දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සෞඛ්‍ය සේවාව සැලසුම්සහගත ලෙස තවදුරටත් අර්බුදයකට තල්ලු කිරීම මගින් නිදහස් සෞඛ්ඛ්‍ය සේවයය පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වන බවයි. සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රතිපාදන ලබාදීම, සෞඛ්‍ය අමාත්‍යවරයකු පත් කිරීම, ඖෂධ අර්බුදයට විසඳුම් සෙවීම ආදිය සම්බන්ධයෙන් දක්වන උදාසීන ආකල්පය සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ගන්නා උත්සාහයන්ගෙන් පැහැදිලි වනුයේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය හා සෞඛ්‍ය සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදෙනවා වෙනුවට නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවද එම නිවේදනයෙන් පෙන්වා දේ.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්…

නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණය පරදවමු.

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමකි.

ත්‍රස්තවාදී යුධ සමයේදී, කොවිඩ් ඇතුලු වසංගත සමයන්හිදී, විවිධ ගැටුම් හා මිලේච්ඡත්වය හේතුකොටගෙන ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවන්වලදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන, විදුලිය, ප්‍රවාහන පහසුකම් නොමැති විටදීත්, ඕනෑම ජාතික ආපදා අවස්ථාවකදීත් ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවය අඛණ්ඩව ඉහල ගුණාත්මක තත්වයෙන් සහ සමානාත්මතාවයෙන් පවත්වාගෙන යාමට සියලු සෞඛ්‍ය සේවකයන් අප්‍රමාණ කැපවීමෙන් කටයුතු කර ඇත. වර්තමාන ආර්ථික හා දේශපාලනික අර්බුදය හමුවේ මෙන්ම පවතින ඖෂධ හා උපකරණ හිඟය තුලදී, දැඩි බාධක සහ අසීරුතා මධ්‍යයේ වුවද උපරිම සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට මෙරට සෞඛ්‍ය සේවකයින් කටයුතු කරමින් සිටියි.

මෙම අර්බුද හමුවේ ජනතාව ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පෝලිම් වල සිටියද, මරණය හමුවේ හෝ හදිසි ප්‍රතිකාර අවශ්‍ය මොහොතකදී පෝලිම් වල කල්ගත කරමින් සිටිය නොහැකි බව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු සමස්ත දේශපාලන අධිකාරිය දැඩිව වටහාගත යුතුය. ඖෂධ අර්බුදය සහ සෞඛ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වල හිඟය වහාම විසඳාලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අප දිගින් දිගටම පෙන්වා දුන්නද අද වන තෙක් අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හිමිවිය යුතු ප්‍රමුඛතාවය ලබා දෙන බවක් නිරීක්ෂණය නොවේ.

පවතින අර්බුදකාරී තත්වය මත රටේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම උදෙසා රාජ්‍ය සේවය අඛණ්ඩව සහ ප්‍රශස්තව පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ. එහිදී වර්තමාන අග්‍රාමාත්‍යතුමන් සහ මහ බැංකු අධිපතිතුමන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීමට කටයුතු කරන බව සඳහන් කර තිබියදීත්, මුදල් අමාත්‍යංශයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරීන් සහ ඇතැම් පිරිස්, සියලු අසීරුතා නොතකමින් අඛණ්ඩව සේවයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් අසාධාරණ ලෙස කප්පාදු කිරීමට මේ මොහොතේ ගන්නා උත්සාහය තුලින් පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයෙකුද නොමැති මොහොතක තවදුරටත් සෞඛ්‍ය සේවකයින් පීඩාවකට සහ අසහනයට පත්කර ඒ තුළින් අනවශ්‍ය අර්බුධයක් සහ නොසන්සුන්තාවයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල නිර්මාණය කිරීමේ කූඨ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

සෞඛ්‍ය සේවාව සැලසුම්සහගත ලෙස තවදුරටත් අර්බුදයකට තල්ලුකිරීම තුල නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වේ. සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රතිපාදන ලබාදීම, සෞඛ්‍ය අමාත්‍යවරයකු පත් කිරීම, ඖෂධ අර්බුදයට විසඳුම් සෙවීම ආදිය සම්බන්ධයෙන් දක්වන උදාසීන ආකල්පය සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ගන්නා උත්සාහයන්ගෙන් පැහැදිලි වනුයේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය හා සෞඛ්‍ය සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදෙනවා වෙනුවට නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛා සංගම් අද දිනයේ හදිසි ශාඛා සමිති රැස්වීම් පවත්වන අතර ඒ සම්බන්ධ සාකච්ඡා කර අවශ්‍ය තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට දින උදෑසන පැවැත්වීමට නියමිතය. එහිදී නිදහස් සෞඛ්‍ය සහ සෞඛ්‍ය ප්‍රමුඛත්වය ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඕනෑම ආකාරයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළැඹීම සඳහා තීරණ ගැනීමට අපගේ මධ්‍යම කාරක සභාව පසුබට නොවන බව දන්වා සිටිමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More