පුරවැසි කොලම

තෙල්, ගෑස්, විදුලිය නොමැතිව සමාජයේ විශාල කළඹගෑනියක් ඇතිවී තිබේ. ලෝක වෙළෙඳ පොළේ
තෙල්, ගෑස් හිඟයක් නොතිබුණද ශ්‍රී ලංකාවේ ජන ජීවිතය අඩාල කරවන මට්ටමේ හිඟයක් ඇති
වී ඇත. මේ සම්බන්ධව කුඩා දරුවෙකු මාගෙන් විමසා සිටියේ “හයියෙන් වහින නිසා, මුහුද සැර වැඩි
වෙලා, තෙල් නැව් වලට එන්න විදිහක් නැද්ද” කියාය. තරුණ – මහලු, උගත් – නූගත්, දුප්පත් –
පොහොසත් සියලුම දෙනා පීඩාවට පත්කර කරවමින් මේ ඇතිවී තිබෙන අරබුදයට හේතුවක් තිබිය
යුතුයි. හේතුව ඩොලර් නැතිකමද? අන්න අල්ලගත්තා වැලදි තැනකින්! ඩොලර් අර්බුදයක් නැතුවද
පසුගිය රනිල් – මෛත්‍රී යහපාලන සමයේදී, පෝලිම් වල සිටියද තෙල් ලබාගත නොහැකි
තත්ත්වයක් උද්ගතව තිබුණු බව මතක් කර දිය යුතුව ඇත.

මේ අලකලංචිය අස්සේ මහජනතාවගෙන් කොටසක් තෙල්, ගෑස්, විදුලිය සෙවීම පසෙකලා
ගෝඨාභය සොයමින් සිටිති. එය කිසියම් දුරකට සාධාරණ බවයි මාගේත් අදහස. ලෝක
වෙළඳපොලේ තෙල්, ගෑස් තිබියදීත් ඒවා අප රටට ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීම පිළිබඳව
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකිව යුතුව ඇත. එම වගවීම නිසි පරිදි ඉටු නොකිරීම නිසා
මහජනතාව “ගෝඨා ගෙදර යනු” යයි කියමින් මහපාරට බැස්සෝය. ගැටලුව ජාත්‍යන්තරකරණය
කළ යුතු වූ බැවින් පසුව එය “Gota Go Home” ලෙස වෙනස් වුණි. තමාට ජනාධිපති තනතුරේ
වගකීම් නිසි පරිදි ඉටු කළ නොහැකි නම්, කළ යුතු හොඳම දේ වන්නේ කළ හැකි අයකුට එය
භාර දී ගෙදර යාමයි. එවිට කළ හැකි අයෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වී අවශ්‍ය කටයුතු නිසි පරිදි ඉටු
කරාවි. ඔව්, “කරාවි”, හරියටම “කරනවා” යැයි කියා කිරි ගහට ඇන්නා සේ පැවසීමට හැකියාවක්
නැත. හරියටම කරන්න පුළුවන්ද බැරිද යනවග, ඇති වී තිබෙන ප්‍රශ්නයේ දිග පළල
පිළිබඳව නිවැරදි අදහසක් තිබෙන අයවලුන් හොඳින් අවබෝධ කරගෙන ඇතැයි මම සිතමි.

මේ අවස්ථාවේ ගෝඨාභය මහතා ගෙදර යාමෙන් පමණක් උද්ගත වී ඇති ප්‍රශ්නය සඳහා
කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැත. අසනීප තත්ත්වය උග්‍ර වී මාරාන්තික වූ අවස්ථාවේ දී අනං
මනං නොකර, කළ යුතු එකම දේ ලෙඩා සුවපත් කර ගැනීමයි. ලෙඩේ සුව වූ පසු නැවත
එවැනි ලෙඩක් ඇති නොවීම සඳහා ගත හැකි සියලූ බුද්ධිමත් තීරණ, වෙනස්කම් පිළිබඳව
සමාජයේ ප්‍රබල කතිකාවක් පමනක් නොව ප්‍රායෝගික වැඩපිළිවෙළක් ද සකස් විය යුතුය.
නොඑසේනම් ශ්‍රී ලාංකික ජාතියට ශ්‍රී ලංකාව දියුණු වෙනකන්ම සිද්ධ වන්නේ  ” හිස්තැනක්”  go home, කිය කියා සිටීමයි. හිස්තැනට ඒ ඒ වකවානුවලවේ රටේ ජනාධිපති වරයාගේ නම යොදා ගත හැක.

පාරේ බෝඩ් එල්ලාගෙන උද්ඝෝෂණය කරන හුදී ජනයා මුලින් ඉල්ලා සිටියේ “තෙල්, ගෑස්
දියව්” කියාය. පසුව එය “225 ම එපා” ලෙස වෙනස් වූ අතර ඉක්බිතිව වෙන වෙන
කුණුහරප වලට මාරු වී අවසානයේ “gota go home”වුනි. මුල්දී නිර්පාක්ෂික ලෙස ඇරඹුන
උද්ඝෝෂණය, අවජාතක ලෙස අවසන් ගමන් යන්නේ එලෙසිනි. මුලදී මේ උද්ඝෝෂණ වල
හොරු එලවන කතාවක් තිබුණද ටික දවසක් යද්දි ප්‍රධාන සටන් පාඨය වූයේ එය නොවේ.
හොරු නිකම්ම එළවා දමා පමණක් සෑහීමකට පත්විය නොහැක. හොරකම් කරන ලද ධනය

ද ආපසු ලබාගත යුතුය. මේ හොරු එළවා ලවා දමා “අලුත් හොරු” ටිකක් පාර්ලිමේන්තුව
තුළට රිංගවීමෙන් ද ඵලක් නැත. හොරු නොවන අය පාර්ලිමේන්තුවට රැගෙන ඒමටද,
පාර්ලිමේන්තු එන මහජන නියෝජිතයන්ට හොරකම් කිරීමට නොහැකියි වන ලෙස අවශ්‍ය
කරුණු කාරණා ද සකස් කළ යුතුය. දැනට පවතින ක්‍රමය තුළ හොරෙකුට, වංචාකාරයෙකුට,
හෙංචයියෙකුට හැර ප්‍රබුද්ධයකුට පාර්ලිමේන්තුවට පිවිසීම ඉතාම අපහසුය.

ජනාධිපතිවරයාගේ කථාව ද එලෙසමය. මහජන ඡන්දයෙන් තෝරා පත් වූ මේ
ජනාධිපතිවරයා ගෙදර යවා අලුතින් පත් කර ගන්නේ කවුද? හැකිනම් මේ සඳහා එක නමක්
යෝජනා කරන ලෙසට මේ ලියුම්කරු අභියෝග කර සිටියි. විමල්ලා අමාත්‍ය ධුරවලින් එළ
වීමෙන් පමණක් නොව, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් එල්ල වීමෙන් ද
රටට තෙල් සහ ගෑස් නොලැබෙන බව මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ භද්‍ර
කල්පයේ කිසිම ඡන්දයකට ඉදිරිපත් වී ජනාධිපති විය නොහැකි මාරපුත්‍රයන්, මේ
අල්ලපනල්ලේ ජනාධිපති කිරීමේ අමාරුවක් ශ්‍රී ලාංකිකයන්ට කොහෙත්තම නැත. කබලෙන්
ලිපට වැටෙනවා යැයි ආප්තෝපදේශයක් ඇත්තේ සිංහල භාෂාව විභාගයට උත්තර සපයා
විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම සඳහා පමණක් නොවේ. මේවායේ තේරුම දන්නා හෙළයන්,
“ගෝඨා, හරියට වැඩ කරනු” ලෙස කියනවා ඇති. රුවන්වැලිසෑය ඉදිරිපිට දිවුරුම් දුන්
ගෝඨාභයව හොයනවා ඇති. මූණට මූණ සටන් කොට හෙළයන් පැරදවිය නොහැකි
සකර්බර්ග් අනාථ කඳවුරේ නිරාගමිකයන් ට කළ හැක්කේ hashtag දැමීම පමණි.

වැඩක් කරන හැටි තේරෙන්නෙ නැතිනම්, වැඩක් කරන්න දන්නේ නැති නම්, වැඩක් කරන්න
බැරිනම් ගෝඨාභය මහතාව දිගින් දිගටම ජනාධිපති ධූරයේ තබා ගත යුතු යැයි කියා
මෙයින් අදහස් වන්නේ නැත. හැබැයි, තැටිය රත් වී ඇති මේ වෙලාවේ රොටි පුච්ච ගන්න
එන නිඝණ්ටයන් ට අප රැවටිය යුතු නොවේ. මේ අල්ලපනල්ලේ විධායක ජනාධිපති ධුරය
අහෝසි කළ යුතු යැයි කියා සජබේ සිහින ජනාධිපති යෝජනා ඉදිරිපත් කර ඇත.
මැතිවරණයකින් 3% කට වඩා ඡන්ද ලබා ගත නොහැකි ජවිපෙ ප්‍රකාශ කර සිටින්නේ පළමුව
69 ලක්ෂයක් ඡන්ද ලබාගත් ජනාධිපතිවරයා ගෙදර යා යුතු බවත් ඉන් පසු ඔවුන් ඔවුන්ගේ
රට ගොඩනැගීමේ යෝජනා ඉදිරිපත් කරන බවත්ය. එහි කිසියම් සත්‍යයක් තිබිය හැක. රට
ගොඩනගන 3% නේ ජවිපෙ යෝජනා ගෝඨාභය මහතා පිටපත් කර (කොපි කර) රට ගොඩ
දැම්මොත් ඔවුන්ට දැනට තිබෙන 3% ත් නැති වී යා හැක. පාර්ලිමේන්තුවේ අඩුම තරමින්
20% ක වත් නියෝජනයක් නැති දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරණය සඳහා
අපේක්ෂකයන් ඉදිරිපත් කළ නොහැකි වන ලෙස නීති සකස් කළ යුතුයි. එවිට
ජනාධිපතිවරණයට වැයවන අතිරේක මුදල් ඉතුරු කරගෙන, පත්වන රජය ට අඩු තරමින්
තව වැඩිපුර ඩීසල් ලීටර් විස්සක් තිහක් වත් ගෙන්වා පෝලිම් වල සිටින අසරණ ජනතාවට
බෙදා දිය හැක.

රටේ ඇති වී තිබෙන මෙම අර්බුදයට 1977 න් පසු මේ රට පාලනය කළ සියලු දෙනා එක
සේ වගකිව යුතුව ඇත. 1977 දී මෙරටට හඳුන්වා දුන් “විවෘත සමාජ සංස්කෘතිය”, ආර්ථිකය
පමණක් නොව මුළුමහත් ජන සමාජයම ණයට ආතල් ගන්නා තත්වයකට පත් කෙරුණි.
ගෝඨාභය මහතාට සිදුවූයේ එහි අවසන් කොටසට කර ගැසීමටයි. වැරැද්ද වඩාත් තීව්‍ර වූයේ

පවතින රජයට තෙල්, ගෑස්, විදුලිය නැත්තටම නැතිවී, ජනතාව පෝලිං වලට එකතු වන තුරුම ඒ
පිළිබඳව සමාජ කතිකාවක් ආරම්භ කර ගත නොහැකි වීමයි. ජනාධිපතිවරයා සඳහා වෙන්ම
මාධ්‍ය ඒකකයකුත්, රජය සඳහා වෙන්ම මාධ්‍ය අමාත්‍යාංශයකුත් පවතින බව මෙහිලා සඳහන්
නොකර බැරිය. අවසානයේ දී බෝඩ් උස්සාගෙන මහපාරට පැමිණි තරුණ තරුණියන්ට මෙලෝ
රහක් නැති, මුළු විද්‍යාත්මක කැබිනට්ටුව ම පැය 24න් ගෙදර යවා ගැනීමට හැකි විය.

තීන්ත බාල්දි උසුලාගෙන, මහ අව්වේ, ඉටිකොළ වල්ට මුවා වෙමින්, මග දෙපස චිත්‍ර අඳින ලද
තරුණ තරුණියෝ එදා කිසිවක් ඉල්ලා සිටියේ නැත. අඩුම තරමින් “අපි චිත්‍ර ටික අඳින්නම්, ඔහේලා
අඩුගානෙ තීන්ත බාල්දි ටිකවත් අරගෙන දෙනවලා” කියාවත් කිව්වේ නැත. තරුණ තරුණියෝ,
මහජනතාව, ජාතික සංවිධාන, බුද්ධිමත් ප්‍රජාව, පූජ්‍ය පක්ෂය එක පෙළට සිට ගත්තේ ගෝඨාභය
ආණ්ඩුව කෙරෙහි අසීමිත විශ්වාසයක් ඇතිවය. ගඟට ඉනිකැපුවා සේ ඒ සියල්ලම ටික ටික දියවී
ගියේය. ලක්ෂ 69 ක් ලබාගත් ගෝඨාභයට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන අවුරුදු දෙකක්
ඉක්ම යාමටත් මත්තෙන් අසන්නට සිදු වුයේ “දැන් ගෙදර යනු” කියාය. එදා 69 ලක්ෂක් විශ්වාසය
තැබුවේ ඔබතුමා පිළිබඳව පමණක්ම වන අතර පාර්ලිමේන්තුවට පත් වන ආතක් පාතක් නැති
“මහජන නියෝජිතයන්” ඔබ විසින් පාලනය කරාවි යන විශ්වාසය අප තුළ දැඩිව ගැබ් වී තිබුණි.

එදා, විශ්නු දෙවියන්ට බාර දුන්නා යයි පැවසෙන මේ ධර්මද්වීපය, කෙසේ හෝ නොයෙක් නොයෙක්
හැල හැප්පීම්, බාධක කම්කටොලු මැද ඉදිරියට යාවි. එක එක කකුල් මාට්ටු තියේවි. අලුතින් පත් වූ
මහ බැංකු අධිපතිවරයා පැවසූ පරිදි ඉතාමත් අමාරු කාලපරිච්ඡේද අත්විඳීමට සිදු වේවි. අපේ
කොල්ලෝ කෙල්ලෝ බෝඩ් උස්සගෙන පාරට එනකම්ම අපේ උගත් බුද්ධි මතුන්ට, ජාතික
සංවිධානවලට වගේ වගක් තිබුණේ නැත. ඔවුන් හැමදාම කරේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම පමණි.
පාරට බැස්ස කොල්ලො කෙල්ලො, 2/3 ක් ලබාගෙන පිහිටුවා ගෙන තිබූ ප්‍රබල ආණ්ඩුවේ,
කැබිනට්ටුව පැය 24 න් ගෙදර ‍යැව්වේය. දැන්වත් මේ තරුණ තරුණියෝ කියපු කතාව, කියන
කතාව, බෝඩ් එල්ලා ගෙන පාරටම පැමිණෙන්නට තිබූ හේතුව, හොඳින් අවබෝධ කරගෙන පිස්සු
කෙලින්නේ නැතුව රට ජාතිය හරි මගට ගැනීමේ ප්‍රායෝගික ක්‍රියාවලියකට සක්‍රීයව දායක විය
යුතුව ඇත.

අවසාන වශයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාව පවසා ඇති “#Gota Go
Home” යන්න හොඳින් තේරුම්ගෙන, අතන මෙතන රස්තියාදු නොවී, හැකි ඉක්මනින් තමාගේ
නිවසට ගොස්, ඉතිරි අවුරුදු 2 තුළ වත්, මේ රට තිබෙන තත්ත්වයෙන් වත්, පවත්වාගෙන යා හැකි
වන පරිදි නිවැරදි පුද්ගලයන් සමග නිවැරදි තීන්දු තීරණ ගෙන අවශ්‍ය නියෝග නිකුත් කරන
ලෙසටයි.

ෂම්මි උයනගේ
පරිගණක මෘදුකාංග ඉංජිනේරු
shammie@email.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More