවී තිබේ.

ඇමරිකාව න්‍යෂ්ටික පර්යේෂණ ආයතන පිහිටුවීමට පෙර යුරෝපා රටවල් කිහියක්ම ඊට අතගසා තිබුණි. ජර්මනියේ හයිගර්ලොෆ් න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය නිදසුනකි. ඇල්බට් අයින්ස්ටයින් එහි රැකියාව කළ විද්‍යාඥයෙකි. නාසි පාලකයින්ගෙන් ගැලවුන ඔහු ඇමරිකාවට පලාගොස් ජර්මනියේ න්‍යෂ්ටික රහස් ඇමරිකාවට ලබා දුන්නේය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු රුසියාව සහ ඇමරිකාව අතර ශීතල යුද්ධය ඇරඹුණි. ඒ අවස්ථාවේ පාප්තුමාගේ හැසිරීම යුරෝපයේ ඇතැම් විද්වතුන්ට ප්‍රශ්නයකි. ඔවුන’තරින් ඇතැමකු පෙන්වා දෙන ලෙසට, පාප්තුමා, ඇමරිකානු ජනාධිපති රොන්ල්ඩ් රේගන්ගේ න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළට ආධාර කළේය. සෝවියට් සම්මේලනය බිඳ දැමීමට පාප්තුමා විවෘතවම ක්‍රියාත්මක වූයේය. වැලේසාට ආධාර කරමින් පෝලන්තය සෝවියට් කඳවුරින් වෙන්කිරීමට එතුමා කටයුතු කළ ආකාරය රහසක් නොවේ. මේ හැම ක්‍රියාවක්ම පාප්තුමා ලෝක දේශපාලනයට ඍජු ලෙස සම්බන්ධ වූ අවස්ථාවන්ය.

වතිකානුවේ වුවමනාව පරිදි පිහිටුවන ලද, ලෝකයට බලපෑම් කළ හැකි සංවිධාන ගණනාවක් තිබේ. ඒ ගොඩේ, ආගමික නිදහස, මානව හිමිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටින බව කියන ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ම පවතී. රට රටවල අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමට මේ සංවිධානවලට පුළුවන. රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇතිවූ වහාම, “අපි ජාත්‍යන්තරයට කියනවා” කියමින් තර්ජනය කරන පිරිසක් ලංකාවේ සිටිති. වතිකානුවේ බලය චීනය තුළ පවත්වාගෙන යාම සඳහා පාප්තුමා බලවත් සටනක් ගෙනයන ආකාරය ලෝකය ගැන විමසිලිමත් වන්නෝ දනිති.

‘රුසියානු යුක්රේන යුද්ධයට තමාගේ අවධානය යෙමුවී ඇති බව’, මෝල්ටාවට ගිය පාප්තුමා ප්‍රකාශ කළේය. වතිකානුව ඇමරිකාවේ රාජ්‍ය පාලන කටයුතුවලට පවා බලපෑම් කරයි. ආසියාවේ, අප්‍රිකාවේ, මැදපෙරදිග සහ දකුණු ඇමරිකාවේ සියලුම රටවල සිදුවන දේශපාලන ක්‍රියාකාරකම් කෙරෙහි පාප්තුමාගේ අවධානය යොමුවී ඇති හැටි ලෝක දේශපාලනය පිළිබඳ විචාර ලිපිවල සඳහන් වේ.

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවත්, ඊට මහ මොළකරුවෙකු ඇති බවත් මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළේය. මෙය සාමාන්‍ය මනසකට නොවැටහෙන බරපතල ප්‍රකාශයකි. ඇතැමුන් සිතන පරිදි, එතුමා සහ ආණ්ඩුව අතර භේදයක් ඇතිවීට හේතුව ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි විමර්ශනයක් නොකිරීමයි. ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහමොළ සෙවීමට ගොස් මුස්ලිම් ලෝකය සමඟ ගැටුමක් ඇතිකර ගැනීමට අකමැති වූයේදැයි ඇතැමුන්ට ප්‍රශ්නයකි. කාදිනල්තුමා අමනාපවීමත් සමඟ ගෝඨාභය ආණ්ඩුවට නරක කාලය පැමිණියේය. ගෝල්ෆේස් විරෝධතාව එහි ප්‍රධාන අංගයකි.

ගොල්ෆේස් විරෝධතාකරුවන්ගේ ප්‍රධාන අරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කිරීමයි. එය සාමකාමී අරගලයක් වශයෙන් සියලුම මාධ්‍යන්ගෙන් ප්‍රකාශ වූයේය. මෙවැනි තැනකට කලහකාරීන් පිරිසක් පොලු මුගුරු රැගෙන කඩා පැනීම බලවත් වරදකි, ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය කිරීමකි. ඒ මැර ප්‍රහාරය නිසා රාජපක්ෂවරුන්ගේ දේශපාලන ශරීරය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය විය. මහින්දගේ දේශපාලන ජීවිතය අවසන් කිරීම බටහිර රටවලට අවශ්‍යව පැවති දෙයකි.

ගෝල්ෆේස් ප්‍රහාරය අරලියග මන්දිරයට රැස්වූ වැඩි පිරිසක් අපේක්ෂා නොකළ ක්‍රියාවක් බවට සාක්ෂ්‍ය තිබේ. එදා අරලියගහ මන්දිරයට සෙනඟ කැඳවීම අමනෝඥ ක්‍රියාවකි. මෙයත් මහමොළයකින් සිදුවූ ක්‍රියාවක් විය හැකිය. ප්‍රසිද්ධියට පත්ව ඇති තොරතුරුවලට අනුව, අරලියගහ මන්දිරයට රැස්වූ පිරිස ජනාධිපති මන්දිරය දෙසට යෑමට යම් පිරිසක් පොළඹවා තිබේ. ගැටුමක් ඇතිවීම වැළැක්මට අරලියගහ මැඳුරේ බේරේ වැව දෙසට වන්නට ඇති ගේට්ටුවෙන් පිටව කොම්පඤ්ඤ වීදිය මාර්ගය ඔස්සේ ජනාධිපති මැඳුර දක්වා යන ලෙස පොලිසිය දුන් උපදෙස නොතකා, පිරිසක් ගාලු පාර දිගේ ගෝල්ෆේස් පිටියට පැමිණ ප්‍රහාරය එල්ල කර ඇති බවට වාර්තා විණි. රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙක් (සනත් නිශාන්ත සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ) සිද්ධය සම්බන්ධව අත්අඩංගුවට පත්ව සිටිති. කතෝලිකයන් වූ ඔවුන් බොහෝ දෙනා දන්නා පරිදි, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සමීපවී සිටි දේශපාලනඥයින් දෙදෙනෙකි. පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිට ආධුනික එජාප මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජිත් ප්‍රේමදාස, නවින් දිසානායක වැනි එජාප හිටපු නායකයින්ගේ පුතුන් වූ තරුණ මන්ත්‍රීවරුන් අභිභවා එක්වරම ඉහළට ඔසවා තබන ලද අයෙකි.

‘බජාර් එකේ බිලි බොයිස්ලා’ සිටිති. අරලියගහ මන්දිරයට පැමිණි සෙනග මෙහෙයවූ ඇමතිවරුන් ඔවුන් අයුරින් ක්‍රියා කළේදැයි දැනගත හැක්කේ මේ ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට පමණි. අනුරාධපුරයේ පිහිටි තම කාර්යාලයට පහර දුන් පිරිස අතර කතෝලික පූජකවරයකුද සිටි බව සීසීටීවී කැමරා දර්ශනවලින් ඔප්පු වන්නේ යැයි පා.ම. චන්න ජයසුමන ප්‍රකාශ කර තිබුණි. ‘කඳුළ’ ප්‍රසංගය රටපුරා පවත්වමින් ආදරය ගැන දේශනා කළ බ්‍රදර් චාල්ස් තෝමස්, “කොළඹට මැරයින් ඇදපු වාහන කොළඹින් පිටවෙන්න දෙන්න එපා” කියමින් සිය ෆේස් බුක් ගිණුමෙන් හනුමාගේ වලිගයට තැබූ ගින්නෙන් විසිහතර දාහක් දෙනා රටට ගිනි බෙදා තිබුණි.

ගෝල්ෆේස් විරෝධතා භූමිය සිංහලයින්ට, බුදු සසුනට හා බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ක්‍රිස්තියානි ආගමට සහ සංස්කෘතියට හිතවාදී ස්ථානයක් බවට පෙරළාගෙන ඇති බව රහසක් නොවේ. ඊට ඕනෑ තරම් සාක්කි පෙන්වීමට පුළුවන. බුදුන් වහන්සේගේ නොගැලපෙන නිරූපණ සහිත කළු වෙසක් කූඩු සරල නිදසුනකි. ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධවල නිරත වූ බවට චෝදනා කරමින් කොටි හිතවාදී ‘චැනල් 4’ නිපදවූ, No Fire Zone – The killing Fields of Sri Lanka චිත්‍රපටයේ සිංහල පිටපතක් ගෝල්ෆේස් පිටියේ ප්‍රදර්ශනය කළ බවට වාර්තා පළ විණි.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More