පුරවැසි කොලම

බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් පසුව මහා ඉන්දියානු අධිරාජ්‍යයක් ගොඩනැගීම පිළිබඳ සිහින දුටු ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික විද්වතෙකු වූ සර්ධාර් පනික්කාර්ගේ න්‍යායන්ට අනුව සිකීමය, ටිබෙටය සහ නේපාලය පමණක් නොව ශ්‍රී ලංකාව ද එම අධිරාජ්‍යයේ අර්ධ යටත් විජිතයක් බවට පත් කළ යුතුය. අර්ධ යටත්විජිත නිර්මාණය කරනු ලබන්නේ ගිවිසුම් මගිනි. එනම් ආරක්ෂක, ආර්ථික වෙළෙඳ සහ භූ දේශපාලන සහයෝගිතාවයන්ට අදාල ගිවිසුම් සමූහයක් මගිනි. එම උපාය මාර්ගික ප්‍රවේශය අනුව ගිවිසුම් වලට යටත් වීම සඳහා පොළඹවනු ලබන්නේ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීම මෙන්ම ආර්ථික වශයෙන් පරාධීනත්වයට පත් කිරීම සහ ඔත්තුකරුවන් මගින් සිදුකරන කූඨ දේශපාලන එකඟතාවයන් මගිනි. බෙදුම්වාදී න්‍යාය පත්‍රය අනුව එම අර්ධ යටත් විජිතය ඊලාම් රාජ්‍යයට සීමා වුවද වර්ථමාන අර්බුදය තුළ එම තත්වය සමස්ත රාජ්‍යයටම දිගු විය හැක.

බෙදුම්වාදී ත්‍රස්තවාදය නිර්මාණය කිරීම සහ එම උපාංගය යොදාගනිමින් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් සහ ඉන්දු ලංකා ගිවිසුම් මගින් දීර්ඝකාලීනව ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කිරීමේ, හැසිරවීමේ ක්‍රියාවලියට අදාල ඉන්දියාවේ භූමිකාව කුමක්දැයි මේ වන විට ඉතිහාසය විසින් ඉතා නිරවුල්ව තහවුරු කර ඇත. එම ක්‍රියාවලියේ ම දිගුවක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ ඒ තුලින් පැන නැගී ඇති දේශපාලන අර්බුදය යොදා ගනිමින් ඉන්දියාව විසින් දියත් කර ඇති මෙහෙයුමද දැන් රහසක් නොවේ. ඩොලර් බිලියන 1.5 ක ණය කැරට් අලයක් පෙන්වා, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය, කන්තලේ අක්කර 20,000ක් සහ සීනි කම්හල, සාම්පූර් සූර්ය බලාගාරය නමින් අක්කර 1000ක් මන්නාරමේ සුලං බලාගාරය නමින් අක්කර 1000ක් කොළඹ වරායේ බටහිර ජැටිය සහ ත්‍රිකුණාමල වරායේ නව ජැටියක් නිර්මාණය කිරීම, පලාලි තොටුපොළට පය තබා ගැනීම ආදී වශයෙන් සිදුකළ අත්පත්කර ගැනීම් ප්‍රමාණය කෙතරම් බරපතළද?

ඊට අමතරව ආරක්ෂක ගිවිසුම් ත්‍රිත්වයක් මගින් ඇමෙරිකාව සමඟ අත්සන් කළ ” ඇක්සා” ගිවිසුමේ දිගුවක් නිර්මාණය කිරීම සහ අත්සන් නොකළ ”සෝපා” ගිවිසුමේ අඩුව පිරවීමේ තත්ත්වයක් ද නිර්මාණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ පුහුණු වීම හෝ වෙනත් තාක්ෂණික හෝ මානුෂීය මෙහෙයුම් සඳහා රටට ඇතුළුව වන ඉන්දියානු හමුදා නිලධාරීන්ට ශ්‍රී ලංකාවේදී තානාපති මුක්තිය ලැබෙනු ඇත. සෝපා ගිවිසුම අවශ්‍ය වූයේ අමෙරිකානු හමුදාවලට එම තත්ත්වය ලබා දීම සඳහා ය. පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ඉන්දියාව ලබාදෙන ණය ප්‍රමාණය කිසිසේත්ම නොසෑහෙන බව සාමාන්‍ය පෙළ අංක ගණිතය දන්නා සිසුවෙකුට වුවද තේරුම් ගත හැක. ඉන්දියානු මැදිහත්වීම තුළ ශ්‍රී ලංකාවට චීනය සමග ගනුදෙනු කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ඉඩකඩ බරපතළ ලෙස සීමා වී ඇති බව දැන් රහසක් නොවේ. එය ඉන්දියාව අපේක්ෂා කළ තත්ත්වයක් බවට විවාදයක් නැත. අවසානයේ දී ඉන්දියාවේ “ඊනියා ක්‍රෙඩිට් ලයින්” එක භාවිතා කරමින් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා අවස්ථාව නොලැබීම තුලින් පෙන්වන්නේ කුමක්ද?

ඒ මගින් පැහැදිලි වන්නේ ඉන්දියානු විදේශ අමාත්‍යවරයා පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම නැවැත්වීම පිළිබඳව කිඹුල් කඳුලූ හෙලූවද සමස්ථයක් ලෙස රටේ ඖෂධ සැපයුම් අඩාල කිරීම ඔවුන්ගේ ප්‍රාර්ථනය බව නොවේද? ශ්‍රී ලංකාව තුළ අර්බුදය උත්සන්න වීම තුල දැනටමත් තමිල්නාඩු මහ ඇමතිවරයා ප්‍රමුඛ විවිධ පාර්ශව ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවට ගුවනින් ආහාර සහ ඖෂධ ලබාදිය යුතු බව සහ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් සේ සලකා කටයුතු කළ යුතු බවය. එවැනි තත්ත්වයක් තුළ රටේ ආරක්ෂක තත්ත්වය සහ අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමක් සිදුවුවහොත් ඊනියා මානුෂීය මෙහෙයුම් නාමයෙන් හමුදාමය මැදිහත්වීම් සඳහා ද අවස්ථාව නිර්මාණය කර ගැනීමට ඉඩක් විවර වේ. මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඉන්දියාව විසින් නිර්මාණය කළ බවක් කිසිසේත්ම ඒ මගින් අදහස් නොවේ. ඉන්දියාව විසින් කරනු ලබන්නේ නිර්මාණය වී ඇති තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා සහය වීමය. එමෙන්ම එම ක්‍රියාවලිය තුළ ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින තම ඔත්තුකරුවන් යොදා ගනිමින් තත්වය වර්ධනය කෙරෙන ක්‍රියාමාර්ග වලට ආණ්ඩුව තල්ලූ කරන බවට විවාදයක් නැත.ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රනන්තය බවට පත්කර එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බවට පත් වීමට සිහින දකින ආණ්ඩුවේ ප්‍රබලයකුට දැනටමත් ඒ පිළිබඳව චෝදනා එල්ල වී ඇත.

ගෙවුම් ශේෂ අර්බුදය රාජ්‍ය ආදායම පහත වැටීම, ණය ගෙවීමේ නොහැකියාව සහ සමස්තයක් ලෙස රටේ නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම ආදිය තුළින් අද දක්නට ලැබෙන ආර්ථික අර්බුදය 1977න් පසුව පවත්වාගෙන යනු ලැබූ ආර්ථික මෝඩලයේ අනිවාර්ය ප්‍රතිඵලයකි. කොවිඞ් වසංගත තත්වය නිසා සහ රාජ්‍ය අභ්‍යන්තරයේ දියත් වූ ආර්ථික ඝාතක ක්‍රියාවලිය මගින් එම තත්ත්වය උත්සන්න වූ බව ඉතා පැහැදිලිය. ඊට අමතරව ආණ්ඩුවට එරෙහිව දියත් වී ඇති ඉතිහාසයේ කිසි දිනක දක්නට නොලැබුණු ජන විරෝධය දීර්ඝ කාලයක සිට ක්‍රමයෙන් හදවත් අභ්‍යන්තරයේ පැසවමින් තිබී බරපතලම අර්බුදකාරී අවස්ථාවක සිදුවන පිපිරීමක් ලෙස හඳුනාගත හැක. ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය සමඟ මහා අපේක්ෂා දල්වා ගෙන වීදි දෙපස චිත්‍ර අඳිනු ලැබූ තරුණ තරුණියන් විසින් පින්සල වෙනුවට ගල් මුල් අතට ගැනීම ඛේදවාචකයක් වුවත් එය ඉතිහාසයේ තර්කානුකූල ප්‍රකාශනයකි. එම තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂයන් ජනපති පුටුවේ වාඩි කළ මහා සිංහල බෞද්ධ බලවේගයට මෙන්ම ඊට මග පෙන්වූ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග වලට පහර දීමට, නින්දා අපහාස කිරීමට සහ දුර්මුඛ කිරීමටද මෙහෙයුමක් දියත් වී ඇත. එම අවශ්‍යතාවය ඉන්දු පැසිෆික් භූ දේශපාලන න්‍යාය පත්‍රයේම අනිවාර්ය කොන්දේසියක් වුවත් මෙම නිශ්චිත මොහොතේ දී හැඟුම්බර උද්ඝෝෂකයින්ට එම තත්ත්වය තේරුම් ගැනීමට හැකියාවක් නැත. තත්ත්වයේ ගැඹුර තේරුම් ගන්නා පිරිස්වලට ද එම මහා පින්තූරය සමාජයට තේරුම් කර දීම සඳහා වන අවස්ථාව පවතින තත්ත්වය විසින් අහිමි කර ඇති බවට විවාදයක් නැත.

ශ්‍රී ලංකාව තුළ ඓතිහාසිකව පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය ත්‍රීවර කිරීම සඳහා පෙරමුණු 5ක ක්‍රියාත්මක වන බව පැහැදිලිව දැක ගත හැක. ඒ අතුරින් පළමු පෙරමුණ ඉහත සඳහන් කළ ඉන්දියානු අර්ධ යටත් විජිතයක ආණ්ඩුකාරධූරය බලාපොරොත්තුවෙන් රාජ්‍ය දුර්වල කිරීමේ කොන්ත්‍රාතුව ඉටු කරන ආර්ථික ඝාතකයින් ගේ එකතුව ලෙස හඳුනා ගත හැක. දෙවන පෙරමුණ මූල්‍ය අර්බුදය යොදා ගනිමින් සහ බදු සහන යොදා ගනිමින් ඉතා කූඨ ලෙස අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග රැස්කරමින් සහ සඟවමින් මිල ඉහළ දමන නව ජාවාරම්කාර වෙළඳුන් සමූහයකි. එම ජාවාරම්කාරයින් ආණ්ඩුවේ පාර්ශව සමඟ සබඳතා පවත්වන අතර ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බව පෙනේ. මේ වන විට මහජන උද්ඝෝෂණ තීව්‍රර කිරීමේ යතුර ඔවුන් අතට පත් වී ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාක්මක වන තුන්වන සහ එහෙත් බලවත්ම පෙරමුණ වන්නේ අදෘශ්‍යමාන ලෙස ක්‍රියාත්මක වන ඉන්දු පැසිෆික් භූ දේශපාලන න්‍යාය පත්‍රයේ නියමු බලඇණිය බව ඉතා පැහැදිලිය. “ක්වැඩ්” ලෙස හැදින්වෙන ඉන්දියාව, ඇමරිකාව, ඕස්ට්‍රෙලියාව සහ ජපානය එක්ව දියත් කෙරෙන එම මෙහෙයුමේ ශ්‍රී ලංකාවට අදාළ කොටස ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉන්දියාවට පැවරී ඇති බව දැන් ඉතා පැහැදිලිව දැක ගත හැක. හතරවන පෙරමුණ ජාත්‍යන්තර සහ දේශීය ඉස්ලාම් අන්තවාදීන්ගේ ඒකාබද්ධ ක්‍රියාන්විතයකි. ඛනිජ සම්පත් සහිත අරාබි රටවල් යොදා ගනිමින් සහ නාමිකව විපක්ෂයේ සිටින ඉස්ලාම් අන්තවාදයේ දේශපාලන පෙරමුණ නියෝජනය කරන පිරිස් හරහා ආණ්ඩුව සමඟ බරපතළ කේවල් කිරීමක් සිදුකරන බව රහසක් නොවේ. ඒ තුළ කතෝලික ප්‍රජාව අතර ද බරපතළ ආණ්ඩු විරෝධයක් නිර්මාණය කිරීමට අවස්ථාව උදා වී ඇත.

ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම සඳහා ඉතා ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක කළ හැකි යෝජනා 57ක් කුණු බාල්දියට වැටෙන්නේ එම තත්ත්වය තුළය. ජනාධිපතිවරයා විසින් 2021-02-18 වන දින අමාත්‍ය මණ්ඩල පත්‍රීකාවක් මගින් ඉදිරිපත් කළ එම යෝජනා කිසිවක් මේ වන තුරු ක්‍රියාත්මක වී නැත. එම ක්‍රියාවලිය තුළ කතෝලික ප්‍රජාව අතර පමණක් නොව බහුතර සිංහල බෞද්ධ ජනතාව අතර අනාරක්ෂිත මානුෂික තත්වයක් වර්ධනය වන අතර ආණ්ඩුව කෙරෙහි විශ්වාසය පළුදු වීමට එය ප්‍රබල හේතුවක් බවට පත්වේ. මෙම ඉස්ලාම් අන්තවාදයේ දේශපාලන පෙරමුණ ආරක්ෂා කරනු ලබන්නේ ඉන්දියානු යටත්විජිත ආණ්ඩුකාරයා වීමට සිහින දකින දේශපාලන නායකයින් විසින් බව මහා සමාජයට රහසක් නොවේ. මෙම වටලෑමේ පස්වන පෙරමුණ දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග බව පසුගිය දිනවල ඉතා හොඳින් ඔප්පු විය. දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සම්පූර්ණයෙන්ම බලාත්මක කර උතුරු පළාත් සභාව ස්ථාපිත කරන ලෙසට ඔවුහු කොන්දේසි පනවති. එසේ වුවත් වීදි බසින ජනතාවට මෙම පෙරමුණු හදුනා ගැනීමේ බුද්ධිමය සංවාදයට අවස්ථාව නිර්මාණය වන්නේ නැත. ඔවුන් විසින් ”ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය පමණක් ඉහළට එසවීම තුළ ගෝඨා ගෙදර යවා ඉටුකරගත යුතු අපේක්ෂාවලට අදාල සටන් පාඨ කරලියට පැමිණෙන්නේ නැත. විපක්ෂයේ දැනුම්වත් බලවේගද ගෝඨා ගෙදර යැවිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව සහ ඉන්පසු බලයට පත්වන බලවේගය විසින් අර්බුදය විසදන ආකාරය පිළිබඳව සඨන්පාඨ ඉදිරිපත් කරන්නේ නැත. ආණ්ඩුව පාර්ශවයෙන්ද තමන් විසින් අර්බුදය විස විසඳන්නේ මෙසේ යැයි කෙටිකාලීන සහ දිර්ඝකාලීන විසදුම් මාලාවක් නිශ්චිත ඉලක්ක සහිතව ඉදිරිපත් කරන්නේ නැත.

ඒ නිසා විපක්ෂයට, මෙන්ම උද්ඝෝෂකයින්ට ද කිසිදු අභියෝගයක් නොමැතිව ගෝඨා ගෝ හෝම් සටන් පාඨයේ පමණක් එල්ලී සිටීමට හැකිවී ඇත. ආණ්ඩුව පාර්ශවයෙන් නිශ්චිත යෝජනාවලියක් ඉදිරිපත් කළහොත් විපක්ෂයට ඊට එරෙහිව තර්ක ඉදිරිපත් කිරීමට හෝ ඊට විකල්ප යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලකෙරේ. ආණ්ඩුවේ එම දුර්වලතාවය විපක්ෂයට ආශිර්වාදයක් වී ඇති අතර උද්ඝෝෂකයින්ගේ කෝපය වර්ධනය කිරීමට සහ සාධාරණීකරණය කිරීමට ඒ මගින් ඉඩ ලැබී ඇත. මේ වන විට උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධවන බහුතර ය සිසුන් සහ උගත් මධ්‍යම පාන්තික රැකියා නියුක්තිකයන් බව පහැදිලිව දැකගත හැක. ඔවුන් කෙටිකාලීන අපහසුතා මෙන්ම දිර්ඝකාලීනව පවත්වාගෙන යනු ලබන සමස්ථ සමාජ ක්‍රමයට එරෙහිව හැගීම්බරව පාරට බසින පිරිසකි. නමුත් සැබෑ ලෙසම අර්බුදය නිසා ජීවිත කඩා වැටී ඇති දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් මෙම උද්ඝෝණවලට ප්‍රබලව දායක වී නැත. එසේ වුවත් ආණ්ඩුව ඉතාමත් පසුගාමී ලෙස අඳුරේ අතපත ගාමින් ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයේ ගොදුරක් බවට පත්වන තත්වයක් යටතේ සහ විසඳුම් පමා වන තත්වයක් යටතේ සමාජයේ පහළ ස්තර උද්ඝෝෂණ වලට බද්ධ වීමේ ඉඩකඩ වර්ධනය වේ.

ආණ්ඩුව එක් පැත්තකින්  බහුපාර්ශවීය එකඟතාවයක් ඇතිකර ගැනීම මගින් විසඳුම් ඉදිරිපත් කිරීමට අසමත් වී ඇත. අනිත් පැත්තෙන් මූල්‍ය අරමුදල වන්දනා කිරීම හැර වෙනත් විකල්ප විසඳුම් පිළිබඳ අබමල් රේණුවක සඳහන් කිරීමක් නොකරන දෙපළක් වගකිවයුතු ප්‍රධාන වගකීම් දෙකකට ආණ්ඩුව විසින් ඒකපාර්ශවීය පත් කර ඇත. ඔවුන් වසර ගණනාවක් වගකිවයුතු තනතුරු දරමින් මේ අර්බුදයට හේතු වූ ආර්ථික මොඩලය නඩත්තු කිරීමට දායක වූ අය බවට විවාදයක් නැත. ඔවුහු මීට පෙර 16 වතාවක් අයි.එම්.එෆ්. දේවාලය වන්දනා කරමින් දේවාශිර්වාදයෙන් ප්‍රශ්න විසඳීමට විද්වත් දායකත්වය සැපයූහ. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දු පැසිෆික් න්‍යය පත්‍රයට අනුව ශ්‍රී ලංකාව දණ ගැස්සවීමේ සහ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් වෙමින් ඇත. ඒ තුළ විසදුම් ලෙස ඉදිරිපත්වන පස් වැදැරූම් උපාය මාර්ගික ප්‍රවේශය හඳුනාගත හැක.

ඊනියා විසදුම් අතුරින් පළමුවැන්න වන්නේ අර්බුදය තවදුරටත් උත්සන්න කෙරෙන තත්ත්වය නිර්මාණය කරමින් ”ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය ජයග්‍රහණය කිරීමය. එහිදී ව්‍යවස්ථානුකූලව විකල්ප විසඳුම් දෙකක් ඉදිරිපත් වේ. ඒ අතරින් පළමු වැන්න මහින්ද රාජපක්ෂයන් ජනාධිපති බවට පත්වීම සහ බැසිල් රාජපක්ෂයන් අගමැති බවට පත්වීමය. එවැනි තත්ත්වයකදී බැසිල් රාජපක්ෂයන්ට තිරය පිටුපස සිට ජනපති භූමිකාව අතට ගැනීමට සහ ඉන්දියාවේ සහය ඇතිව යම් විජ්ජාවන් පෙන්වීමේ අවස්ථාව ද නිර්මාණය විය හැක. දෙවනුව ඉන්දියානු සහාය ඇතිව අර්බුදය යම් පමණකට සමනය කරන තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව මගින් බැසිල් රාජපක්ෂයන්ට ජනාධිපතිධූරය හෙවත් ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තයේ ආණ්ඩුකාර දූරය හෙබ වීමේ අවස්ථා නිර්මාණය විය හැක. යම් සහන ප්‍රමාණයක් ලබා දෙන අතර මර්ධනීය ක්‍රියාමාර්ග මගින් ඔහුට බලය තහවුරු කරගත් හැකි වුවහොත් ගෝඨා ගෝ හෝම් සටන් පාඨය යථාර්ථයක් බවට පත් වන්නේ ඒ ආකාරයටය.

එම පස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය අතරින් දෙවැන්න ආණ්ඩුවෙන් ස්වාධීන වන බලවේග සහ විපක්ෂයේ යම් බලවේගයන් සමග නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඔවුනට ලණුවක් ගිල්ල වීමය. එවිට එක් පැත්තකින් ආණ්ඩුව පෙරළා දැමූ බවට යම් සමාජ මනෝ භාවයකභාවයක් නිර්මාණය වන අතර අනෙක් පැත්තෙන් එම බලවේග අතර අගමැති පුටුව සඳහා අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීමේ අස්ථාව උදා වේ. එම ආණ්ඩුවේ මූලික විධායක බලය ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන අතර අභ්‍යන්තර සහ පිටුපස ක්‍රියාවලිය බැසිල් රාජපක්ෂයන් විසින් හසුරුවනු ඇත. ඒ අනුව එම ආණ්ඩුව අස්ථාවර ආණ්ඩුවක් බවට පත් වන බැවින් චීනයේ විශ්වාසය දිනා ගැනීම දුෂ්කර වන අතර ඉන්දියාවේ අනුකම්පාවට යටත් වීමට සිදු වනු ඇත. එවැනි තත්වයක් යටතේ මහජන උද්ඝෝෂණ වර්ධනය විය හැකි අතර ඉන්දියානු සහාය යටතේ බැසිල් රාජපක්ෂයන්ට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවක් සිදු කිරීමේ අවස්ථාව නිර්මාණය වේ. එවැනි තත්වයක් යටතේ කඩා වැටෙන හෙවත් අසාර්ථක වන ආණ්ඩුවේ පාර්ශවවලට බරපතළ මහජන විරෝධයක් එල්ල වන අතර ඔවුන්ට අනාගතයේ දී මැතිවරණයකින් පසුව නව ආණ්ඩුවක් පිහිටු වීමේ අවස්ථාව සහ විශේෂයෙන්ම මහජන විශ්වාසය අහිමි වනු ඇත. එය බැසිල් පාර්ශවයේ ප්‍රබල ජයග්‍රහණයකි. එසේම එම ජයග්‍රහණය ට එරෙහිව පෙළ ගැසීම සඳහා විපක්ෂයට ද නව වටයකින් අවස්ථාවක් නිර්මාණය වේ. දෙවැනි උපාය මාර්ගික ප්‍රවේශයම දිගුවක් වන එය රටට හතුර බලවේග වල තුන්වන උපාය මාර්ගික ප්‍රවේශය ලෙස හඳුනා ගත හැක.

එම සතුරු උපායමාර්ග වලට ප්‍රති උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පිරිස් විසින් අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා පවතින ආණ්ඩුව යටත් කිරීමය. එම ක්‍රියාවලිය සාර්ථක වීම සඳහා කොන්දේසි දෙකක් සැපිරිය යුතු වේ. පළමුවැන්න අන්තර්කාලීන පාලන ව්‍යුහය ආණ්ඩුවට භාර ගත හැකි ආකාරයට තුලනය කිරීම ය. දෙවැන්න පාලනය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා අර්බුදය විසදෙන අකාරය පිළිබඳව නිශ්චිත ඉලක්ක සහගත වැඩසටහනක් රටට ඉදිරිපත් කිරීමය. ඒ මගින් විපක්ෂයට ද ප්‍රබල බලපෑමක් එල්ල කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව එම විසඳුම් යථාර්ථයක් බවට පත් කිරීම වැළැක්වීම සඳහා එම ක්‍රියාවලිය අවුල් කිරීම සඳහා සාධක දෙකක් යොදා ගත හැක. පළමු සාධකය මහින්ද රාජපක්ෂයන්ට අගමැති ධුරය අහිමි කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමය. එවිට ආණ්ඩුවේ රාජපක්ෂ පාර්ශවයන්ට සහ පොදුජන පෙරමුණට එම යෝජනාව භාර ගැනීමට විශාල මානුෂික සහ දේශපාලන බාධකයක් පැනවේ. දෙවැන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර විද්වත් මණ්ඩලය මගින් විසඳුම් සොයන බවට දියාරු ප්‍රවේශයක් මහජනයාට පෙන්වීමය. එම සාධක දෙකටම ගොදුරු නොවී ශක්තිමත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාල පාර්ශව සමත් වුවහොත් චීනයේ ආශිර්වාදය සහිතව ඉන්දු පැසිෆික් න්‍යයය පත්‍රය හෙවත් බැසිල් රාජපක්ෂයන් ආණ්ඩුකාරවරයා කිරීමේ සැලසුම් පරාජය කර මහජන විශ්වාසය දිනා ගැනීමට ඉඩ සැලසෙනු ඇත.

රට පැත්තෙන් ගත්විට ජයග්‍රාහී විකල්පය වන ඉන්දු පැසිෆික් උපාය මාර්ගයට එරෙහිව තෝරනු ලබන ප්‍රති උපාය මාර්ගය වරදවා ගතහොත් ඒ තුළින් රටට හතුරු බලවේග විසින් හතරවන ප්‍රවේශයක් මතු කරගනු ඇත. එහිදී ආන්ඩුවේ ස්වාධීන පාර්ශ්වවලට තම යෝජනා ආපසු හැරවීම හෙවත් ආණ්ඩුව යටත් කිරීම වෙනුවට ඔවුන් යටත් වී යෝජනාව වෙනස් කිරීම මගින් ඇති වන්නේ ගටුම් සහිත දුර්වල අන්තර්කාලීන ආණ්ඩුවකි. ආණ්ඩුවේ බැසිල් පාර්ශව වලට එම තත්ත්වය වාසිදායක වන අතර නිසි සහ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බාධා එල්ලවීම නිසා මහජන විශ්වාසය දිනා ගැනීම අසීරු වනු ඇත. විශේෂයෙන්ම වැඩපිළිවෙළක් සඳහා එකඟතාවය ලබා ගැනීම සහ එය මහජනයාට ඉදිරිපත් කිරීම පමා වන තත්වයක් යටතේ මහජන විරෝධය තවදුරටත් උත්සන්න විය හැක. ඊට අමතරව එම ක්‍රියාවලිය තුළ දැන හෝ නොදැන විසිවෙනි සංශෝධනය අහෝසි කිරීමේ නාමයෙන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියකට මුලපිරීම මගින් බෙදුම්වාදි න්‍යාය පත්‍රයේ ගොදුරක් බවට පත් වුවහොත් එම ආණ්ඩුව ජාතික බලවේගවල ද විරෝධයට ගොදුරු වනු ඇත.

පස්වන උපාය උපාය මාර්ගික ප්‍රවේශය වන්නේ බලවත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලිය බිඳ වැට්ටවීම හෝ දුර්වල ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කිරීම මගින් එය අසාර්ථක වීම තුළ ආණ්ඩුවේ ස්වාධීන පාර්ශව විපක්ෂයේ ගොදුරක් බවට පත් කිරීමය. එනම් විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට එකඟතාවය පළ කිරීම මගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට පාර කැපීමය. ජාතික ආණ්ඩුව තුළ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේගවලට කේවල් කිරීමේ බලයක් ලැබෙන අතර විධායක ජනපති බලය බිඳීමේ නාමයෙන් බෙදුම්වාදය ශක්තිමත් කරන ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව තල්ලූ කිරීමේ හැකියාවද ලැබේ. ඒ අනුව විකල්ප උපාය මාර්ගික ප්‍රවේශය හෙවත් ප්‍රති උපාය මාර්ගික එනම් ශක්තිමත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම මගින් අර්බුදය ජය ගැනීමට පාර කැපීම සහ මැතිවරණයකින් පසුව පිහිටුවන රජය එම පාර ඔස්සේ රැගෙන යාම හැර සෙසු ප්‍රවේශයන් සියල්ල රටට හතුරු වන බව මේ මොහොතේ ලියා තැබිය හැක.

වෛද්‍ය වසන්ත බණ්ඩාර
මාධ්‍ය ප්‍රකාශක
ජාතික සංවිධාන එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More