දේශීය පුවත්

ඉදිරියේදී සියලු ආනයනවලට අවශ්‍ය මුදල් ගෙවීම බැංකු ක්‍රමයෙන් පමණක් කළ යුතු බවත් ඒ අනුව යම්කිසි කාලයක් ලබාදී හවාලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල් ගෙවා භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය.

මේ සඳහා මුදල් අමාත්‍යාංශය මගින් ආනයන හා අපනයන පාලන පනත යටතේ නව ගැසට් පත්‍රයක් වහාම නිකුත් කරනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

රේගුව හරහා බඩු මෙරටට ආවත් ඒ සඳහා දැනට මුදල් ගෙවීම් හවාලා සහ උණ්ඩියල් ක්‍රම යටතේ බැංකු ක්‍රමයෙන් පිටතින් සිදුවන බව ද මේ නිසා බැංකු ක්‍රම ඇතුළත විදේශ විනිමය හිඟයක් පවතින බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය වැළැක්වීම සඳහා පියවර කිහිපයක් ගන්නා බව ද එහි පළමු පියවර ලෙස මෙසේ ආනයන සඳහා මුදල් ගෙවීම විධිමත් බැංකු පද්ධතිය හරහා කළ යුතු බවට සහ විවෘත ගිණුම් හරහා නොකළ යුතු බවට රෙගුලාසි පනවමින් නව ගැසට් නිවේදනය නිකුත් කරන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

අපනයනකරුවන්ට අවශ්‍ය ආනයන ගෙන්වීම සඳහා පමණක් ව්‍යතිරේඛ අවස්ථාවක් ලබා දෙන බව ද ඔහු කීවේය.

මෙසේ අවිධිමත් වෙළෙඳපොළ තුළ සිදුවන විදේශ විනිමය වෙළෙඳාම බැංකු ක්‍රමය තුළට ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ අනුව අදාළ සියලු ආනයනවලට බැංකු ක්‍රමය හරහා පමණක් මුදල් ගෙවීමට සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ සමග අවිධිමත් වෙළෙඳපොළ සහ විධිමත් බැංකු ක්‍රමය අතර පවතින විනිමය අනුපාතයේ පරතරය අඩු වී අවිධිමත් වෙළෙඳපොළට ඇති විදේශ විනිමය ඉල්ලුම අඩුවනු ඇති බව ද ආචාර්ය වීරසිංහ කීවේය.

මේ ගැසට් නිවේදනය නිකුත් වී සති දෙකකින් පමණ පසු බැංකු ක්‍රමයෙන් මුදල් ගෙව්වේ නැත්නම් රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

දැනට විදේශ විනිමය අනුපාතය අධිතක්සේරු වී ඇති බවත් ඉතා ඉක්මනින් එම ප්‍රවණතාව ආපස්සට හැරී ස්ථාවර වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

විදේශ සංචාරකයින්ට මෙරටේ විදේශ විනිමයෙන්ම ගෙවීම් කළ යුතු බවට වන නියමය සංචාරක කර්මාන්තයට අහිතකර බව තම අදහස බවත් ඒ නිසා එම නියමය ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරි මාස දෙකක පමණ කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවත් ඉන්පසු සති කිහිපයකන් අරමුදල් පහසුකමකට ඇතුළත් වී පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවනු ඇති බවත් මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More