පුරවැසි කොලම

ඔහු පිය රජුගේ රැකවල් තුට්ටුවකට මායිම් නොකර අරගලයට බසිනුයේ තනිවමය…
ඒ අද මෙන් පාලකයන් වෙනස් කර රට වෙනස් කිරීමට නොව
තමාව වෙනස් කර
ලෝවැසි පැවැත්මෙහි සිස්ටම් චෙන්ජ් එක පිණිසය..
අද මව් පියවරු දරු සිඟිත්තන් අත දරා අරගල බිමට පිවිසෙන අයුරු සංවේදී ය..
එහෙත් සිද්ධාර්ථ අරගලයට පිවිසෙන්නේ එදාම උපන් සිඟිති පුතු පමණක් නොව මිනිසෙකුට සතු විය යුතු ආදරණීයම පතිනියද සදහටම අත් හරිමිනි..
අද අරගලය වෙත යන්නේ පොකුරු පිටිනි..
එහෙත් සිද්ධාර්ථට සිටියේ කන්ථක හා චන්නයන් පමණි ..
අවසානයේ නේරංජාව අසලදී ඔවුන්ව ද දමා ඔහු අරගලයට බසිනුයේ තට්ට තනිවමය…
අප අරගල කරන්නේ සියල්ල අහිමිව ගිය කල ඒවා ලබා ගැනීමට ය.
එහෙත් සිද්ධාර්ථ උපතින්ම ලද සකල විධ සුඛෝපභෝගී හිමිවීම් සියල්ල අතහැර අරගලය ආරම්භ කලේය…
අද අරගල කරුවන් ඉදිරියට යන්නේ කෑමොර දෙමින් ..
නමුත් සිද්ධාර්ථ ඉදිරියට ගියේ නිහඬවමය…
ඔහුටද අපූරු සටන් පාඨයක් විය..
” මම මිදී ලෝ සතුන් මුදවමි” යන්නයි..
“සිංහලෙන් කිව්වොත්” #SasaraGoHome යන්නයි.
ඔහු එය ලියා ගත්තේ ඇඳුමක, පළඳනාවක හෝ ගහක, ගලක නොව සිය හදවත මතය..
යශෝධරාවත් දෙවියනුත් හැර එය අන් කිසිවෙකු දැන සිටියේ ද නැත…
ඔහු අරගල බිමේදී උපවාස කලේය ..
එය දවසක් දෙකක් නොව ..
සා අවුරුද්දකි…
අරගලයේ දුෂ්කරම අවස්ථාවේදි ඔහුට සහය වීමට ඉදිරිපත් වූයේ තවුසන් පස් දෙනෙකි…
අවසානයේ ඔවුන්ද ඔහුව අතැර ගියහ…
ඔහුගේ අරගලයේ උච්චතම අවස්ථාව එලඹෙනුයේ බුද්ධගයා භූමියේදීය …
ඔහුට එරෙහිව සිටියේ පොලිස් හෝ හමුදා නිලධාරීන් ස්වල්ප දෙනෙකු නොව…
දස බිම්බරක් මාර සේනාවය…
සිද්ධාර්ථ හිතුවක්කාරම අරගලකරුවෙකි ..
දස බිම්බරක් මාර සෙනඟටවත් ඔහුව පාලනය කල නොහැකිව පසු බැස්සහ..
සිද්ධාර්ථ සුපිරි ම අරගල කරුවෙකි ..
ඔහු සියල්ලට ගිනි තබා දවා අළු කලේය.
ඒ ඔහුගේ ඇතුලාන්තයෙ කල්ප ලක්ෂ ගණනක් එකතු වූ ක්ලේෂයන්ය…
ඔබට මට සිහිනෙන් වත් කරන්නට බැරි විනාශයකි එය…
ඔහු සියල්ල සුණුවිසුණු කලේය ..
ඒ සංසාරයේ කැණිමඩල වූ තණ්හාවයි…
අවසානයේ ඔහු අරගලය දිනුවේය..
කිසිදු උදවු උපකාරයක් නැතිවම ඔහු අරගලය දිනන විට ඒ වෙනුවෙන් සක්වල ම ගිගුම් දුන් ජයඝෝෂා නැගුවේ
දෙවියන් හා බඹුන්ය..
එකදු මිනිසෙකු ඔහු වෙනුවෙන් සිටියේ නැත..
ඔබත් මාත් අද අරගල කරනුයේ ජාතිය වෙනුවෙනි…එහෙත් සිද්ධාර්ථ සිය අරගලය ආරම්භ කලේ “ජාතිය” නැති කිරීමට ය….
ඒ, ඕලාරික ජාතිකත්වය මරණය සමඟ වෙනස් වන බව ඔහු දැන සිටි නිසාය..
එතනිනුත් ඒ අරගලය නිමා නොවිනි..
මන්ද දෙසැටක් මිත්‍යාදෘෂ්ඨියෙන් පිරි භාරතය තුල සම්‍යදෘශ්ටිය වෙනුවෙන් යලිත් අරගලය ඇරඹිණි..
අවසානයේ හුදෙකලා ඔහු වටා ක්‍රමයෙන් මිනිසුන් එක් රැස් වන්නට විය..
දේවදත්ත වැනි අසත්පුරුෂයන් මෙන්ම..
සච්චක වැනි වාග් ප්‍රහාරකයින් ගේද අඩුවක් නොවිණි…
නමුත් මේ හුදෙකලා අරගලකරුවා
විශ්වයට ම..
සම්මා සම්බුද්ධ විය.
ලෝක විදූ විය. අනුත්තර විය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් මිනිසුන් ඔහු වෙනුවෙන්, ඔහුගේ දර්ශනය වෙනුවෙන්
අරගල කරති..එහෙත් අරගලය ආරම්භ කල යුත්තේ තමා තුලින් බව ඔහුගේ දර්ශනය විය..
අපි එය ආගමක් කරගෙන ඔහුගේ අරගලය බැහැරින් කෑදරින් තලුමරමින් සිටිමු.
ඔබද අද අරගලයක නිරතව සිටින්නෙකු විය හැක..
අවසාන අරගලයට පෙර සිද්ධාර්ථද සසරේ නොයෙක් බාහිර අරගල කරන්නට ඇත.
නමුත් ඒ සියළු බාහිර අරගල වල ඇති ශූන්‍ය තාවය වටහාගත් ඔහු අවසානයේ,
තමා සමඟ ..
තමා වෙනුවෙන් කරන අරගලය තෝරා ගන්නට ඇත ..
අද ඔබේ අරගලය ..කෙලෙස් භරිත මිනිසෙකු හෝ සමූහයක් නෙරපීම වෙනුවෙන් විය හැක….එහෙත් නැවත ඔබ විසින් තෝරා ගනුයේද එවැනිම කෙලෙස් පිරි හිස් මිනිසුන්වමය…
ඔවුන්ගෙන්ද කිසිවක් අපේක්ෂා නොකරන්න..
අරගල කරුවන් ලෙස අද ලෝකයේ ඔබට යම් පිළිගැනීමක් ලැබුණද මේ කෙලෙස් පිරුණු ලෝකයේ ඔබත් මමත් තවත් ඉත්තන් පිරිසක් පමණි ..
තවත් වසර දෙකකින් හෝ කිහිපයකින් අපට මේ අරගලයේ සැබෑ වටිනාකම භුක්ති විඳීමට හැකි වනු ද, ඇතැම්විට නොහැකිවනු ද ඇත ..
එවිට සමහරවිට අද මෙන්ම පශ්චාත්තාප වීමටද සිදු විය හැක..
මන්ද අප අරගල කරනුයේ අපෙන් බාහිරවය…හෙට නැවත ඔබට ජීවන අරගල කරන්නට සිදු වනු ඇත…….
එහෙත් ඔබට කියමි …දිගටම අරගලය ගෙන යන්න …ඔබට ඔබව හමුවන තුරු අරගලය නොනවත්වා ගෙන යන්න ..
හති වැටෙන්නට ඉඩ නොතබා දිගටම
අරගල කරන්න …
ඔබේ ඇතුලාන්තයෙන්ම අරගල කරන්න …
ඔබේම සටන් පාඨයක් තබාගෙන අරගල කරන්න …සිද්ධාර්ථ මෙන්ම..
සිහියෙන් අරගල කරන්න …
ක්ලේෂයන් යටපත් කිරීම වෙනුවෙන් …
ඔබව දිනාගනු පිණිසම ..
මම කිසිදා කළු කොඩි අත නොදරමි..
මිත්‍යාදෘෂ්ඨික සංකේතයක් අත දරා ගැනීමට මට ඇවැසි නැත..ශෝකයේත්..වෛරයේත්…අන්ධකාරයේත් කාල වර්ණය මම පිලිකෙව් කරමි…
මන්ද විශ්වයේ හොඳම අරගලකරුවා සිහිකරනු වස් බුදු ධජය මට ප්‍රමාණවත්ය…
එසේම ඔබට කියමි…
ඔය ගින්න නිවී යා නොදෙන්න …
ගෙදර ආ සැනින් නැවත ඔබේම අරගලය ඔබම පටන් ගන්න.
ඔබව මුදාගනු පිණිස …
සරුව පිත්තල කයිවාරු වචන වලින් හිස්කම වසා ගන්නා අවස්ථාවාදී කපටියන් යලි මුණ නොගැසෙනු පිණිස …
කොහේ හෝ පෝලිම් වල යලි ලැගීමට සිදු නොවනු පිණිස …
වසංගත හමුවේ යලි අසරණ නොවනු පිණිස …
සාගත වලට යලි කිසිදා ගොදුරු නොවනු පිණිස …
ලෝක යුද්ධ වල ඉලක්ක නොවනු පිණිස
ඔබව ජාතියෙන් හෙවත් භවයට ගෙන යන උපතින් ඔබව මුදා ගැනීමට ඔබේම
අරගලය, ඔබෙන් ම පටන් ගන්න.
එවිට මමද කියමි..
*අරගලයට ජය වේවා ..!!!*

සටහන් අරගලකරැ නොදනමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More