පුරවැසි කොලම

යුද්ධයට නායකත්වය ලබාදුන් ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව දියත් වූ යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලිය මේ වන විට උච්ඡතම අවස්ථාවකට ළඟා වෙමින් පවතින බව පැහැදිලිව පෙනේ. එම ක්‍රියාවලිය පෙරමුණු තුනකින් ඉදිරියට ගමන් කරන බව ද දක්නට ලැබේ. එක් පැත්තකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කළ 46/1 යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා පිහිටු වූ ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාව මෙම වසරේ මාර්තු සැසියට ඉදිරිපත් කිරීමට නියමිතය. කුමන හෝ කේවල් කිරීමේ ක්‍රියාවලියකට ඉඩ ලබා ගැනීම සඳහා එම වාර්තාව ඉදිරිපත් කිරීම උපරිම වශයෙන් සැප්තැම්බර් සැසිය දක්වා පමා විය හැක. අනික් පැත්තෙන් ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ “ටොම් ලැන්ටෝස්” මානව හිමිකම් කොමිසම මගින් ලංකාවේ යුද අපරාධ පිළිබඳ චෝදනා සහ සාක්ෂි කැඳවීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

මේ වන විට එම දෙවන ක්‍රියාවලිය තුළ බෙදුම්වාදයට පක්ෂපාතී ප්‍රබල ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට සහ සමස්තයක් ලෙස රජයට එරෙහිව චෝදනා සහ සාක්ෂි ඉදිරිපත් කරමින් ඇත. ප්‍රකාශයට පත් වී ඇති වාර්තා අනුව එම කොමිසමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන් 26 දෙනෙකුට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ඉදිරිපත් වී ඇත. එම කොමිසමට ඉදිරිපත් කෙරෙන සාක්ෂි ඇමරිකාවේ නීති පද්ධතිය තුළ අපරාධ නඩු කටයුත්තක දී වලංගු සාක්ෂි ලෙස පිළිගැනීමට ලක්වේ. ඒ අනුව අනාගතයේ දී ඇමෙරිකාව තුල ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ පිළිබඳව නඩුවක් ගොනු කිරීමේදී එම සාක්ෂි භාවිතා කිරීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස මානව හිමිකම් කොමිසම විසින් පත්කළ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ සොයාබැලීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාව මත ජාත්‍යන්තර අධිකරණ බලය අනුව නඩු පැවරීමක් සිදුවන අවස්ථාවක ටොම් ලැන්ටොෂ් කොමිසමට ඉදිරිපත් වන චෝදනා සහ සාක්ෂි මගින් සෙසු සාක්ෂි තහවුරු කිරීමේ හැකියාව ලැබේ.

ඉහත සඳහන් කළ පෙරමුණු ත්‍රිත්වය අතුරින් තුන්වන පෙරමුණු බෙදුම්වාදයට පක්ෂපාතී රාජ්‍ය නොවන සංවිධාන ජාලය තුළ ක්‍රියාත්මක වන ප්‍රබලතම සංවිධානය වන අන්තර්ජාතික සත්‍ය සහ යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය” මගින් දියත් වෙයි. එම ව්‍යාපෘතියේ ප්‍රධානී යස්මින් සුකා නැමැත්තිය ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා විසින් පත් කළ දරුස්මාන් කමිටුව නමින් හැඳින්වෙන විද්වත් කමිටුවේ සාමාජිකයෙකි. දරුස්මාන් වාර්තාවේ අඩංගු වන යුධ අපරාද චෝදනා තවදුරටත් පෝෂණය කරමින් සහ ඊට අදාළව තවදුරටත් සාක්ෂි ගොනු කරමින් ආරක්ෂක හමුදා ප්‍රධානීන් 56 දෙනකුට එරෙහිව චෝදනා පත්‍ර සකස් කර ඇති බව ඇය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව ඇය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව පිටු 137ක චෝදනා පත්‍රයක් සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට එරෙහිව පිටු 99ක චෝදනා පත්‍රයක් ටොම් ලැන්ටෝෂ් කොමිසම්ට ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට අහිමි ග්‍රෝතික සමාජයක පවා භුක්ති විදින මූලික අයිතිය

යස්මින් සුකා යනු දෙමළ ඩයස් ඩයස්පෝරාව විසින් නඩත්තු කරන සහ මෙහෙයවන තැන්ත්තියක් බවට ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වී ඇත. ඊට අමතරව ඇයගේ උපදෙස් මත යුරෝපයේ ක්‍රියාත්මක වන ඊනියා මානව හිමිකම් සංවිධාන රාශියක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට විවිධ යුද අපරාධ චෝදනා සහ මානව සංහතියට එරෙහිව සිදුකළ බව කියන විශේෂිත අපරාධ පිළිබඳව වාර්තා සකස් කර ඇත. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ වාර්තා 2ක් සහ මානව හිමිකම් කොමිසමේ විශේෂ බලයලත් විශේෂඥයන් විසින් ඉදිරිපත් කළ වාර්තා 5ක් ඇතුළුව එවැනි වාර්තා 20කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නායකයින්ට එරෙහිව අණදීමේ වගකීම ට අදාලව ප්‍රබලතම චෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ 2015 දී ඉදිරිපත් කළ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව හෙවත් OISL වාර්තාව නමින් හැඳින්වූ ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව මගිනි. ඒ මගින් ප්‍රධාන යුද අපරාධ චෝදනා 8කට අදාලව ශ්‍රී ලංකාවේ හමුදාව පද්ධතියක් ලෙස යුද අපරාධ සිදු කළ බවට චෝදනා සහ යම් සාක්ෂි ඉදිරිපත් කර ඇත. එම චෝදනා ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේ අණදීමේ වගකීමට අදාලව ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන දරුස්මාන් වාර්තාව ප්‍රමුඛ සියලු වාර්තා 2010 සිට ඉදිරිපත් වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වාර්තාවක් ලෙස සැලකෙන්නේ OISL වාර්තාව පමණි. එම වාර්තාව සකස් කිරීමට අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්ට බලය ලබා දෙනු ලැබුවේ 2013දී සම්මත කළ 25/1 යෝජනාව මගිනි. ශ්‍රී ලංකාවේ රජය ඊට එකඟ නොවූවද එම යෝජනාව සම්මත වූ අතර අදාළ වාර්තාව 2015 දී මානව හිමිකම් කොමිසමට නිල වශයෙන් ඉදිරිපත් විය. එම වාර්තාව 2015 සැප්තැම්බර් 16 වැනි දින ශ්‍රී ලංකාවේ රජයට භාර දුන් අතර එය මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙන්නේ සැප්තැම්බර් 30 වැනි දින 30/1 යෝජනාව සමගය. එනම් චෝදනා සහ චෝදනා වලට අදාල යෝජනා හෙවත් දඬුවම් එක විට ඉදිරිපත් කෙරිණි. එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ චෝදනා සහ දඬුවම් ස්තුති පූර්වකව පිළිගනු ලැබීය. ඒ අනුව එහිදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට අදාළව ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීමක් සිදු වූයේ නැත. එනම් චෝදනාවක් ඉදිරිපත් වූ විට ඊට අදාලව පිළිතුරු බැඳීමේ අයිතිය ශ්‍රී ලංකාවේ රජය විසින් ඉල්ලා සිටියේ නැත. එය ඕනෑම ග්‍රෝතික සමාජයක පවා භුක්ති විදින මූලික අයිතියක් වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එම අයිතිය අහිමි කෙරිණි.

ඒ අනුව 30/1 යෝජනාව මගින් යුද අපරාධ විභාග කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීම, එම යාන්ත්‍රණය පිහිටුවන අතරතුර චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවීම සහ අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය නීතිගත කිරීම, සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම මගින් ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ සැලසීම සහ 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම ආදී ඉතා බරපතළ ක්‍රියාමාර්ග වලට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ විය. එම යෝජනාවලිය සකස් කිරීමට පෙර ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා සහ ඒම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර එකඟතාවක් ඇතිකර ගත් බව හෙළිදරව් විය. ඒ පිළිබඳව ද අයිලන්ඩ් පුවත්පත හෙළිදරව් කළ ද ශ්‍රී ලංකාවේ රජය විසින් එය ප්‍රතික්ෂේප කළේ නැත. එම යෝජනාවලියේ අඩංගු විදේශීය විනිසුරුවරුන් සහිත දේශීය අධිකරණ යාන්ත්‍රණය හෙවත් හයිබ්‍රිඩ් අධිකරණය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව පිහිටුවිය නොහැකි බව සුමන්තිරන් මන්ත්‍රීවරයා නොදන්නා බව පිළිගත නොහැක. ඒ අනුව ඔවුන් විසින් හයිබ්‍රිඩ් අධිකරණයක් මෙන්ම ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම සඳහා බලපෑම් කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව බිය වැද්දීම සඳහා බව ඉතා පැහැදිලිය.

උදාහරණයක් ලෙස හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවිය නොහැකි බව පමණක් නොව ජාත්‍යන්තර අධිකරණයක් පත් කිරීම මගින් පවා බෙදුම්වාදී අරමුණු ඉටු නොවන බව ඔවුහු ඉතා හොඳින් දනිති. කාම්බෝජයේ යුද අපරාධ විභාග කිරීම සඳහා පත්කළ ජාත්‍යන්තර අධිකරණයට පිටු දහස් ගණනක් සාක්ෂි ඉදිරිපත් වූ අතර වසර 14කට පසුව දඬුවම් කළ හැකිවූයේ තිදෙනෙකුට පමණි. ඔවුන්ගේ මූලික අරමුණ එසේ ආරක්ෂක හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දඬුවම් කර සිත සනසා ගැනීම නොවේ. ඊට අමතරව ඔවුන්ට ජනරාල් සරත් ෆොන්සේකා වැනි නිලධාරීන්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාවයක් නැත. ඔවුන් විසින් ජනාධිපති බවට පත් කිරීම සඳහා තෝරා ගත් පුද්ගලයෙකුට එරෙහිව දඬුවම් කිරීමේ උවමනාවක් තිබිය නොහැක. කෙසේ වෙතත් එවැනි අධිකරණ පිහිටුවීමේ ඉඩකඩ පෙන්වීම මගින් ආරක්ෂක හමුදා සහ ආණ්ඩුව බියවැද්දීමේ මූලික අරමුණු බෙදුම්දී ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා එනම් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පෙළඹවීම බව ඉතා පැහැදිලිය. ඒ සඳහා 30/1 යෝජනාවලියට යෝජනාවක් අඩංගු කරන්නේ ඒ නිසාය. රටක ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම සඳහා වෙනත් බාහිර ජාත්‍යන්තර ආයතනවලට බල කිරීමේ හැකියාවක් නැත. එහෙත් යෝජනාවේ සඳහන් ආකාරයට 13න් වන සංශා්ධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වේ.

චෝදනා “කර්මාන්ත ශාලාවක්” ආරම්භ කිරීම

එදා 2009 මැයි මස යුද්ධය අවසන් කර දින දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට කඩා පැන ප්‍රභාකරන් අතින් ගිලිහුණු “රිලේ බැටන් එක” අතට ගත් බැන්කි මූන් විසින් පළමුවෙන්ම එම අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබීය. ඉන් පසුව සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කොමිසම විසින් සම්මත කළ යෝජනාව මගින් එම උවමනාව තවදුරටත් ඉතා හොඳින් පැහැදිලි විය. එම යෝජනාව මගින් යුද අපරාධ චෝදනා බරපතළ ලෙස මතු නොකළ අතර එහිදී අවධාරණය කෙරුණේ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බවට පොරොන්දු වීම ය. එවකට ජිනීවාහි තානාපති ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් ගෙන එමින් එම පොරොන්දුව ලබා දුනි. ඒ අනුව බෙදුම්වාදීන්ට සැබැවින්ම අවශ්‍ය වන්නේ කුමක්දැයි ඉතා පැහැදිලිව තේරුම් ගත හැක. ආරක්ෂක හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් වන්නේ එක් පැත්තකින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා බල කිරීමේ උපාංගයක් වශයෙන් සහ අනෙක් පැත්තෙන් ආරක්ෂක හමුදා දුර්මුඛ කිරීමේ සහ දුර්වල කිරීමේ උපාංගයක් වශයෙනි.

ආරක්ෂක හමුදා සාමාජිකයින් මානසිකව වැට්ටවීමේ ක්‍රියාවලිය සඳහා ඊනියා ජාත්‍යන්තර අධිකරණයකට වඩා ඔවුන්ට වැදගත් වන්නේ ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරවීම මගින් විවිධ රටවල අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමය. මානව හිමිකම් මහකොමසාරිස්ගේ සෑම වාර්තාවකම ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු බවට සඳහන් වුවද එම ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අණදීමේ වගකීම සහ තනි පුද්ගලයින් ලෙස සෘජුවම යුද අපරාධවලට වගකිව යුතු බවට ජාත්‍යන්තරව පිළිගත හැකි යාන්ත්‍රණයක් මගින් චෝදනා ගොනු කිරීම අවශ්‍යවේ. පළමු වටයේදී 30/1 යෝජනාව මගින් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයක් නීතිගත කිරීමට යෝජනා කරන්නේ ඒ මගින්  “චෝදනා කර්මාන්ත ශාලාවක්” ආරම්භ කිරීම සඳහාය. ඒ සඳහා හොඳම ක්‍රමය අතුරුදහන් කිරීම පිළිබඳ චෝදනා එල්ල කිරීමය. ඒවා ඔප්පු කිරීම සඳහා මළමිනියක් හෝ ඇට කැබැල්ලක් හෝ සොයා ගැනීම අවශ්‍ය නොවේ. ඒ මගින් දැනටත් එංගලන්තයේ හෝ ඇමරිකාවේ ජීවත්වන පුද්ගලයකු අතුරුදහන් කළ බවට ඉහළ හමුදා නිලධාරියෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ හැකියාව ලැබේ.

නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගේ ඉල්ලීම පරිදි එම කාර්යාලය තමා යටතට ගැසට් කරවා ඊට මුදල් ලබා නොදී එම කාර්යාලය අඩපන කළ බැවින් චෝදනා පත්‍ර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි විය. එසේ නොවුවා නම් සාක්ෂි අඥාපනත අදාළ නොවන එම ක්‍රියාවලිය මගින් යස්මින් සුකා ගේ ලයිස්තුවේ සිටින හමුදා නායකයින් 56 දෙනාටම ඉතා කෙටි කලක දී චෝදනා පත්‍ර සකස් කිරීමේ හැකියාව තිබුණි. එසේ වූවානම් මේ වන විට විවිධ රටවල නීති අනුව ගොනු කරනු ලබන යුද අපරාධ කිරීමේ නඩු වලට අදාලව නිලධාරීන් පිටුවහල් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල බලපෑම් එල්ල වනු ඇත. ඊට හේතුව එම ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා පිටුවහල් කිරීමේ පනත සහ අපරාධකරුවන් හුවමාරු කිරීමේ පනත පසුගිය රජය විසින් සංශෝධනය කර ඊට පහසුකම් සැලසීම ය. චූදිතයෝ නොමැතිව නඩු ඇසීමේ හැකියාව ඇති රටවල්වල යම් නිලධාරියෙකු වැරදිකරුවෙකු වුවහොත් ඔහුට ශ්‍රී ලංකාවේදී දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමේ හැකියාවද එම පනත් මගින් ලබා දී ඇත. මීට අමතරව යම් චූදිතයෙකු ඕනෑම රටකදි අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමේ හැකියාව සහ “කළු ලැයිස්තු” ගත කිරීමේ හැකියාව ඇත. එසේම ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැතත් අදාල රට ඊට අත්සන් තබා ඇත්නම් චූදිතයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීමේ හැකියාවද ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ කේවල් කිරීම

ඒ ආකාරයට අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය මගින් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට නොහැකි වූ බැවින් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් මානව හිමිකම් කොමිසම මගින් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් නිර්මාණය කරනු ලැබීය. පසුගිය 46/1 යෝජනාව මගින් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටු වනු ලබන්නේ ඒ අනුවය. එම යාන්ත්‍රණයේ වාර්තා සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් වූ පසුව ඉහත සඳහන් කළ ආකාරයට එක් නිලධාරියෙකුට එරෙහිව රටවල් කිහිපයක එකවර නඩු පැවරීමේ තත්ත්වයක් පවා මතුවිය හැක. ඒ අනුව එම උපාංගය රජය සහ හමුදා නිලධාරීන් බිය වැද්දීම සඳහා ඉතා ප්‍රබල අවියක් වන බවට සැකයක් නැත. ඒ මගින් යම් නිලධාරියකුට අවසන් වශයෙන් දඬුවම් කිරීමට කාලයක් ගත වුවද ලෝකය පුරා රටවල් නඩු කටයුතු ආරම්භ වූ විට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන විට සහ පිටුවහල් කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කරන විට ඇතිවන තත්ත්වය ඉතා බරපතළ බව තේරුම් ගැනීම අමාරු නැත. ඒ නිසා මේ වන විට දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලය ඉහත සඳහන් කළ ආකාරයට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලිය උච්චතම අවස්ථාවට රැගෙන එමින් තිබෙන බවද ඉතා පැහැදිලිය. ඒ තුළ දැන් ඔවුන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ කේවල් කිරීමට අවස්ථාව උදා වී ඇත. කරුණු දෙකක් මත එම ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇති බව තත්ත්වය ගැඹුරින් විශ්ලේෂණය කරන්නෙකුට තේරුම් ගැනීම අමාරු නැත.

ඊට අදාළ පළමුවැන්න ඩයස් ඩයස්පෝරාවේ යම් පාර්ශව සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයින් ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවට ඉඟි පළ කිරීම සහ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවට ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කිරීමය. දෙවැන්න 2015 මහ කොමසාරිස් වාර්තාව හෙවත් OISL වාර්තාව මගින් ඉදිරිපත් කළ අණදීමේ වගකීමට අදාල යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීම අවශ්‍ය නොවන බවට මතයක් විදේශ අමාත්‍යවරයා විසින් දැරීම ය. එනම් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලියට අභියෝග කිරීම හරහා එම චෝදනා නිශ්ප්‍රභා කිරීම මගින් ආරක්ෂක හමුදාවල නිරේදෝෂීභාවය ඔප්පු කිරීමට උනන්දු නොවීමය. ඒ අනුව එසේ ප්‍රහාරාත්මක ප්‍රවේශයකට යාම වෙනුවට ඩයස්පෝරාව සමග එකඟතාවයන්ට පැමිණ යස්මින් සුකාලගෙ ප්‍රහාරය සමනය කරගැනීමේ ප්‍රවේශයක් අනුගමනය කිරීම එනම් ආරක්ෂාකාරී ප්‍රවේශය මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලියෙන් ගැලවිය හැකි බවට ආණ්ඩුවට සහ උසස් හමුදා නිලධාරින්ට උපදෙස් ලැබී ඇතැයි උපකල්පනය කළ හැක. ඒ සඳහා ඩයස්පෝරාව සහ ආණ්ඩුව අතර පාලමක් ඉදිකළ හැකි උපදේශකයින් ආණ්ඩුව තුළ සිටින බවට සැකයක් නැත. ඒ සඳහා මධ්‍යස්ත ඩයස්පෝරාවක් පිළිබඳ නව සංකල්පයක් ද නිර්මාණය කෙරෙනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සැසියට පෙර ආණ්ඩුව පැත්තෙන් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම හෙවත් යුද අපරාධ චෝදනා වලට ප්‍රතිඋත්තර බැඳීමේ ප්‍රහාරාත්මක ප්‍රවේශයට යොමු නොවන්නේනම් ඩයස්පොරාවේ උපායමාර්ගයට ආණ්ඩුව ගොදුරුවන බව සැකයකින් තොරව පිළිගත හැක. එවැනි ප්‍රවේශයකට ආණ්ඩුව යොමු වන්නේ නම් අනිවාර්යෙන්ම ව්‍යවස්ථා සංශෝධන කතිකාව නැවත කරලියට පැමිනෙනු ඇත. ඒ අනුව නව ව්‍යවස්ථාව පෙර පවතින දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ඉඩ කඩ ඇත. ඉතිහාසයේ සරදමක් හෝ ඛේදවාචකයක් ලෙස එවැනි තත්ත්වයක් උදා වුවහොත් එතැන් සිට ආරම්භ වන්නේ යුද ජයග්‍රහණය ආපසු හැරවීමේ ක්‍රියාවලිය බවට කිසිදු සැකයක් නැත.

ඒ ආකාරයට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය වන්නේ සුළු සංශෝධන තුනකි. එනම් ආණ්ඩුකාරවරයා පත්කිරීමේදී මහඇමතිවරයාගේ අනුමැතිය ලබාගැනීම, සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම, සහ බදුපැනවීම මෙන්ම පළාත් භාණ්ඩාගාරයක් පවත්වාගෙන යෑම සඳහා බලතල ලබාදීමයි. එදා 19 වැනි සංශෙෘ්ධනය සම්මත කිරීමේදී කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතේ අඩංගු නොවූ සංශෝධන 40ක් ඇතුල් කළ ’විශේෂඥයින්’ පාර්ලිමේන්තුව තුළ නිරුපද්‍රිතව සිටිති. ඒ නිසා කුමන හෝ ව්‍යවස්ථා සංශෝධන “පිටකවරයක්” ඉදිරිපත්කර මහජනයා නොමඟ යවමින් පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේදී අදාල සුළු සංශෝධන ඇතුල් කිරීම ඔවුන්ට ඉතා සුළු දෙයකි. එම බලතල ලබාදුන් විට ජාත්‍යන්තර නීතියට අනුව මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර පරමාධිපත්‍යය බලය බෙදීයන තත්වයක් නිර්මාණය වේ. ජාත්‍යන්තර අධිකරණය හමුවේ විභාගයට ගැනුණ නැගෙනහිර ටිමෝරය බෙදාවෙන් කිරීමට අදාලව ඔස්ට්‍රේලියාවට එදිරිව පෘතුගාලය නඩු තීන්දුව අනුව එසේ පරමාධිපත්‍යය බලය බෙදීයන ආකාරයට බලතල බෙදා ඇති තත්වයකදී එම බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුව ඉඩ නොදෙන්නේ නම් අදාල පළාතේ ජනතාවට වෙන්වයාමේ අයිතිය ඇත.

එවැනි තත්වයක් තුළ එම ව්‍යවස්ථාමය පූර්ව කොන්දේසිය සම්පූර්ණ කර ගැනීමෙන් පසුව අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා ගැටුමක් නිර්මාණය කිරීම පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා 2012 දී මඩකලපුවේදී පැවැති තම පක්ෂ සම්මේලනයේදී සදහන් කළේ තමා ඊළාම් අරමුණු අතහැර නොමැති බව සහ ඒ කරා ලගාවීම සඳහා යුද්ධය වෙනුවට ගාන්ධිවාදී අහිංසාවාදී වීදි සටන් යොදාගන්නා බවය. අර්. සම්බන්ධන මන්ත්‍රීවරයා සඳහන් කරන අවිහිංසාවාදී වීදි සටන්, ඉහත සඳහන් කළ නඩු තීන්දුවට අනුව, ආරම්භ කෙරෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව බවට කිසිදු සැකයක් නැත. ඉඩම් හෝ පොලිස් ප්‍රඥප්තිය සම්මත කිරීමෙන් පසුව මධ්‍යම ආණ්ඩුව විසින් එක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවට චෝදනා කරමින් මහජනයා ඊනියා අවිහිංසාවාදී සටන් කැදවීමේ හැකියාව ඇත. එම ක්‍රියාවලිය අවසන් වන්නේ කොසෝවෝ බෙදා වෙන්කිරීමේදී සිදුවූ ආකාරයට මළමිණි ප්‍රමාණයක් එකතු කර ගැනීමෙන් පසුව ආරම්භවන ජාත්‍යන්තර මැදිහත්වීමකින් බවට ද කිසිදු සැකයක් නැත. කොසෝවෝ සහ සුඩාන අත්දැකීම් අනුව එම මැදිහත්වීම අවසන් වන්නේ රට බෙදා වෙන් කිරීමෙන් පසුව බව ඉතා පැහැදිලිය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ්‍රාහිම් ඇප පිට නිදහස්(Video)

පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...


Read More

ස්වාධීන වූ පක්ෂ සංධානයක් ගොඩ නැගීමට කටයුතු කරනවා- ජානිපෙ නායක විමල් වීරවංශ

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...


Read More

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More