පුරවැසි කොලම

අතිගරු ජනධිපතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

ඉන්දු පැසිෆික් කලාපයේ උපාය මාර්ගික මර්මස්ථානයක් වන
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වසර 50කට ඉන්දියාවට බදුදීම
පිළිබඳව ජාතික සංවිධානවල මතය ප්‍රකාශ කිරීම

ඉන්දු පැසිෆික් කලාපයේ උපාය මාර්ගික මර්මස්ථානයක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කලාපයේ බල අරගලයේ පාර්ශ්වයක් වන ඉන්දියාවට වසර 50ක කාලයකට බදුදීම සඳහා ශ්‍රී ලංකාවේ රජය ක්‍රියාකරමින් සිටින ආකාරය ඉතාම ප්‍රශ්නකාරී බව රටේ දැනුම්වත් ජනතාවගේ මතය බව ඔබතුමා දන්නවාද යන්න අපි නොදනිමු. ඒ මගින් රයේ අනාගත ස්වෛරීභාවයට සහ බලශක්ති සුරක්ෂිතතාවය මෙන්ම ආණ්ඩුවේ ප්‍රතිරූපයටද බරපතළ අගතියක් සිදුවන බව ඉතා පැහැදිලිව දක්නට ඇත. විෂයභාර අමාත්‍යවරයා විසින් ජාතික සංවිධාන සහ විවිධ සමාජ ක්‍රියාකාරීකයින් කැඳවා එතුමාගේ පැත්තෙන් කථාව පැහැදිලි කිරීම මගින් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයක් ප්‍රකට විය. නමුත් එම පැහිදිළි කිරීමේදී එතුමාගේ වචන පිළිබඳ විශ්වාස කිරීම හැර ඊට අදාල ගිවිසුම් පිළිබඳව විස්තරාත්මක කරුණු දැනගැනීමේ අවකාශයක් නොතිබුණි. පසුගිය 2022.01.03 වන දින අදාල ගිවිසුම් අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් සැනින් පාර්ලිමේන්තුව තුළදී හෝ ඉන් බාහිර සමාජය තුළ කිසිදු සංවාදයක් ඇතිවීමට පෙර 2022.01.05 වැනි දින ගිවිසුම අත්සන් කිරීම මගින් මහජනයා අතර සැකය අවිශ්වාසය සහ විරෝධය ජනිතවීම වැළැක්විය නොහැක.

ඉන්දියානු තෙල් සමාගම විසින් වසර 20කට ආසන්න කාලයක් නීත්‍යානූකූලව ක්‍රියාත්මක නොවූ ගිවිසුමක් මගින් බුක්තිය පමණක් ලබාගෙන තිබූ අක්කර 827ක භූමිය සහ තෙල් ටැංකි 99 ඒ ආකාරයට ඉතා කලබලකාරී ලෙස වඩා බරපතළ සහ අවාසිදායක කොන්දේසි යටතේ වසර 50ක් වැනි දිර්ඝ කාලයකට බදුදීම සාධාරණිකරණය කරන්නේ කෙසේද? ඒ නිසා එය හුදු වානිජ ගනුදෙණුවක් අභිබවා යන දේශපාලන ගනුදෙණුවක් බවට චෝදනා එල්ලවීම වැලැක්විය නොහැක. ඉන්දියාව විසින් එල්ල කරනු ලබන රාජ්‍යතාන්ත්‍රික පීඩනයට මුහුණදීමට නොහැකි බැවින් එවැනි තීන්දුවක් ගැනීමට සිදුවන බවට යමෙකු ප්‍රකාශ කරන්නේනම් ඒ මගින් එම පුද්ගලයාගේ නායකත්ව පෞරෂයට බරපතළ අගතියක් සිදුවේ. විශේෂයෙන්ම මීට පෙර ඊට වඩා බරපතළ පීඩනයන්ට මුහුණ දෙමින් යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ක්‍රියාකළ නායකත්වයක් රටේ පවතින තත්වයක් තුළ එවැනි බොළඳ ප්‍රකාශ මගින් ප්‍රශ්නයේ බරපතළකම අවතක්සේරු කළ නොහැක.

කෙසේ වෙතත් එවැනි තත්වයකදී කේවල් කිරීමේ බලය යහපත් වනතුරු වසර 20ක් තිබූ තත්වය තවදුරටත් යම් කාලයක් අල්ලාගෙන සිටීම වඩා සුදුසුම ක්‍රියාමාර්ගය බව සාමාන්‍ය ගැමියෙකුට වුවද වැටහෙන කාරණයකි. විශේෂයෙන්ම වසර 20කට පෙර එදා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටත්වූ කොන්දේසි වලට වඩා අගතිදායක කොන්දේසිවලට යටත්වීම කිසිසේත්ම සාධාරණිකරණය කළ නොහැක. දැනට එළිදරව් වී ඇති කරුණු අනුව ඊට අදාලව පහත සඳහන් උදාහරණ ඉදිරිපත් කළ හැක.

1) පැරණි ගිවිසුමේ කාලය වසර 35ක් වුවද නව ගිවිසුම මගින් වසර 50ක් වැනි දිර්ඝ කාලයක් ලබාදී ඇත.

2) පැරණි ගිවිසුම අනුව කොන්දේසි කඩවූ අවස්ථාවක සමථ ක්‍රියාවලිය සිදුකළ යුත්තේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව ශ්‍රී ලංකාවේදීය. නමුත් නව ගිවිසුම අනුව එය සිදුකළ යුත්තේ සිංගප්පූරුවේදීය. එය ශ්‍රී ලංකාවට අවාසිදායක තට්වයකි.

3) පැරණි ගිවිසුම මගින් සිදුවූයේ අනාගතයේදී බදු ගිවිසුම් අත්සන් කිරීමේ එකඟතාවය මත බුක්තිය බාරදීම පමණි. නමුත් නව ගිවිසුම මගින් ඉන්දියානු තෙල් සමාගමට උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් පහළ අංගනයේ ටැංකි 14 සහ වරායේ නැවි තෙල් ව්‍යාපාරය වසර 50කට සම්පූර්ණයෙන්ම බදුදීම සිදුවේ. ඒ මගින් වරාය ආශ්‍රීත නැව්තෙල් සැපයීමේ පද්ධතිය කඩාබිඳ දමා එම සමාගමට අවශ්‍ය ආකාරයට එවා නැතව ඉදිකිරීමේ බලය පවා ලබාදී ඇත. එය බරපතළ උපායමාර්ගික වරදක් වන බව අනාගතයේදී වැටහෙනු ඇත.

4) පැරණි ගිවිසුම මගින් එක් ටැංකියක් සඳහා බදු මුදල ඩොලර් 1000ක් ලෙස පනවා ඇත්තේ වසර 20කට පෙරය. එම පැරණි ගිවිසුම මගින් වසර 5 සහ 10 කඩ ඉම් වලදී වාර්ෂිකව එම බදු මුදල වැඩි කිරීමටද එකඟ වී ඇතත් නව ගිවිසුම මගින් නියම කර ඇත්තේ එම පැරණි සහනදායක බදු මුදල පමණි.

5) නව ගිවිසුම මගින් රජයට අයත් ඛනිජතෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම ඒකාබද්ධව පිහිටුවනු ලබන සමාගමකට ටැංකි 61ක් පවරා ඇතත් ඕනෑම අවස්ථාවක එම ටැංකි සමාන බදු මුදලක් ගෙවා ඉන්දියානු තෙල් සමාගම විසින් අත්පත්කර ගැනීම සඳහා ප්‍රතිපාදන පනවා ඇත. ඒ අනුව අවසාන අරමුණ පැහැදිළි වේ.

6) නව ගිවිසුම මගින් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදී ඇති ටැංකි 21න් 3ක් වතුර පිරවීම සඳහා ප්‍රීරීමා සමාගමට ලබාදීමට සිදුවන අතර ඉතිරි ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා විශාල මුදලක් වැය වන බව සංස්ථා සේවකයෝ පවසති. ඒ අනුව එම ටැංකි අවසානයේදී ඉන්දියානු තෙල් සමාගම යටතට පත්කිරීමට ඉඩ කඩ ඇත.

7) ඒ අතර ඉන්දියානු තෙල් සමාගමේ එකඟතාවය නොමැතිව වෙනත් කිසිදු සමාගමකට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අදාල ව්‍යාපාරික කටයුතු වල නියැලීමට නොහැකි බවට නව ගිවිසුම මගින් කොන්දේසි පැනවීම මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය වේ. අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව එම වගන්තිය ඉවත් කරන ලෙසට නීතිපතිතවරයා උපදෙස් ලබාදී ඇතත් ඉන්දියානු රජයේ බලපෑම නිසා එම උපදෙස් නොතකා අදාල වගන්තිය ඇතුල්කර ඇති බව ද දැනගන්නට ඇත.

8) ඊට අමතරව මෙම ක්‍රියාවලිය තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ආයෝජන මාදිලිය පිළිබඳ මූලික ගිවිසුම සහ ඉඩම බදුදීමේ බදු ගිවිසුම පමණක් බවට වාර්තා වේ. ඒ අනුව නිව්ෆෝට්ස් ගනුදෙනුවට අදාල අමාත්‍ය මණ්ඩල තීන්දුව ලබාගත් ආකාරයටම ඉතාම වැදගත් ප්‍රධාන ගිවිසුම වන කොටස් විකිණිමේ ගිවිසුම හෙවත් ඒකාබද්ධ සමාගමේ බලතල බෙදෙන ආකාරය පිළිබඳ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නැත. (දැනට රජයට අයත් ට්‍රින්කෝ පෙට්‍රොලියම් සමාගම ඉන්දියානු තෙල් සමාගම සමග ඒකාබද්ධ සමාගමක් බවට පරිවර්ථනය කිරීම සඳහා කොටස් මිලදී ගැනීමේදී ඉන්දියානු තෙල් සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිත මුදල සහ පරිපාලන බලතල හිමිවන පාර්ශවය පිළිබඳව වැදගත් කොන්දේසි අඩංගු වන්නේ එම ගිවිසුම තුළය. කොටස් 51%ක් ශ්‍රී ලංකාවට අයත්වන බව ප්‍රකාශ කිරීම මගින් තහවුරු වන්නේ ලාභ බෙදීයන ආකාරය පමණි. එම සමාගමේ ඒ පරිපාලන බලතල පිළිබඳ එකඟතාවය ඇතිවන්නේ ගිවිසුමේ වගන්ති අනුවය. උදාහරණයක් ලෙස එමිරේට්ස් එයාර් ලංකා ගිවිසුම අනුව ශ්‍රි ලංකාවට කොටස් 65% හිමිවුවද පරිපාලන බලතල හිමිවූයේ එමිරෙට්ස් ආයතනයටය.

9) ඒ ආකාරයට ඉතාම වැදගත් ගිවිසුමක් අමාත්‍ය මණ්ඩලයට පවා ඉදිරිපත් නොකර බදු ගිවිසුම සහ මාදිලයට අදාල ගිවිසුම පමණක් ඉදිරිපත් කර සමස්ථයට අනුමැතිය ලබාගැනීම මගින් ජනතා පරිමාධිපත්‍යය උල්ලංඝණය වේ.

10) එසේම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ අනුමැතිය නොමැතිව ඉඩම් කොමසාරිස්වරයා විසින් බදු ගිවිසුම අත්සන් කිරීම මගින්ද රටේ නීතිය සහ ජනතා පරමාධිපත්‍යය අභියෝගයට ලක්වේ.

ඒ අනුව අදාල ක්‍රියාවලිය තුළ දේශපාලන සහ තාක්ෂණික වැරදි රාශියක් සිදුකර ඇති බව පැහැදිලිවේ. එසේම නිසි අනුමැතිය නොමැතිව අත්සන් කරනු ලබන ගිවිසුම් නීතියට අනුව වලංගු නොවේ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට දැන් ගත හැකි වඩා නිවැරදි සහ යුක්තිගරුක තීන්දුව වන්නේ අදාල ක්‍රියාවලිය වහාම අත්හිටුවා සමස්ථය නැවත සමාලෝචනය කිරීමට ක්‍රියාකිරීමය. එසේ නොමැතිව අධිකරණය මගින් හෝ මහජන විරෝධතා නිසා එම තීන්දුව ගැනීමට සිදුවුවහොත් ඒ මගින් ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ පැවැත්මට මෙන්ම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවලටද බරපතළ අගතියක් සිදුවනු ඇත. ඊට අමතරව සෑම වරායක් ආශ්‍රිතව නැව් වලට තෙල් සැපයීමේ ව්‍යාපාරය රජය සතු විය යුතු බවට සහ රජය විසින් විදේශ ණයක් ලබාගැනීම මගින් හෝ මෙම තෙල් ටැංකි වලින් බහුතරය භාවිතා කරමින් හදිසි අවශ්‍යතාවය සඳහා ආරක්ෂණ තෙල් සංචිතයක් පවත්වාගෙන යාම මගින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවට ද අපි යෝජනා කරමු. එදා 1964දී මෙම තෙල් ටැන්කි සංකීර්ණය පවුම් 250000 ගෙවා බ්‍රිතාන්‍යය නාවික හමුදාවෙන් නැවත ලබාගත්තේ එදා පැවති රජය විසින් එම ජාතික අවශ්‍යතාවය බරපතළ ලෙස සැළකිල්ලට ගනු ලැබූ බැවිණි.

මේ වගට

ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2022.01.08



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More