සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව ජනාධිපතිවරයා සහ ස්වාධීන පක්ෂ 11 නියෝජිතයින් අතර දෙවන වටයේ සාකච්ඡා ඊයේ (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.
කෙසේ නමුත් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසු උද්ගත වූ වාතාවරණය හමුවේ එම සාකච්ඡා සඳහා සහභාගි නොවීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 11 නියෝජිතයින් තීරණය කළේය.
ඒ අනුව බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට රැස්වූ ඔවුන් එහිදී සාකච්ඡාවක නිරත වුණි.
අනතුරුව ඔවුන් අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වු අතර එහිදී අදහස් දැක්වු ජාතික නිදහස් පෙරමුණේ, නායක විමල් වීරවංශ මහතා,
“අපි දන්නවා මේ රටේ තරුණ දු දරුවෝ තමන්ගේ විරෝධතාවය විවිධ අයුරින් ප්‍රකාශ කරනවා. හැබැයි ඒ විරෝධය අද වෙනත් පාර්ශව විසින් රටේ හමුදාපතිට එල්ල කරන විරෝධයක් බවට පත්කරගෙන, මහ සංඝරත්නයට එල්ල කරන විරෝධයක් බවට පත්කරගෙන වෙනත් පැත්තකට ගෙනියන්න හදනවා. මේ අරාජිකත්වය තුරන් කිරීමේ පියවරක් කරා අපි ගමන් කළ යුතුයි. ඒ නිසා තමයි අපේ පක්ෂ 11 එකමුතුව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් පිහිටුවීමට යෝජනා කළේ. කනගාටුවට කරුණ වුණේ එ් ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරලා ඊට පහුවෙනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදීම. මේ තරම් දුෂ්කර සහ අභියෝගාත්මක වෙලාවක මේ රට පාලනය කරන උදවිය සැලුන් දොරෙන් ගන්නවා කියන ගොන් වැඩත් කරන්න හිතෙනවා නම්, අපි ඊට පස්සේ මොකද්ද කරන්නේ. අපි ඒ නිසා තමයි ඊයේ සවස 5ට තිබුණ සාකච්ඡාව අපි සහභාගි වුණේ නෑ. අපි සියලුදෙනාම දැන්වුවා අපි එන්නේ නෑ කියලා. ඔය විදියට නම් ප්‍රශ්නය බේරගන්න හදන්නේ බේරගෙන බලන්න. කොහෙන් කොහෙන් හරි මැට්ටෝ ටිකක් අරන් ඔළුගෙඩි ටිකක් පෙන්නලා කැබිනෙට්ටුවක් පෙන්නලා මේ රටේ ජනතාවගේ දැවෙන විරෝධය සමනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ තරම් ගොන් මැටි තීරණයක් නෑ. අපි අදත් සුදානම් එකඟ කරගන්න පුළුවන් හැමපාර්ශවයක්ම එකඟ කරගෙන රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා පුරෝගාමිත්වය ගන්න. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මීට වඩා පුළුල් මනසකින් මේ ගැන බලන්න ඕනේ. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තාම මැච් එක අතහැරලා නෑ. අපේ පක්ෂ 11 මන්ත්‍රීවරයෙක්ගේ නිවසට යනවා රේණුක පෙරේරා. බැසිල් රාජපක්ෂගේ කෙනෙක්. සංජීව එදිරිමාන එයත් එහෙමයි. ඊළඟට යනවා කැටගොඩ මන්ත්‍රීවරයා. පාන්දර 2ට ගිහින් උදේ 8.30 එන්නේ. මොනවාද යෝජනා කරන්නේ, දෙන ඇමතිකම් ගැන. බැසිල් රාජපක්ෂ තාමත් බලනවා සෙල්ලං දාලා මේක අල්ලගෙන ඉන්න. මේ රට ස්ථාවර කිරීමේ පාලන තන්ත්‍රයක් ඇති කරන්න ඕනේ නම්, අගමැති ඇතුළු සමස්ත පාලන තන්ත්‍රයම අයින් වෙලා නව අගැමති කෙනෙක් ඇතුළු පාලනයක් ඇති කළ යුතුයි. ජනාධිපතිට තාමත් අවස්ථාව තියෙනවා. ඒ මන්ත්‍රීවරයාට කීයක් හරි දුන්නා නම් ඒක ගන්න බැරිවෙයි. හැබැයි ඇමතිකමින් අයින් කරන්න. හෙට ඇමතිකමින් අයින් කළොත් අනිද්දා සාකච්ඡා පටන් ගන්නවා.”
