පුරවැසි කොලම

උතුර නැගෙනහිර යළි එකතු කිරීමට සහ මේ රට අනාගමික රාජ්‍යයක්‌ බවට පත්කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාත්, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පත් කර ඇති ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය ප්‍රකාශයට පත් කළ අතුරු වාර්තාවේ සඳහන් යෝජනාත් මේ දිනවල නොයෙක්‌ දෙනාගේ කතාබහට ලක්‌ව ඇති මාතෘකා කිහිපයකි. එම යෝජනා පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්‌ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අවසරයි අපේ හාමුදුරුවනේ, පසුගිය දිනවල අපේ රටේ භික්‌ෂූන් වහන්සේට නොයෙක්‌ ආකාරයෙන් නින්දා අපහාස කිරීම් සුලභව දකින්ට ලැබුණා. භික්‌ෂු සමාජය පරිහානියට පත්කිරීමේ කිසියම් වැඩපිළිවෙළක්‌ වර්තමාන සමාජය තුළ ක්‍රියාත්මක වනවාද?

භික්‌ෂූන් වහන්සේට නින්දා අපහාස කිරීම් අද පමණක්‌ නොවෙයි, බුද්ධ කාලයේත් තිබුණා. එක්‌තරා බමුණෙක්‌ බුදුරජාණන් වහන්සේටත් “මුඩ මහණා” යෑයි කියමින් අපහාස කළා. භික්‌ෂූන් වහන්සේලා කියන්නෙ සමාජයේ විශේෂ කොටසක්‌. බුද්ධාගම හැඳින්වෙන්නේත් පටිසෝතගාමී මාර්ගයක්‌ විදිහටයි. ලෞකික ආසාවන්හි ගැලිලා එයින් තෘප්තියක්‌ හොයන සමාජයට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එලෙස තෘප්තිය සෙවීමෙන් සසර දීර්ඝ වන නිසා සසර කෙටි කර ගැනීම් මාර්ගයක්‌. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ මාර්ගයට අකැමැති පිරිසක්‌ එදත් හිටියා. අදත් ඉන්නවා.

භික්‌ෂූන් වහන්සේ අපේ රටේ දේශපාලන ප්‍රවාහයට සෘජුව සම්බන්ධ වීම ඇතැමුන් අනුමත කරන්නේ නෑ. උන්වහන්සේලාට ඇතැමුන් නිග්‍රහ කරන්නට එයත් හේතුවක්‌ ද?

පක්‌ෂ දේශපාලනයට භික්‌ෂූන් වහන්සේලා සම්බන්ධ වීම කිසිසේත්ම ගැලපෙන දෙයක්‌ නෙමෙයි. එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන්වලදී විද්‍යාලංකාර පිරිවෙන භික්‌ෂූන්ට දේශපාලනය කැපද යන මැයෙන් ප්‍රකාශනයක්‌ නිකුත් කළා. රටේ ජාතියේ දියුණුව පතා භික්‌ෂූන් වහන්සේ ක්‍රියාකිරීම කවර නමකින් හැඳින්වුවත් එහි වරදක්‌ නැති බවයි ඉන් කියවුණේ. මේ කාලයේ වල්පොල රාහුල හාමුදුරුවන්ට පවා මැර ප්‍රහාරවලට මුහුණපෑමට සිදුවූ බවත් පැවසෙනවා.

පසුගිය දිනවල භික්‌ෂූන් වහන්සේට චීවරධාරියා යෑයි ඇමතීමෙන් රටේ විශාල ආන්දෝලනයක්‌ ඇතිවුණා. ඒ අතරෙ චීවරයක්‌ දරන්නා චීවරධාරියා ලෙස අර්ථ නිරූපණය කරන අයත් හිටියා?

අපේ රටේ භික්‌ෂූන් වහන්සේ නමක්‌ යම් වරදක්‌ සිදු කළ බව හැඟුනොත් උන්වහන්සේ චීවරධාරියකු ලෙස සමහරු හඳුන්වනවා. යම් නීති විරෝධී කටයුත්තක යෙදුණු භික්‌ෂූන් වහන්සේ නමක්‌ භික්‌ෂූන් වහන්සේ නමක්‌ ලෙස නොව චීවරධාරියකු ලෙස හැඳින්වීමට අපේ ජනමාධ්‍යයත් පුරුදුවෙලා ඉන්නවා. මම නම් හිතන්නේ එය වැරදි පිළිවෙතක්‌. භික්‌ෂූන් වහන්සේලාත් රහත් වූ අය නෙමෙයි. ඔවුන් අතිනුත් යම් යම් වැරදි සහගත දේවල් සිදුවෙන්න පුළුවන්. එවැනි අවස්‌ථාවලදී ඔවුන් චීවරධාරීන් ලෙස හැඳින්වීම අවශ්‍ය නෑ. නීතිය හමුවේ ඔවුන් වරදකරුවකු වන තෙක්‌ භික්‌ෂූන් වහන්සේ නමින්ම හැඳින්වීම වරදක්‌ නෙමෙයි. වැරදි කරන භික්‌ෂූන් වහන්සේලාට අපේ රටේ මාධ්‍ය විසින් හැදූ මේ නම දැන් ඉන්න සමහර දේශපාලකයො අහුලගෙන තමන් කැමති දේවල් කරන, කියන හාමුදුරුවරු භික්‌ෂූන් වහන්සේලා විදිහටත් තමන් අකැමැති දේවල් කරන කියන හාමුදුරුවරු චීවරධාරීන් ලෙසත් හඳුන්වන්න පුරුදුවෙලා ඉන්නව. මැති ඇමැතිවරු කියන කරන දේවල් අනුමත කරල ඒ අයට පිරිත් නූල් බඳින අය භික්‌ෂූන් වහන්සේලා, ආණ්‌ඩුවේ හෝ මැති ඇමැතිවරු කරන වරදක්‌ පෙන්වා දෙන අය චීවරධාරීන්. ගිහියන් භික්‌ෂූන් වහන්සේ සම්බන්ධයෙන් එවැනි විවේචන නොකළ යුතුයි. දේශපාලකයන් කරන මේ විවේචන අප අනුමත කරන්නේ නෑ. වර්තමාන ජනාධිපතිතුමා හෝ හිටපු ජනාධිපතිතුමා හෝ ඊට පෙර හිටපු ජනාධිපතිවරුන් භික්‌ෂූන් වහන්සේලාට එහෙම අගෞරව කළේ නෑ.

අපේ රටට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට ආණ්‌ඩුව මේ දිනවල කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා පත්කළ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය නිකුත් කළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් මහානායක භික්‌ෂූන් වහන්සේලාත් අදහස්‌ ප්‍රකාශ කළා. අද ඇතමුන් භික්‌ෂූන් වහන්සේ සමග උරණ වී සිටින්නේ මේ නිසාද?

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය නිකුත් කර ඇති අතුරු වාර්තාවේ සඳහන් යෝජනා පිළිබඳ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ප්‍රකාශ කරන්නේ ව්‍යවස්‌ථාව තවම හදල නෑ, මේවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට පත් කළ කමිටුවල යෝජනා පමණක්‌ බවයි.

රජය ශ්‍රී ලංකාවේ බුදුදහමට ප්‍රමුඛස්‌ථානය ලබා දෙන අතර එය රජය විසින් ආරක්‌ෂා කොට පෝෂණය කළ යුතු බවත් අනිකුත් ආගම් ඇදහීමේ නිදහස සුරක්‌ෂිත කොට ඒවාට ලැබිය යුතු තැන ලබාදිය යුතු බවත් වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දැක්‌වෙනවා. මේ යෝජිත නව ව්‍යවස්‌ථාව සම්පාදක මණ්‌ඩලය නිකුත් කළ අතුරු වාර්තාවේ බුද්ධාගමට වර්තමාන ව්‍යවස්‌ථාවෙන් හිමිවී තිබෙන ප්‍රමුඛස්‌ථානය අහිමි වෙන ආකාරයට යම් යම් වගන්ති එකතු කොට තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. පසුගිය දිනක ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ගාල්ලේ පැවති

රැස්‌වීමක මගේ කතාවේදී මා මේ පිළිබඳ ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා සිය කතාවේදී මගේ ප්‍රකාශය ගැන සඳහන් කරමින් තමා සිටින තාක්‌ බුද්ධාගමට මේ රටේ හිමි තැන අහිමි වන්නට ඉඩ නොදෙන බව කියා සිටියා. එය වෙනස්‌ කිරීමට කිසිදු අවශ්‍යතාවක්‌ නැති බවද එතුමා ප්‍රකාශ කළා.

නමුත් මේ අතුරු වාර්තාවේ බුදුදහමට ප්‍රමුඛස්‌ථානය ලැබිය යුතුයි සඳහන් කරන ගමන්ම එම වාක්‍යයේ බලය නිශේධනය වන ආකාරයට ඒ සමගම තවත් වගන්ති එකතු කර තිබෙනවා. මෙය පුද්ගලිකව අප ප්‍රකාශ කරන අදහසක්‌ නොවෙයි. මහානායක ස්‌වාමීන් වහන්සේලා කිහිපනමක්‌, මහාචාර්ය හාමුරුවරු, පණ්‌ඩිත හාමුදුරුවරු සමග සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, තරුණ බෞද්ධ සමිතිය, පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය ඇතුළු මෙරට සියලුම බෞද්ධ සංවිධානවල ප්‍රධාන නිලධාරීන් එක්‌ව බුද්ධශාසන කාර්ය සාධන මණ්‌ඩලය විසින් සාකච්ඡා කොට සකස්‌ කළ ප්‍රකාශනයක්‌. එය ජනාධිපතිතුමාටත් සියලු මාධ්‍යවලටත් නිකුත් කළා. භික්‌ෂූන් වහන්සේලා නොමඟ ගොස්‌ තිබෙන බව මේ ප්‍රකාශනය දුටු ඇතැමුන් විවේචනය කළා. නමුත් බුදුදහමට හිමි තැන අහිමි කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතුරු වාර්තාවේ සඳහන් යෝජනා මේ රටේ බුදුදහමට මෙන්ම ඒකීය භාවයටත් හානිදායක බවට මතයක්‌ මේ වන විට සමාජය තුළ තිබෙනවා අපේ හාමුදුරුවනේ?

මේ අතුරු වාර්තාවේ රටේ ඒකීයභාවය ගැන සඳහන් විකල්ප යෝජනාවල ජනරජය කියන වචනය ඉවත්වෙලා. ආණ්‌ඩුව තවම ස්‌ථිර තීරණයක්‌ හෝ නව ව්‍යවස්‌ථාව පිළිබඳ අවසන් තීරණයක්‌ අරගෙන නැතිවෙන්න පුළුවන්. මෙම යෝජනාවල ජනරජය යන වචනය ඉවත් කිරීම ආදිය පෙන්වා දීම ආණ්‌ඩු විරෝධීව හෝ මේ නව ව්‍යවස්‌ථාව සම්පාදනය කරන අයට විරුද්ධව කටයුතු කිරීමක්‌ නෙමෙයි. එවැනි දේ පෙන්වා දීම භික්‌ෂූන් වහන්සේලා හැටියට එය අපේ අයිතියක්‌ හා යුතුකමක්‌ ලෙස අපි සලකනවා. 1972 සහ 1978 ඇති කළ ව්‍යවස්‌ථා මහජන අදහස්‌ විමසා සම්පාදනය කළ ව්‍යවස්‌ථා නෙමෙයි. ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමේදී මහජන අදහස්‌ විමසීම හොඳයි. මේ අවස්‌ථාවේ එහි එක්‌තරා විදිහක හොඳක්‌ තිබෙන්නත් පුළුවන්. මේ කරන විධිය අනුව සමහරවිට අවුලක්‌ වෙන්නත් පුළුවන්.

අවුලක්‌ වෙන්නත් පුළුවන් යන්නෙන් ඔබවහන්සේ අදහස්‌ කළේ කුමක්‌ද?

මහජනතාව හැමෝගෙම අදහස්‌ අරගෙන ව්‍යවස්‌ථාවක්‌ හදනව කියන එක අමාරු වැඩක්‌. ඒ සඳහා ව්‍යවස්‌ථා සම්පාදනය ගැන ප්‍රවීණත්වයක්‌ දරන, නීතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක්‌ හා දැනුමක්‌ ඇති පුද්ගලයින් අවශ්‍යයි. හැමෝගෙම අදහස්‌ අරගෙන ව්‍යවස්‌ථාව හදනවා කියන නිසා භික්‌ෂූන් වහන්සේලා හැටියට අපටත් අදහස්‌ පළ කිරීමට ඉඩ තිබෙනවා.

ආණ්‌ඩුව හදන නව ව්‍යවස්‌ථාවට සහාය දීමට නම් උතුර නැගෙනහිර යළි එකතු කළ යුතු අතර ව්‍යවස්‌ථාවෙන් මේ රට අනාගමික රාජ්‍යයක්‌ බවට ප්‍රකාශ කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රකාශය ගැන ඔබවහන්සේගේ අදහස කුමක්‌ද?

නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණක්‌ වන්නේ උතුර නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක්‌ ලබා දීම බවනේ කියන්නෙ. උතුරු නැගෙනහිර එකතු කිරීම, එල්ටීටීඊ සංවිධානය යුද්දෙන් පරාද වුණාට ඔවුන් දැරූ අදහසට එනම් ඊළාම් රාජ්‍යය මේ රටේ ගොඩනඟාගත්තේ නැත්නම් දෙමළ ජනතාවට ස්‌වාධීනත්වයක්‌ ලබා ගන්න බෑ කියන අදහසට නීත්‍යනුකූල ප්‍රතිපාදන ලබාදීමක්‌. උතුර නැගෙනහිර දෙපළාතේ යම් යම් ප්‍රශ්න තිබෙන්න පුළුවන්. අවුරුදු 30 ක්‌ යුද්ධයක්‌ පැවති ප්‍රදේශ දෙකක්‌ නිසා ඒ ජනතාවට තම ඉඩකඩම් අහිමි වීම වැනි ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න තිබෙනවා. රටේ අනෙක්‌ පළාත්වලට වඩා විශේෂිත ප්‍රශ්න තිබෙන්නත් පුළුවන්. මේ පළාත් දෙක එකතු කළා කියල ඒ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ.

ඒ ප්‍රශ්න විසඳීම සඳහා ඒ පළාත්වල ජනතාවටත් අනෙක්‌ ප්‍රදේශ හා සමාන්තරවම සංවර්ධන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුයි. දෙමළ වීම නිසා ඒ අයට තිබෙන ප්‍රශ්න මොනවද කියල කෙනෙක්‌ අහන්න පුළුවන්. අපි ඒ තරම් පටු විදිහට හිතන්න හොඳ නෑ. දෙමළ වීම නිසාමත් යම් යම් ප්‍රශ්න තිබෙනවා. දෙමළ භාෂාවෙන් තමන්ගේ දෛනික අවශ්‍යතාවන් ඉටුකරගන්න ඔවුන්ට අපේ රටේ තිබෙන පහසුකම් ඉතාමත් අඩුයි. රජයේ කාර්යාලයකට ගියත් දෙමළ ජනතාවට එවැනි දුෂ්කරතා තිබෙනවා. උතුර නැගෙනහිර එකතු කිරීමෙන්වත්, රට අනාගමික කිරීමෙන් වත් එවැනි ප්‍රශ්න විසඳන්න බෑ. මේ ප්‍රශ්න විසඳන්න ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න ඕනෙත් නෑ.

අපේ රටේ අද තිබෙන මූලික ප්‍රශ්නවලට හේතුව ව්‍යවස්‌ථාවම නෙමෙයි. අපේ රටේ දෙමළ ජනතාවගෙයි මුස්‌ලිම් ජනතාවගෙයි ප්‍රශ්න විසඳන්න කළ යුත්තේ ව්‍යවස්‌ථාවක්‌ හදන එක නෙමෙයි. රටේ ව්‍යවස්‌ථාවෙ තියෙන්න ඕන උතුරට මේව දෙනව නැගෙනහිරට මේව දෙනව දකුණට මේව දෙනව කියල නෙමෙයි. රටේ සියලු දෙනාටම පොදු නීතියක්‌ ව්‍යවස්‌ථාවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. එක එක පළාත්වලට දෙන දේවල් ව්‍යවස්‌ථාවෙන් තීරණය කරන්න ගියොත් ජාතිවාදී අර්බුදයකට මේ රට නැවත පත්වෙනවා. නව ව්‍යවස්‌ථාවක්‌ අත්‍යවශ්‍යම නම් එය සම්පාදනය කරගැනීම සඳහා මූලිකවම ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ තිබෙන්න ඕන. නව ව්‍යවස්‌ථාවක්‌ ගැන කෙරෙන මේ සාකච්ඡා මේ රටේ සැබෑ ජනතා ප්‍රශ්න යට ගැසීමට කරන වැඩපිළිවෙළක්‌ද යන සැකයකුත් මා තුළ තිබෙනවා. මට සාස්‌තර කියන්න බෑ. නමුත් මට නම් හිතෙන්නෙ මේ ආණ්‌ඩුවේ ඉතිරි කාලෙත් ආණ්‌ඩුව ව්‍යවස්‌ථාව ගැනම කතා කර කර ඉඳියි.

හාමුදුරුවනේ, ආණ්‌ඩුව නිතරම ප්‍රකාශ කරන්නේ ජනතාවගේ අදහස්‌ සැලකිල්ලට ගෙන නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරන බවයි, නමුත් මේ අතුරු වාර්තාවේ ඇති ඇතැම් යෝජනා දෙස බලන විට ජනතා අදහස්‌වලට ඉඩක්‌ ලැබේද යන සැකයක්‌ ජනතාව තුළ තිබෙනවා. මේරටේ ඒකීය භාවය හෝ බුදුදහමට හිමි තැන අහිමි කිරීමේ යෝජනාවලට මේ රටේ බහුතරයක්‌ කැමැති නෑ…..

මේ ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක්‌ හදයි කියල මම හිතන්නෙ නෑ. හැබැයි හදනවනම් හදන්නෙ මහජනතාවට කියන එක නෙමෙයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධ පනත දෙස බලන විට එය පැහැදිලියි. ඒ පනත ගෙනාවෙ පළාත් සභාවලට කාන්තා නියෝජනය වැඩිකර ගැනීමට බව කියමින්. ඒකට නම් කවුරුත් කැමැති වුණා. විරුද්ධ පක්‌ෂත් විරෝධයක්‌ පෑවේ නෑ. නමුත් දෙවැනි තුන්වැනි වර කියවන විට පළාත් පාලන මැතිවරණ කල් දැමීම සඳහා යෝජනාවකුත් ඒක අස්‌සෙ තියෙනවා. පනත ගෙන ඒමේ අරමුණෙයි මේ යෝජනාවෙයි කිසිම සම්බන්ධයක්‌ නෑ. අන්තිමට පළාත් පාලන මැතිවරණ කල් දැමීමටත් පාර්ලිමේන්තුව එකඟයි කියල පනත සම්මත වුණා. මේ රටේ ජනතාව මෝඩයො නෙමෙයි. මීට අවුරුදු හැට හැත්තෑවකට කලින් නම් මේවගේ දෙයක්‌ කළා නම් මිනිස්‌සු නිස්‌සද්දව භාර ගනියි. අද මිනිස්‌සුන්ට මේව හංගන්න බෑ. මේවගේ වැඩවලට ගම්වල මිනිස්‌සු කියන්නෙ කොළේ වහල ගහනව කියල. ආණ්‌ඩුවත් මේ හදන්නෙ කොළේ වහල ගහන්න. කරන දෙයක්‌ පැහැදිලිව කියල කරනව මිසක්‌ කොළේ වහල ගහන එක නම් කිසිම ආණ්‌ඩුවක්‌ නොකළ යුතු වැඩක්‌.

සාකච්ඡා කළේ – පාලිත සේනානායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More