දේශීය පුවත්

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදහස් කරන්නේද? නැද්ද? යන තීන්දුව එළඹෙන පෙබරවාරි 18 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (19) සඳහන් කළේය.

ඒ පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂි කැඳවීම අද අවසන් කරමිනි.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, නිලන්ත ජයවර්ධන මහතා යොමු කළ ලිපි 31ක් අතුරින් බහුතරයක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සටහන් යොදා ඇති බව අද අධිකරණය හමුවේ අනාවරණ වුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කෙරුණු නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී යළි විභාගයට ගැනුණි.

ඒ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේය.

පැමිණිලි පාර්ශ්වය සාක්ෂි ලෙස ලකුණු කර තිබූ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමුකර තිබූ බුද්ධි වාර්තා අඩංගු ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාක්ෂිකරුවෙකු අද කැඳවා තිබුණි.

ඒ පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න මහතාය.

තමා විසින් ලකුණු කරන ලද ලේඛන අතුරින් ලේඛන 6ක මුල් පිටපත් නොමැති බව පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම එක් ලේඛනයක මුල් පිටපත සාක්ෂිකරු රැගෙනවිත් නොමැති බවත් ඔහු අධිකරණයට දැනුම් දුනි.

කෙසේවෙතත් අදාළ මුල් ලේඛන ලකුණු කිරීම සාක්ෂිකරු මාර්ගයෙන් ආරම්භ කෙරුණු අතර ඇතැම් ලේඛනවල අසම්පූර්ණතා ඇති බවත්, එකිනෙකට වෙනස් ලේඛන පවතින බවත් අධිකරණය නිරීක්ෂණය කර තිබුණි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ යම් විමර්ශනයක් සිදු කළ විට ඊට අදාළ සම්පූර්ණ වාර්තා අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට පොලීසිය ක්‍රියා කළයුතු බවය.

නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කරනු ලැබූ ඇතැම් ලේඛනවල මුල් ලේඛන වෙනස් තත්ත්වයක පවතින බවත් විනිසුරුවරයා පෙන්වා දුනි.

මෙවැනි දේ හරහා සිදුවන්නේ අපරාධ විමර්ශන ක්‍රියාදාමය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳවැටීම බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේය.

පැමිණිලි පාර්ශ්වය මෙම නඩුවට අදාළව ලකුණු කර තිබූ ලේඛන පරීක්ෂා කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ, පැමිණිලි පාර්ශ්වය මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබූ බවය.

ඇතැම් ලේඛන ඉදිරිපත් කර ඇති අයුරු වැරදිසහගත බවත් ඔහු පැවසීය.

අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙම නඩුවට අදාළව ලකුණු කළ ලේඛන 31 කට අදාළ මුල් ලේඛන සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ ලකුණු කරනු ලැබීය.

විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොෂාන් දෙහිවල මහතා හරස් ප්‍රශ්න මතු කිරීම ඉන් පසුව ආරම්භ කළේය.

එහිදී හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා යොමුකර තිබූ ලිපි 31 අතරින් ලිපි බහුතරයක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සටහන් යොදා ඇති බව පිළිගත්තේය.

එම බුද්ධි වාර්තා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, වයඹ හා සබරගමුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අදාළ ලේඛනවල සටහන් යොදා ජයසුන්දර මහතා ඒවා යොමුකර තිබූ බවත් සාක්ෂිකරු විසින් පිළිගෙන තිබේ.

තවදුරටත් අධිකරණය හමුවේ අනාවරණ වූයේ පැමිණිල්ල ලකුණු කළ බුද්ධි වාර්තා අඩංගු ලේඛන 31 අතුරින් 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හිටපු පොලිස්පතිවරයා සටහන් යොදා තිබූ බවය.

අනතුරුව වැඩිදුර විභාගය අද (20) දින තෙක් කල් තැබුණි.

(උපුටා ගැනීම අද දෙරණ )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More