පුරවැසි කොලම

අරගල(ය) සහ පල්ලි(ය)

May 17, 2022 6:03 am | Lanka Lead News

මේ වන විට ගාලු මුවදොර පවත්වාගෙන යන ‘අරගලය’ තුළ ඒකීය ආගමික සමාජ සංස්ථාවක් ලෙස ප්‍රසිද්ධියේම සිය භූමිකාව නිරූපණය කරන එකම ආගමික ව්‍යාපාරය වන්නේ කතෝලික පල්ලියයි. පියතුමන්ලා, සහෝදරතුමන්ලා හා කන්‍යා සොයුරියන් එක රෑනක් ලෙස මෙරට ‘අරගලයක්’ තුළ ප්‍රසිද්ධියේ ක්‍රියාකාරීව සිටින මෙම අවස්ථාව, බැලූ බැල්මටම ලාංකේය සමාජ – දේශපාලන – ආගමික ඉතිහාසයේ ‘අමුතු අවස්ථාවක්’ බව පැහැදිලිව හඳුනාගත හැකිය. එපමණක් නොව, එම මැදිහත්වීම ඉතා ම සවිඥානිකව සිදුවන්නක් බව පැහැදිලි වන්නේ, කතෝලික පල්ලිය සිය නියෝජිතයින්ට සිය ආගමට අනන්‍ය ඇඳුමින්ම මෙම ‘අරගලයට’ සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබීමෙනි. අනෙක් අතට මෙම සහභාගීවීම කතෝලික පල්ලියේ මෙරට ඉහළම බලධාරීන්ගේ දැනුවත්කමේ සීමාව ඉක්මවා, එහි ලෝක බල කේන්ද්‍රයේම දැනුවත්භාවය මත සිදුවන්නක් බව හැඟෙන්නේ, අන්තර්ජාතික ජනමාධ්‍ය මගින් නිරන්තරව වාර්තා කෙරෙන මෙම අරගලයට අදාළ රූපරාමු හා ඡායාරූප තුළ පැහැදිලි සංකේතයක් ලෙස කතෝලික ආගමික නියෝජිතයින් නිරූපණය වීම තුළ, එයින් ලෝක පරිමාණව ලබා දෙන සංඥාව වෙනස් එකක් වන බැවින් ඒ සම්බන්ධව පූර්ව දැනුවත්භාවයක් හා සැලසුමක් වතිකානුවට පැහැදිලිවම තිබිය යුතු බැවිනි.

කතෝලික පල්ලියේ පූජක පාර්ශ්වය එසේ අරගලය නියෝජනය කරත්දී, සාමාන්‍ය ගිහි කතෝලිකයින්ගේ ‘අරගල මැදිහත්වීම’ද බැලූ බැල්මටම අමුත්තක් දනවයි. සිය අතීත විශ්ව විද්‍යාල ජීවිතය තුළ අරගලයක් පැවති පැත්ත පළාතකින් පවා නොගිය, අරගල දෙස ඇසක් ඇර පවා නොබැලූ, වර්තමානයේ මැදිවියේ වන කතෝලික ගැහැණුන් හා පිරිමින් සිය මිතුරු සමාජ ජාල සමූහ වෙත මුදාහරින ‘අරගල පෝස්ටු’ දකින විටද මෙහි පවතින ‘අමුත්ත’ ගැන සැකයක් මතුවීම නොවැළැක්විය හැක්කකි.

අප එසේ කියන්නේ මේ විචිත්‍ර, වෛවර්ණ, ආදරණීය අරගලයේ නිර්මලභාවයට හානියක් කිරීමේ අරමුණකින් නොව, අන් කවුරු කෙසේ වෙතත් කතෝලික පල්ලිය යම් සමාජ අරගලයකට මැදිහත්වීමේ සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙන බව ලංකාව තුළින් මෙන්ම, ලෝක පරිමාණවද කොතෙකුත් අත්දැකීම් පවතින බැවිනි. ඉස්සර එහෙම වුණාට කතෝලික පල්ලිය දැන් එහෙම නැතැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් ගැලීලියෝ ගැලිලි 1630 ගණන්වලදී ප්‍රකාශ කළ පෘථිවිය සූර්යයා වටා කරකැවෙන බවට වන මතය සාවද්‍ය බව හෙළා දුටු වතිකානුව, ඒ මතය පල්ලියේ මතයට විරුද්ධ බව සඳහන් කළ වතිකානුව, ඒ විද්‍යාත්මක මත දැක්වීම හේතුවෙන් ඔහුගේ මරණය දක්වා වසර 8ක් ගැලීලියෝ නිවාස අඩස්සියේ තැබූ වතිකානුව,  1642 සිදුවූ ගැලීලියෝගේ මරණින් වසර 350කට පසු 1992 දී,  ගැලීලියෝගේ මතය නිවැරදි බව පිළිගන්නා වතිකානුව, මෑත ඉතිහාසයේ ලෝකයේ සිදුවුන හා සිදුවන ‘දේශපාලන අරගලවලට’ කතෝලික පල්ලිය සම්බන්ධ වන සැඟවුණු න්‍යාය පත්‍රය පිළිගන්නට එතරම් ඉක්මන් වෙතැයි අප සිහිනෙන්වත් සිතන්නේ නැත.

පුද්ගලයකුගේ හෝ සංවිධානයක හැසිරීම සම්බන්ධ බුද්ධි තොරතුරු විශ්ලේෂණයේදී හඳුනාගත හැකි සුවිශේෂ දෙයක් වන්නේ එම හැසිරීම් මාලාව තුළ ඊටම අනන්‍ය රටාවක් පැවතීම බවත්, එහි අනාගත හැසිරීම් දිශානති පුරෝකථනය කිරීම හා හඳුනාගැනීම සඳහා එම රටාව හඳුනාගැනීම අතිශයින්ම වැදගත් වන බවත් Richards J. Heuer (Jr.) සිය Psychology of  Intelligence Analysis  කෘතියෙහි පෙන්වා දෙයි. එම තර්කනය තුළ විශ්ලේෂණය කරන විට, කතෝලික පල්ලිය ලෝකයේ විවිධ රාජ්‍යයන්හි ‘අරගලවලට’ මැදිහත්වීම තුළ එක්තරා රටාවක් නිර්මාණය කර තිබෙන බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඒ අන් කිසිවක් නොව, එක්සත් ජනපද භූ දේශපාලන න්‍යාය පත්‍රය හා සබැඳුණු ‘ආගමික ස්වරූපය ගත් මැදිහත්වීම් භූමිකාවක්’ ඊට පැවරී තිබෙන බව ය.

ඒ අනුව, කතෝලික පල්ලියේ සමාජ – දේශපාලන භූමිකාව ලෝක පරිමාණව සැලකූවද, ලාංකේය සමාජ – දේශපාලන භූමියට අදාළව සැලකූවද, එය සෑම විටකම බටහිර අධිරාජ්‍යවාදය හා ප්‍රතිගාමීත්වය වෙනුවෙන් පෙනී සිට ඇති බවත්, එක්සත් ජනපද න්‍යාය පත්‍රය වෙනුවෙන් කටයුතු කර ඇති බවත් රහසක් නොවේ. කතෝලික පල්ලිය නිරූපණය කරන දේශපාලන භූමිකාව පිළිබඳව, සිය ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යන ග්‍රන්ථයෙහි පුළුල් විශ්ලේෂණයක් කරන රෝහණ විජේවීරයන් මෙසේ සඳහන් කරයි.

“රෝමානු කතෝලික පල්ලිය ආගමික ආයතනයක් පමණක් නොවේ. එය රාජ්‍ය ආයතනයක්ද වේ. රෝමානු කතෝලික සභාවේ ජාත්‍යන්තර මූලස්ථානය වන වතිකානුව අක්කර කිහිපයක නමුත් කුඩා රාජ්‍යයකි. පාප් වහන්සේ ආගමික නායකයකු පමණක් නොව, රාජ්‍ය නායකයෙක්ද වේ.  පැරණි වමේ නායකයින් එදා කතෝලික ආක්‍රමණය යන නමින් හැඳින්වූ වතිකානුවේ දේශපාලන හස්ථයත්, වතිකානුවත් ජාත්‍යන්තර සමාජවාදී  ව්‍යාපාරයට විරුද්ධව පෙරමුණේම සටන් කරන්නා වූ අධිරාජ්‍යවාදයේ උපකාරී බලඇණියකි. සමාජ ප්‍රගතියට එරෙහිව වතිකානුවේ ක්‍රියාකාරීත්වය අධිරාජ්‍යවාදය සමග එකට අත්වැල් බැඳගෙන ඇත. ලෝක කොමියුනිස්ට් ක්‍රමයට එරෙහිව හිට්ලර් බලයට ගෙන ඒම සඳහා මුල දී මුදල් යෙදවූ ආයතනයක් වශයෙන් වතිකානුවත්, එහි බැංකු ආයතනයත් පිළිබඳව සැක කරනු ලැබේ. අද මූල්‍ය කටයුතු පිළිබඳව මහත් ආන්දෝලනයකට පත් වී ඇති වතිකානු බැංකුව ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වය සඳහා අධිරාජ්‍යවාදී වුවමනාව පිට අධිරාජ්‍යවාදයට කෙළින්ම ඉදිරිපත් විය නොහැකි තැන්වලදී මුදල් යොදවමින් ක්‍රියාත්මක වන බව පැහැදිලි සත්‍යයකි. ලෝක සමාජවාදයට විරුද්ධව ප්‍රචාරක කටයුතුවල පටන් (ගුවන් විදුලි මධ්‍යස්ථාන හා වෙනත් නොයෙක් ප්‍රකාශන හා ප්‍රචාරක කටයුතු) සියුම් උපාය මාර්ගික දේශපාලන කටයුතු දක්වා එහි ක්‍රියාකාරීත්වය සංකීර්ණ හා විවිධ වේ. පාප් වහන්සේට එක්සත් ජනපද මධ්‍යම චරපුරුෂ සේවයෙන් ලෝක තත්ත්වය පිළිබඳව සතිපතා දේශපාලන වාර්තා සපයන බව දැන් ප්‍රකාශයට පත් වී ඇත. ජගත් අධිරාජ්‍යවාදී උපාය මාර්ගයෙහි එක් සේනාවක් ලෙස ක්‍රියාකාරී වන වතිකානු කතෝලික ආක්‍රමණය උපාය මාර්ගිකව අධිරාජ්‍යවාදයට ඉතා වැදගත් ලංකාවේද ඉතා සියුම් ලෙස ක්‍රියාකාරී වෙයි. 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය තුළත්, ප්‍රධාන වමේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කෙරෙන කුමන්ත්‍රණකාරී වැඩ කටයුතු තුළත් පැහැදිලිව දැකිය හැකි මෙහි හස්ථය, රට බෙදීමේ දෙමළ ඊළාම් ව්‍යාපාරය තුළද ක්‍රියාත්මක වනු පෙනේ.

යටත් විජිතබලවේග දෙකක් වූ පෘතුගාලය හා ස්පාඤ්ඤය අතර මුළු ලෝකයම බෙදා ගැනීමට 1494 ජූනි 9 වැනි දා ට්‍රොඩසිලාස් හිදී ඇති කරනු ලැබූ සම්මුතියට හය වැනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ සිය ආශීර්වාදය පළ කිරීමෙන්ම,  එනම් බටහිර අප්‍රිකාවේ කේප් වර්ඩ් දූපත්වලින් ලිග් 300ක් බටහිරින් වූ සීමාවෙන් අපරදිග ස්පාඤ්ඤයටත්, පෙරදිග පෘතුගාලයටත් යටත්විජිතකරණය සඳහා පාවාදීමේ වතිකානුවේ රෝමානු කතෝලික දේව සභාවේ ප්‍රඥප්තිය අනුව ඒ අධිරාජ්‍යාවාදී අවශ්‍යතාවටම අනුව ලංකාවත් දෙකඩ කර දෙමළ ඊළමක් පිහිටුවීමට ඔවුන් හවුල් වීම තේරුම් ගැනීම දුෂ්කර නොවේ. උතුරේත්, නැඟෙනහිරත් රෝමානු කතෝලික සභාවට අයත් පූජකයින් බොහොමයක් දෙමළ ඊළාම් ව්‍යාපාරයටත්, දෙමළ ඊළාම් ත්‍රස්තවාදී ව්‍යාපාරයටත් සම්බන්ධ බව ඉතා පැහැදිලිය. පෝලන්තය ඇමරිකන් අධිරාජ්‍යවාදයත්, රෝමානු කතෝලික පල්ලියත් අතර සම්බන්ධයේ ස්වභාවය මනා ලෙස හෙළිදරව් වන තැනකි. අද පෝලන්තයේ සමාජවාදී විරෝධී හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පක්ෂ දේශපාලන වැඩකටයුතුවලට රෝමානු කතෝලික සභාව මැදිහත් වන්නේ යම් සේද, එලෙසින්ම ලංකාවේද එම කටයුතුවලට, විශේෂයෙන්ම දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ කටයුත්තට රෝමානු කතෝලික පල්ලිය හා එහි කතෝලික ආක්‍රමණය  සහභාගී වෙමින් තිබේ. රෝමානු කතෝලික පල්ලියේ ජාත්‍යන්තර සංවිධානවල මුදල් ආධාරවලින් යැපෙන ‘වාමාංශික’ හා ‘විප්ලවකාරී’ වෙස් මුහුණු පළඳින්නට තැත් කරන ඇතැම් සංවිධාන දෙමළ ඊළාම් ව්‍යාපාරයට හා ත්‍රස්තවාදයට සිංහල ප්‍රදේශවල ක්‍රියාකාරී ලෙස පක්ෂපාතීවීමත්, දෙමළ ඊළාම් ව්‍යාපාරය සමග එකට එකතු වී කටයුතු කිරීමත්, මොවුනුත් රෝමානු කතෝලික පල්ලියේ ඇතැම් කොටසුත් එකතු වී දෙමළ ඊළාම් ත්‍රස්තවාදයේ ආධාරක සංවිධාන පිහිටුවීමත් මෙය තවදුරටත් සනාථ කරයි. ”

‘කතෝලික පල්ලිය’ සිටගන්නේ කෙබඳු රටක, කෙබඳු අරගල බිමකද යන්න අනුව, ඒ අරගල බිම කාගේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියාත්මක වන්නක්ද යන්න හඳුනාගත හැකි සරලම සංකේතයක් වන්නේය.

අපේ රටේ 1987-1989 දකුණේ අරගලයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය  ත්‍රස්තවාදය විසින් සිදු කරන ලද දහස් ගණන් ඝාතන හා අතුරුදන් කිරීම් සම්බන්ධව, කතෝලික පල්ලියේ හැසිරීම බැලීමේදී එය ප්‍රසිද්ධියේ ඒවා නොදුටු නෙත් – නෑසූ කන් ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, කතෝලික පල්ලිය කේන්ද්‍ර කරගත් රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන ගිය ඇතැම් මධ්‍යස්ථාන අරගලය මර්දනය කිරීම සඳහා වන කල්ලි කණ්ඩායම්වලට අනුග්‍රහය හා  දායකත්වය ලබා දුන් බවද රහසක් නොවේ. 1987-1989 අරගලය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන්නේ දකුණේ සිංහල – බෞද්ධ තරුණයින් වූ බැවින්ද, එවක මෙරට ආණ්ඩුව එක්සත් ජනපද භූ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන යාන්ත්‍රණයක් වූ බැවින්ද,  ඒ සිදුවන විනාශය පිළිබඳව නොදුටු නෙත්ව සිටිමින් මර්දනයට නොනිල වශයෙන් සහාය දීම පල්ලියේ ප්‍රතිපත්තිය වූ බව ඉතිහාසය මතක කිසිවකුටත් අමතක කළ හැකි කාරණයක් නොවේ.

කතෝලික පල්ලිය දකුණු ආසියානු කලාපයේ විශේෂයෙන්ම, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ කටයුතු කරන ස්වභාවය සම්බන්ධව විවිධ පර්යේෂකයින් හා දේශපාලන විශ්ලේෂකයින් සිය අධ්‍යයන මගින් තොරතුරු අනාවරණය කර ඇති අතර, ඒවා මගින් කතෝලික පල්ලියේ සැබෑ භූමිකාව කුමක්ද යන්න පුළුල්ව නිරාවරණය කරයි.

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් රාජ්‍ය සහ බටහිර දක්ෂිණාංශික ක්‍රිස්තියානි මිෂනාරී සංවිධාන, ඇමරිකන් ඩොලර් මිලියන ගණනින් අරමුදල් යොදවමින් දකුණු ආසියානු කලාපයේ විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව කතෝලික/ ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සඳහා විවිධ උත්සාහයන් දරමින් සිටී. ඉන්දියාව තුළ සමාජ මාධ්‍ය වෙබ් අඩවි, පුවත්පත් හා දේශපාලනය සම්බන්ධ විශ්ලේෂණ, ඉන්දියාවේ පොහොසත් හින්දු උරුමයට තර්ජන එල්ල කරමින්  තිබෙන අතර, හින්දු ආගම යනු යක්ෂාවේශ වූ තැනැත්තන්ගේ අශෝභන යක්ෂ ආගමක් ලෙස හුවා දක්වමින් හැකි ආසන්නම අවස්ථාවේ එම ආගම ඉවත්කර දැමීම එහි ඉලක්කය වී තිබේ. එසේම, මෙම ඉවැන්ජලික ව්‍යාපෘතියට, දැනට වෙන්ව පවතින ශ්‍රී ලංකාවේ උතුර – නැඟෙනහිර හා ඉන්දියාවේ තමිල්නාඩුව එක් ඒකකයක් ලෙස අලුතින් එක්කරන ‘ක්‍රිස්තියානි ඊළාම් රාජ්‍යයක්’ ඇති කිරීමේ සැඟවුණු සැලසුමක් ඇතුළත් වේ. අවසානයේ, දෙමළ භාෂාව හා හින්දු ආගම යන දෙකම මුළුමනින්ම කොන් කෙරුණු හා මැඩ පැවැත්වුණු, බටහිර බලය ඉහළින්ම රජයන ක්‍රිස්තියානි රාජ්‍යයක් ඇති කිරීම එහි අරමුණ බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.

වතිකානුව යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණ තත්ත්වය යටතේ පවතින ස්වෛරී රාජ්‍යයකි. ඔවුන්ගේ පක්ෂපාතීකම ක්‍රිස්තියානි බටහිරට පවතින්නකි. වතිකානුව තුළ වන පාප් වහන්සේගේ අනුමැතියකින් තොරව බිෂොප්වරුන් හා කාදිනල්වරුන් පත් කිරීමට කිසිදු රටකට හැකියාවක් නැත. මේ රටේ බෞද්ධාගමිකයින් සමග සාමයෙන් දිවි ගෙවන්නට බලාපොරොත්තු වන සාම්ප්‍රදායික හින්දුවරුන්ව, මේ රට ගැටුම්කාරී රාජ්‍යයක් බවට පත් කිරීමට උපායෙන් පොළඹවා ගනිමින් මේ ක්‍රිස්තියානි දේවගැතිවරුන්  කරන කාර්යය ආචාරධාර්මිකද යන්න දේශපාලන විශ්ලේෂකයින් මතු කරන සාධාරණ පැනයකි.

මේ ක්‍රිස්තියානි ‘නියෝජිතයින්ගේ’ ස්වභාවයේ හැඩය සමීපව නිරීක්ෂණය කරන විට, ඔවුන්ට තිබෙන කාර්යය සහ අඛණ්ඩව ප්‍රවර්ධනය කරන ක්‍රියාකාරකම් ඔවුන්ගේ සැබෑ න්‍යාය පත්‍රයට සම්බන්ධ වන බව පෙනී යන්නේය. එල්.ටී.ටී.ඊ.ය විසින් අල්ලාගනු ලැබූ ළමා සොල්දාදුවන්ගේ අනාථ නිවාස පවත්වාගෙන යන්නේ ක්‍රිස්තියානුවන් මගිනි. එසේම, මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් ක්‍රිස්තියානුවන් වූ අතර, ඔවුන් හින්දු වූයේ නමින් පමණකි. රජීව් ගාන්ධි ඝාතනය කරන ලද ‘ධනු’ කතෝලික ආගමට අයත් විණි. සාම පහසුකම් සපයන ජාතීන් සියල්ල ක්‍රිස්තියානි ඉවැන්ජලික (නෝර්වේ සහ ස්කැන්ඩිනේවියානු රටවල්) වේ. විදේශ පදනම් වූ රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් සපයන රටවල් බහුතරය ක්‍රිස්තියානි වන අතර, එල්.ටී.ටී.ය. සමග ඒවාට සමීප සම්බන්ධතා තිබිණි.

මේ ආගමික දූතයින්ගේ / චරපුරුෂයින්ගේ ක්‍රියා පිළිවෙළ හෝ ‘මෙහෙවර’ බරපතළ ප්‍රශ්නයක් මතු කරන බවත්, මොවුන්ට ආගම සමග කරන්නට විශාල සැලසුමක් නැති නමුත් ආගම උපාය මාර්ගික මෙවලමක් (Stratagic Tool) ලෙස භාවිත කරමින් සිටින බවත් විශ්ලේෂකයෝ සඳහන් කරති.

භීෂණය සමග ආගමක් සම්බන්ධ වනවාට කිසිදු කෙනෙකු කැමති නැත. නමුත් වාර්ගික ආගමික භූමියක් මත පදනම්ව ස්වෛරී රාජ්‍ය බෙදා වෙන් කිරීමේ අවශ්‍යතාව සඳහා ආගමික භාවයන්, භීෂණය/ බෙදුම්වාදය සමග සම්බන්ධ වීම හඳුනාගත හැකිය. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සුඩානය, ඊජිප්තුව, සිරියාව, වෙනිසියුලාව හා යුක්රේනය තුළ සමකාලීන අවස්ථාවල හැරවුම් මගින්, ශ්‍රී ලංකාව තුළ පස්වන කුළුණේ භූමිකාව කුමක්ද යන්න හඳුනාගැනීමට ප්‍රබල සිහිකැඳවීමක් කරයි.

බෞද්ධයින් හා හින්දූන් සියවස් ගණනාවක් තිස්සේ සාමකාමී සහජීවනයෙන් මෙරට තුළ වාසය කළ අතර, මේ සමාජ දෙක අතර ගැටුමක් වර්ධනය වූයේ යටත්විජිතවාදීන් පැමිණ ආගම යන සාධකය මත බෞද්ධ හා හින්දු යන සමාජ දෙකම බෙදීම තුළය. මෙලෙස, 100%ක් වූ දෙමළ හින්දූන්, දෙමළ කතෝලිකයින්/ දෙමළ ක්‍රිස්තියානුවන් ලෙස බෙදන අතරතුර, 100%ක් වූ සිංහල බෞද්ධයින් සිංහල කතෝලිකයින්/ සිංහල ක්‍රිස්තියානුවන් ලෙස බෙදනු ලැබිණි. මේ ආගමික බාධකය පූර්ව යටත්විජිත යුගයේ කවදාවත් නොපැවතුණු තත්ත්වයක් බව අධ්‍යයන මගින් පෙන්වා දෙයි.

දේශ ගවේෂකයින්, යටත් විජිතවාදීන් හා ජයග්‍රාහකයින් සමග සියවස් ගණනාවක් තිස්සේ බටහිර ආගමික කණ්ඩායම් අනුබද්ධව සිටි අතර, ඔවුන්ට ආගම ප්‍රචාරණය සඳහා අරමුදල් සපයා දී තිබේ. අද වන විට මොවුන් හැඳින්වෙන්නේ ආගම පදනම් වූ සංවිධාන වශයෙන් වන අතර, ඒවා සඳහා බටහිර ආණ්ඩුවලින් අරමුදල් සපයනු ලැබේ. එසේම මේවා ලබා ගන්නේ ආගමික කණ්ඩායම්වල වාර්ගික ස්වභාවය සහ ඔවුන්ගේ ‘මානවවාදී’ ප්‍රයත්නවලටය. කතෝලික / ක්‍රිස්තියානි ආගම පදනම් වූ මෙම සංවිධාන, තර්ජනයට ලක් වූ ස්වදේශීය විශ්වාස හා සංස්කෘතික භාවිතයන්ට අනුකූලවීමට අසමත් වීම, ඔවුන් බලාපොරොත්තුවන විකෘති පරිවර්තනයේ ස්වභාවය පෙන්නුම් කරයි.

මූල්‍යමය සාධකය මත, තුන්වන ලෝකයේ රටවල ආණ්ඩු මේ සම්බන්ධව නිහඬ නිශ්ක්‍රීය පිළිවෙතක් අනුගමනය කිරීම තුළ, ආගමික යටත්විජිතකරණය හරහා සමාජ ආර්ථික දියුණුවට අනතුරක් මිශ්‍ර වීම සඳහා එම ස්වභාවය ආශිර්වාදයක් වෙයි.

Boston Globe වාර්තාවකට අනුව 2006 වසරේදී USAID ආයතනය ආගමික කණ්ඩායම් සඳහා ප්‍රදානයන් 50,000කට වඩා සිදු කර ඇති අතර, එහි එකතුව ඇමරිකන් ඩොලර් බිලියන 1.7කි. එසේම මෙම සංවිධානවලින් 98%ක්ම ක්‍රිස්තියානි සංවිධාන විණි.

එක්සත් ජනපදය තමන්ව හඳුන්වා දෙන්නේ ලෞකික/ බහුත්ව/ බහු සංස්කෘතික ජාතියක් වශයෙන් වන නමුත්, එම රජයේ අරමුදල්වලින් 20%ක් පමණ  ආගම පදනම් වූ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවලට ගොස් ඇති අතර, ඒ සියල්ලම පාහේ ක්‍රිස්තියාන් සංවිධාන වේ. World Vision සංවිධානය  පමණක් තනිව ගත්විට, එහි වාර්ෂික අයවැය ඇමරිකන් ඩොලර් බිලියන 1.7කි.

මෙම සංවිධාන තුන්වන ලෝකයේ රටවල සිය ආගම ව්‍යාප්ත කිරීමේදී ජනතාවගේ මූලික අවශ්‍යතා හා බැඳුණු විවිධ පහසුකම් හා මූල්‍යාධාර ලබාදීම ඔස්සේ එය සිදු කරන අතර, මෙවැනි රටවල ආණ්ඩුවලට සිය ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ඇති නොහැකියාව නිසා මේ සංවිධානවලට එරෙහිව කිසිදු පියවරක් නොගෙන නිහඬව බලා සිටිති. ඒ තත්ත්වය තුළ මෙම සංවිධාන නීත්‍යනුකූල මෙන්ම නීත්‍යනුකූල නොවූ ආකාරයෙන්ද සිය ආගමික පහසුකම් ගොඩනැඟීම හා ව්‍යාප්ත කිරීම සිදු කරමින් සිටින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා දායකත්වය ලබා දීම අතින් ඉහළින්ම සිටින ජාතීන් 10 අතුරින් 7කම ප්‍රමුඛ ආගම වන්නේ රෝමානු කතෝලික ආගමයි. ඒ අතර, ඔස්ට්‍රියාව, ප්‍රංශය, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය ඉහළම දායකත්වය ලබා දෙන රටවල් බව හඳුනාගෙන තිබේ.

කෙන්ට් සරසවිය (University of Kent) මගින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය කරන්නේ, එක්සත් ජාතීන්ගේ ආගමික රාජ්‍ය නොවන සංවිධානවලින් 70%ක් ක්‍රිස්තියානි ඒවා වන බවයි. හින්දු හා බෞද්ධ වැනි අනෙකුත් ආගමික කණ්ඩායම්වල වැඩකටයුතු සඳහා ඉතාම සීමිත ප්‍රමාණයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය  ආධාර කරන අතර, ක්‍රිස්තියානි ආගමික සංවිධානවලට පමණ ඉක්මවා අසීමිත ලෙස ආධාර කිරීම තුළ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආගමික වශයෙන් විවිධත්වය පිළිගැනීම සිදු නොවන බවයි. එබැවින් මෙම පර්යේෂක කණ්ඩායම එක්සත් ජාතීන්ගේ ක්‍රමවේදය තුළ පවතින ‘ව්‍යුහාත්මක සහ ඓතිහාසික විභේදනයන්’ විශේෂයෙන් මතු කර පෙන්වා තිබේ.

නැඟෙනහිර ටිමෝරය, ආගමික පෙළඹවීම් සහිත සංවර්ධන ආධාර සම්බන්ධතා මගින් පරිවර්තනයට ලක් කෙරුණු රටකට හොඳම උදාහරණයයි. නැඟෙනහිර ටිමෝරයේ සමස්ත ආර්ථිකය රඳා පවතින්නේ විදේශාධාර මත වන අතර, ලැබෙන ඇමරිකන් ඩොලර් 594.60කින් සෑම ඩොලර් 100ක්ම එහි දළ ජාතික නිෂ්පාදනය වේ. නැඟෙනහිර ටිමෝරයට රෝමානු කතෝලික ජාතීන් විසින් මූල්‍යාධාර ලබා දෙන අතර, වර්තමානයේ එරට ජනගහණයෙන් 90%ක් රෝමානු කතෝලිකයින් වේ.

ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරය හා කතෝලික පල්ලිය සම්බන්ධව, දේශපාලන විශ්ලේෂකයින් මෙබඳු ප්‍රශ්නයක් නඟා තිබේ. එනම්,“දෙමළ ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය, ක්‍රිස්තියානියට පොළඹවන කණ්ඩායම් විසින් කොල්ල කනු ලැබුවේද?” යන්නය. මෙම ප්‍රශ්නය ඇසීමට හොඳ හේතු තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ නායකත්වයට ඉතා සමීපව කතෝලික පූජකයින් හා  පල්ලිය කටයුතු කළේය. එසේම වර්තමානයේ දෙමළ ඩයස්පෝරාවේ සිටින දෙමළ හින්දුවරුන් ප්‍රමාණය අතලොස්සක් වන අතර, ඔවුන් ඉදිරිපෙළට දමාගෙන බෙදුම්වාදී කණ්ඩායම්වල සැබෑ ප්‍රධානීහු තමන්ගේ සැබෑ අනන්‍යතාව වූ දෙමළ කතෝලික අනන්‍යතාව සඟවාගෙන කටයුතු කරති.

පශ්චාත් ගැටුම් අවස්ථාවල ආරම්භයේදී දෙමළ ජනතාවගේ හඬ බවට හින්දු පූජකවරුන් පත් නොවීමත්, ක්‍රිස්තියානි/ කතෝලික පූජකයින් පමණක් හඬ ලෙස ක්‍රියා කිරීමත් හැම විටම දැකිය හැකි වූ තත්ත්වයකි. මේ භූමිකා රංගනයේ ස්වභාවය පිළිබඳව මතුවන අනෙක් ප්‍රශ්නය වනුයේ, මේ ක්‍රිස්තියානි පූජකයින් අයත් වන ඒ ක්‍රිස්තියානිය, ඉන්දියානු උප මහාද්වීපය තුළ උපන් ආගමක් නොවීමත්, එහි බල කේන්ද්‍ර සහ මෙහෙයවීම වතිකානුව හා අනෙක් බටහිර රටවල්වල පැවතීමත්ය.

එල්.ටී.ටී.ඊ. ආධිපත්‍යය පැවති කාලය මුළුල්ලේම දෙමළ ජනතාව වෙනුවෙන් ‘ප්‍රකාශකයින්’ වූයේ ක්‍රිස්තියානි පූජකයින්ය. එසේම, එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් හා ඔහුගේ බිරිය ඇඩෙල් ක්‍රිස්තියානුවන්ය. එපමණක් නොව, ප්‍රභාකරන්ම කියා තිබුනේ තමන් ක්‍රිස්තියානියට හැරී ඇති බවත්, අනෙකුත් බොහෝ හින්දු එල්.ටී.ටී.ඊ. ක්‍රියාධරයින් හින්දු වන්නේ නමින් පමණක් බවත්ය. තවදුරටත් කියන්නේ නම්, මියගිය එල්.ටී.ටී.ඊ. ක්‍රියාධරයින් සියල්ලම භූමිදානය කර තිබේ. නමුත්, සැබෑ හින්දුවරු හා බෞද්ධයෝ තමන්ගේ මෘත දේහ ආදාහනය කරති. දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය එබඳු ආගමික කණ්ඩායමක පාලනය යටතේ පැවති බවට මෙය තවත් සංඥාවක් බව  විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.

එසේම,  විදේශ මැදිහත්වීම් කරන ජාතීන් සියල්ලම ඉවැන්ජලික ක්‍රිස්තියානි හෝ කතෝලික ඒවාය. එල්.ටී.ටී.ඊ. ය විසින් අල්ලාගත් දරුවන් සහ ළමා සොල්දාදුවන් බවට හැරවූ දරුවන් රඳවා සිටින අනාථ නිවාස සියල්ලම පවත්වාගෙන යන්නේ ආගමික මිෂනාරීන් විසිනි. එල්.ටී.ටී.ඊ. හිතවාදී සියලුම විරෝධතා හා රැස්වීම්වලදී ක්‍රිස්තියානි පියතුමන්ලා සැබැවින්ම පෙරමුණේම සිටියහ. අතීතයේදී ක්‍රිස්තියානි පූජකවරුන් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් ආයුධ සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සහ ක්‍රියාධරයින්ට ආරක්ෂාව සැලසීම සම්බන්ධව අත්අඩංගුවට පත්ව තිබේ.

මේ සාපරාධී කල් ක්‍රියාවන් මත ඔවුන් සභාවෙන් ඉවත්කිරීමට හෝ ඒවා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට මේ ආගමික සංවිධානවල මූලස්ථාන කටයුතු නොකළේ මන්ද යන පැනය ඔවුන්ගෙන් ඇසීමට තිබෙන බව පර්යේෂකයෝ සඳහන් කරති.

ලුතිනන් කර්නල්(විශ්‍රාමික) සුසන්ත සෙනෙවිරත්න මහතා, ‘ජාතික ආරක්ෂාව අවුල් කරන විදේශීය රහස් ඔත්තු සේවා’ ලිපියෙහි  සඳහන් කරන ආකාරයට, “ 30 වසරක සන්නද්ධ ගැටුම ඇතිවීම සඳහා මුල් වූ බෙදුම්වාදී සංකල්පය බිහිවීමට තමිල්නාඩුවේ හා යාපන අර්ධද්වීපයේ භූ දේශපාලනික සාධක හා ඉතිහාසගත සිදුවීම් මගින් ඇති කළ බලපෑම් හේතු වී ඇත.  එහෙත් එය සන්නද්ධ අරගලයක් තුළින් සාර්ථක කළ හැකි බවට අවැසි තත්ත්වයන් ගොඩනැඟීම සිදු කරනු ලැබුවේ සී.අයි.ඒ. ප්‍රමුඛ විදේශ රහස් ඔත්තු සේවාවන් මගිනි. ඊට ‘ක්‍රිස්තියානි මිෂනාරීන්’ වෙසින් පැමිණි ක්‍රියාකාරිකයින් විසින් අවැසි පසුබිම ගොඩනඟන ලදී. 1982 වසරේ යාපනය කොලොම්බුතුරෛහි දේවස්ථානයෙන් සොයාගත් එල්.ටී.ටී.ඊ. රහස් ලියකියවිලි ඊට සාක්ෂි දැරීය.”

එවක යාපනයේ මීසම භාර දේවගැතිවරයාව සිටි, වර්තමානයේ ජර්මනියේ වාසය කරන එස්.ජේ. එම්මානුවෙල් පියතුමා කතෝලික පල්ලිය හා බෙදුම්වාදී කොටි සංවිධානය අතර පැවති සම්බන්ධතාව කෙබඳුදැයි අපූරුවට නිරූපණය කරන ප්‍රමුඛ චරිතයකි. ඔහු විසින් ප්‍රභාකරන්  හඳුන්වනු ලැබුවේ ‘දෙමළ ඊළමට මව්බිමක් පිහිටුවීමට කැප වූ ව්‍යාපාරයට නායකත්වය ලබා දෙන නිදහස් සටන්කාමියෙක්’ ලෙසයි. එපමණක් නොව,  ඔහු ප්‍රභාකරන් ජේසුස් වහන්සේ සමග සංසන්දනය කළ අතර, ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය  හැඳින්වූයේ ‘ක්‍රිස්තුස් වහන්සේගේ සොල්දාදුවන්’ වශයෙනි. එසේම, ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ‘කතෝලික පල්ලියේ ප්‍රාණ ත්‍යාගී වීරයින්’ ලෙස හැඳින්වූ අතර, ඔවුන්ට කතෝලික භූමිදානයක් පල්ලිය මගින් ලබාදීමට කටයුතු කළේය. ඔහු තමන් ‘මෝසස්’ ලෙස හඳුන්වාගත් නමුත්, පළමුවෙන්ම තමන් දෙමළ ජාතිකයකු බවත් ඊළඟට ක්‍රිස්තියානුවකු බවත් කීවේය. දැන් ඔහු විසින් Global Tamil Forum සංවිධානය මෙහෙයවනු ලබයි. ඔහු විවෘතවම එල්.ටී.ටී.ඊ.ය  වෙනුවෙන් කටයුතු කළ අතර, දෙමළ ක්‍රිස්තියානුවන් සඳහා පමණක් වෙන් වූ දේවධර්ම ශාස්ත්‍රයක් ලිවීම සම්බන්ධව ඔහු ප්‍රකට ය. (සිංහල ක්‍රිස්තියානුවන් මෙයින් බැහැර කර ඇති බව මින් අදහස් නොවන්නේද) එයින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකේම හින්දු හා බෞද්ධ බලය බිඳ දැමීම ක්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයේ අරමුණ නොවන්නේද? එය සමාන වන්නේ එක පරම්පරාවක් තුළින් දකුණු කොරියාව තුළ ක්‍රිස්තියානිය අත්පත් කර ගත් සාර්ථකත්වයට නොවේදැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘අරගල’ යනු ලාංකේය සමාජයේ හෝ ලෝකයේ හෝ අලුත් යමක් නොවේ. නමුත් ඒ සමාජ – දේශපාලන අරගල සම්බන්ධ ‘කතෝලික පල්ලියේ කියැවීම’ සිදුවන්නේ වෙනස් මානයක, වෙනස් තලයක හා වෙනස් උපාය මාර්ගයක කටයුත්තක් ලෙස බව පැහැදිලි සත්‍යයකි. ඒ අනුව ගත් විට වර්තමාන ‘ගාලු මුවදොර අරගලය’ තුළ ‘පල්ලියේ භූමිකාව’ කාගේ, කෙබඳු උපාය මාර්ගික වැඩපිළිවෙළක් වෙනුවෙන් සැකසුණු න්‍යාය පත්‍රයක් තුළ සිදුවන්නක්දැයි හඳුනාගැනීම අසීරු නොවේ.

ප්‍රභාත් චින්තක මීගොඩගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More