ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත.
ගරු ජනාධිපතිතුමනි,
රට තුළ උද්ගත ව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීමෙහි ලා ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳවයි.
උක්ත හිසින් යුක්ත ව ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමා හා විපක්ෂ නායකතුමා ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත 2022.04.20 දාතමින් යවා ඇති ලිපිය හා බැඳේ.
එම ලිපියේ අංක 3 යටතේ දැක්වෙන කාරණය, එනම් හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ යෝජනාව සමග අප එකඟ නොවන බව මෙයින් කාරුණිකව ඔබතුමන් ඇතුළු සියලු දෙනා වෙත මෙයින් දන්වා සිටිමු.
මේ රටේ ජනතාව ඉමහත් බලාපොරොත්තු සහිතව ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත් කිරීම සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ නව ව්‍යවස්ථාවක් මගින් රට තුළ පවත්නා දේශපාලනමය අර්බුදකාරී අවස්ථා අවසන් කරන බවට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කරන ලද කාරණය යි. සෞභාග්‍යයේ දැක්ම දසවැදෑරුම් ප්‍රතිපදා අතුරින් සිවුවැන්න වූයේ “ජනතාවට වග කියන නව ව්‍යවස්ථාවක් 4A New Constitution that Fulfills the Wishes of the People” යන්න යි.
එසේ වුව ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද ඉදිරිපත් කෙරුණු අතර එම අවස්ථාවේ දී නව ව්‍යවස්ථාව ඉක්මනින් ම ගෙන එන බවට අතිගරු ජනාධිපතිතුමන් විසින් දෙන ලද පොරොන්දුව මේ රටේ මහාසංඝ රත්නය ඇතුළු දේශප්‍රේමී ජනතාව විශ්වාස කළේ ය.පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ එය විසඳීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවක් නොපෙනන අතර එසේ හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් කරන ලෙසට මහජනයාගේ පැත්තෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නැති බව ද කාරුණික ව පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේ තිබිය දී ආණ්ඩුව, විශේෂයෙන් ම පාර්ලිමේන්තුව තුළ කෙරෙන සංවාද රටේ ඉදිරි ගමනට නොව හුදෙක් ප්‍රලාපවලට පමණක් සීමා වී ඇති අවස්ථාවක හා රට තුළ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හට ස්වාධීන ව කටයුතු කිරීමට බාධා පැමිණ ඇති අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කැස කවන්නේ තවත් කුමන්ත්‍රණයක් සඳහා ම බවට පිළිගත හැකි කරුණු ඉදිරිපත් වී තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ අධිකරණය ද මගහැර යමින් කාරක සභා අවස්ථාවේ දී සංශෝධන හතළිස් ගණනක් ඉදිරිපත් කිරීමේ කුප්‍රකට කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් ම මෙම ව්‍යවස්ථා සංශෝධනය පිටුපස ද සිටින බව පැහැදිලි කරුණකි. එබැවින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් බෙදුම්වාදයට එරෙහි ව ඇති බාධක ඉවත් කරගැනීමේ උත්සාහය මෙම ව්‍යවස්ථා සංශෝධනය පිටුපස ඇති බවත් ඉදිරිපත් කර ඇති කෙටුම්පතට වෙනස් වූවක් කාරක සභා අවස්ථාවේ දී සම්මත කරගැනීමට ඉඩ ඇති බවත් අපි මෙහි දී අවධාරණ කරමු.
වසර දෙක හමාරකට අධික කාලයක් තුළ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ඔබතුමාට මේ දක්වා කිසිවකු චෝදනා කර නැත. එහෙත් වෙනත් විවිධ චෝදනා හා බලපෑම් මගින් ඔබතුමා ලවා නැතහොත් ඔබතුමාගේ අනුමැතිය ද සහිත ව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදුම්වාදයේ අවශ්‍යතාවන් ඉටු කරගැනීමට මෙම අවස්ථාව භාවිත කරන බව පෙනී යයි. බෙදුම්වාදයට එරෙහි ව තිස් අවුරුද්දක් මුළුල්ලේ කරන ලද කැප කිරීම් සියල්ල පරදා ව්‍යවස්ථාවේ වචන කිහිපයක් වෙනස් කිරීම මගින් බෙදුම්වාදීන්ගේ වුවමනාවන් ඉටු කරවාගැනීම සඳහා කිසිසේත් ම ඉඩ ලබා නොදිය යුතු බව අපගේ විශ්වාසය යි.
රටට, ජාතියට හා ශාසනයට හිතැති අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙත අසත්‍ය තොරතුරු සපයමින් පවත්නා අර්බුදකාරී වාතාවරණය තුළ කූඨ ලෙස ක්‍රියා කරන්නන් හඳුනාගෙන කටයුතු කළ යුතු ව ඇති අවස්ථාවකි මෙය. ඒ අනුව පවත්නා අර්බුදකාරී වාතාවරණය සමනය කිරීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති නිසි පරිදි, සත්‍ය වශයෙන් ම ක්‍රියාවට නැංවීමට පියවර ගැනීම සුදුසු බව අවධාරණ කරමු.
කෙටිකාලීන වශයෙන් පොදු මහජනතාවගේ ජීවන ගැටළුවලට ක්ෂණික සහන ලබාදිය යුතු ව ඇති අතර දූෂණය හා නාස්තිය නැවැත්වීමට ද ක්ෂණික ව පියවර ගත යුතු ව ඇති බව ද සිහිපත් කරමු. කැප කිරීම් කළ යුත්තේ මහජනතාව හෙවත් පාලිතයන් පමණක් නොව ඔබතුමන් විසින් මේ වන විට දී ඇති ආදර්ශය අනුව යමින් පාලකයන් සහ නිලධාරීන් ද කැප කිරීම් කළ යුතු ය.
ඒ ආකාරයට වත්මන් අර්බුදය සමනය කිරීමෙන් පසු ව ඔබතුමා පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර එම කාලය තුළ දී ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍ය නැති බව ද කාරුණික ව දන්වා සිටිමු.
තෙරුවන් සරණයි,
මෙයට,
ජාතික විද්වද් භික්ෂු සංසදය වෙනුවෙන් අත්සන් කළේ
1. මහාචාර්ය පූජ්‍ය වාව්වේ ධම්මරක්ඛිත ස්ථවිර
2. ශාස්ත්‍රපති පූජ්‍ය වැලිතර අමරනන්ද අනුනායක ස්ථවිර
3. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්ථවිර
4. මහාචාර්ය පූජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද ස්ථවිර
5. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර
6. මහාචාර්ය පූජ්‍ය මොරගොල්ලාගම උපරතන ස්ථවිර
7. මහාචාර්ය පූජ්‍ය ලෙනගල සිරිනිවාස ස්ථවිර
8. මහාචාර්ය පූජ්‍ය පනහඩුවේ යසස්සි ස්ථවිර
9. ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර
10. ආචාර්ය පූජ්‍ය තෙරිපැහැ මේධංකර ස්ථවිර
11. ශාස්ත්‍රපති පූජ්‍ය වලපනේ ඤාණසේන ස්ථවිර
12. ශාස්ත්‍රපති පූජ්‍ය බලගොඩ අමරජෝති ස්ථවිර
13. ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති ස්ථවිර
14. ආචාර්ය පූජ්‍ය කුඩාකත්නෝරුවේ විනීත ස්ථවිර
15. ශාස්ත්‍රපති පූජ්‍ය කෙහෙල්වල සුමංගල ස්ථවිර
16. ශාස්ත්‍රපති පූජ්‍ය උඩුගම සුදස්සි ස්ථවිර
17. ශාස්ත්‍රපති පූජ්‍ය දුටුවැවේ ලංකානන්ද ස්ථවිර
18. ශාස්ත්‍රපති පූජ්‍ය ශ්‍රාවස්තිපුර සාන්තසිරි ස්ථවිර
19. ශාස්ත්‍රපති පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්ථවිර
20. ශාස්ත්‍රපති පූජ්‍ය රන්මලේ අරියවිසුද්ධි ස්ථවිර
පිටපත්: 1. ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත
2. ගරු අග්‍රාමාත්‍යතුමා වෙත
3. ගරු විපක්ෂ නායකතුමා වෙත
4. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් වෙත
5. ජනමාධ්‍ය වෙත
ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර (ලේකම්, ජාතික විද්වද් භික්ෂු සංසදය)
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර (කැඳවුම්කරු, ජාතික විද්වද් භික්ෂු සංසදය)
National Academic Bhikshu Forum (NABF)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...