පුරවැසි කොලම

20 වැනි අවස්ථා සංශෝධන ‘බෝම්බය’ පාර්ලිමේන්තුව තුළට ප්‍රවාහනය කර දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් බාර ගෙන ඇති කොන්ත්‍රාත්තුව ඉටු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි බව දැන් පැහැදිලි වෙමින් ඇත. පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදයේදී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ඇතුළු කරමින් එම බෝම්බය සක්‍රීය කිරීමට බෙදුම්වාදී බලවේග ඉදිරිපත් වන්නේ ඊට මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් සහාය දෙන්නේ නම් පමණි. එම සංශෝධන සම්මත කළ නොහැකි තත්වයක් යටතේ ඒවා ඉදිරිපත් කළහොත් ‘‘බෝම්බ සෙල්ලම‘‘ එළිදරව් වී සියල්ල අවුල් වනු ඇත. එසේ වුවහොත් නැවත වටයකින් ව්‍යවස්ථා බෝම්බයක් ඇටවීමට තිබෙන අවස්ථාව අහිමි වී යනු ඇත. එවිට යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමේ මූලික අරමුණු ඉටුකර ගැනීමට දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග අසමත් වනු ඇත. එවිට ඊළඟ ජනාධිපතිවරනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා ඉදිරිපත්වන පොදු අපේක්ෂකයා තේරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අත්පත් කර ගැනීමට අපේක්ෂිත සදාචාර බලයද ඔවුනට අහිමි වනු ඇත‍.

ඒ නිසා දැන් ජවිපෙ නායකයින් වියරු වැටී විකාර දෙඩවීමට පටන් ගෙන ඇත. ඔවුහු දැන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ යටි අරමුණ හෙවත් අප්‍රකාශිත අරමුණ හෙවත් ව්‍යවස්ථා බෝම්බයේ සැබෑ හැඩරුව පිළිබඳව මහජනයාට ඔත්තු දෙන ජාතික බලවේග‘‘ ත්‍රාඩයන් ‘‘ලෙස හඳුන්වමින් ඔවුනට තර්ජනය කරති. එසේම ඔවුහු තමාගේ ප්‍රකාශිත අරමුණ හෙවත් ව්‍යවස්ථා බෝම්බයේ ලේබලය හෙවත් කවරය පිළිබඳව විවේචනය කරන පිරිස්වලට ද බැන අඬගසති. ඒ අතර ඒ ඊනියා ප්‍රකාශිත අරමුණ හෙවත් ව්‍යවස්ථා කෙටුම්පත නම්වූ කොළවල අඩංගු දේ පිළිබඳව කතා නොකරන බවට මහා සංඝරත්නයට විශේෂයෙන් දොස් පවරති. මහා සංඝරත්නය විසින් ඓතිහාසික මහා සඝ නියෝජිත සමුළුවක් පවත්වා හේතු 16ක් මත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිටුදැකිය යුතු බවට සංඝ ආඥාවක් නිකුත් කරන්නේ ආණ්ඩුව විසින් ආරම්භ කළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ අවසන් අරමුණ පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයකින් යුතුවය. ඒ නිසා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නම් වූ දුප්පත් ලියැවිල්ලේ මතුපිට අරමුණ ගැන කතා කරන්නේ කුමකටද? පසුගිය දින වල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ ප්‍රධාන උපදේශකයා වූ නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කළ ක්‍රියාවලිය නැවතී ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය දෙස බැලිය යුතු බවය. ඒ නිසා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කළ ක්‍රියාවලියේම දිගුවක් බවට කිසිදු සැකයක් නැත. ඒ නිසා මහා සංඝරත්නයට ඔවුන්ගේ ව්‍යාජ ප‍්‍රායෝගික අරමුණ පිළිබදව විශේෂයෙන් කීමට යමක් ඇතිද?

කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටින දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේග වලට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම්ට සැබෑ උවමනාවක් නැත. එම ප්‍රතිපාදන දෙක බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ බලය රැක දීම සඳහා ඉතිහාසය පුරා සුවිශේෂී මෙහෙවරක් ඉටුකර ඇත. දැන් ඔවුන් පැමිණ සිටින තැන අනුව ඒවා වෙනස් වුවද, නොවුවද ඔවුනට ගැටළුවක් නැත. දැන් බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි. ඒ ඔවුන් ඉතිහාසය පුරාම ඉල්ලා සිටි ආකාරයට 13වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම පමණි. ඉන්දියානු නිලධාරීන් විසින් සකස් කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික රාමුව අනුව ඒ මගින් ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් රාජ්‍යයක් බිහි වේ. විධායක ජනාධිපති ක්‍රමය එහි ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවේ. ඉන්දියානු නිලධාරීන් විසින් එම සංශෝධනය සකස් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබියදී රට ෆෙඩරල් කිරීමටය. එම බරපතල ෆෙඩරල් බලතල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඇතුල් කිරීම නිසාය. එවැනි බාධක 5 ක් පමණ මූලික වශයෙන් හඳුනාගත හැකි අතර ඒවා ඉවත් කිරීම සදහා අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී සුළු සංශෝධන ලෙස ඇතුල් කිරීමේ හැකියාව ඇත.මන්ත්‍රිවරැන්ගේ එම අයිතියට බාධක පැනවිය හැක්කේ ආණ්ඩුවට පමණි. නමත් බෙදුමිවාදී බලවේග විසින් එවැනි උත්සාහයක් ගන්නා විට ආණ්ඩුව ඊට යටත්වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආකාරයට ටී.එන්.ඒ පක්ෂය ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ඉදිරිපිට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග 2015 ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ 30/ 1 යෝජනාව පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත. ඔවුන් එසේ එකඟ වූ 30 /1 යෝජනාවේ16 වැනි වගන්තිය අනුව ටී.එන්.ඒ පක්ෂයට අවශ්‍ය වන්නේ දහතුන්වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පමණි. එහිදී ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට හෝ පවතින ව්‍යවස්ථාවේ තිබෙන ඒකීය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට ඉල්ලා සිටින්නේ නැත. ඉහත සඳහන් කළ ආකාරයට බෙදුම්වාදීන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඊනියා සුළු සංශෝධන කිහිපයක් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුල් කිරීම ය. නමුත් එම සංශෝධන පමණක් සෘජුව පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළහොත් එල්ලවන මහජන විරෝධය හමුවේ එය පරාජයවීමේ වැඩි ඉඩක් ඇත. බෙදුම්වාදී බලවේග විසින් ඉතා විවෘතව ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් විසින් යහපාලන ආණ්ඩුව බලයට ගෙන එන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ය. ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය වුවහොත් ඔවුන්ගේ සියලු අපේක්ෂා බිඳ වැටෙනු ඇත. ඒ නිසා ඔවුනට අවශ්‍ය සුළු සංශෝධන ප්‍රමාණය සම්මත කරගැනීම සඳහා යම්කිසි ආවරණයක් අවශ්‍යවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම වැනි ලේබල් අවශ්‍ය වන්නේ ඉහත සදහන් කළ ආකාරයට එම සංශෝධන ප්‍රමාණය කාරක සභා අවස්ථාවේදී ඇතුල් කිරීම සඳහා අවශ්‍යවන මූලික සැකිල්ලක් ලෙස සැලකිය හැකි යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළට ගෙන යාම සඳහාය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නමැති ලේබලය යටතේ ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට බෙදුම්වාදී සංශෝධන ඇතුළත් කළ සැනින් එම ව්‍යවස්ථා බෝම්බය පුපුරා යන්නේ නැත. එය කාල බෝම්බයක් වන අතර පුපුරා යාමට හෙවත් බෙදුම්වාදී ගැටුම් ඇවිලවීම ට යම් කාලයක් ගතවනු ඇත. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටුකරන කොන්ත්‍රාත්තුවේ භයානකම සමාජයට දැනෙන්න පටන් ගන්නේ බෙදුම්වාදී බලවේග එම ව්‍යවස්ථා සංශෝධනය යොදා ගනිමින් ගැටුම් කාරී ලෙස බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට ගමන් කරන විටය. ආර් සම්බන්ධන් මහතා 2012 මැයි 25 වන දින මඩකළපුවේ පැවැත්වූ ටී.එන්.ඒ පක්ෂයේ මහා සමුළුවේදී ප්‍රකාශ කළ ආකාරයට ඔවුන් ඊළාම් අරමුණු අත්හැර නැත. නමුත් ඒ කරා ළඟාවන උපායමාර්ගය වෙනස් කරනු ඇත. එනම් යුද්ධය වෙනුවට අවිහිංසාවාදී ගාන්ධිවාදී මහජන වීදි සටන් යොදා ගනු ඇත. ඉන් කියවෙන්නේ ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ග වෙනුවට නිරායුධ මහාජනයා වීදි බැස්සවීමේ උපක්‍රමය ඔවුන් විසින් යොදා ගන්නා බවය. නිරායුධ ජනයා ආණ්ඩුවේ හමුදා සමඟ ගැටෙන විට හෙවත් එම ජනතාව මරා දමන විට මැදිහත් වන ලෙස එම සමුළුවේදී සම්බන්ධන් මහතා විසින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින ලදී.

ආයුධ සන්නද්ධ බෙදුම්වාදී ගැටුම්ක දී එය මැඩ පැවැත්වීම සඳහා රජයට නීත්‍යානුකූලව බලයක් ඇත. එහෙත් නිරායුධ ජනයා මරා දමන බවට ව්‍යාජ මතයක් පතුරුවා ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩකඩ පාදා ගත හැක.කොසෝවෝ රාජ්‍යය බෙදා වෙන්කිරීමේදී අහිංසක සිවිල් ජනතාව මරා දමන බවට චෝදනා එල්ල කොට සර්බියාවට පහරදීම සඳහා නේටෝ හමුදා යොදා ගැනුනි. ඉන්පසුව නේටෝ – සර්බියා ගැටුම් සමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය. එම දෙවන මැදිහත්වීම අවසන් වන්නේ කොසෝවෝ බෙදා වෙන් කිරීමෙනි. ඒ සියලු විනාශයන්ට පසුව හෙළිදරව් වූයේ ඊනියා සිවිල් ජන සංහාරයට වගකිව යුත්තේ කොසෝවෝ බෙදුම්වාදී ගරිල්ලන් බවය.

කොසෝවෝ බෙදුම්වාදී මාර්ග සිතියමේ නිල් පිටපත ශ්‍රී ලංකාව සඳහා යොදා ගන්නා බව සම්බන්ධන් මහතාගේ මඩකලපු දේශනයෙන් පැහැදිලි වේ. ඊට අනුව එදා වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිවරයා සිදු කළ ආකාරයට දෙමළ ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරන්නේ නැත. එසේ කළහොත් විධායක ජනාධිපති බලතල යොදා ගනිමින් පළාත් සභාව පවරා ගෙන එම ක්‍රියාවලිය මැඩ පැවැත්වීමේ නීත්‍යානුකූල බලය ශ්‍රී ලංකා රජයට ඇත. නමුත් එසේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් නොකර මධ්‍යම ආණ්ඩුව සමඟ ඇතිකරගන්නා ගැටුම් තුළින් ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපීමේදී විධායක ජනාධිපතිට කළ හැකි දෙයක් නැත. ඒ අනුව ඒ නව ඊළාම් මාර්ග සිතියම තුළ විධායක ජනාධිපති ක්‍රමයට විශේෂ භූමිකාවක් නැත. ඒ නිසා එය එසේම තිබීම හෝ අහෝසි කිරීම යන දෙකෙන් කුමක් සිදු වුවද බෙදුම්වාදීන්ට ගැටලුවක් නැත.

එහිදී ගැටලුවක් පැනනගින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අවශ්‍ය බලතල ලබා ගැනීමට පෙර ගැටුම් ඇති කර ගතහොත් පමණි. ඒ නිසා ඔවුහු එතෙක් වාචික ගැටුම් පමණක් ඇති කර ගනිමින් තම බලවේගවල උද්යෝගය පවත්වාගෙන යති. නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමේදී පෘතුගාලය විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ පැවරූ නඩු තීන්දුව අනුව බෙදුම්වාදී ගැටුමක නියැලී සිටින ජනතාවකට වෙන්වී යාම සඳහා කොන්දේසි තුනකින් එකක් හෝ තුනම සම්පූර්ණ විය යුතුය.එහිදී එම නඩු තීන්දු අනුව අභ්‍යන්තර ස්වයං පාලනය ලබාදී ඇති යම් ජනතාවකට හෙවත් ජනකොටසකට මධ්‍යම ආණ්ඩුව විසින් එසේ ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන්නේ නම් එම ජනතාවට වෙන්ව යාමේ අයිතිය නීත්‍යානුකූලව ලැබේ. ඊට අමතරව මධ්‍යම රජය විසින් එම ජනතාවට පීඩාකාරී සහ අවමන් සහගත ලෙස සලකන්නේ නම් හෝ එම ජනතාව ජන සමූල ඝාතනයකට ලක් ව සිටී නම් ඔවුනට වෙන්ව යාමේ අයිතිය ඇත.

ඒ අනුව බෙදුම්වාදීන් විසින් තිම්පු සංකල්පය ලෙස දෙමළ ජනතාව වෙනම ජන කොටසක් බව සහ ඔවුන්ට අනන්‍ය වූ භාෂාවක් මෙන්ම සංස්කෘතියක් තිබෙන බව සහ උතුරු නැගෙනහිර ප්‍රදේශය ඔවුන්ගේ නිජ භූමිය ලෙස පිළිගත යුතු බවට ඉල්ලා සිටියේ කුමක් නිසා ද යන්න පැහැදිලි වේ. 13වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එම පිළිගැනීම යථාර්තයක් කිරීම සදහා අවශ්‍ය මූලික අඩිතාලම දමා ඇත. දැන් අවශ්‍ය වන්නේ ස්වයංපාලනය හෙවත් මධ්‍යම රජය සහ පළාත් සභාව අතර පරමාධිපත්‍ය බලය නිශ්චිතව බෙදී වෙන්වී ඇති බව තහවුරු කිරීමය. ජේ.ආර්. ජයවර්ධන මහතා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වීම වැළැක්වීම සඳහා පැන වූ ව්‍යස්ථාමය බාධක ඉවත් කිරීම අවශ්‍ය වන්නේ එසේ පරමාධිපත්‍ය බලය බෙදී ඇති බව ජාත්‍යන්තර නීතිය හමුවේ ඔප්පු කිරීම සඳහාය. ඒ ආකාරයට එසේ ලබා දෙන බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවට ගැටුමක් නිර්මාණය කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඒ පූර්ව කොන්දේසිය ඉටුකර ගැනීමෙන් පසුවය. ඊට අමතරව විග්නේෂ්වරන් මහ ඇමතිවරයා විසින් දිගින් දිගටම සමූල ඝාතන චෝදනා එල්ල කරන්නේ කුමක් නිසාද යන්න ඉහත සඳහන් කළ නඩු තීන්දුවෙන් පැහැදිලි වේ.

දැන් 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දායක වන්නේ ඒ බෙදුම්වාදී මාර්ග සිතියම දිග හැරීමට ය. නමුත් ඔවුන් තම පාවාදීම සාධාරණීයකරණය කරන්නේ ශ්‍රී ලංකාවේදී එසේ නොවන බවට තර්ක කරමිනි. ඔවුන්ට අනුව ඉන්දියාව විසින් බලය බෙදීම සඳහා ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කළත් රට බෙදීමට ඉන්දියාව ඉඩ දෙන්නේ නැත. නමුත් ඉන්දියාව විසින් බෙදුම්වාදය පෝෂණය කරන්නේ අවසානයේදී බෙදී වෙන් වූ රට සිකීමය මෙන් අර්ධ කොලනියක් ලෙස ඈදාගැනීමට බව ඔප්පු කිරීම සඳහා ප්‍රබල සාක්ෂි ඇත. එසේ වුවත් එම ක්‍රියාවලිය අවසන් වීම සඳහා යම් කාලයක් ගතවනු ඇත. එම කාලය තුල ජනතාව රැවටීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට යම් අවකාශයක් ලැබේ. ඒ අවකාශයය යොදා ගනිමින් ඔවුන් ප්‍රධාන වශයෙන් දේශපාලන වාසි 4 ක් අත්පත් කර කර ගැනීමට අපේක්ෂා කරන බව පෙනේ. පළමුවැන්න සුළු ජාතික ඡන්ද පදනම වැඩි කර ගැනීමය. එවැන්නකට ඉඩ තිබෙන බවට සුමන්තිරන් මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණට සහතිකයක් ලබා දුන්නේ යාපනයේ දී පැවැත්වූ ඔවුන්ගේ මැයි රැළියට දෙමළ ජනතාව සමඟ සහභාගි වීමෙනි. දෙවැන්න 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් සම්මත වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය වන ජනමතවිචාරණ සටන තම අතට ගැනීමය. බෙදුම්වාදී සංශෝධන සඳහා අවශ්‍යවන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය පමණි. එමනිසා ජනමත විචාරණයක් බෙදුම්වාදීන්ට වැදගත් වන්නේ නැත. එය පැවැත් වුවත්, නැතත් ජයග්‍රහණය කළත්, පරාජය වුවත් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු වේ. නමුත් ජනමත විචාරණයක් පවත්වා ජයග්‍රහණය කළහොත් ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල දේශපාලන වාසියක් ලැබේ.

තුන්වැන්න ජනමතවිචාරණයක් පැවැත්වීමට දේශපාලන සක්‍යතාවයක් නොමැති නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය ඉදිරි ජනාධිපතිවරණය දක්වා රැගෙන යාමය. එවිට ඉදිරි ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා වන පොදු අපේක්ෂකයා තේරීමේ සදාචාර බලය ජනතා විමුක්ති පෙරමුණට ලැබේ. හතරවනුව ඒ සියලු සදාචාර බලයන් දේශපාලන බලයක් බවට පෙරළා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරු 20ක් දිනාගත හැකි යැයි ඔවුන් විසින් තක්සේරු කරන බව පෙනේ. ඒ සඳහා අවශ්‍ය මූලික මූල්‍ය පහසුකම් ද ඔවුන් විසින් ඉටුකරන අමාරු කාර්යය සඳහා වන තුටුපඬුරු ලෙස ඔවුනට ලැබෙනු ඇත.

කෙසේ වෙතත් ඉහත සදහන් කළ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ විසින් බාරගෙන ඇත්තේ ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් බව තව නොබෝ දිනකින් ඔවුන් විසින්ම තේරුම්ගනු ඇත. ඒ පාවාදීමේ අපවාදයෙන් ඔවුනට යම් පමණකට හෝ ගැලවිය හැක්කේ විසිවැනි සංශෝධනය ඉල්ලා අස්කරගැනීම මගින් පමණි. නමුත් එම පාවා දීමට සූදානම්වීම පවා මහා පාපයකි. ඒ පවු සෝදා ගැනීම සදහා 1989දී බෙදම්වාදයට විරැද්ධව ජීවිත පරිත්‍යාග කළ 60,000 ක් දරැවන්ගේ දෙමව්පියන්ගෙන් ඔවුන් සමාව ගත යුතය. එසේම රට බෙදුම්වාදී යුද්ධයෙන් නිහස්කර ගැනීම සදහා දිවි පිදූ 29,000ක් රණවිරැවන්ගේ සහ අදටත් ආබාධිතව දිවි ගෙවන 14,000 රණවිරැවන්ගේ දෙමාපියන්ගෙන්ද ඔවුන් සමාව ගත යුතුය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More