පුරවැසි කොලම

ඔහු රනිල් වික්‍රමසිංහ නම් වේ. ලංකාවේ පස්වරක් අගමැති වු රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ඔහු නුදුරේම හයවෙනි වරටත් අගමැති වී ඔහුගේම ලෝක වාර්තාව අලුත් නොකලොත් ඔබ පුදුම නොවිය යුතුය .

2020 මහමැතිවරණයේදී ලංකාවේ පළවෙනි සහ විශාලතම දේශපාලන පක්ෂය කනත්තට දක්කාගෙන ගිය අපකීර්තිමත් නායකයාද ඒ රනිල් වික්‍රමසිංහමය . යාන්තම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවේ මැතිවරණය අවසන් වී මාස කිහිපයක් ගතවූවාට පසුවය. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ අලුත්ම ඩීල් එක පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කිරීමටය.

රනිල් වික්‍රමසිංහ ආසියාවේ සිටින අති දක්ෂ දේශපාලන ඩීල් කරුවෙක් බව ඔහු ගැන දන්නා බොහෝ අය දනී. බැසිල් රාජපක්ෂ ද හොඳ ඩීල් කරුවෙකි. වෙනස, ඔහුගේ ඩීල් සිදුවන්නේ අතට ඩොලර් කීයක් හෝ ලැබෙනවා නම් පමණි. එහෙත් රනිල් වික්‍රමසිංහ ඩීල් දාන්නේ බලය සඳහාය. ඔහුගේ අලුත්ම ඩීල් එක බොහෝ අයට නොතේරෙන එහෙත් ඉතා භයානක ඩීල් එකකි.

මෙම ඩීල් එකේ පාර්ශව හතරක් ඇත. අමෙරිකාව, ඉන්දියාව මිලින්ද මොරගොඩ සහ රනිල් වික්‍රමසිංහ වේ. මෙම සංසිද්ධියට නිධාන කතාවක් තිබේ. මෙය මුලින්ම ආරම්භ වන්නේ 2002දීය. එදා එය හැඳින්වූයේ Regaining Sri Lanka (යලි පුබුදමු ශ්‍රී ලංකා ) යන නාමයෙනි. එහෙත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට වැඩ් ආයු කාලයක් එදා නොතිබුණි. ජනාධිපති චන්ද්‍රිකා ඇයට තිබූ බලතල අනුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2004 අග විසුරුවා හැර දමා මහ මැතිවරණයක් කැඳවීය. රනිල් වික්‍රමසිංහ මැතිවරණයෙන් ඉතා සුළු ආසන සඛ්‍යාවකින් පරාජයට පත්වීම නිසා විපක්ෂයට තල්ලු විය. එමනිසා Regaining Sri Lanka ව්‍යාපෘතිය එදා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි විය.

2005 මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග එම Regaining Sri Lanka ව්‍යාපෘතිය යටගියාය. නැවැත එය අලුත් නමකින් කරලියට එන්නේ 2015-2019 රනිල් – සිරිසේන යහපාලන ආණ්ඩුව සමයේය. එයට එකල කිව්වේ MCC ගිවිසුම කියාය . එහෙත් නැවැත වරක් එය හකුලා ගැනීමට සිදුවන්නේ දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන, වෘතික සංවිධාන තදින් එයට විරුද්ධ වීම නිසා ය. කෙසේ වෙතත් 2019 ජනාධිපති මැතිවරණය නිවේදනය වූවාට පසු නිදහස් චතුරශ්‍රයේ මාරාන්තික උපවාසයක් කල සංඝයා වහන්සේ නමක් (උඩදුම්බර කස්සප) එවකට අපේක්ෂකයකු හැටියට ඉදිරිපත් වුනු ගෝටාභය රාජපක්ෂ විසින් MCC ගිවිසුම අත්සන් නොකරන බවට ලිඛිත පොරොන්දුවක් පවා ලබාගත්තාය. එය ඔවුන් ගේ දේශපාලන උප්පර වැට්ටියකි. ස්වාමීන් වහන්සේ දැන හෝ නොදැන එයට හසුවිය. කෙසේ වෙතත් උන්වහන්සේට කීමට ඇත්තේ එදා නැවැත් වූ තැනින් ඇත්ත උපවාසය යලි ආරම්භ කිරීමට වහා සූදානම් වන ලෙසයි

රනිල් වික්‍රමසිංහ අද ආණ්ඩුවේ එකම ගැලවුම් කරුවා බවට පත්වී ඇත. ඔහු රජයේ උපදේශක , න්‍යායාචාර්ය, මැදිහත් කරු යන චරිත තුනම එකවර රඟපාමින් සිටින බව මේ දිනවල පාර්ලිමේන්තුවේ දකින්නට ලැබෙන කටයුතු වලදී පිළිඹිබු වෙයි.

මැයි 5 වන දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස ව්‍යාජ ස්වාධීන කණ්ඩායමේ රංජිත් සියඹලාපිටිය පත්කර ගැනීමට යාමේදී විපක්ෂයේ ඡන්දය සියඹලාපිටියට ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන්ට බලපෑම් කල බව රාසමානික්කම් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. රනිල් මෙහිදී මැදිහත් කරුවාගේ කාර්යභාරය ඉටු කලේය. එහෙත් ඔහුට එය සාර්ථකව කරගත නොහැකි විය. ඒ සමගම සජබේ විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ව්ශ්වාස භංග යෝජනාව ප්‍රමාද කිරීමටද රනිල් මැදිහත් වූවාය. එය කෙසේ හෝ සති කිහිපයක් ප්‍රමාද වී කතානායකට භර දුන්නත් විවාදයට ගැනීම ප්‍රමාද කිරීම පිටුපසද රනිල් සිටී. ඔහු කිසිවිටෙක මහින්ද රාජපක්ෂට විශ්වාස භංග යෝජනාවෙන් පරාජය වීමට ඉඩ නොදෙන බව නම් විශ්වාසය.

MCC නව සැලැස්ම සකස් කරන්නේ 2021 වර්ෂයේ ආරම්භයේදීය. පාත් ෆයින්ඩර් ආයතනයේ අයිතිකරු, මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හැටියට නම් කිරීම මෙම රනිල් ,අමෙරිකානු ඉන්දියානු සැලැස්මේ පලමු පියවරයි. මිලින්ද මොරගොඩ යනු අමෙරිකාවට නෑකම් කියන , යලි පුබුදමු ශ්‍රී ලංක (Regaining Sri Lanka) ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා ය. එයට අවශ්‍ය වටපිටාව සකස් කරගැනීමට පාත්ෆයින්ඩර් ආයතනයේ සේවය කල විශ්‍රාමික නාවික හමුදාපති වරයකු වූ ජයනාත් කොළඹගේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්කර ගනී. ඉන් අනතුරුව ඉන්දියාව ක්‍රමානුකූලව අමෙරිකානු පුරවැසියකු වන ඇමැති බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය තනතුරට පත්කර ගැනීමට තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් ඉටුකලාය. ඉන් බලාපොරොත්තු වූයේ ලංකාව චීනයෙන් ගැලවීමයි. ඔය අතර ලංකාවේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන බවද ඉන්දියාව හොඳින්ම දැනගෙන සිටියේය.

දැන් ලංකාව ණය උගුලක හිරවී ඇත . ලංකාවේ මුළු ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 51කි. ඉන් ඩොලර් බිලියන 18.5 රනිල් වික්‍රමසිංහ රජය 2015-2019 ලබා ගත් ණයයි. ඉන් ස්වෛරී බැදුම්කර ණය ඩොලර් බිලියන 12කි. අනෙකුත් බිලියන 6.5 ද්වී පාර්ශවීය සහ බහුපාර්ශවීය ණය වේ. එහෙත් , කිසිවෙක් මේ ණය ගැන කතා නොකරති. සජිත් ප්‍රේමදාස , කිරිඇල්ල , අර්ථ ශාස්ත්‍රඥ‍ හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි විශේෂඥයන් කතා කරන්නේ මේ සියලු ණය රාජපක්ෂ ආණ්ඩුවේ වරදින් සිදුවූ බවකි. ඔවුන් එදා ආණ්ඩුවේ වගකිව යුතු ඇමැති වරුය. මොවුන් සියලුම දෙනා මේ ආර්ථික අර්බුදයට වගකිව යුතුය. ඒ වගේම 2015-2019 වකවානුවේ සිදුවූ මහා පරිමාණ දූෂණද මේ අර්බුදයට හේතු වූ බවද කිව යුතුය .

දැන් ලංකාව බෙල්ලටම හිරවී ඇත . ඉන්දියාව සහ අමෙරිකාවට අවශ්‍ය දේ දැන් ඉටුකර ගැනීමට සියල්ල සූදානම් ය. ලඟදීම අන්තර් වාර රජයක් පිහිටුවීමට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ කටයුතු කරනු ඇති . එහි අග්‍රාමාත්‍ය වරයා හැටියට රනිල් වික්‍රමසිංහ පත්කර ගෙන අනෙකුත් පක්ෂ කිහිපයක පිරිස් එකතු කරගෙන කැබිනට්ටුවක් සකස් කර ගනී. අනතුරුව නීතීඥ සංගමය ප්‍රකාශ කොට ඇති ආකෘතියට සමාන ව්‍යූහයක් හරහා ආණ්ඩුවේ ඉතිරි කාලය කරගෙන යනු ඇති . අමෙරිකානු මැදිහත් වීම ඉන්දියාව හරහා මෙතෙක් කරගෙන ආවත් මින් පසු කෙලින්ම රනිල් වික්‍රමසිංහ හරහා ඔවුන්ට අවශ්‍ය කටයුතු ඉටුකර ගන්නවා ඇති. රටේ මූලික ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය යම් මුදල් කොටසක් ලබා දී මිනිසුන් ගේ එදිනෙදා ප්‍රශ්න විසඳීමට අවශ්‍ය කටයුතු අමෙරිකානු ඉන්දියානු රජයන් කටයුතු කොට රටේ පවතින උද්ගෝශන සහ වැඩ වර්ජන අවසාන කරගැනීමට අවශ්‍ය පියවර ගනු ඇති. ඉන් අනතුරුව ඔහු රජය ඉදිරියට තල්ලු කරගෙන යෑමට කටයුතු කරනු ඇති රනිල් වික්‍රමසිංහ ඔහුට 2002 කරගැනීමට නොහැකි වු කර්තව්‍ය 2022 අමෙරිකාවට ඉටුකර දෙනු ඇති. චීන ආධිපත්‍ය මැඩගෙන අමෙරිකානු ඉන්දියානු ආධිපත්‍ය ලංකාව ගිලගනු ඇති. රනිල් වික්‍රමසිංහ විසින් ලංකාව තවත් ගැලවිය නොහැකි උගුලක හිරකර දමා නික්ම යනු ඇති. ලංකාවට තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිට පමණක් ඉතිරි වනු ඇති.

ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA
7.5.2022



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More