දේශීය පුවත්

ඊයේ(08) යුක්‍රේන සිවිල් වැසියන් 50කට පමණ මරු කැඳවමින් ක්‍රමටෝර්ස්ක් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ට ආයුධ සැපයීම නතර කරන ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය බටහිර ජාතීන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.

විදෙස් මාධ්‍යය වලට අනුව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්, යුක්රේන හමුදාවන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව “අපක්ෂපාතී තක්සේරුවක්” කර “ඔවුන්ට ආයුධ සැපයීම නවත්වන ලෙසත්, ම්ලේච්ඡ සටන් ක්‍රම අත්හැර දමන ලෙස කියෙව් පාලනයෙන් ඉල්ලා සිටින”බවත් පැවසේ.

රුසියානු සහ යුක්‍රේන පාර්ශව දෙක විසින්ම සපයන ලද නවතම තක්සේරුවලට අනුව ළමුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකුගේ ජීවිත මිසයිල් ප්‍රහාරය මගින් බිලිගෙන ඇති අතර ප්‍රහාරය පිටුපස කියෙව් පාලනය සිටින බවට මොස්කව් පාලනය මීට පෙර චෝදනා කර ඇති බවද විදෙස් මාධ්‍යය පවසයි.

ක්‍රමටෝර්ස්ක් යනු ඩොනෙට්ස්ක් කලාපයේ උතුරු කොටසේ නගරයක් වන අතර ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව විසින් එහි භූමියේ කොටසක් ලෙස හිමිකම් කියයි. 2014 මයිඩාන් කුමන්ත්‍රණයෙන් පසු නැගෙනහිර යුක්රේනයේ සතුරුකම් ඇති වූ විට, ක්‍රමටෝර්ස්ක් නගරය කියෙව්ගේ පාලනය යටතේ පැවතුණි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් කලින් කළ ප්‍රකාශයන් පුනරුච්චාරණය කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය ක්‍රමටෝර්ස්ක් හි මධ්‍යම දුම්රිය ස්ථානයට පහර දුන් ටොච්කා-යූ බැලස්ටික් මිසයිල භාවිතා කරන්නේ යුක්‍රේන හමුදාව බව නැවත නැවතත් තහවුරු වන බව පෙන්වා දුන්නේ යැයි විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.

මිසයිලය දියත් කළ බව සැකකෙරෙන ස්ථානය නිශ්චිතව හඳුනාගත් බව රුසියානු හමුදාව ද මීට පෙර ප්‍රකාශ කළේය. රුසියානු ආරක්ෂක නිලධාරීන්ට අනුව, එම මිසයිලය ක්‍රමටෝර්ස්ක් හි නිරිත දෙසින් පිහිටි ඩොබ්‍රොපෝල් නගරයෙන් දියත්වී ඇති අතර එම ප්‍රදේශය යුක්‍රේන හමුදාවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයකි.

රුසියානු විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රහාරය “ම්ලේච්ඡ ආක්‍රමණශීලී ක්‍රියාවක්” ලෙස හෙලා දැක ඇති අතර රුසියානු රාජ්‍යය කලින් පිළිගත් ඩොන්බාස් ජනරජ ද්විත්වය ආරක්ෂා කිරීම සඳහා තම හමුදා මෙහෙයුම දියත් කිරීම නිවැරදි බව ඔප්පු කිරීමට මෙම ප්‍රහාරය පමණක් සැලකිල්ලට ගැනීම වුවද ප්‍රමානවත් බව රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළ බවද විදෙස් මාධ්‍යය පවසයි.

ක්‍රමටෝර්ස්ක් වෙත එල්ල වූ ප්‍රහාරය මාර්තු මැද භාගයේදී ඩොනෙට්ස්ක් නගරයේ පුද්ගලයන් 17 දෙනෙකුට මරු කැඳවූ මිසයිල ප්‍රහාරයට හරියටම සමාන වන බව රුසියානු විදෙස් අමාත්‍යාංශය නිකුත් කල නිවේදනය මගින් අවධාරණය කරයි.

“කියෙව් බලධාරීන් යුක්තියෙන් ගැලවී නොයන බව අපට විශ්වාසයි” යනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය තවදුරටත් අවධාරණය කරයි.

ක්‍රමටෝර්ස්ක් වෙත එල්ල වූ මිසයිල් ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බවට කියෙව් පාලනය චෝදනා කර ඇති අතර, එය ගැටුමෙන් පලා යන සිවිල් වැසියන්ට හිතාමතා කළ ප්‍රහාරයක් බව පවසමින් ජනාධිපති වොල්දිමිර් සෙලෙන්ස්කි, එය රුසියාවේ “නපුරු” “සීමාවන් නොදන්නා” තවත් උදාහරණයක් ලෙස හඳුන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහෙත් සමහර යුක්රේන හමුදා නිලධාරීන් මුලින් කියා සිටියේ ක්‍රමටෝර්ස්ක් වෙත රුසියානු ඉස්කැන්ඩර් මිසයිලයකින් පහර දුන් බවයි. කෙසේ වෙතත්, ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ තිබූ ටොච්කා-යූ බැලස්ටික්  මිසයිල කොටසක ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන්නට විය.

ක්‍රමටෝර්ස්ක් ප්‍රහාරයෙන් පසු ඇතැම් බටහිර ජාතීන් දැනටමත් යුක්රේනයට තවත් මිලිටරි සහය ලබා දීමට ප්‍රතිඥා දී තිබෙන බවද විදෙස් මාධ්‍යය පවසයි. එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සිකුරාදා නිවේදනය කළේ තවත් ස්ටාර්ස්ට්‍රීක් ගුවන් යානා නාශක මිසයිල සහ ටැංකි නාශක මිසයිල 800 ඇතුළුව ඩොලර් මිලියන 130 ක් වටිනා අතිරේක හමුදා ආධාර ලන්ඩන් පාලනය යුක්රේනයට යැවීමට කටයුතු කරන බවයි.

ලන්ඩනයේ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් හමුවීමෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බ්‍රිතාන්‍යය අගමැති ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ “ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ පුටින්ගේ ආඩම්බර හමුදාව ගිලී ඇති ගැඹුරයි. “සිවිල් වැසියන්ට අසීමිත ලෙස පහර දීම යුද අපරාධයක් වන අතර, යුක්රේනයේදී රුසියාව කරන අපරාධ අවධානයට ලක් නොවී තිබෙන්නේ හෝ දඬුවම් නොලබන්නේ නැත,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ කිසිදු සාක්ෂියක් ලබා දීමෙන් හෝ උපුටා දැක්වීමකින් තොරව බවද විදෙස් මාධ්‍යය පවසා සිටී.

2014 වර්ෂයේදී දී අත්සන් කරන ලද මින්ස්ක් ගිවිසුමේ ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට යුක්රේනය දිගින් දිගටම අසමත් විය. එනිසා අවසානයේදී රුසියාව ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක්හි ඩොන්බාස් සමූහාණ්ඩුව පිළිගන්නා ලදී. අනතුරුව, මොස්කව් පාලනය පසුගිය පෙබරවාරි මස අග දී යුක්රේනයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කළේය. කෙසේ වුවද ජර්මානු සහ ප්‍රංශ තැරැව්කාර “රාජ්‍යයතන්ත්‍රික සේවාවන්” යුක්‍රේන රාජ්‍යය තුළ ගැටුම් පවතින කලාප තුළ තත්ත්වය විධිමත් කිරීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍යය පවසා සිටී.

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා සන්ධානයට කිසිදා එක් නොවන මධ්‍යස්ථ රටක් ලෙස යුක්රේනය නිල වශයෙන් ප්‍රකාශ කරන ලෙස රුසියාව මේ වන විට ඉල්ලා ඇත. කියෙව් පාලනය අවධාරණය කරන්නේ රුසියානු ප්‍රහාරය මුලුමනින්ම ප්‍රකෝප නොකළ එකක් බවත් තමන් කැරලිකාර කලාප දෙක බලහත්කාරයෙන් යළි අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More