මහාචාර්ය අතුල සුමතිපාල
මන්ත්‍රිවරුන් සියලු දෙනාටම බරපතළ වගකීමක් තිබෙනවා
එක පැත්තකට විතරක් ඇඟිල්ල දිගු කරන්න බැහැ
රටේ පවතින ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයට විසඳුම් සෙවීමේදී මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස වෘත්තිකයන් හා විද්වතුන් මෙන්ම රට ගැන හැඟීමක් ඇති පුරවැසි එකතුවක් ලෙස ‘රටට හෙටක්’ සංවිධානය හැඳින්වෙයි. මහජනතාවට හා ජනාධිපතිවරයාගේ සිට සෑම මන්ත්‍රීවරයෙක් දක්වාම ඉදිරිපත් කළ හැකි යෝජනා මාලාව පිළිබඳව එම සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය අතුල සුමතිපාල සමඟ කළ සංවාදයකි.
රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ රට ගැන හැඟීමක් ඇති වෘත්තිකයන් ලෙස වගේම වගකීම් සහගත පුරවැසියන් වශයෙනුත් ‘රටට හෙටක්’ සංවිධානය ජනාධිපතිවරයාගේ සිට සමස්ත මහජනතාව දක්වාම යෝජනා මාලාවක් ඉදිරිපත් කර තියෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?
මූලිකම ප්‍රවේශය තමයි හෘදයසාක්ෂියක් ඇති මිනිස්සු හැටියට අපට මේ දෙස ප්‍රේක්ෂකයන් වගේ බලා සිටින්නට නොහැකිවීම. මොකද මෙහිදී තීරණය වන්නේ රටේම අනාගත පරම්පරාවේ ඉරණම වීම. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සනාථ කර ඇති ‘භාෂණයේ නිදහස’ අපිත් භාවිත කළ යුතුයි කියලා අපි තීන්දු කළා. මෙහිදී අප මුලින්ම ආමන්ත්‍රණය කරන්නේ ජනතාවට. අපේ කණ්ඩායම තුළත් මුලදී මත දෙකක් තිබුණා. මෙහිදී අප සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යා යුතුය හෝ එසේ නොකළ යුතුය යන කවර හෝ කණ්ඩායමක නෙවෙයි. අප සිටින්නේ ඒ කාරණය අපට අදාළ නෑ කියන තැනයි. කවුරු හිටියත් නැතත් මේ රටේ වෙන්න ඕන දේ මේ බව කියන තැන ඉඳල තමයි අපි ජනතාවට ආමන්ත්‍රණය කළේ. මේ 225 තෝරලා එවලා තියෙන්නෙ ජනතාව. අපි මේ කාරණය පැහැදිලි කරන්න ඕන ජනතාවට. තමන්ම තෝරා එවූ අය අතරින් අරයට මෙයාට චෝදනා කිරීම තේරුමක් ඇති දෙයක් නෙවෙයි. ඒත් එක්කම ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් සහ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. මේ කියන විදිහට හෙට ආණ්ඩුව ඉවත් වෙලා රට අරාජිකත්වයට යන්න ඉඩ දෙන්නත් බෑ. ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන අයටත් මේක කියන්න ඕන කියල අපි අදහස් කළා.
අපේ යුතුකම වැදගත් පුරවැසියෝ හැටියට පක්ෂග්‍රාහීවත්, ආවේගශීලිවත් නොවී අපට තියෙන දේශපාලන හා සමාජ අත්දැකීම් එක්ක සංයමයෙන් යුතුව හා ඇහුම්කන් දෙන්න පුළුවන් විදිහට මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම. මම හිතන්නේ අපි ඒක කරලා තියෙනවා. මෙතැනදි අපට පටු දේශපාලන න්‍යාය පත්‍රයක් තිබුණේ නැති බවත් කියන්න ඕන. ඒ නිසා තමයි හැමෝටම ආමන්ත්‍රණය කරමින් මේ යෝජනා අපි ඒ සියලු දෙනාට යොමු කළේ. මේ ගැන ජනතාව දැනුම්වත් විය යුතු නිසා අප එය ප්‍රසිද්ධ කළා.
නිර්පාක්ෂිකයි කියන ඇතැම් විරෝධතා නිර්පාක්ෂික නොවන බව පැහැදිලියි. ඒවා පක්ෂග්‍රාහියි. එවැනි පසුබිමක මේ යෝජනා මාලාවේ සැබෑ අරමුණ කුමක්ද?
අපේ කණ්ඩායම ඇතුලෙ ගෝල්ෆේස් ගිය, යන්න ඕන කියන අය වගේම එහි නොගිය, නොයා යුතු බව කියන අයත් ඉන්නවා. ඔය දෙකට කොටු වුණොත් වෙන්නෙ අපිත් ඒ දෘෂ්ටිකෝණවලින් බැලීම. ඒ නිසා අපි මැදිහත් සිතින් කියන්නෙ මේ ජනාධිපතිවරයා සිටියත් වෙනත් අයෙක් පත්වුණත් මේ ආණ්ඩුව බිඳවැටුණත් මෙතැන තියෙන්නෙ පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයකට වඩා මේ ක්‍රමයේ වෙනසක් සිදු විය යුතු බවයි. අපේ මැදිහත් වීම ඒ වෙනුවෙන්.
මේ රටේ අවුරුදු පනහක් තිස්සේ බලයේ සිටි පක්ෂ විපක්ෂ කවුරුත් මේ තත්ත්වයට අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. මේ තත්ත්වයට වගකිව යුතු දේශපාලනඥයන් පමණක්ම නොවෙයි. නිලධාරි පෙළැන්තියත් මේකට වගකිව යුතු නැද්ද? ඒ විතරකුත් නෙවෙයි, වෘත්තිකයෝ වගකිව යුතු නැද්ද? දේශපාලනඥයන්ට අපේ තියෙන විවේචනයක්නෙ බලය ධනය රැස් කරන්න තමන්ගෙ නිලතල අයුතු ලෙස භාවිත කිරීම. ඇයි ඔය කාරණය වෛද්‍යවරුන්ට අදාළ නැද්ද? ඒ නිසා අපි ආමන්ත්‍රණය කළේ මේ සියලුදෙනාට. මේ කිසි කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් නෑ එක පැත්තකට විතරක් ඇඟිල්ල දිගු කරන්න. කහඉරෙන් පාර මාරු වෙන්න ඉඩක් නොදෙන වෘත්තිකයෙක්ට අයිතියක් තියෙනවද දේශපාලනඥයෙක්ට හරි වෙන කාට හරි ඇඟිල්ල දිගු කරන්න. මේ ආකල්පමය දේවල් මහා පරිමාණ වශයෙන් වෙනස් විය යුතු බව අපි පුළුල්ව දකිනවා.
මේ රටේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයට පැලැස්තර නම් දාල වැඩක් නෑ. සමස්ත ක්‍රමයම හැකි තරම් පිරිසුදු කළ යුතුයි. ඒ නිසා මෙහිදී අපේ අරමුණු වුණේ එයයි. එතැනදී අපි මුහුණ දෙන අභියෝග දෙකක් තියෙනවා. කාටහරි අහන්න පුළුවන් මේවා ඔක්කොම කරන කල් මිනිස්සු බඩගින්නේ ඉන්න ඕනද කියලා. නෑ, පළමු වැදගත් දේ හදිසිම කාරණය ණය කළමනාකරණය කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීම හා විදේශ සංචිත ශක්තිමත් කිරීම. ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය දේවල් සඳහා විනිමය සොයා ගැනීම.
වහාම කළ යුතු යෝජනා ගණනාවක් ගැන මෙහි සඳහන් වෙනවා නේද?
ඊළඟට මෙතෙක් තමන්ගේ වත්කම් ප්‍රකාශ කර නැති අදාළ කවුරුත් එය වහාම කළ යුතුයි. දේශපාලනඥයන් පමණක් නෙවෙයි දේශපාලන පක්ෂත් එය කළ යුතුයි. අඩු වැඩි මට්ටමින් අපි දකින අල්ලස දූෂණය හා වංචාව වැළැක්වීමට පටන් ගන්න ඕන කොතැනින්ද කියලා බැලුවොත් දැනට තියෙන පැමිණිලි විභාග කරලම පටන් ගන්න පුළුවන්. දැනට අල්ලස් හෝ දූෂණ කොමිසමේ තියෙන පැමිණිලි විභාග කරගෙනම පටන්ගන්න පුළුවන්. තනතුරු භේදයකින් තොරව මුදල් රෙගුලාසි ක්‍රියාත්මක විය යුතුයි. අනිවාර්යයෙන්ම කළ යුතු තව දෙයක් තමයි තානාපති සේවය ප්‍රතිසංවිධානය කිරීම. දේශපාලන වරදාන වශයෙන් තානාපති සේවයට පත්කිරීම වහාම නතර කළ යුතුයි. ඒ සඳහා පත් කළ යුතු වන්නේ එම වෘත්තිකයන්. ඔවුන්ට පැවරෙන භූමිකාවක් තියෙනවා. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා, අපනයන වෙළෙඳාම ප්‍රවර්ධනය, පුහුණු ශ්‍රමික විදේශ රැකියා ආයෝජන, කොන්සියුලර් කටයුතු ආදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ඉටු කළ යුතු කාර්යභාරය ඉලක්ක සමඟ මේ නිලධාරින්ට පැවරිය යුතුයි. තවත් වැදගත් කාරණයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි වසර 10ක කාලය ඉලක්ක කර මානව සම්පතේ අවශ්‍යතාව විද්‍යානුකූලව විශ්ලේෂණය කරන්න පුළුවන්. රටට අවශ්‍ය්‍ය ශ්‍රම බළකාය වගේම විදේශ රැකියා සඳහා තානාපති අංශ මඟින් හඳුනාගෙන පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමට. දැනට බොහෝදුරට වෙන්නෙ ගෘහ සේවය සඳහා විදේශගතවීම. සමාජ ව්‍යසනයන්ටත් එය හේතු වෙලා. පවුල් කඩා වැටිලා, පුහුණු ශ්‍රමය යොදා ගැනීමෙන් එවැනි අහිතකර විපාක ඇති වන්නෙත් නෑ. උදාහරණයක් හැටියට හෙද සේවය සඳහා විදේශ රටකට හෙදියන් 2000ක් යවන්න පුළුවන් නම්, අපට ඒවාට සැලසුම් තිබිය යුතුයි. දැනුමක් නැති දේශපාලකයන් බලයට හා මුදලට කෑදරවීම තුළ වුණු අලකලංචියක් රෝග ලක්ෂණ තමයි අපි දකිමින් තියෙන්නෙ. මේකට විසඳුම අපි මේ වෘත්තිකයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන එක නෙවෙයි. එහෙම කළොත් ඒක කිඳා බසීවි. වෙන්න ඕන අපි මේ කවුරුත් අවංක වීම. තමන් කරන කාර්යය භක්තියකින්, ආදරයකින් වුවමනාවකින් කිරීම. අන්න ඒ ගුණාංග හා ප්‍රමිතීන් ඇති කර ගැනීමට මේක හොඳ අවස්ථාවක්.
ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබුණත් කළ යුතුය කියන වුවමනාව තිබුණත් ඇතැම් හොඳ දේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. පුනර්ජනනීය බලශක්තිය ඊට හොඳ උදාහරණයක්. සූර්ය බලයෙන් විදුලි උත්පාදනය. මේ තත්ත්ව නිවැරැදි කර ගැනීමට සිදුවෙලා තියෙනවා නේද?
පුනර්ජනනීය බලශක්තිය ගත්තොත් මේවාට අදාළව පර්යේෂණ රාශියක් සිදුවෙල තියෙනවා. ජාතික මූලික අධ්‍යයන ආයතනය වගේ ආයතන මෙවැනි පර්යේෂණ කරනවා. මේ පර්යේෂණ දැනුමෙන් නැවතිලා. මේ ඇතැම් ප්‍රශ්නවලට ඒ පර්යේෂණ දැනුම ප්‍රායෝගික පිළියම් වශයෙන් භාවිත කළ හැකි වුණත් නිලධාරිවාදී බලපෑම් ආදිය ඊට හරස් වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න වෙලා තියෙන්නෙ ඒවාත් වෙනස් කරගෙන.
කාබනික කෘෂිකර්මාන්තය ගත්තොත් ඊට විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. උදාහරණයක් හැටියට මූලික අධ්‍යයන ආයතනය අවුරුදු දහයක් විතර පර්යේෂණ කරලා, ජෛව පොහොරත් නිෂ්පාදනය කළා. එය වී වගාව සඳහා සමාගමක් විසින් හඳුන්වා දීලා තියෙනවා. මේ පොහොර අලෙවි වෙනවා. පසුගිය ජනවාරි මාසයේ පමණක් සාර්ථකව රෝයල්ටි එක වෙනුවෙන් මූලික අධ්‍යයන ආයතනයට රුපියල් මිලියන 3.6ක් ලැබීමෙන්ම එය සනාථ වෙනවා. අපි පදවියේ මේ පොහොර යෙදූ වගා බිම් නිරීක්ෂණය කළා. මේ ජෛව පොහොර යෙදූ කුඹුරු අක්කරයට වී බුසල් 160. රසායනික පොහොර යෙදූ අක්කරයට බුසල් අසූවයි. වැරැද්ද කාබනික කෘෂිකර්මාන්තයේ නෙවෙයි කියලා පැහැදිලියිනෙ. ගොවීන් ගෞරවනීය පාර්ශ්වකරුවෙක් කරගෙන ඔවුන් සමඟ සාකච්ඡා කරලා දැනුම්වත් කරලා කාලයක් දීලා නොකිරීමේ අවුලයි වුණේ. මෙයින් අපි පාඩමක් ඉගෙනගත යුතුයි. මේ වරද නිවැරැදි කිරීමට රසායනික පොහොර නැවත වරක් නොමිලේ ලබාදීම නෙවෙයි පිළිතුර. රසායනික පොහොර වෙනුවෙන් විශාල වියදමකුත් දැරීමට සිදුවන නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.
අපේ අපනයන තවත් වර්ධනය කළ යුතුයි. දේශීය කර්මාන්ත විදේශීය වෙළෙඳපොළ බලපෑමෙන් අඩපණ වීමට ඉඩ නොදිය යුතුයි. වාලච්චේන කඩදාසි කම්හල යළි පණගන්වා කඩදාසි නිෂ්පාදනය ඇරැඹුවා. මේකෙන් පේනවා මේවා කරන්න පුළුවන් කියලා. ඔරුවල වානේ, තුල්හිරිය පෙහෙකම් ආදී කම්හල් රාශියක් අදූරදර්ශීව විනාශ කිරීමේ ප්‍රතිඵලනෙ අද අපි මේ විඳින්නේ.
උදාහරණයක් හැටියට අපි හිතමු රජයේ සේවයේ අතිරික්තයක් ඉන්නවා නම් ඒ අයගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් ඔවුන්ව වෙනත් තැනකට යොමු කිරීමට සිදුවෙනවා. මේවා කළමනාකරණය කළ යුතුයි. එවැනි අභියෝගාත්මක දේට මුහුණ දෙන්න වෙනවා. ජනතාව ඒ ගැන දැනුම්වත් කරලා අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ වගේම ජනතාවගේ පැත්තෙන් කළ යුතු දේද තියෙනවා. හැමදාමත් සුබසාධන මත යැපෙන මානසිකත්වයෙන් අපේ මිනිස්සු නිදහස් විය යුතුයි. සමෘද්ධිලාභීන් ලක්ෂ 15ක් විතර රටේ ඉන්නවා. අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් ඒ ප්‍රතිලාභ ලබනවා. ඒ වෙනුවට ඔවුන් එලෙස යැපෙන තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා බලගැන්වීම කළ යුතු වෙනවා.
පර්යේෂණ තාක්ෂණ හා නවෝත්පාදන අංශ සඳහා සැබෑ ප්‍රමුඛතාවක් දීමේ අවශ්‍යතාවක් තිබෙනවා. පසුගිය 2021 අවුරුද්දෙ රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවුම් මිලියනයක් ගෙනවා. ඒ මුදල් පර්යේෂණ සඳහා ලැබුණු ඒවා. ධාර්මිකව ලැබුණු මුදල්, කළු සල්ලි නොවේ. මේ මුදල් රට තුළට ගෙන ඒම විශාල ප්‍රශ්නයක් වුණා. කොවිඩ් වසංගතයේදී විශාල සේවයක් කළ මහාචාර්ය නීලිකා මලවිගේත් මෙවැනි දුෂ්කරතාවලට මුහුණ පෑ බව මා දන්නවා. මෙවැනි දේ වෙන්නෙ නිලධාරිවාදී බලපෑම් නිසා. මේවායින් වෘත්තිකයන් විශාල අපහසුවකට පත්වෙනවා. පර්යේෂණ සඳහා විදේශ රටවලින් ලැබෙන ආධාර මුදල් හරියට සැලසුම් කරලා පර්යේෂණ යෝජනාවක් ඉදිරිපත් කළොත් මාස හයකින් ලබා ගන්න පුළුවන්. ඒ ලැබෙන්නෙ විනිමය. හැබැයි දැනට තියෙන නීති අනුව ආයතන ගණනාවකට මේ අවසර ලබා ගැනීමට යා යුතුයි. කැබිනට් මණ්ඩලය අනුමත කළ යුතුයි. එසේ වීමට හේතුවකුත් තියෙනවා. ඒ තමයි නැගෙනහිර විශ්වවිද්‍යාලවලට කළුසල්ලි ලැබීමත් සමඟ ඇති වූ අවුල. මේවා ගැන සොයා බැලීම කළ යුතුයි. එංගලන්තය ගත්තොත් පර්යේෂණ සේවා සඳහා ජාතික ආයතනය ආණ්ඩුවේ ආයතනයක්. ඒ අය මේ මුදල් ලබා දෙන්නෙ අතිශය තරගකාරීව. මෙවැනි ක්‍රමවලින් විනිමය ඉපැයීමට හැකිවීම වගේම දැනුම පර්යේෂණ හරහා ගොඩනැඟීමත් වෙනවා. ඒ නිසා පර්යේෂණ පත්‍රිකාවලට පමණක් අපේ පර්යේෂණ සීමාවන සංස්කෘතිය වෙනස් විය යුතුයි.
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමත් විය යුතුම දෙයක්. දේශපාලනඥයෝ ගැන විතරක් කිය කියා ඉඳලා වැඩක් නෑ. තමන්ටත් යුතුකමක් තියෙනවා ජාතිය වෙනුවෙන් හා අනාගත පරම්පරා වෙනුවෙන් තමන්ගේ යුතුකම හරියාකාරව ඉටු කිරීමට.
රට බරපතළ අභියෝගයන්ට මුහුණ දී ඇති අවස්ථාවක ජනතා වරමින් බලයට පත්වූ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන නායකයකුට කවුරුන් හෝ හඬ නැඟුවාය කියලා පැනයා හැකිද?
ජනාධිපතිතුමාට 69 ලක්ෂයක ජන වරමක් ලැබුණා. අපි දන්නෙ නෑ කී ලක්ෂයක් ද එතුමාට යන්න කියන්නෙ කියලා. හැබැයි කොටසක් යන්න කියනවා. මගේ විෂය පථයට අදාළව ඔය ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මම කැමැතියි. සිතුවිලිවලත් සුදු සහ කළු කියලා වෙනස්කම් දෙවර්ගයක් තියෙනවා. 69 ලක්ෂයක් දුන්නා. ඒ තමයි සුදු කිව්වොත් දැන් එපා කියනවා. කළු මේවා මෙහෙම වෙන්න බෑ. මේ අතරමැදි වෙනස්කම් තියෙනවා. අපි ප්‍රයෝගික විය යුතුයි. සමස්ත චිත්‍රය දෙසයි අපි බලන්න ඕන. වැඩියෙන්ම විශ්වාස කළ කෙනා අතින් විශ්වාසය කඩවුණොත් වැඩිපුර රිදෙනවා. මෙය ආරම්භ කරන්නේ මධ්‍යම පාංතික දරුවො. ඔවුන් අව්‍යාජයි. හැබැයි ඒක ඇතුළෙ නොයෙක් න්‍යායපත්‍ර තියෙන අය ඉන්නවා. අපි ඒක කියන්න ඕන. ඒක නොකිව්වොත් අපි කුහක මිනිස්සු වෙනවා. යනවද ඉන්නවද කියන එක කතා කරන්න ගියොත් බෙදෙනවා. විරෝධතා සාමකාමී විය යුතු ද? ප්‍රචණ්ඩ විය යුතු ද? කිව්වොත් බෙදෙනවා. හැබැයි අපි කියන්නෙ කවුරු හිටියත් නැතත් මෙන්න මේ ටික කරන්න කියලා. ඒක කාටවත් ප්‍රශ්න කරන්න පුළුවන්කමක් නෑ. අපේ භූමිකාව එයාට මෙයාට වැරැද්ද පැටවීම නෙවෙයි. අපි කියන්නෙ විය යුතු වන්නේ සාමකාමීව ව්‍යවස්ථාව තුළ විය යුතු වෙනස්කම් පමණයි කියලා. ප්‍රචණ්ඩත්වය කොතැනින් ආවත් අප එය අනුමත කරන්නෙ නැහැ. මොකද මම ප්‍රචණ්ඩත්වයෙන් බැට කෑ අයෙක්. සමහරවිට ඒ ප්‍රචණ්ඩත්වය තුළ නොදැනුවත්ව හා දැනුවත්ව එකඟ නොවී ඒ ඉතිහාසයේ ජීවත්වුණු කෙනෙක්. ඒ නිසා මේ රටේ ආයෙමත් ලේ දකින්න මම කැමැති නෑ.
ඒක 83ත් එහෙමයි. 87-89 එහෙමයි. පාස්කු ඉරිදත් එහෙමයි. හුඟදෙනෙක්ට කියන්න බැරුව ඇති. ඒත් ප්‍රචණ්ඩත්වයට ඍජුව මුහුණ දීපු කෙනෙක් හැටියට මම ඒක කෙළින්ම කියනවා. මම ගත්තොත් මනස පිළිබඳ විශේෂඥයෙක් හැටියට අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් නොවිය යුතුයි කියලයි සිතන්නෙ. ඒවා කරන්න ඕන තරම් අය ඉන්නවා. ගෝල්ෆේස් යන්න කියන්න පිරිසක් ඉන්නවා. යන්න එපා කියන පිරිසකුත් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්නයට විසඳුම මොකක්ද කියලා සම්ප්‍රයුක්ත ලෙස බලන්න පෙලඹෙන්නෙ නෑ කෑලි කෑලි අල්ලගෙනයි කතා කරන්නෙ.
අපි කණ්ඩායමක් හැටියට එකඟතාවකට එන්නෙ මේ සඳහා දිය හැකි ක්ෂණික කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම මොකක්ද කියන කාරණය ගැනයි. වෛද්‍යවරු හැටියට අපි කරන්නෙත් උණට පැරසිටමෝල් දීලා රෝගය හඳුනාගෙන, රෝග නිධානය සොයාගෙන ඊට ප්‍රතිකාර කරන එකයි. ඒ නිසා ඊට බාධාවන සාකච්ඡාවලට, වාදවිවාදවලට මැදිහත් වෙන්න අපි සූදානම් නෑ. අපි මේ නිකම්ම යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා නෙවෙයි. ඔය හැම එකක් ගැනම අපි ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා. ඉන්පසුවයි විසඳුම් ගැන යෝජනා කරන්නෙ. ඒක අමාරු වැඩක්. ඒත් අපි කළේ ඒකයි.
අර්බුදයක් හමුවේ තමයි ප්‍රශ්නවලට හොඳටම විසඳුම් සොයන්න පුළුවන්. අර්බුද අතර තමයි නායකයෝ බිහිවෙන්නෙ. අර්බුදවලට බුද්ධියෙන් මුහුණ දිය හැකි දැක්මක් සහිත හා අරමුණු වෙනුවෙන් කැප විය හැකි මිනිසුන්ට මේ අර්බුදවලට විසඳුම් සෙවීමට පුළුවන්. කරන්න ඕන දේකුයි අපි මේ කියන්නෙ. කවුරු කළත් අපට ප්‍රශ්නයක් නෑ. අපට අදාළ හරියට මේ සඳහා ප්‍රවේශ වෙලා කරන එකයි. ඒ නිසා මේක රජයට එරෙහි සටනක්වත් රජයට පක්ෂ සටනක්වත් නෙවෙයි. සද්භාවයෙන් අපි මේ මැදිහත්වීම කරන්නෙ ලාංකේය ජාතිය වෙනුවෙන්.
මේ යෝජනා මාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වගකීම ගැනත් මතු කරනවා. මෙය පැහැදිලි කළ හැකි ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ටම බරපතළ වගකීමක් තියෙනවා. මොකද මේ වැඩි දෙනා මහජන ඡන්දයෙන් පත් වූ අය. ඒ නිසා ඔවුන්ට පැහැර හැරිය නොහැකි වගකීමක් පැවරිලා තියෙන්නෙ. මේ අර්බුදයේදී ඔවුන් සිතන්න ඕන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 හැටියටයි. සමූහයක් ලෙස තමන්ගේ වගකීම ගැන වෙහෙසනවා මිසක එකිනෙකාට ඇඟිලි දිගු කරමින් අරයගෙ මෙයාගේ වැරදි සෙවීම තේරුමක් නෑ. එහෙම වුණොත් නැවම ගිලෙනවා. නැව ගිලෙන්නෙ ඒ 225ත් එක්කමයි. මනෝ විද්‍යාත්මකවම බැලුවත් වැරැද්දක් වුණාම ඇඟිල්ල දිගුවෙන්නෙ නොයෙක් තැන්වලට. හැබැයි අපි පුළුල් චිත්‍රය දකින්න ඕන. ඒ නිසා අපි කල්පනාකාරීවයි කටයුතු කරන්නෙ. එවැනි මතයක් දරන්න අපට අයිතියකුත් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපේ කණ්ඩායමේ වුණත් විවිධ මත දරන අය සිටියත් එකඟතාව ඇත්තේ මෙතැනයි. නිදහස් අධ්‍යාපනයේ දරුවො හැටියට අපි අපට කළ හැකි දේ කරනවා. එය පැහැර හැර යාමට අපට පුළුවන්කමක් නෑ.
අර්බුදයට විසඳුම් වශයෙන් පිරිසක් මැතිවරණයකට යා යුතුය කියනවා. තවත් පිරිසක් ජාතික ආණ්ඩුවක් ගැන කතා කරනවා. තවත් කණ්ඩායමක් අන්තර්කාලීන ආණ්ඩුවක් ගැනත් කතා කරනවා. මේ අතරින් විය යුතු හොඳම දේ කුමක්ද කියලා රටට හෙටක් සංවිධානය වශයෙන් ඔබ සිතන්නෙ?
මේකෙ මැද තලය කුමක්ද කියලා අපට කියන්න හරිම අමාරුයි. ඒ නිසා අපි කියන්නෙ මේ කවුරුත් අවම කොන්දේසිවලට හරි එකඟ වෙලා සාමුහිකව රට කරගෙන යා හැකි ක්‍රමවේදයකට යා යුතුය කියලයි. ඒක කරන්න තියෙන හොඳම විදිහ අගමැතිවරයා ඉවත්වෙලා නව අගමැතිවරයෙක් පත්කරගෙන අලුතින් කුඩා කැබිනට්ටුවක් ඇති කර ගැනීම නම් ඒක කරන ක්‍රමය පාර්ලිමේන්තුව තුළයි තියෙන්නෙ. හැබැයි අපි කියන්නේ මේ ප්‍රශ්න තවත් ඔඩුදුවනකල් නොසිට ඒවාට විසඳුම් සෙවීම කඩිනමින් කරන්න කියලයි.
ධම්මික සෙනෙවිරත්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...