Notice Board

තිස් වසරක් පුරා කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් බැට කෑ ලක්මාතාව ඉන් මුදා ගැනීමට ඇයගේ වීරෝදාර සුජාත දරුවන් සමත් වූයේ හරියටම මීට වසර 13කට පෙර ය. එනම් 2009 මැයි 18 වැනිදා ය.

හිටපු හමුදා ප්‍රධානීන් 57 දෙනෙකු ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීම පිළිබඳව ජනපති වහා මැදිහත් විය යුතුයි.

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

හිටපු හමුදා ප්‍රධානීන් 57 දෙනෙකු ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීම පිළිබඳව

රටේ ඉරණමට පමණක් නොව ඔබතුමාගේ චරිතයට අදාළවද ඉතා තීරණාත්මක දිනයක් ලෙස සැලකෙන අද දිනයේදී මෙම ලිපිය ලිවීමට සිදු වීම පිළිබඳව අප තුළ ඇත්තේ මිශ්‍ර හැඟීමකි. පළමුව අපේ රට බෙදා වෙන්කොට අප දේශසීමාව දෙපස සිට මරා ගන්නා කාලකන්නි ජාතියක් බවට පත් කිරීම සඳහා බටහිර සහ ඉන්දියානු අධිරාජ්‍යවාදී බලවේග විසින් අපගේ නළලේ කොටා තිබූ ඉරණම වෙනස් කළ දිනයකදී අපට දැනෙන සතුට අප්‍රමාණය. අප ඒ පිළිබඳව ඔබ තුමාට මෙන්ම එම ජාතික නිදහස් සටනට දිවි දුන් මහා විරුවන්ට පමණක් නොව ඊට අබමල් රේණුවකින් හෝ දායක වූ සියළු දෙනාට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරමු.

එහෙත් ඒ නිදහස් සටනට නායකත්වය ලබා දුන් උසස් හමුදා නිලධාරීන් 57 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා දියත්කොට ඇති ජාත්‍යන්තර මානව හිමිකම් කුමන්ත්‍රණය පිළිබඳ අපට තිබෙන ගැඹුරු අවබෝධය නිසා අප හදවත් තුළ ඒ සතුට ඉක්මවා යන වේදනාවක් ඇති වේ. පසුගිය රජය විසින් 2015 සැප්තැම්බර් 30 වෙනිදා රණවිරුවන් පවා දෙමින් මානව හිමිකම් සමුළුවේදී එකඟතාවය පළ කරනු ලැබූ 30/1 යෝජනාව මත පදනම් වූ ක්‍රියාවලිය පසුගිය මාර්තු මාසය වන විට උච්චතම අවස්ථාවට පත් වූ බව පිළිගැනීමට සිදු වේ. ඔබතුමා ඉතා නිවැරදි ලෙස 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද 46/1 යෝජනාව මඟින් රණවිරුවන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා සහ ඊට අදාළ සාක්ෂි ගොනු කිරීම සඳහා පිහිටවනු ලැබූ ජාත්‍යන්තර යාන්ත්‍රණය මේ වන විට වැඩ ආරම්භ කොට ඇත.

ඒ අනුව දරුස්මාන් කමිටුවේ සාමාජික යස්මින් සුකා විසින් මීට පෙර අප රටේ ආරක්ෂක ප්‍රධානීන් 57 දෙනෙකුට එරෙහිව ගොනුකළ චෝදනා සහ සාක්ෂි වලට මෙම ජාත්‍යන්තර යාන්ත්‍රණය මඟින් සුජාතභාවය සහ නීත්‍යානුකූල භාවය ලබාදෙනු ඇත. ඉන් පසුව එම සාක්ෂි පදනම් කර ගනිමින් ලෝකය පුරා විවිධ රටවලදී දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයවීම මත එම ආරක්ෂක ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ නඩු පැවරීමේ හැකියාව ලැබේ. එම ක්‍රියාවලිය තුළ ඊට ගොදුරු වන නිලධාරීන්ට එරෙහිව බහු විධ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ලැබේ.
එම ක්‍රියාමාර්ග, වීසා ලබා නොදීම සඳහා කළු ලැයිස්තුගත කිරීම, දේපළ ඇත්නම් අත්හිටුවීම, පවුලේ සාමාජිකයින්ගේ වීසා අත්හිටුවීම, පිට රටකට ගිය විටකදී අත්අඩංගුවට ගැනීම, එම රටේදී නඩු ඇසීම හෝ එම රට රෝම ප්‍රඥාප්තිය අත්සන් කොට ඇත්නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදීම, පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් රටකින් ඉල්ලා සිටීම, නඩු අසා වැරදිකරු කොට දඬුවම් කිරීම, දඬුවම් ලබා දී එම දඬුවම් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම ආදී පුළුල් පරාසයක විහිදී ඇත. යස්මින් සුකා විසින් සිතියම් ගත කොට ඇති මාර්ග සිතියම අනුව (www.iptj.org) එම ක්‍රියාවලියට පහසුකම් සැපයීම සඳහා බරපතල යානත්‍රණයක් ක්‍රියාත්මක වන අතර එය පසුගිය මාර්තු මාසයේ සිටම ආරම්භ විය. ඒ අනුව ඉහත සඳහන් ක්‍රියාවලිය ලබන මාර්තු මාසයට පෙර ආරම්භ වනු ඇත.

මෙම මහා කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ජාතියක් ලෙස අපට ඇත්තේ එකම විකල්පයක් යැයි අපි සිතමු. ඒ දැනට අනුගමනය කරන ආරක්ෂාකාරී ප්‍රවේශයෙන් ප්‍රහාරාත්මක ප්‍රවේශයට මාරු වෙමින් අපගේ රණවිරුවන්ට ස්වාභාවික යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටීමය. ඔවුන්ගේ මානව හිමිකම් වලට අදාළ එම ඉල්ලීමට පිටුපෑමට මානව හිමිකම් කවුන්සිලයට හැකියාවක් නැත. ඉන් පසුව ස්වාභාවික යුක්තිය යටතේ අපගේ රණවිරුවන් යුධ අපරාධ නොකළ බවට නීතිමය සහ කරුණුමය සාක්ෂි මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහා අප රට සතුව ඇති තරම් සාක්ෂි තිබෙන අතර ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය එක්ව ඒවා විධිමත්ව ගොනු කොට මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇත.
එදා 2009-05-18 දින ඔබතුමාගේ නායකත්වය සහිතව ප්‍රති නිර්මාණය කළ ඉතිහාසයට සාධාරණය ඉටු කිරීම සඳහා ඔබ විසින් මෙම ක්‍රියාන්විතය වහා දියත්කළ යුතු බව අපගේ අවංක හැඟීමයි. ඒ සඳහා ඔබට ධෛර්යය පතමු.

තෙරුවන් සරණයි..!
මේ වගට,

ආචාර්ය ගුණදාස අමරසේකර,
කැඳවම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More