පුරවැසි කොලම

පසුගිය මාර්තු මස 29 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නෙස්බි සාමිවරයා විසින් රචිත ‘පැරඩයිස් ලොස්ට්, පැරඩයිස් රීගේන්ඩ්’ ග්‍රන්ථය එළි දැක්වුණි. එම අවස්ථාවට එක්වුනු , නෙස්බි සාමිවරයා කළ දේශනයේදී , යහපාලන රජය තර්කයකින් තොරව 2015 වසරේදී සාදරයෙන් පිළිගත් යුද අපරාධ චෝදනා එකොලහෙන්, පහක් සිදු නොවුන බවට ප්‍රභල සාක්ෂි ඇති බව ප්‍රකාශ කළේය. චෝදනා එකොලහෙන් චෝදනා අටක් ශ්‍රී ලංකාව හා එහි හමුදාව වෙතද ඉතිරි චෝදනා තුන එල්ටීටීඊ සංවිධානය වෙතද කුප්‍රකට 30/1 OISL වාර්තාවෙන් නගා තිබුනි. වත්මන් පාළලකයින් එදා අන්දමන්දව පසුවූ යුගයේ දේශප්‍රේමී විද්වත් මංඩලයක් මගින් කුප්‍රකට 30/1 චෝදනා වලට ප්‍රථමයෙන්ම පිළිතුරු සපයන ලදී. මෙම පිළිතුරු වාර්තාව එදා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට රැගෙන ගොස් එතෙක් කල් එල්ටීටීඊ ලැදි බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව ගෙනගිය පාලුගෙයි වලං බිඳින ජවනිකාව අවසන් කරන්නට කටයුතු කළේය. මෙම වාර්තාව හෙවත් ‘විරුවන්ගේ විත්ති වාචිකය’ කුප්‍රකට 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාවට විරුද්ධව නගා තිබූ චෝදනා අටෙන්, චෝදනා

හතකට පිළිතුරු ලබාදී තිබුනි. එම චෝදනා වන්නේ; ඉවක් බවක් නොමැතිව බෝම්බ දැමීම හා ආරෝග්‍ය ශාලා මත බෝම්බ දැමීම, සිවිල් වැසියන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම නොසළකා හැරීම, නීත්‍යානුකුල නොවන මිනී මැරුම්, ගමනාගමනය සඳහා බාදා පැමිණවීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, වද හිංසා පැමිණවීම, සහ ලිංගික හා ලිංගික වර්ගීකරණ ප්‍රචණ්ඩත්වය පැවැත්වීම ආදියයි. මෙම චෝදනා හතම සාක්ෂි සහිතව අපේ විද්වත් මඩුල්ල විසින් සම්පාදනය කරන ලද විරුවන්ගේ විත්ති වාචකයෙන් සාර්ථක ලෙස නිෂ්ප්‍රභා කර තිබුනි. අටවන චෝදනාව ලෙස සඳහන්ව තිබුනේ නීතිවිරෝධි ලෙස රැඳවීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම පිළිබඳවයි. මෙම සියළු චෝදනා නිශ්ප්‍රභා කිරීම සඳහා අප විද්වත් මංඩලය යුද විශේෂඥ වාර්තා හතක් සහ එක යුද විශ්ලේෂක වාර්තාවක් උපයෝගී කරගන්නා ලදී. විද්වත් මඩුල්ලට ලැබී තිබුන කාලය හා 2017 වනවිට රැඳවිමේ මධ්‍යස්ථාන නොතිබූ බැවින්, එම චෝදනාවට පිළිතුරු සෙවීම විද්වත් මංඩලය විසින් සිදුනොකරන ලදී.

පසුගිය 29 වන දින ශ්‍රීමත් නෙස්බි සාමිවරයා විසින් ශ්‍රී ලංකාව විසින් සිදු කළේ නැහැ කියා බැහැර කළ චෝදනා පහෙන් එක චෝදනාවක් වන්නේ මෙම නීතිවිරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිළිබඳව චෝදනාවයි. ඒ අනුව, යහපාලන රජය දෝතින් පිළිගත් ශ්‍රී ලංකාවේ හමුදා යුද ආරාධ කරා යන චෝදනා සියල්ලම මේ වනවිට සාර්ථකව නිෂ්ප්‍රභා කර ඇත. නෙස්බි සාමිවරයා ඔහුගේ මෙම ප්‍රකාශ සඳහා පාදක කරගනු ලැබුවේ 2017 වසරේ ඔක්තෝබර් මස පමණ, එනම් අපගේ විද්වත් මංඩලය විසින් සම්පාදිත විත්ති වාචකය මානව හිමිකම් කොමිසමටත් බාරදී මාස හතක කාලයකට පසු, එතුමාට එරට අදාල බලධාරී ආයතන මගින් ලබා ගැනීමට හැකිවූ 2009 ජනවාරි සහ මැයි මාස අතරතුර එවක ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලයේ ආරක්ෂ උපදේශකව සිටි ලුතිනන් කර්නල් ඇන්ටනි ගෑෂ් විසින් යවන ලද වාර්තා පාදක කරගෙනය. එබැවින්, එවන් තත්කාලීන පෙර හෙලි නොවූ නමුත් අදාල බලධාරීන් දන්නා තවත් වාර්තාවක් ඔවුන් අත පැවතිය බව 2015 වසරේදී අභූත යුද අපරාධ චෝදනා ගෙන එනවිට පැවති බව පැහැදිලි වේ. ශ්‍රීමත් නෙස්බි සාමිවරයා අපරටේ අදාල දේශපාලකයින්ටත් වැඩිය අප රටට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා වලින් අප රට නිදහස් කරගැනීම සඳහා අභීතව කටයුතු කරන බව සක්සුදක්සේ පැහැදිලිවේ. ඒ පිළිබඳව අපි ජාතියක් ලෙස එතුමාට ලක්ෂවාරයක් ස්තුති වන්ත වියයුතු වෙමු.

මෙහි බරපතල අභාග්‍යසම්පන්න කාරණය වන්නේ ඉහත සඳහන් කළ යුද විශේෂඥ වාර්තා හතද, යුද වාර්තා විශ්ලේෂණ වාර්තාවද, රණවිරුවන්ගේ විත්තිවාචකයද, නෙස්බි සාමිවරයා විසින් හෙළිකරන ලද ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් මහතාගේ වාර්තාද යුද අපරාධ චෝදනා වලින් ගැලවීම සඳහා අපේ රජයන් විසින් නිසියාකාරව භාවිතා කරනු ලබන්නේ ද යන්නයි. විරුවන්ගේ විත්තිවාචකය සැකැසූ 2017 වසරේ හෝ ඇන්ටන් ගෑෂ් වාර්තා එළි වුන කාලයේදී යහපාලන රජය පැවතිය බැවින් එම වාර්තා පාදක කරගෙන යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමක් අපේක්ෂා නොකලෙමු. එහෙත් වත්මන් රජය පත්කර ගැනීමේදී මූලික බලාපොරොත්තුවක් වූයේ රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදොස්කර මුදවා ගැනීමට කටයුතු කිරීමයි. 2019 වසරේ වත්මන් ජනාධිපති පත්වීමෙන් පසුව මේ සඳහා අනගි අවස්ථාවක් පැවතිය නමුදු එම අවස්ථාව සාහසික ලෙස මග හරින ලදී. ඒ හේතුවෙන් 2021 වසරේදී 46/1 නිර්දේශ වලට අපගේ කැමැත්ත රහිතවම යටත් වන්නට සිදුවුණි.

ඒ මගින් ක්‍රියාත්මක කරන අද බාහිර යාන්ත්‍රණය හරහා මේ වනවිට චෝදනා රැස්කිරීම සාර්ථකව සිදුවෙන අතර ඒ පිළිබඳව සාධනීය යමක් රජය පාර්ශව්යෙන් සිදුවෙන බවක් දකින්නට නොමැත. අප 2017 වසරේ සිට පුන පුනා සඳහන් කරන ඒකායන මාර්ගය වන්නේ රණවිරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා නිෂ්ප්‍රභා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම තුළම අවස්ථාවක් ලබා ගන්නා ලෙසයි. එනම් යුද අපරාධ චෝදනාලාභීන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉටුකිරීමට අවස්ථාව ලබාගන්නා ලෙසයි.

යසස් ධර්මදාස,

ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානයේ විධායක කමිටු ලේකම්



One thought on “නෙස්බි සාමිවරයා අප රටට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා වලින් අප රට නිදහස් කරගැනීම සඳහා අභීතව කටයුතු කරනවා- ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස”

  1. යුද අපරාධ චෝදනාවලින් රණවිරුවන් නිදොස් කරගන්න වත්මන් රජය අවශ්‍ය කටයුතු කරේ නැත්ද? එතකොට විදුලි පුටු විකුණුවේ බලයට එන්න විතරද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More