දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව අද කන් නොඇසෙන, ඇස් නොපෙනෙන, ගඳ සුවඳ නොදැනෙන අඳුරු ඉරණමකට ඇද වැටී ඇති බව පවසන ජානිපෙ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, එනිසා තම පක්ෂ 11ක එකමුතුව කන් ඇසෙන, ඇස් පෙනෙන, ගඳසුවඳ දැනෙන සියලුදෙනාට පාර්ලිමේන්තුව තුළ මේ ආණ්ඩුව පරාජයට පත් කර නව ගමනකට මුල පිරීමට එක්වන ලෙස ඇරයුම් කර ඇතැයි පවසයි.
අද(30) පන්නිපිටිය ධර්මවිජයාලෝක විහාරස්ථානයේදී ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“පවතින අර්බුදයෙන් මේ රට ගොඩගැනීම සඳහා අප පක්ෂ 11 විසින් සකසන ලද ‘මුළු රටම හරිමගට’ ජාතික ප්‍රකාශනය පසුගිය මාර්තු දෙවැනි දා එළිදක්වනු ලැබීමෙන් අනතුරුව අප තීරණය කළා එය ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමට. ඒ අනුව මේ වන විට මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ට, අමරපුර මහා නිකායේ මහනාහිමිට හා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමිට මෙම ජාතික ප්‍රකාශනය පිළිගන්වා අවසන්. අද (30) දින සිදු වූයේ ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා ධර්ම සංඝ සභාවේ මහා නායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමිපාණන්ට ජාතික ප්‍රකාශනය පිළිගැන්වීමයි.
මෙම අර්බුදය පියමං කිරිම සඳහා වන පොදු එකඟතාවක් ඇති කර ගැනීම සඳහා මහා සංඝරත්නයේ මගපෙන්වීම ලබා ගැනීම මෙම ගමනේ අරමුණ”
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් ජානිපෙ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා,
“ඔබතුමන්ලා හෝ ජනතාව එල්ල කරන චෝදනාවලට ආණ්ඩුව නිසි ප්‍රතිචාර දක්වන්නේ නැහැ නේද?
පිළිතුර:- මේ දවස්වල ආණ්ඩුව කන් ඇහෙන්නේ නැති, ඇස් පෙනෙන්නේ නැති, ගඳසුවඳ දැනෙන්නේ නැති අඳුරු ඉරණමකට ඇද වැටිලා කියලයි අපට නම් පෙනෙන්නේ. එක්කෙනෙක් කිව්වා, මාර්තු 05 වැනිදායින් පස්සේ ලයිට් කපන්නේ නැහැ, කියලා. එයාට අනුව තවම පස්වැනිදා උදා වෙලා නැහැ. බලශක්ති ඇමති කිව්වා, ‘බයවෙන්න එපා! ඕනෑතරම් තෙල් තියෙනවා’ කියලා. නමුත් අද කියනවා, ‘ඩීසල් නැහැ ඒ නිසා පෝලිමේ ඉන්න එපා!’ කියලා. මේ වගේ ආණ්ඩුවකට බැහැ මෙවැනි තත්ත්වයකින් රට බේරා ගන්න. ඒ නිසා තමයි ගඳසුවඳ දැනෙන, ඇස් පෙනෙන, කන් ඇහෙන හැමෝටම අපි ආරාධනා කරලා තියෙන්නෙ, ‘පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත් කරලා නව ගමනකට මුල පුරමු!’ කියා.
පැය 10ක විදුලිය කැපීම ලංකාවට මොන ආකාරයට බලපායි ද?
පිළිතුර:- විදුලිය කැපීම විතරක් නොවෙයි, දැන් බලන්න ඉන්දියාවෙන් ලැබුණු තෙල්. රියදුරන් කියනවා, ඒවා බාල තෙල්, කියලා. මිත්‍රයෙක් නම්, උදව් කරනවා නම් බාල දෙයක් එවලාද උදව් කරන්නේ. ඒ තෙල් ටික දෙන්නේ ණයට. ණයට දෙන්නෙත් බාල තෙල්. මේ රටේ වාහනවල එන්ජින් විනාශ වෙනවා. ජනතාව ඉතා අසරණයි. පාලකයන්ට අයිතියක් නැහැ තමන් භාරගත්තු රටක් මේ විදිහට අසරණ කරන්න. පාලකයන් කියන්නේ භාරකරුවන්. භාරකරුවන් තමන් භාර ගත්තාට වඩා හොඳ තත්ත්වයකින් තමයි ඒ රට යළි භාරදිය යුතුව ඇත්තේ. ‘මේක මම ඇති කරපු අර්බුදයක් නොවෙයි’ කියා ඇඟ බේරාගන්න කාටවත් බැහැ. එහෙම හිතන එක තමයි නරකම දේ.
ඒ නිසා තමයි අපි කියන්නේ, මේ රටේ මිනිස්සු මේ තත්ත්වය තවදුරටත් ඉවසා දරාගත යුතු නැහැ’ කියා. මේ ආණ්ඩුවේ ඉන්න හැම මැතිඇමතිවරයාටම ජනතාව කියන්න ඕනේ,’බැහැපල්ලා මෝඩයෝ එළියට. නුඹලා, අපි හැමෝම එකතු වෙලා හදපු ආණ්ඩුව තමයි අද මේ විනාශය කරන්නේ. මේ තත්වය වෙනස් කරන්නත් නුඹලා පුරෝගාමී වෙයල්ලා. නැත්නම් ඡන්ද බල ප්‍රදේශය පැත්ත පළාතකවත් එන්න දෙන්නේ නැහැ’ කියා. එයයි කළ යුත්තේ.
ඔබතුමන්ලා මේ කරන්නේ ‘උඩුගම් බලා යෑමක්’ නේද?
පිළිතුර:- අපි ‘උඩුගම් බලා යෑම’ හැමදාම කැමැත්තෙන් බාර ගන්න මිනිස්සුනේ. අපි අවදානම දරාගෙන අදාළ තත්ත්වයට අනුව ගතයුතු පියවර ගන්නා මිනිස්සු. ඒක අපට ප්‍රශ්නයක් නොවෙයි.”
මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද විජය ධරණී ජාතික සභාව නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2022/03/30



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More