පුරවැසි කොලම

මේ දවස් වල හැමෝගෙම කතා බහට ලක්වෙන කතාව තමයි රට බංකොලොත් වෙන්න යනවා කියන එක. මේක විපක්ෂයේ උන්ට හරිම මිහිරි කතාවක් , පොහොට්ටුවේ උන්ට අමිහිරි කතාවක් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම බංකොලොත් උනොත් මොකද වෙන්නේ? මම මේ ලියන්නේ එහෙම බංකොලොත් උන රටක ගෙවුණු මගේ ජිවිතේ අත්දැකීම්. කියවල බලන්න එතකොට තේරුම් යාවි කොයිතරම් අමිහිරි ද කියල.
මම උසස් අද්‍යාපනය ලැබුවේ රුසියාවේ . මම හිතන විදිහට අපි තමයි රුසියාවට ශිෂ්‍යත්වෙන් ගිය අවසාන කණ්ඩායම හෝ අවසන් කණ්ඩායමට පෙර කණ්ඩායම. අපි රුසියාවට යද්දී ඒ රටට කිව්වේ සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව කියලයි. නමුත් අපි ගිහිං යන්තම් වසරක් 1991 දෙසම්බරේ දී සෝවියට් සමුහාණ්ඩුව විසිරුවා හරිනු ලැබුවා. ඒ සමගම සාමුහිකව කෙරුණු බොහෝ කටයුතු ක්ෂණිකව කඩාවැටෙන්න පටන්ගත්ත. උක්‍රයිනයේ නිෂ්පාදන රුසියාවට ආවේ නැහැ. රුසියාවේ නිෂ්පාදන බෙලොරුසියාවට ගියෙත් නැහැ. සෝවියට් සමුහාණ්ඩුව එවකට ඇමරිකා එක්සත් ජනපදය හා කරට කර සිටි ලෝකයේ එකම රටයි. එහෙම රටක මම මේ ලියන දේවල් උනා කිව්වොත් සමහර විට ඔබ පිළිගන්නේ නැතිවෙයි.
විදුලි වේගයෙන් ගිය දුම්රිය රුසියානු සමුහාණ්ඩුව අවසන් වන තැනදී නතර උනා. ඉන් එහාට දුම්රිය ගියේ ලංකාවේ වගේ ඩිසල් එන්ජින් වලින්.
මොස්කව් වලින් ගත්තු දොඩන් ගෙඩි ගාන හතරකට වැඩි නම් ගෙනියන්න දෙන්නේ නැහැ. විදේශිකයන් වූ අපට විසා ගැනීම අනිවාර්ය උනා. විසා නැත්නම් බැස්සුවා. කන බොන දේවල් වැඩිපුර තිබුන නම් බෝඩර් හරහා ගෙනියන්න ලැබුනේ නැහැ. අම්ම රුසියන් තාත්ත උක්‍රයින් උන පවුල් ලක්ෂ ගණනක් රුසියාවේ ඉන්නවා. ඒ මිනිස්සු ගමේ ගියේ රට යනවා වගේ.
මුදලේ අගය පහත යන්න පටන්ගත්තු නිසා අත්‍යවශ්‍ය ආහාර නිපදවපු ෆැක්ටරි වලින් ගොවි බිම් වලින් එයාලගේ නිෂ්පාදන යවන එක නතර කරලා ඒවා එයාලගෙම නිසා. අත්‍යවශ්‍ය භාණ්ඩ මා ජීවත් වූ මොස්කව් නුවර ඇතුළු නගර වල හිඟ වෙන්න පටන්ගත්ත. වැඩිපුර ම අවශ්‍ය උන පාන් අර්තාපල් කිරි බිත්තර මස් දුලබ වෙන්න පටන්ගත්ත. අපි කඩේට දෙයක් ගන්න ගියොත් ඒ දේ කඩේ තිබ්බේ නැහැ. නමුත් අපට තව ටික දවසකින් උවමනා වෙයි කියල හිතෙන යමක් කඩේ තිබුනොත් අපි වහාම ඒ දේ මිලදී ගන්න පුරුදු උනා. අපි හැමෝම අපේ බෑග් එක ඇතුලේ ලොකු මල්ලක් නවල නවල දාගෙන යන එක පුරුද්දට වගේ කරන්න පෙළඹුනා. කඩවල් ඉස්සරහ රුසියානුවෝ පෝලිම් වල පැය ගණන් ඉන්න පටන්ගත්ත. බොහෝ විට දරුවෝ වැඩට ගියාම වයසක උදවිය තමයි මේ පෝලිම් වල හිටියේ. වසර 70 ක් පුරාවට තිබුන සමාජවාදී පාලනය විසින් ජනතාව තුල ඇතිකර තිබු මානව ගුණධර්ම දවස ගානේ පිරිහෙන්න පටන් ගත්තා. බඩගින්න ආවම ඒවා කොහොමත් පිරිහෙනවා නේ.
ඇඳුම් පැළදුම් නැතුව ගියා. කාන්තා යට ඇඳුම් නැත්තටම නැති උනා. තරුණ මහලු කාන්තාවන් ඉතා දිග පෝලිම් වල හිටියේ තමන්ට ගන්න ලැබෙන කුමක් හෝ යට ඇඳුමක් ගැනීමේ බලාපොරොත්තුවෙන්.
විදුලි උපකරණ විකුණු කඩ වල කිසිවක් තිබුනේ නැහැ.ඒවායේ උන්න අයත් දහවලට ඒ කඩ වල හිටියේ නැහැ. දැන් මේ ලංකාව වගේ දකින දකින තැන මොකක් හරි දෙකට පෝලිම් දකින්න ලැබුනා. මිනිස්සු පුදුම අපහසුතාවයකට පත් උනා.
පෞද්ගලික මෝටර් රථ හැම එකක් ම වගේ විදේශිකයන් අත දික්කලොත් නතර කරලා කියන තැනකට එක්කගන යන තැනට පත් වුනා. රුසියානුවෝ රස්සාව කරලා ඇවිත් කලේ පාරේ ටැක්සි දුවපු එක. මට එහෙම හමුවුන දහසක් දෙනා අතර මතක හිටින කිහිප දෙනෙක් තවමත් ඉන්නවා.
එක දවසක් මාව එක්කගන ගියේ MIG 29 ප්‍රහාරක ගුවන් නියමුවෙක්. මම උදේට මොස්කව් නුවර ආරක්ෂා කරනවා රෑට ටැක්සි දුවනවා නැත්නම් ජිවත් වෙන්න අමාරුයි .
එක දවසක් මාව එක්කගන ගියේ ඇෆ්ඝනිස්තානේ යුද්ද කරපු හමුදා කර්නල් වරයෙක්. ඔහු ආබාධිතයෙක්. මෝටර් රථය අත්දෙකෙන් මෙහෙයවන්න පුළුවන් විදිහටහදපු එකක්. මට ලැබෙන මුදලින් ජිවත් වෙන්න පුළුවන් මාසෙන් දවස් දහයක් වගේ. ඉතුරු ටික මෙහෙම තමයි හොයාගන්නේ.
ඒ හැමකෙනෙකුටම වඩා මතක හිටියේ මේ කියන සුවිශේෂී පුද්ගලයායි . ඔහු දින 162 ක් මීර් අභ්‍යවකාශ මද්‍යස්තානයේ ඉඳල තියෙන ගගන ගාමියෙක්. මගේ පපුව බරයි වගේ දැනුන ඒක අහපුවම. ලංකාවට තාව වසර සියයකට වත් එවැනි වෘත්තිකයෙක් ඉන්න එකක් නැහැ. නමුත් ඒ මිනිස්සුත් මහා මගට වැටුනා.
රුසියාවේ එතෙක් පැවතී සිස්ටම් එක කඩන් වැටිලා කළු කඩ, නිත්‍යානුකුල නොවන ජල්තර් බිස්නස්,එකින් එක පැතිරුනා. තරුණ පරම්පරාව ඒවාට සම්බන්ධ වෙන්න උනන්දු උනා. අපේ පන්ති වල උන්නු කෙල්ලෝ කොල්ලෝ ඒ දවස් වල කැන්ටිමෙන් කෑවේ මස් කෑල්ලක් සුප් එකක් නැතුව. නිකම්ම අල පාප්ප ගිලල දැම්ම. එයාලට ලැබෙන මුදලින් ජීවත් වෙන්න එහෙම නැතුව බැහැ . රජවරු වගේ හිටපු ජනතාවක් හිගමනට වැටෙන විදිහ මම දැක්ක.
මේ කඩාවැටීමෙන් වැඩියෙන්ම දුක්වින්දේ පැන්ෂන් ගන්න සීයලා ආච්චිලා. එයාල රටට වැඩක් කරලා පැන්ෂන් ගිහිං සුපිරි ජිවිතයක් ගතකරනවා වෙනුවට පාරට වැටුනා. සමහරු ප්‍රධාන පාරවල් වල හිගමනට වැටුනා. සමහරුන්ට පිස්සු හැදුනා . තනියම පිස්සුවෙන් කියව කියවා පාරවල් වල ඇවිදපු වයසක රුසියානුවෝ අනන්තවත් නෙත ගැටුනා.
එක දවසක මම කෑම කද්දී අපේ කැන්ටිමෙන් මම ගත්තු එක දෙයක් මට කන්න බැහැ කියල හිතුන නිසා ඒ කෑම එක පැත්තකින් තියල මම වෙන එකක් කන්න පටන්ගත්ත. ටිකකින් ප්‍රසන්න පෙනුමක් ඇති වයසක මහත්මයෙකු මා අසලට විත් මගෙන් ඇහුව පුතා මේක පැත්තකින් තිබ්බේ කන්නේ නැති නිසා ද කියල . මම ඔව් කිව්වම මේ තැනැත්තා ඒක අරගන ගිහිං මේසෙක වාඩිවෙලා කන්න පටන්ගත්ත. මම මොහොතකට ගල් උනා. මම ඉක්මනින් නැගිටලා ගිහිං අල සහ මස් අඩංගු කෑම පිගානක් ගෙනවිත් ඔහුට පිලිගැන්නුව. මම කිව්වා එන්න මගේ මෙසේම වාඩිවෙලා කෑම කමු කියල. මේ ඔහු කිව්වා කතාව.
මම අස්වාන් වේල්ල හදන්න ගිය රුසියානු ඉංජිනේරු කණ්ඩායමේ එක්කෙනෙක්. අපිට ඒ දවස් වල බාරදුන්නේ හරිම බාරධුර කටයුත්තක්. අපි ඉතින් ඒක කළා.( අස්වාන් වේල්ල ඇයි සුවිශේෂ වෙන්නේ කියල ඔයාල කියවල බලන්න. ඒක ඊජිප්තු සහ රුසියානු ඉංජිනේරුවෝ එකතුවෙලා කරපු පට්ට වැඩක් ) මට කතාව අහගෙන ඉන්නකොට උගුර කට වෙළුන වගේ උනා. කෑම උගුරෙන් පහලට යන්නේ නැහැ වගේ දැනුනා. ඔහු මම අරන් දුන්න කෑම එක බෝතලේක දාගන එයාගේ බිරිඳට දෙන්න කියල අරං ගියා. ඔහු ගියාට පස්සේ මාත් එක්ක හිටපු අපේ බැච් එකේ ලංකාවේ කෙල්ල අඬුව . එයාට ඒක දරාගන්න බැරි උනා. එයා කිව්වා එකක් මට තාම මතකයි. අපි නම් ඉගෙනගන ඉවරවෙලා මෙහෙන් යනවා. නමුත් මේ මිනිස්සු කොහේ යන්නද?
මගේ ළඟ තියෙනවා තොප්පියක් . ඒක මම ගත්තේ පාරේ ඒක විකුනපු සියා කෙනෙක් ගෙන්. පස්සේ තමයි දැනගත්තේ එක රුසියානු ජෙනරාල් ල දාන තොප්පියක් කියල. රුසියාවේ කෙනෙකුට ලැබෙන ඉහලම සම්මානය ” ලෙනින් සම්මානය ” ඒවා ලැබුන අය පාරවල් වල ඒවා වික්ක.දෙවන ලෝක යුද්ධයේ දී ලැබුන පදක්කම් ඕන තරම් පාරවල් වල ගන්න තිබුන.
සමහර ෆැක්ටරි පඩි දෙන්න සල්ලි නැති නිසා ඒ ෆැක්ටරියේ හදන දේවල් ම ඒකෙ වැඩ කරන මිනිස්සුන්ට දුන්න. එයාල ඒවා පාරවල් වල විකුණලා මුදල් කරගත්ත.
මේ හැමදේම උනේ සෝවියට් දේශය විසුරුවා හැරලා අපි හිටපු රුසියාව රුසියානු සමුහාණ්ඩුව වීම නිසයි. රුසියානුවෝ වින්ද දුක හා සැසදුවම අනෙක් කැඩී ගිය රටවල් වල වැසියෝ ඊටත් වඩා දුක්වින්ද බව වාර්තා වෙනවා. රුසියාව මෙහෙම අර්බුධයකට මුහුණ දෙනකොට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් හරිම උවමනාවෙන් ඉදිරිපත් වෙන්න පටන්ගත්ත රුසියාවට ආධාර කරන්න. යුරෝපයේ මස් ටින් වැස්ස වගේ රටට එන්න පටන් ගත්ත. යුරෝපයේ කුකුල් අඬු පෙට්ටි පිටින් මොස්කව් නුවරට ආව. ඇමරිකානු සිගරට් සත ගණන් වලට රුසියාවේ අලවි වෙන්න පටන් ගත්ත. අපි දන්නා හැමෝම වගේ බිව්වේ රෝත්මන්ස් නැත්නම් මාල්බරෝ වගේ දැවැන්ත සන්නාම සහිත සිගරට්. කන්න නැතත් බොන්නයි සිගරටුයි තිබුනා. ඇමරිකාව දැනගන හිටියා රුසියානුවට බොන්න නැතුව ඉන්න බැරි බව, සහ ඔවුන් දැනගන හිටියා බොන්න දෙන තරමට රුසියානුවන් මේ වෙන්න යන දේට එරෙහිව නැගිටින්නෙත් නැහැ කියල. සේරම අසුභවාදීව යද්දී උනත් දරදඬු පාලන ක්‍රමයකින් නිදහස් වෙලා නිදහසේ බඩගින්නේ ඉන්න එක හොඳයි වගේ ආකල්ප දරපු අයත් මේ අතර හිටිය.
මෙහෙම රට යද්දී තව දුරටත් රුසියාවට රුසියානු රූබලය පවත්වාගන යන්න බැරි තත්වයක් උදා උනේ රුසියාවේ වෙයාපාර කල බලවත් ව්‍යාපාර රුසියාව අතහැර රටින් ඉවත් උන නිසයි. මේ වෙද්දී ඇමරිකානු ඩොලරයක් සඳහා රූබල් දහස් ගානක් ගෙවන්න වුනා. ඒ නිසා මහබැංකුව අවසන් බින්දු ඉවත් කළා. සත හෙවත් කොපෙක් නැතිම කරලා දැම්ම. එතෙක් පවතී රූබල් පන්දහස ඉන්පසු රූබල් පහ ලෙස සලකා මුදල් මුද්‍රණය කරා. මුලින් රූබල් පන්දහසේ කොලේ ආවත් 1998 වෙද්දී රූබල් ලක්ෂයේ කොලය අපේ අතට ආව. බඩුවක් ගන්න සල්ලි කන්දක් අරන් යනවා වෙනුවට රූබල් ලක්ශේ කොලේ ගෙනයන එක පහසු උනා. රුසියාවේ ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලත් සැක හිතෙන තරමට රජය දුර්වල උනා. රාජ්‍ය ආදායම් අවම වෙන්න තවත් ප්‍රධාන හේතුවක් උනේ යුරෝපේ රුසියානු ගෑස් මිලදී ගැනීම නවත්තපු එක. 1998 අවසානයේ රුසියානු මහබැංකුව රට බංකොලොත් වී ඇතිබවට නිවේදනයක් නිකුත් කළා. ලොව සිටි ඇමරිකානු විරුද්ධ කඳවුරේ ලොකු අයියා බිම හාන්සි උන නිසා ලෝක බල තුලනය තනිකරම ඇමරිකාව වෙත යොමුවී ඇමරිකාව ලොව එකම තනි මහබලවතා උනා. ඒ දවස් වල චිනේ අද වගේ හයියට හිටියේ නැහැ නේ.
මම මේ කිව්වේ ලොව තිබු බලවත්ම රාජ්‍යයක් කඩාවැටෙද්දී අපි අත්විඳපු දේවල්. රුසියාව කියන්නේ යටිතල පහසුකම් අතින් උපරිම දියුණු රටක්. අල්පෙනිත්තේ ඉඳල අභ්‍යවකාස යානය දක්වා ඒ රටේම නිපදවපු රටක්. රුසියාවටම ආවේනික තාක්ෂණයක් විද්‍යාවක් තියෙන රටක්. මෙන්න මෙහෙම රටක් ආර්ථිකය කඩා වැටිලා පහලට වැටෙන එකයි දැන් ඔය මම කිව්වා මෙලෝ දෙයක් නැති ලංකාව වගේ රටක් වැටෙනවා කියන්නේ තනිකරම දෙවිදිහක්. කටට එනවට අපි කිව්වට බංකොලොත් කියල ඒ දේ වෙලාම බලන්න ඕන , මුහුණ දීලම බලන්න ඕන.
බංකොලොත් උන රුසියාවට නව පණක් ලැබෙන්නේ මෙන්න මේ කාලේ අලුතින්ම බලයට එන්න උත්සාහ කරන ව්ලදිමීර් පුතින් නිසයි පුතින් 1999 රුසියාවේ අගමැති වෙන්නේ. ඊට පස්සේ වැඩ බලන ජනාධිපති උන පුටින් දෙදහ වසරේදී රුසියාවේ ජනාධිපති උනා.
අර්බුධය ගොඩයන්න පටන් ගත්තු ගමන් වගේ මම ආපහු ලංකාවට ආව. කොයිතරම් දුෂ්කරතා මද්‍යයේ උනත් මගේ ජිවිතේ සුන්දරම කාලේ ගෙවුනේ රුසියාවේ මොස්කව් නුවර මානව හිතවාදී රුසියානුවන් සමගයි. රුසියාව ලෝකේ ඉස්සරහට යද්දී මට දැනෙන්නේ මම ඉස්සරහට යනවා වගෙයි. මොකද ඒ හැම දෙයක්ම අපේ ඇටමිදුළු වලට කාන්දු වෙලා තියෙන්නේ.
අද රුසියාව ගැන ආයේ කියන්න ඕනද? ඇමරිකාවට නම ඇහුනත් දාඩිය දානවා. ලෝකයේ ඉන්න ප්‍රභලම ජාතියක් හැටියට ආයෙත් නැගිට්ටේ පුටින් එක්ක.
චාමර ජනරාජ් පීරිස්

(මේ ලිපිය දිග උනත් හැම කෙනෙක් ම කියවිය යුතු ලිපියක්. ආර්ථිකය මුලුමනින් ම කඩා වැටුනාම රටකට, ජනතාවට වෙන දේ. මේ ඔලුවෙන් හිටපු රට නැවත පුටින් බලයට ඇවිත් දෙපයින් නගා සිටෙව්වා.)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ස්වාධීන වූ පක්ෂ සංධානයක් ගොඩ නැගීමට කටයුතු කරනවා- ජානිපෙ නායක විමල් වීරවංශ

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...


Read More

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More