ජනතා පරමාධිපත්‍යයේ උරුමකරුවන් වන ලාංකේය පුරවැසියන් ප්‍රමුඛව,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ,
අගමැති මහින්ද රාජපක්ෂ,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
කතානායක මහින්ද යාපා අබේවර්ධන,
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන්
කරනු ලබන කාරුණික ඉල්ලීමයි.
ආදරණීය මාතෘ භූමිය අපගේ ඉතිහාසයේ ගැඹුරුතම ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදයක ගිලී ඇති මේ මොහොතේ, තවදුරටත් නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස බලා සිටිය නොහැකි, වගකීම් සහගත පුරවැසියන් ලෙස දැඩි සත්භාවයෙන් යුතු ව මෙසේ ඔබ සැම ආමන්ත්‍රණය කිරීමට තීරණය කළෙමු.
වත්මන් අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙකුට ම බරපතළ වගකීමක් මෙන් ම යුතුකමක් ද ඇති බව අපි තරයේ විශ්වාස කරමු. මන්දයත්, ජනතා පරමාධිපත්‍යයේ උරුමකරුවන් වන ලාංකේය පුරවැසියන් විසින් ඔවුන් ගේ මනාපය අනුව ඔවුන් නියෝජනය කිරීමට ඔබ සියලු දෙනා පාර්ලිමේන්තුවට පත් කර ඇති බැවිනි. එහෙයින් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් ඔබ්බට සිතා, රටේ හෙට දවසට මුල් තැන දීම ඒ සැම දෙනාගේ ම පරම වගකීම බව අපි දැඩි සේ අවධාරණය කරන්නෙමු. ජනතාවගේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල
එසේම මෙවන් අවස්ථාවක විවිධ මතධාරීන් එක් මේසයකට ගෙනැවිත් කටයුතු කිරීම සඳහා තුන්වැනි පාර්ශ්වයක මැදිහත් වීම් අත්‍යවශ්‍ය බව අර්බුද කළමනාකරණය පිළිබද ප්‍රමාණික දැනුමක් ප්‍රගුණ කළ අපි දැඩි සේ විශ්වාස කරන්නෙමු. මේ අසීරු තත්ත්වය යටතේ එම මැදිහත් පුරවැසියන්ගේ සාධනීය කාර්යභාරයට උර දීමට අප සාමූහික ව තීරණය කළ හෙයින් ඔබ සැමට මේ විවෘත යෝජනාවලිය ඉදිරිපත් කිරීමට අපි තීරණය කළෙමු.
මේ තත්වය යටතේ උගුරට හොරා බෙහෙත් බිමට උත්සහ දැරීම තේරුමක් නොමැති බව අප හොදින් තේරුම් ගෙන ඇති නිසා, කිසිම ආකාරයක සිමා බන්ධන වලට යටත් නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කල භාෂණයේ නිදහස මත පදනම්ව, පැහැදිලි කළ යුතු කටුක සත්‍යය පැහැදිලි කිරීමට අපි මැලි නොවෙමු.
උගත්, තරුණ සහ මධ්‍යම පාන්තික ආදී සෑම බලවේගයක්ම නියෝජනය කරමින් පැන නැගුන ස්වයං අරගලය, ‘225 ම එපා’ යන සටන් පාඨය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි සටනක් නොව වංක සහ දූෂිත පක්ෂ දේශපාලනයට එරෙහි සටනක් බව අපි විශ්වාස කරමු. මේ අරගලය ඕපපාතිකව බිහිවූවක් හෝ හුදු උසිගැන්වීම් වලින් අරම්භ වූ සටනක් නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වරයා පත්වුවාට පසු ස්වයංව පැන නැගී ‘තාප්ප සිතුවම් රැල්ලට’ යම් ආකාරයකින් සමාන වූ නැගිටීමකි. එහෙත් එදා අවස්ථාවාදීන් එම නැගිටීමට පියවරුන් වීමට උත්සහ නොකළ නමුත් අද පැන නැගී ඇති රැල්ලට ඔවුන් පියවරුන් වීමට උත්සහ දරන්නේ සර්ධාවෙන් නොවන බව මේ අරගලයේ තරුණ රැල්ලේ දු පුතුන් හොදින් තේරුම් ගත යුතුය. මේ සියලු නිශේධනිය බලවේග වලින් මාතෘභූමිය රැක ගනිමින් මේ සංකීරණ අර්බුදය කළමනාකරණය කිරීම ඉවසීමෙන් කළ යුතුය. මේ රැල්ල රටට විනාශය ගෙන දෙන්නක් නොව රටට නව දේශපාලන සංස්කෘතියක් හදුන්වා දෙන හැරවුම් ලක්ෂය බවට පත් කල යුතුය.
මේ ගැඹුරු අර්බුදයෙන් ගොඩ ඒම සදහා අප අභියස ඇති ප්‍රධාන ම ගැටලුව වන්නේ විදේශ ණය කළමනාකරණ හා විදේශ විනිමය අර්බුදය පිළිබඳ සාධනීය විසඳුමක් සෙවීමයි. එය සංකීර්ණ කටයුත්තක් බවට විවාදයක් නැත. විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික අර්බුදය වූකලී රෝග ලක්ෂණ පමණක් බවත්, ඒවායේ රෝග මූලය දිගුකාලීන දූෂණ, වංචා, අකාර්යක්ෂමතා හා වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවත් අවධාරණය කළ යුතු ව ඇත. එහෙයින් රෝග ලක්ෂණවලට මෙන් ම රෝග මූලයට ද පිළියම් කිරීම අත්‍යවශ්‍ය කරුණක් ය යන කටුක යථාර්ථය අප සියලු දෙන ගැඹුරින් ම තේරුම් ගත යුතු ව ඇත.
ආර්ථික අර්බුදයට ක්ෂණික පිළියම වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වීම සඳහා කටයුතු සිදු වෙමින් පවතින මේ මොහොතේ, අප හමුවේ ඇති එක ම විකල්පය එය ලෙස සලකා කටයුතු නොකොට, පුළුල් ප්‍රවේශයකට යා යුතු බව අපි රජයට යෝජනා කරමු. අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන කණ්ඩායමට පමණක් ජාතියේ ඉරණම තීරණය කිරීමට ඉඩ දීම තුළ යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් ඇති විය හැකි ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනිවාර්යයෙන් ම අපට කොන්දේසි පනවනු ඇත. එම කොන්දේසි තුළ සාධනීය මෙන් ම නිෂේධනීය කොන්දේසි ද පැවතිය හැකි හෙයින්, එම සාකච්ඡාවලට නිරීක්ෂක මට්ටමින් දැනුවත් හා මැදිහත් පුරවැසියන් කීප දෙනෙකු ද සහභාගි කරවිය යුතු බව අපගේ විශ්වාසයයි. තව ද එම සාකච්ඡා හරහා ගනු ලබන තීරණ, විනිවිද භාවයෙන් යුතු ව ජනතාවට සන්නිවේදනය කිරීමත්, මූල්‍ය අරමුදල විසින් පනවනු ලබන කොන්දේසි රටේ ඉදිරි ගමන සඳහා බලපාන්නේ කෙසේ ද යන්න පුළුල් ලෙස සාකච්ඡා කිරීමත් සාකච්ඡා කළ යුතු ව ඇත. එසේ ම එම සාකච්ඡාවට ශ්‍රී ලාංකේය ප්‍රවේශය සහිත රටට හිතැති යෝජනා මාලාවක් ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම විසින් ද සාකච්ඡා මේසයට රැගෙන යා යුතු ය.
ණය ගැනීම හරහා ආර්ථික අර්බුදයකට තාවකාලික ව හා කෙටිකාලීන ව විසඳුමක් ලැබිය හැකි වුව ද ආර්ථික අර්බුදය හරහා ඉස්මතු වූ දේශපාලන හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා ස්ථිරසාර දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු. එය පෙරළා ආර්ථික පුනර්වර්ධනයකට රුකුලක් වනු ඇත. ආර්ථික අර්බුදය යන්න වර්තමාන අර්බුදයේ එක පැතිකඩක් පමණක් වන නිසා ඒ හා සමාන්තර ලෙස ඇති වී තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය වන අවම හෝ ජනතා විශ්වාසය හා සහයෝගය දිනා ගැනීම සඳහා ගත යුතු අත්‍යවශ්‍ය දේශපාලන කාරණා කිහිපයක් ඇති බව අප විවෘත ව ප්‍රකාශ කළ යුතු ව ඇත. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විසින් ධනය සහ බලය පෙරටු කොට ගෙන කටයුතු කිරීමත්, පවතින නිලධාරිවාදී අකාර්යක්ෂමතා සහ වගකීම් පැහැර හැරීම් මෙම අර්බුදවලට වසර 50ක් තිස්සේ දායක වූ බවත් තේරුම් ගත යුතු ය.
මේ තත්ත්වය තුළ පවතින නිශේධනිය දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සදහාත්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැබෑ ලෙස ශක්තිමත් කිරීම සඳහාත්, වසර 5කට වරක් පැය 8කට සිමා වන ‘නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය’ ජනසතු කිරීම සදහාත්, ගත යුතු අත්‍යවශ්‍ය පියවර කීපයක් ද අපි යෝජනා කිරීමට කැමැත්තෙමු. මෙවන් අර්බුදයක් පවතින මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයකට යාම කිසිසේත් ප්‍රායෝගික නොවනු ඇත. ඒ නිසා රට යම් ස්ථාවරභාවයකට ගෙන ඒම සදහාත්, බහුතරයක් ජනතාවගේ අවම විශ්වාසය හෝ දිනා ගැනීමටත් අත්‍යවශ්‍ය ක්ෂණික කොන්දේසි කීපයක් සපුරාලීම, මේ මොහොතේ කළ යුතු ම දෙයක් බව සදහන් කිරීමට කැමැත්තෙමු.
එම නිසා මෙම අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 ට ම බරපතළ වගකීමක් මෙන් ම යුතුකමක් ද ඇති බව අපි නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමු. මන්ද, වර්තමාන අර්බුදයට දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ වග කිවයුතුය. එම නිසා මෙම අර්බුදය විසදීමේ වගකීමද ඒ සියලු දෙනා බාරගත යුතුය. කෙස් පැලෙන තර්ක හරහා ප්‍රශ්නයෙන් පල යාමට කිසිවෙක් උත්සහ නොදැරිය යුතුය.
මේ අර්බුදය විසඳීම සඳහා කළ යුතු යැයි අප විශ්වාස කරන යෝජනා කීපයක් ද මේ සමග දක්වා ඇත.
කෙටිකාලින ක්ෂණික මැදිහත් වීමේ කාර්ය භාරය
a) ණය කළමනාකරණය / ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ සංචිත හිඟය පියවීමේ සැලසුම්, අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීම; රට තුළ හා රටින් පිටත ගත හැකි ක්ෂණික ක්‍රියාමාර්ග විනිවිද ව හා සාමූහික ව හඳුනා ගැනීම
b) රට යම් ස්ථාවර භාවයකට ගෙන ඒම සදහා බහුතරයක් ජනතාවගේ අවම විශ්වාසය හෝ දිනා ගැනීමට අත්‍යවශ්‍ය ක්ෂණික කොන්දේසි කීපයක් සපුරාලීම
i. උපරිමය 15ක් වන පරිදි කැබිනෙට්ටුව අවම කිරීම 2019 දී අප ඉදිරිපත් කලේ විද්‍යාත්මක පදනමකිනි. අද පත්වූ කැබිනෙට්ටුව සාපේක්ෂකව කුඩා වුවත්, එහි සංයුතුය ගැන සතුටු විය නොහැකි බව ජනතාව දරන මතය අපිද අනුමත කරමු.
ii. විධායකය හා ව්‍යවස්ථාදායකය වෙත ලබා දී ඇති සියලු අමතර වරප්‍රසාද අහෝසි කර පෙන්වන කැපවීම
iii. සැම පුද්ගලයකු ම පොදු නීතියට පහළින් තැබීම සහ සියලු ආයතනවල ස්වාධීනත්වය අනෙක් ආයතන මගින් ආරක්ෂා කිරීම
iv. ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ අමතර අනවශ්‍ය වියදම් වහා කපා දැමීම
v. රටට දැනෙන ලෙස ඉහළ සිට පහළට තහවුරු විය යුතු කැපවී ම හා වග වීම. මේ දක්වා තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම වත්කම් වහා ම ප්‍රකාශ කළ යුතු අතර ඒවා විගණනය කළ යුතු ය.
vi. සියලු දේශපාලන පක්ෂ විගණනයට යටත් කිරීම
vii. දැනට රටේ ඔඩුදුවා ගිය සෑම මට්ටමක ම අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක වන අල්ලස් හා දූෂණ ක්‍රියා මැඩ පැවැත්වීමට පවතින මූල්‍ය රෙගුලාසි යාවත්කාලීන කර අවශ්‍ය වුවහොත් නව රෙගුලාසි හඳුන්වා දීම
viii. අල්ලස් හා දුෂණ කොමිසම හමුවේ ඇති සියලු පැමිණිලි වහා විභාග කිරීම ආරම්භ කිරීම
ix. මුල්‍ය රෙගුලාසි නීතියක් බවට පත් කිරීම හා තීරණ ගන්නන් තනතුරු භේදයකින් තොර ව නීතියට යටත් කිරීම
x. තානාපති සේවා වහා ප්‍රතිසංවිධානය කිරීම – දේශපාලන වරදාන ලෙස තානාපති පත්වීම් දීම සහමුලින් ම අහෝසි කළ යුතු ය. තානාපති සේවය සඳහා යොදා ගත යුතු වන්නේ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පමණක් ම ය. තානාපති කාර්යාලවල කේන්ද්‍රීය භූමිකාව වන වෙළෙදාම් ප්‍රවර්ධනය, විදේශ රැකියා ප්‍රවර්ධනය හා ඒ සදහා යනු ලබන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුබ සාධනය, ලාංකීය පුහුණු ශ්‍රම වෙළෙද පොළ කළමනාකරණය, විදේශ සම්බන්ධතා, ද්විපාර්ශ්වික අවශ්‍යතා, කොන්සියුලර් අවශ්‍යතා, දේශපාලනික කේවල් කිරීම් වැනි වගකීම් සියල්ල ම ඔවුන් හරහා රාජ්‍ය ප්‍රතිපත්තිවලට යටත් ව මෙහෙයවිය යුතු ය.
කෙටි හා මධ්‍යකාලින වෙනස්කම් සැලසුම් කිරීම
i. සංචාරක කර්මාන්තය නව මුහුණුවරකින් හා කාර්යක්ෂම ලෙස යළි නඟා සිටුවිමට නිර්මාණශීලි ලෙස ක්ෂණික පියවර ගත යුතු ය.
ii. රටේ උපආර්ථික ක්ෂේත්‍ර හඳුනා ගෙන ගොඩ නැඟීම සහ ඒ සදහා අවශ්‍ය ඍජු දායකත්වය ලබා දීම
iii. කෘෂිකර්මාන්තය – දේශීය කෘෂිකර්මාන්තය විදේශ වෙළදපොළින් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කළ යුතු ය. කාබනික කෘෂිකර්මයේ සාධනීය ප්‍රතිලාභ පරයා නිශේධනීය ප්‍රවණතා ජය ගනු ලැබුවේ කෙසේ දැයි ගැඹුරින් අධ්‍යයනය කොට, විද්වතුන් නිලධාරීන් පමණක් නො ව ගොවි ජනතාව හා ඔවුන්ගේ සංවිධාන ගෞරවනීය කොටස්කරුවන් බවට පත් කොට ක්‍රමවත් සැලැස්මකට අනුව එම ඉලක්ක ජය ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය
iv. පුනර්ජනනීය බලශක්තිය හරහා විදුලි අර්බුදය විසදීමේ ප්‍රයෝගික වැඩපිළිවෙළකට යාමේ ඇති බාධා අහෝසි කළ යුතු ය.
v. අපනයන සදහා දිරිමත් කළ යුතු කර්මාන්ත සම්පත හඳුනා ගෙන, දේශීය කර්මාන්තය විදේශ වෙළදපොළින් ආරක්ෂා කිරීම
vi. පෞද්ගලික අංශයේ සාධනීය භූමිකාව, තරගකාරිත්ව තත්ත්වය හා ගුණාත්මක භාවය, දේශපාලන පක්ෂ පාට භේදයකින් තොර ව, ප්‍රවර්ධනයට යොමු කෙරෙන පරිසරය සැකසීම
vii. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා මතු විය හැකි රැකියා සහ රැකියා සුරක්ෂිතභාවයට අදාළ යෝජනා පිළිබද ව අවධානය යොමු කළ යුතු ය
viii. විදේශගත ලාංකිකයන් දේශයේ උන්නතිය සදහා සක්‍රිය ලෙස මැදිහත් කර ගැනීම
ix. පුහුණු ශ්‍රම සම්පත හරහා විදේශ විනිමය ඉපයීම ඉලක්ක කොට ගෙන ඉදිරි දස වසරට අවැසි මානව සම්පත ප්‍රක්ෂේපනය කොට ගොඩ නැඟීම
x. ඉහත කටයුත්තට සරිලන සේ දැනටමත් සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාධනීය ලෙස ශක්තිමත් කොට ඉදිරියට ගෙන යා යුතු ය
xi. ඉහත කටයුතුවල අත්‍යවශ්‍ය පැතිකඩක් ලෙස පර්යේෂණ හා සංවර්ධන, නවෝත්පාදන හා තාක්ෂණ හුවමාරුවට සැබෑ ප්‍රමුඛතාවයක් ලබා දීම. පර්යේෂණ සදහා සදාචාරාත්මක ලෙස අචාරධර්ම මත පදනම්ව ජාත්‍යන්තර පර්යේෂණ මුල්‍ය ආයතන හරහා තරගකාරී ලෙස ලබා ගන්නා අරමුදල් / විදේශ විනිමය බාධාවකින් තොර ව රට තුළට ඒමට පහසුකම් සැලසීම
xii. රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කොට රාජ්‍ය සේවය ඔසවා වැඩිදියුණු කිරීම සදහා ඒ තුළ ඇති නිලධාරිවාදය අහෝසි කිරීම
xiii. දේශපාලනඥයන්ට හිතුමතේ වෙනස් කළ නො හැකි පක්ෂ පාටවලට ගැති නො වූ රටට ඔබින ව්‍යවස්ථාවක් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් ගොනු කිරීම
මේ අර්බුදයේ අවාසිය, වාසියකට හරවා ගනිමින් නව දේශපාලන සංස්කෘතියක් සදහා වන මූලික අඩිතාලම දැමීම හැර අප හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද සැම දෙනා හොදාකාර ව තේරුම් ගත යුතු ව ඇත. දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ද විගණනයට යටත් කිරීම ඒ නව දේශපාලන සංස්කෘතියේ ඉවත හල නොහැකි සාධකයක් ය යන නීරස පණිවිඩය ද මෙහි සටහන් කළ යුතු ව ඇත. මේ සියල්ල එක රැයකින් කළ නො හැකි බව හොදාකාර ව තේරුම් ගන්නා අප, මේ එකොලොස් වන පැයේ උත්තරීතර පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ ඒ ක්‍රියාදාමය ආරම්භ කිරීමට අවශ්‍ය එඩිතර පියවර ගන්නා ලෙසයි. හුල්ලමින් සිටින පොදු ජනතාවට සැනසුම් සුසුමක් ගැනීමටත්, අතිමහත් කැප කිරීම් හරහා මේ බිමට නිහඬ යුතුකම් ඉටු කළ බහුතර ජනතාවට තවදුරටත් දෙගිඩියාවකින් තොර ව මේ අභියෝග ජය ගැනීමටත් දායක වීමට ඉඩකඩ සලසන ලෙසයි. රට අරාජිකත්වයෙන් මුදා ගත හැක්කේ මෙවන් නොමසුරු ප්‍රවේශයකින් පමණක් ම බව අපි දැඩි සේ විශ්වාස කරමු.
මේ රටට ආදරය කරන, ජාතික අභියෝග හමුවේ ඒවාට නොමසුරු ව උර දුන් පුරවැසියන් ලෙස, අප මැදිහත් සිතින් කරන ඉහත මේ පුළුල් ඉල්ලීම් මාලාවට ශ්‍රී ලංකේය ජාතියම එකග වන බවට අපට විශ්වාසය. එසේම ජනාධිපති, අගමැති, කතානායක, විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම මෙම ඉල්ලීම්වලට කන් දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පවතින පාර්ලිමේන්තුව හරහා හදිසියේ කල හැකි ඉහත කරුණු පිළිබද තවදුරටත් සාකච්ඡා කොට, මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසි ලෙසකත් පක්ෂග්‍රාහී නො වී ජනතාවගේ පැත්තෙන් පමණක් සිතා බලා විසඳුම් සෙවීමට, මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කිරීමට අප බැඳී සිටින බව ද ඔබසැමට ප්‍රතිඥා දෙමු. ප්‍රයෝජනවත් වේනම් මේ කරුණු පදනම් කොට ගෙන ඕනෑම කෙනෙකු හා සාකච්චා කිරීමට අප සුදානම් බව දැනුම් දිමට කැමැත්තෙමු.
මෙයට,
මහාචාර්ය අතුල සුමතිපාල (කැදවුම්කරු)
මහාචාර්ය ගොමින්ද පොන්නම්පෙරුම
මහාචාර්ය සුනෙත් අගම්පොඩි
ගාමිණී විජේසිංහ මහතා (හිටපු විගණකාධිපති)
වෛද්‍ය නිමල් කස්තුරිආරච්චි
නිනිඥ ප්‍රතිභා මහානාම
ඉංජිනේරු කපිල ආර් පෙරේරා
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...