දේශීය පුවත්

ආණ්ඩුව, ජනාධිපතිවරණය තෙක් පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීමේ සුදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

හැමදාමත් ජනතාවට සිහින විකුණන මේ ආණ්ඩුව විකුණන අළුත්ම සිහිනය තමයි පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේ පවත්වනවා කියන එක. මේක තවත් එක් බොරු පොරොන්දුවක් ප්‍රෝඩාවක් පමනමයි. එජාපය සහ ජවිපෙ එකතුව 2017 සැප්තැම්බර් මාසයේ දී පළාත් සභා මැතිවරණ පනතට කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දීලා සීමා නිර්ණයට මුවා වෙලා පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතුව කල් දැම්මා. අපේ බල කිරීමට අගමැතිතුමා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් 2018 මාර්තු අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පොරොන්දු වුණා. දැන් මාර්තු විතරක් නොවේ, ජූනිත් ඉවර වෙන්න ළඟයි. පළාත් සභා මැතිවරණයත් නෑ. එජාපයයි ජවිපෙයි ඒ ගැන කතා කරන්නෙත් නෑ. අඩුම ගානේ සීමා නිර්ණය ගැනවත් මේ අය අද කතා කරන්නේ නෑ.

ඡන්ද කල් දැමීමට එරෙහිව ජනතා විරෝධය මතු වීම වළක්වන්න දෙසැම්බරයේ ඡන්දය එනවා කියා පොඩි බලාපොරොත්තුවක් දෙනවා. දෙසැම්බර් කිට්ටු වන විට ඕක ලබන අවුරුද්දේ මැයි දක්වා කල් දානවා. මැයි මාසයේ දී නැවත ඔක්තෝම්බර් දක්වා කල් දානවා. පුංචි ඡන්දය අවුරුදු තුනක් කල් දැම්මේත් ඔය ක්‍රමයටමයි. ඒ නිසා ආණ්ඩුවේ පරණ පුරුදු ලණු කන්න ජනතාව සූදානම් නෑ.

මැතිවරණය අළුත් ක්‍රමයට පවත්වනවා නම් මේ වන විට සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ.වාර්තාව හදලා මාස 04ක් වෙනවා. අද වන තුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නෑ. ඒ වගේම පරණ ක්‍රමයට පවත්වනවා නම් දෙසැම්බර් වන තුරු කල් මරන්න දෙයක් නෑ. වගන්ති තුනේ පනතකින් පරණ ක්‍රමයට යළි යන්න පුළුවන්. සීමා නිර්ණ වාර්තාව වත් පැරණි ක්‍රමයට යන පනත වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමෙන් පේන්නේ දෙසැම්බරයේ මැතිවරණය නොපවත්වන බවයි.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව තමයි පුංචි ඡන්දය පවත්වා ආණ්ඩුවට මුහුණ පෑමට සිදුවෙච්ච බරපතල ඛේදවාචකය යළි සිදුවීම වලක්වා ගැනීම. අවුරුදු තුනක් තිස්සේ කල් දාලා බැරිම තැන පුංචි ඡන්දය පැවැත්තුවා. මොකද වුණේ? ජනපතියි අගමැතියි නැතිනම් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් දෙක වන එජාපයයි ශ්‍රිලනිපයි මැතිවරණ වේදිකාවේ බැන ගෙන ජාතික ආණ්ඩුව ප්‍රධාන පාර්ශවයන් දෙක අතර බරපතල විරසකයක් ඇතිවුනා. අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ආවා. එජාප නායකත්වයට එරෙහිව කැරැල්ලක් ආවා. ඇමතිවරු 16ක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයේ වාඩි වුණා.

නැවත පළාත් සභා මැතිවරණයක් පවත්වනවා කියන්නේ අගමැති රනිල්ට මේ දුෂ්ඨ චක්‍රයට නැවත වතාවක් මුහුණ දෙන්න වෙනවා කියන එකයි. ගිය පාරට වඩා අනාගත පරාජය බිහිසුණු නිසා කැරැල්ලත් අනිවාරයෙන් ම තීවුර වෙනවා. ඒ නිසා ජනපතිටත් අගමැතිටත් අද උවමනාව තිබෙන්නේ ජනපතිවරණය දක්වා තිබෙන මේ මාස 16 කිසි හැල හැප්පීමකින් තොරව චූන් එකේ යන්නයි.

පළාත් සභා මැතිවරණය කල් දැමීමට දෙවන හේතුව තමයි පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල හරහා පොහොට්ටුව සවිමත් වීම. ජනපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය පැවැත් වුවහොත් පළාත් සභා හතකම බලය ලැබෙන්නේ පොහොට්ටුවට. ඒ බලය ජනපතිවරණයේ දී පොහොට්ටු අපේක්ෂකයාට ලොකු ශක්තියක්. පළාත් සභා විසුරුවා ඇති අවස්ථාවක ජනපතිවරණය පැවැත්වුවහොත් දැවැන්ත පළාත් සභා ජාලයක ශක්තිය ජනපතිවරණයේ දී භාවිතා කරන්න පොහොට්ටුවට බැරි වෙනවා. මෙන්න මේ හේතු දෙකම නිසා ජනපතිවරණය තෙක් මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත් වන්නේ නෑ කියන එකයි ආණ්ඩුවේ ස්ථාවරය. ආණ්ඩුව රටට කියන්නේ බොරුයි කියන එක අපි වගකීමෙන් රටට ප්‍රකාශ කරනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ සාධාරණව පැවැත්වීම ඔබතුමාගේ වගකීමක්. නිසි කලට මැතිවරණ පැවැත්වීම සාධාරණ මැතිවරණයක අත්‍යාවශ්‍ය කොන්දේසියක්. ඒ නිසා පළාත් සභා මැතිවරණය ජනතා දිනා දීමේ සටනේ නායකත්වය භාර ගන්න කියා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ගෙන් අපි ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More