දේශීය පුවත්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියානු තෙල් සමාගම පසුගියදා අත්සන් කරනු ලැබු, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය ව්‍යාපෘතිය ගිවිසුමේ අහිතකර කොන්දේසි පිළිබද ජාතික සංවිධාන එකමුතුව තම මතය ජනපති වෙත ලිපියක් මගින් දැනුවත් කලේය.

ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකරන ලද ලිපියේ අඩංගු කරුණු පහත දැක්වේ.

විශේෂයෙන්ම වසර 20කට පෙර එදා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටත්වූ කොන්දේසි වලට වඩා අගතිදායක කොන්දේසිවලට යටත්වීම කිසිසේත්ම සාධාරණිකරණය කළ නොහැක. දැනට එළිදරව් වී ඇති කරුණු අනුව ඊට අදාලව පහත සඳහන් උදාහරණ ඉදිරිපත් කළ හැක.

1) පැරණි ගිවිසුමේ කාලය වසර 35ක් වුවද නව ගිවිසුම මගින් වසර 50ක් වැනි දිර්ඝ කාලයක් ලබාදී ඇත.

2) පැරණි ගිවිසුම අනුව කොන්දේසි කඩවූ අවස්ථාවක සමථ ක්‍රියාවලිය සිදුකළ යුත්තේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව ශ්‍රී ලංකාවේදීය. නමුත් නව ගිවිසුම අනුව එය සිදුකළ යුත්තේ සිංගප්පූරුවේදීය. එය ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයකි.

3) පැරණි ගිවිසුම මගින් සිදුවූයේ අනාගතයේදී බදු ගිවිසුම් අත්සන් කිරීමේ එකඟතාවය මත බුක්තිය බාරදීම පමණි. නමුත් නව ගිවිසුම මගින් ඉන්දියානු තෙල් සමාගමට උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් පහළ අංඟනයේ ටැංකි 14 සහ වරායේ නැවි තෙල් ව්‍යාපාරය වසර 50කට සම්පූර්ණයෙන්ම බදුදීම සිදුවේ. ඒ මගින් වරාය ආශ්‍රීත නැව්තෙල් සැපයීමේ පද්ධතිය කඩාබිඳ දමා එම සමාගමට අවශ්‍ය ආකාරයට එවා නැවත ඉදිකිරීමේ බලය පවා ලබාදී ඇත. එය බරපතළ උපායමාර්ගික වරදක් වන බව අනාගතයේදී වැටහෙනු ඇත.

4) පැරණි ගිවිසුම මගින් එක් ටැංකියක් සඳහා බදු මුදල ඩොලර් 1000ක් ලෙස පනවා ඇත්තේ වසර 20කට පෙරය. එම පැරණි ගිවිසුම මගින් වසර 5 සහ 10 කඩඉම් වලදී වාර්ෂිකව එම බදු මුදල වැඩි කිරීමටද එකඟ වී ඇතත් නව ගිවිසුම මගින් නියම කර ඇත්තේ එම පැරණි සහනදායක බදු මුදල පමණි.

5) නව ගිවිසුම මගින් රජයට අයත් ඛනිජතෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම ඒකාබද්ධව පිහිටුවනු ලබන සමාගමකට ටැංකි 61ක් පවරා ඇතත් ඕනෑම අවස්ථාවක එම ටැන්කි සමාන බදු මුදලක් ගෙවා ඉන්දියානු තෙල් සමාගම විසින් අත්පත්කර ගැනීම සඳහා ප්‍රතිපාදන පනවා ඇත. ඒ අනුව අවසාන අරමුණ පැහැදිළි වේ.

6) නව ගිවිසුම මගින් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදී ඇති ටැංකි 21න් 3ක් වතුර පිරවීම සඳහා ෆ්‍රීමා සමාගමට ලබාදීමට සිදුවන අතර ඉතිරි ටැන්කි ප්‍රතිසංස්කරණය සඳහා විශාල මුදලක් වැය වන බව සංස්ථා සේවකයෝ පවසති. ඒ අනුව එම ටැංති අවසානයේදී ඉන්දියානු තෙල් සමාගම යටතට පත්කිරීමට ඉඩ කඩ ඇත.

7) ඒ අතර ඉන්දියානු තෙල් සමාගමේ එකඟතාවය නොමැතිව වෙනත් කිසිදු සමාගමකට ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අදාල ව්‍යාපාරික කටයුතු වල නියැලීමට නොහැකි බවට නව ගිවිසුම මගින් කොන්දේසි පැනවීම මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංගණය වේ. අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව එම වගන්තිය ඉවත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතත් ඉන්දියානු රජයේ බලපෑම නිසා එම උපදෙස් නොතකා අදාල වගන්තිය ඇතුල්කර ඇති බව ද දැනගන්නට ඇත.

8) ඊට අමාතරව මෙම ක්‍රියාවලිය තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ආයෝජනය මාදිලිය පිළිබඳ මූලික ගිවිසුම සහ ඉඩම බදුදීමේ බදු ගිවිසුම පමණක් බවට වාර්තා වේ. ඒ අනුව නිව්ෆෝට්ස් ගනුදෙනුවට අදාල අමාත්‍ය මණ්ඩල තීන්දුව ලබාගත් ආකාරයටම ඉතාම වැදගත් ප්‍රධාන ගිවිසුම වන කොටස් විකිණිමේ ගිවිසුම හෙවත් ඒකාබද්ධ සමාගමේ බලතල බෙදෙන ආකාරය පිළිබඳ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නැත. (දැනට රජයට අයත් ත්‍රින්කෝ පෙට්රෝලියම් සමාගම ඉන්දියානු තෙල් සමාගම සමග ඒකාබද්ධ සමාගමක් බවට පරිවර්ථනය කිරීම සඳහා කොටස් මිලදී ගැනීමේදී ඉන්දියානු තෙල් සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිත මුදල සහ පරිපාලන බලතල හිමිවන පාර්ශ්වය පිළිබඳව වැදගත් කොන්දේසි අඩංගු වන්නේ එම ගිවිසුම තුළය. කොටස් 51%ක් ශ්‍රී ලංකාවට අයත්වන බව ප්‍රකාශ කිරීම මගින් තහවුරු වන්නේ ලාභ බෙදීයන ආකාරය පමණි. එම සමාගමේ ඒ පරිපාලන බලතල පිළිබඳ එකඟතාවය ඇතිවන්නේ ගිවිසුමේ වගන්ති අනුවය. උදාහරණයක් ලෙස එමිරේට්ස් එයාර් ලංකා ගිවිසුම අනුව ශ්‍රි ලංකාවට කොටස් 65% හිමිවුවද පරිපාලන බලතල හිමිවූයේ එමිරෙට්ස් ආයතනයටය.)

9) ඒ ආකාරයට ඉතාම වැදගත් ගිවිසුමක් අමාත්‍ය මණ්ඩලයට පවා ඉදිරිපත් නොකර බදු ගිවිසුම සහ මාදිලියට අදාල ගිවිසුම පමණක් ඉදිරිපත් කර සමස්ථයට අනුමැතිය ලබාගැනීම මගින් ජනතා පරිමාධිපත්‍යය උල්ලංඝණය වේ.

10) එසේම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ අනුමැතිය නොමැතිව ඉඩම් කොමසාරිස්වරයා විසින් බදු ගිවිසුම අත්සන් කිරීම මගින්ද රටේ නීතිය සහ ජනතා පරමාධිපත්‍යය අභියෝගයට ලක්වේ.

ඒ අනුව අදාල ක්‍රියාවලිය තුළ දේශපාලන සහ තාක්ෂණික වැරදි රාශියක් සිදුකර ඇති බව පැහැදිලිවේ. එසේම නිසි අනුමැතිය නොමැතිව අත්සන් කරනු ලබන ගිවිසුම් නීතියට අනුව වලංගු නොවේ. ඒ නිසා ජනාධිපතිතුමනි, ඔබතුමාට දැන් ගත හැකි වඩා නිවැරදි සහ යුක්තිගරුක තීන්දුව වන්නේ අදාල ක්‍රියාවලිය වහාම අත්හිටුවා සමස්ථය නැවත සමාලෝචනය කිරීමට ක්‍රියාකිරීමය. එසේ නොමැතිව අධිකරණය මගින් හෝ මහජන විරෝධතා නිසා එම තීන්දුව ගැනීමට සිදුවුවහොත් ඒ මගින් ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ පැවැත්මට මෙන්ම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවලටද බරපතළ අගතියක් සිදුවනු ඇත. ඊට අමතරව සෑම වරායක් ආශ්‍රිතව නැව් වලට තෙල් සැපයීමේ ව්‍යාපාරය රජය සතු විය යුතු බවට සහ රජය විසින් විදේශ ණයක් ලබාගැනීම මගින් හෝ මෙම තෙල් ටැංකි වලින් බහුතරව භාවිතා කරමින් හදිසි අවශ්‍යතාවය සඳහා ආරක්ෂණ තෙල් සංචිතයක් පවත්වාගෙන යාම මගින් රටේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවට ද අපි යෝජනා කරමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More