දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම (11) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

ඒ අනුව මෙරට 17වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස “වව්නියා විශ්වවිද්‍යාලය” ඉතිහාසයට එක් වේ.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ව්‍යවහාරික විද්‍යා පීඨය, ව්‍යාපාර පීඨය සහ ඉංග්‍රීසි භාෂා ඒකකය වව්නියාව මණ්ඩපය ලෙස 1997 වසරේ දී ස්ථාපනය කෙරිණ.

වව්නියා මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන ලෙස සිසුහු සහ ආචාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටියහ. එය සැලකිල්ලට ගත් රජය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව උසස් අධ්‍යාපනය නගා සිටුවීමේ වැඩසටහන යටතේ දේශන ශාලා, පීඨ ගොඩනැඟිලි, ක්‍රීඩාපිටි ඇතුළුව නවීන පහසුකම් සහිත සුහුරු විශ්වවිද්‍යාලයක් ලෙස “වව්නියාව විශ්වවිද්‍යාලය” සංවර්ධනය කළේය.

වව්නියාව විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර ක්‍රීඩා පිටියට රැස්ව සිටි ප්‍රදේශවාසීහු උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමන් මහත් හරසරින් පිළිගනු ලැබූහ. ඔවුන් සමග පිළිසඳරෙහි නිරත ජනාධිපතිතුමා ප්‍රදේශයේ තොරතුරු විමසා බැලීය.

වව්නියාව මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම සනිටුහන් කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ සහජීවන මධ්‍යස්ථානය ද සිසු අයිතියට පැවරීය.

තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් සමග අදහස් හුවමාරු කරගත් ජනාධිපතිතුමා තමන් ලබාගන්නා දැනුම තම ප්‍රදේශයටම ලබාදීමට හැකි වෙතොත් එමගින් තමන් උපන් ප්‍රදේශයටත් රටටත් විශාල මෙහෙවරක් සිදුකළ හැකි බව කියා සිටියේය.

අනාගතයේ සිදුවන සමාජ වෙනස්වීම්වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් සමාජගත කිරීම රජයේ බලාපොරොත්තුව බව උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේය.

රටක් බලවත් වීමට නම් එම රටේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් විය යුතුය. එය ඉතා ඵලදායී ආයෝජනයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජාතික අධ්‍යාපනය නගාසිටුවීමට රජය ප්‍රමුඛතාව ලබාදී ඇති බව පැවසීය.

මේ වන විට විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ නංවා තිබේ. විශ්වවිද්‍යාල නේවාසිකාගාර ඇතුළු සෙසු අවශ්‍යතා සපුරාලමින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.

කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ටත් ඉංග්‍රීසි භාෂාව, තොරුතුරු තාක්ෂණ දැනුම ලබාදෙමින් විෂය මාලාව සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සකස් කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය ගත් කඩිනම් වැඩපිළිවෙළ ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.

ලෝකයේ ඉහළ රැකියා ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගනිමින් උගතුන් බිහිකිරීම කාලීන අවශ්‍යතාව බව පෙන්වා දුන් ජනාධිපතිතුමා උසස් පෙළ සමත් සෑම සිසුවෙකුටම උපාධිය දක්වා අධ්‍යාපනය ලැබීමට අවකාශය සලසා දීම රජයක වගකීම බව ද පැවසීය.

නේවාසිකාගාරයේ දී, පන්තිකාමරයේ දී, ක්‍රීඩාංගණයේ දී, භෝජනාගාරයේ දී ජාතික සහජීවනය තම මිතුරාගේ හදවතේ ගොඩනැගීමට එක්වන ලෙස සියලු සරසවි සිසුන්ට ජනාධිපතිතුමා ආරාධනා කළේය. විශ්වවිද්‍යාලයේදී ඇති කර ගන්නා බැඳීම ඉතා ප්‍රබල බවත්, එම ප්‍රබලතාව රටේ සංවර්ධනයේ දී මනා පිටිවහලක් වනු ඇති බවටත් රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කුලසිංහම් තිලීපන්, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More