පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේදී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරඹි ජාත්‍යන්තර කම්කරු දිනයේ 136 වැන්න යෙදී ඇත්තේ අදට ය. මේ මොහොතේ ලොව පුරා වෙසෙන වැඩකරන ජනතාවට අවබෝධ කර දී ඇති යථාර්ථය වන්නේ නව ලිබරල්වාදී පැලැස්තර ඇලවීමෙන් තමන් පමණක් නොව මුළුමහත් සමාජය මුහුණදී ඇති ගැටළු, අර්බුදයන් විසඳිය නොහැකි බව ය; සමාජය තුළ මතුව ඇති ගැටළු, අර්බුදයන් ඒවායේ මූලයන් සොයා ගොස් විසඳිය යුතු බව ය.
මෙවර ජාතන්තර කම්කරු දින සැමරුම එළඹෙන්නේ අප ජන සමාජය තම ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින මොහොතක ය. මෙය පෙන්නුම් කරන්නේ විදේශ විනිමය අර්බුදයක් ලෙසිනි; රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, කිරිපිටි, කඩදාසි ඇතුළු ආනයනික ද්‍රව්‍ය ගෙන්වාගැනීමට විදේශ විනිමය හිඟකමින් හා භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමෙන් ජන සමාජය බරපතළ පීඩාවට පත්ව ඇති මොහොතක් ලෙසිනි. අප ඉහත කී අන්දමින් එම අර්බුදය ද විසඳිය යුත්තේ එහි මූලය සොයා ගොසිනි. එතෙක් පැවති අපගේ දේශීය නිෂ්පාදනය මත බර තැබූ ආර්ථික ක්‍රියාදාමය වෙනුවට 1977දී හඳුන්වාදුන් විශාල ණය ප්‍රාග්ධනයක් රට තුළට පොම්ප කරනු ලැබූ විවෘත වෙළඳපළ ආර්ථික ක්‍රමය එහි මූලයයි. එම වැරදි ගමනේ කෙළවරට අප අද පැමිණ තිබේ. මේ තත්ත්වයට පැලැස්තර විසඳුම් සෙවීම වෙනුවට මෙම වැරදි සමාජ ආර්ථික මොඩලය අතහැර නව සමාජ ආර්ථික මොඩලයක් අතැතිව මේ අර්බුදය ජයගැනීමට පෙළගැසීම මෙරට වැඩ කරන ජනතාවගේ මේ මොහොතේ වගකීම වී තිබේ.
එහි පූර්ව පියවරයන් ලෙස නව තරුණ පරපුර ඉල්ලා සිටින සමාජ සාධාරණත්වය හා යුක්තිය ඉටු කරලීමට කටයුතු කරමින් ද 1977 සිට බරපතළ ලෙස පැවැත්මට ආ දූෂිත
දේශපාලනය පමණක් නොව දූෂිත රාජ්‍ය සේවය, දූෂිත සමාජය පවිත්‍රකරණයට ලක් කරමින් ද අප ආර්ථිකයේ පවතින ‘හිල්’ වසමින් ද එම ගමන ඇරඹිය යුතුව ඇත. එහෙත් මේ මොහොතේ සමාජ ස්ථාවරත්වය අවශ්‍යව තිබේ. සමාජ ස්ථාවරත්වය ඇති කිරීමට පෙර දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගිය යූතුව ඇත. එසේම මෙම අර්බුදය හරහා ශ්‍රී ලංකා රාජ්‍යය දියකර හැරීමට යොදා ගන්නා, අත්පත් කර ගැනීමට යොදා ගන්නා අධිරාජ්‍යවාදී අතපෙවීම් කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැටෙන තැනට කටයුතු කිරීමට ඉඩ දී නිහඬව සිටීමට, මේ රට තවත් ලිබියාවක්, ඉරාකයක් වීමට ඉඩ දී නිහඬව සිටීමට ද මෙරට වැඩකරන ජනතාව ලෙස අපට හැකියාව තිබේද?
එබැවින් මෙම අරාජිකත්වය වර්ධනය වීමට ඉඩ හරිනවා වෙනුවට මෙම අර්බුදය පාලිත තත්ත්වයට ගත යුතුය. ඒ සඳහා මේ මොහොතේ කළ යුත්තේ විධායක ජනාධිපති ධුරය ද ඉවත්කර රට තවදුරටත් අස්ථාවර කිරීම නොවේ. රටට අභිවෘද්ධිය සලසන වැඩපිළිවෙළකට සහ රට පිළිබඳ සාමූහික තීන්දු තීරණ ගන්නා සියලු පක්ෂවලින් සැදුම්ලත් ව්‍යුහයකට වත්මන් ජනාධිපතිවරයා එකඟ කරවාගෙන වත්මන් අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව පූර්ණ ලෙස ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ය.
ඒ වෙනුවෙන් අදාළ පාර්ශවයන්ට බලකරමින් අරඹන පෙළගැස්ම තුළින් රට ස්ථාවර කොට වත්මන් ආර්ථික අර්බුදය ද ජය ගනිමින් යන ගමනක් හරහා හෙට දවසේ තම වෘත්තීය අරගල ජය ගැනීමට ද මෙරට වැඩ කරන ජනතාවට ධෛර්යය හා ශක්තිය පතන්නෙමු!
විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2022.05.01
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...