පුරවැසි කොලම

ඇමෙරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් පද්ධතිය විසින් ලෝකයේ සෙසු රටවල් කොල්ල කෑම සහ දාස රාජ්‍යයන් ලෙස පවත්වාගෙන යාම සඳහා යොදා ගන්නා න්‍යායාත්මක ප‍්‍රවේශය සහ ක‍්‍රමවේද අධිරාජ්‍යවාදය ලෙස ඉතා සරල අර්ථයෙන් හැදින්විය හැක. අධිරාජ්‍යවාදීන්ගේ ආක‍්‍රමණය, දේශපාලන, ආර්ථික සහ සමාජ සංස්කෘතික යන සටන්බිම් ත‍්‍රිත්වය තුළම විවිධ මට්ටම්වලින් ක‍්‍රියාත්මක වේ. දේශපාලන සහ සමාජ සංස්කෘතික අධිරාජ්‍යවාදය යනු ආර්ථික අධිරාජ්‍යවාදය හෙවත් කොල්ලකෑම පවත්වාගෙන යෑම සඳහා වන මූලික පූර්ව අවශ්‍යතාවයන් ලෙස සැලකේ. ආර්ථික සටන් බිම තුල අධිරාජ්‍යවාදීහු ඉතා දියුණු සෘජු සහ වක‍්‍ර මෙන්ම අභ්‍යන්තර සහ බාහිර සටන් උපක‍්‍රම සහ ආයුධ තෝරති. එහිදී විවිධ දේශපාලන සහ මූල්‍ය උපාංග යොදා ගනිමින් අභ්‍යන්තරව වෙළඳ සහ ආර්ථික ප‍්‍රතිපත්ති වෙනස් කිරීම මෙන්ම ගිවිසුම් මගින් සමතුලිත නොවන එකඟතාවයන් ඇතිකර ගැනීම ඒ අතුරින් ප‍්‍රධාන වේ. ඊට අමතරව විවිධ ජාත්‍යන්තර බහුපාර්ශ්වීය ආයතන සහ ගිවිසුම් මෙන්ම ජාත්‍යන්තර නීති පද්ධතිය ද ඒ සඳහා යොදාගැනේ. සංස්කෘතික අධිරාජ්‍යවාදයේදී මූලික වශයෙන් සංස්කෘතික ආක‍්‍රමණ සහ මානසික යුද උපක‍්‍රම යොදා ගන්නා අතර එ් මගින් දේශපාලන සහ ආර්ථික අධිරාජ්‍යවාදයට ගොදුරුවන මිනිසා නිර්මාණය කෙරේ.

දේශපාලන අධිරාජ්‍යවාදයේ දී සෘජුව සහ වක‍්‍රව ආයුධ බලය යොදා ගන්නා අතර අවසාන වශයෙන් හමුදාමය ආක‍්‍රමණයක් දක්වා තත්ත්වයන් වර්ධනය වන අවස්ථාද දැකගත හැක. ලිබියාව සහ ඉරාකය සම්බන්ධයෙන් අනුගමනය කළ උපාය මාර්ගය තුළ ඍජු හමුදාමය ආක‍්‍රමනයකට විශේෂ ඉඩක් විවර කරගනු ලැබීය. කෙසේ වෙතත් යටත් විජිත සමයෙන් පසුව නව යටත් විජිත සහ යළි යටත්විජිතකරණය ක‍්‍රියාවලිය තුළ රාජ්‍යයන් දුර්වල කිරීම සඳහා අභ්‍යන්තර සන්නද්ධ අරගල නිර්මාණය කිරීම, වර්ධනය කිරීම සහ මූල්‍ය සහ ආයුධ මෙන්ම පුහුණුව ලබාදීම ද සිදුවේ. එසේ ගැටුම් නිර්මාණය කිරීම සඳහා ඉතා සාර්ථකව යොදාගනු ලබන මූලයන් දෙකක් ඇත. පළමුවැන්න බෙදුම්වාදය වන අතර දෙවැන්න ආගමික අන්තවාදය වේ. ඒ අතරින් ඉස්ලාම් අන්තවාදයට ප‍්‍රධාන ස්ථානයක් සහ වටිනාකමක් හිමිවන්නේ එය ඉතා නිර්ධය මෙන්ම කෘර සහ මිලේච්ඡු ලෙස යොදාගැනීමට හැකිවීම නිසාය. අද වන විට සමස්ත ලෝකයම විවිධ මට්ටම්වලින් ඊට ගොදුරු වෙමින් පවතින බව ඉතා පැහැදිලි ය.

පර්යේෂණ මාධ්‍යවේදිනියක් වන නයෝමි ක්ලේන් විසින් රචිත ‘ආපදා අධිරාජ්‍යවාදය’ නමැති නිබන්ධනය මගින් ඉස්ලාම් අන්තවාදය වැනි අන්තවාදී ප‍්‍රවණතාවයන් යොදාගනිමින් රටවල් තුළ බෝම්බ ප‍්‍රහාර මෙහෙයවා ආපදා තත්ත්වයක් ඇති කිරීමෙන් පසුව එම රටවල රාජ්‍යයන් සහ ජනතාව මානසිකව යටත් කෙරෙන ආකාරය මැනවින් විග‍්‍රහ කෙරේ. ශ්‍රී ලංකාවට අදාළව ගත්විට ඒ සඳහා බෙදුම්වාදය මෙන්ම ඉස්ලාම් අන්තවාදය ඉතා සූක්ෂම ලෙස යොදාගන්නා ආකාරය ඉතා හොඳින් තේරුම් ගත හැක. එහිදී බෙදුම්වාදී ව්‍යාපාරය න්‍යායාත්මකව සමාජය තුළ තහවුරු කිරීම සඳහා ඉතා ප‍්‍රබල ලෙස රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් යොදාගනු ලැබීය. එ් නිසා බොහෝ වාමාංශික පක්ෂ පවා ඊට ගොදුරු විය. ඒ අනුව බෙදුම්වාදය තුළින් අපේක්ෂිත අරමුණු වූ රට බෙදා වෙන්කිරීම සහ අවසානයේදී දීර්ඝකාලීන යුද්ධයකට තල්ලූ කිරීම සහ රාජ්‍ය දුර්වල කිරීම යන ක‍්‍රියාවලියට ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීම යනුවෙන් ඉතා සාධාරණ ලෙෂ පෙණෙන ලේබලයක් ඇලවීමට හැකිවිය. යම් වාමාංශික පක්‍ෂ ඊට විමුක්ති අරගලය වැනි ලේබල් ද ඇලවීය.

දඩ බල්ලා දුරස්ථ පාලකය මගින් දඩයම් සඳහා යොදාගැනීම

කෙසේ වෙතත් එදා රෝහණ විජේවීරයන් සහ පසුව සෝමවංශ අමරසිංහ යන වාමාංශික දේශපාලන නායකයින් විසින් සමස්තය නිවැරදිව න්‍යායාත්මකව ස්ථානගත කිරීම නිසා මහා සමාජය ඊට එරෙහිව පෙළ ගැස්වීමට හැකි විය. එ් අනුව දෙමළ විමුක්ති සටන්කාමීන් යනු අධිරාජ්‍යවාදීන්ගේ කුලී හමුදාවක් බව සහ ඊට යුදමය වශයෙන් මුහුණ දිය යුතුය යන න්‍යායාත්මක පදනම තහවුරු විය. එහිදී යම් පිරිස් බෙදුම්වාදයට එරෙහිවීම ජාතිවාදයක් ලෙස හෙවත් දෙමළ ජනතාවට එරෙහිවීමක් ලෙස අර්ථදැක්විය. නමුත් බෙදුම්වාදය එක් පැත්තකින් ජාතිවාදයක් ද වන බැවින් ඊට එරෙහිවීම ප‍්‍රගතිශීලී සහ ජාතිවාදයට එරෙහි ස්ථාවරයක් ලෙස තහවුරු කළ හැකිය. එ් අනුව රාජ්‍යයට මෙන්ම බහුතරයක් පොදු ජනතාවට මානසික බාධකවලින් තොරව බෙදුම්වාදයට එරෙහිව සෘජුව සිට ගැනීමට බල කෙරිණි. නමුත් ආණ්ඩුව සහ රාජ්‍යය බෙදුම්වාදයට එරෙහි වන්නේ ඒ සඳහා යොදාගත් යුදමය උපාංගයේ පීඩාව නිසාය. එ් අනුව යුද්ධය පාලනය කරන තත්වයක් යටතේ බෙදුම්වාදයේ මූලික උපාය මාර්ගික උපාංගය හෙවත් ඊනියා දේශපාලන විසඳුම ලෙස හදුන්වන ව්‍යවස්ථා සංශෝධනයට එකඟවීම ඔවුන්ට ගැටළුවක් නොවේ. එසේනම් යුදමය විසඳුම යොදාගනු ලැබුවේ ඊනියා දේශපාලන විසඳුම සඳහා බෙදුම්වාදීන් එකඟ කර ගැනීම සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙස නොවේද? නමුත අවසානයේදී ආණ්ඩුවේ අරමුණ සහ ජාතිකවාදී බලවේගවල අරමුණ සමපාත කිරීමට ජාතික බලවේගයට හැකිය.

නමුත් අද වන විට බෙදුම්වාදයට අමතරව ලෝකය පුරා තෝරා ගත් රටවල් සමූහයක අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීම සහ එම රාජ්‍යයන් දුර්වල කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් විසින් ඉස්ලාම් අන්තවාදය ඉතා නිර්දය ලෙස යොදාගන්නා ආකාරය දැක ගත හැක. එහිදී අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට රහසිගතව අරමුදල්, ආයුද සහ පුහුණුව ලබාදීම සඳහා විවිධ ඔත්තු සේවා යොදා ගන්නා අතර විවෘත තලයේ දී ඔවුන්ට පහර දීම සහ ඒ සඳහා ඉදිරිපත් වන රාජ්‍යයන්ට සහාය දීම ද එක විට සිදු කෙරෙන ආකාරය පිළිබඳ ඉතා ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් වී පත් වී ඇත. එංගලන්තයේ ‘ද ගාඩියන්’ සඟරාව විසින් එළිදරව් කරනු ලැබූ ලන්ඩන් නුවර දී විභාගයට ගැනුණු සිරියාවේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලියට සම්බන්ධ වූ බවට චෝදනාවට ලක්වූ ස්වීඩන් ජාතික බහර්ලින් ගිල්බෝගේ නඩුවට අදාළ තොරතුරු එවැනි දහස් ගණනක් වූ සාක්ෂි අතුරින් එකකි. එම නඩුව 2015 වසරේ ජනවාරි 1 වැනි දින කඩා වැටුණි. ඊට හේතුවූයේ එම නඩුව මගින් බි‍්‍රතාන්‍යයේ ඔත්තු සේවාව වූ MI6 සහ ඇමරිකාවේ ඔත්තු සේවාව වන CIA සංවිධානය එකට එක්ව 2012 දී ලිබියාවේ අනාරක්ෂිතව තිබූ ආයුධ තොග සිරියාවේ අයි.එස් ත‍්‍රස්තවාදීන් අතට පත් කිරීම සඳහා දියත් කළ මෙහෙයුම එළිදරව් වීමය. ඒ නිසා එම නඩුව විභාග කිරීම මගින් ඔවුන්ට සිදුවන අපවාදය වළක්වා ගැනීම සඳහා පැමිණිල්ල විසින්ම නඩුව ඉල්ලා අස් කර ගනු ලැබීය.

ඊට අමතරව ‘‘ඉන්සර්ජ් ඉන්ටෙලිජනස්’’ (Insurge Inteligence) නම් වූ ස්වාධීන ජාත්‍යන්තර මාධ්‍ය එකතුව විසින් 2016 දී ප‍්‍රකාශයට පත්කළ වාර්ථා අනුව ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය පමණක් නොව තුර්කිය සෞදි අරාබිය සහ පාකිස්ථානය වැනි එම බලවත් රටවල සහායක රාජ්‍යයන්ද ජිහාඞ් ත‍්‍රස්තවාදීන්ට විශේෂයෙන්ම අයි.එස්. සහ තලේබාන් වැනි සංවිධාන වලට ආයුධ, මුදල් සහ පුහුණුව ලබා දුන් බවට බොහෝ සාක්ෂි ඉදිරිපත් වී ඇත. මෑත කාලීනව අෆ්ගනිස්ථානයේ තලේබාන් ත‍්‍රස්තවාදීන් මර්ධනය කිරීමේ නාමයෙන් වසර 20ක කාලයක් තුළ ඇෆ්ගනිස්ථානය තුළ සිදු වූ දේ මගින් ඇමරිකාව විසින් ඉස්ලාම් අන්තවාදීන් නම් වූ දඩබල්ලන් ඉතා හොඳින් පුහුණුකර සහ පෝෂණය කර තම දඩබිම් වලට මුදාහරින ආකාරය ඉතා හොඳින් පැහැදිලි විය. ඇමරිකානු හමුදා විසින් පුහුණු කළ ලක්ෂ 03ක ඇෆ්ගන් හමුදා දැන් තලේබාන්වරු සමග එකතු වී ඇත. ඊට අමතරව බැලක්හෝක් ප‍්‍රහාරක හෙලිකොප්ටර් 14ක් ඇතුළු ප‍්‍රහාරක යානා 73ක් සහ වෙනත් හමුදා වාහන 100 ක් සහ විශාල සැහැල්ලූ සහ බර අවි තොග තලේබාන්වරුන් අතට පත් කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ දඩ බල්ලාගේ දම්වැල ගලවා ඇමෙරිකාව විසින් තම වගකීමෙන් නිදහස් වන අතර දඩ බල්ලා දුරස්ථ පාලකය මගින් දඩයම් සඳහා යොදාගැනීමේ උපාය මාර්ගයක් තෝරා ඇති බව නොවේද?

පුහුණුව ලත් පිරිස් සරණාගතයින් ලෙස කලාපයේ රටවලට

පසුගිය දිනවල පකිස්ථානයේදි ප‍්‍රියන්ත දියවඩන නම් වූ ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීමට වගකිව යුතු පිරිස් ටී.එල්.පී. නම් වූ තලේබාන් සංවිධානය සමඟ සබඳතා පවත්වන සංවිධානයේ සාමාජිකයන් බව ඔප්පු වී ඇත. පකිස්්ථානයේ දේශසීමා ආශ‍්‍රිතව ඉතා ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වන තලේබාන් ත‍්‍රස්තවාදීන් එරටට පමණක් නොව කලාපයේ සියලූම රටවලට තර්ජනයක් වන බව ඉතා පැහැදිලිය. ලෝකයෝ පොපි ආශ‍්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරමෙන් 80% ක් සිදුවන්නේ ඇෆ්ගනිස්ථානය ආශ‍්‍රිතවය. ඒ අනුව මත්ද්‍රව්‍ය, කළු සල්ලි සහ ආයුධ පමණක් නොව පුහුණුව ලත් පිරිස් සරණාගතයින් ලෙස කලාපයේ රටවලට ඇතුළු වීමේ පැහැදිලි අනතුරක් ඇත. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ සංවිධානය සමඟ ගිවිසුම් ගත වී ඇති බැවිනි ශ්‍රී ලංකාවට සරණාගතයින් ලෙස ඉස්ලාම් අන්තවාදීන් ඇතුළුවීමේ වැඩි අවදානමක් ඇත. පසුගිය කාලයේ දී ඒ ආකාරයට රටට ඇතුල් වූ රෝහින්ගියා අනාතයින් ලෙස හැඳින්වූ බුරුම ජාතික මුස්ලිම් ජනතාව විල්පත්තුවේ නව ජනාවාස වල පදිංචි කළ බවට මුස්ලිම් ඇමතිවරයෙකුට එරෙහිව චෝදනා එල්ල විය.

ඊට අමතරව පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වූ පිරිස් සිරියාවේදී පුහුණුව ලබාගත් බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් විය. ඒ අනුව දැන් අනාගතයේ දී ශ්‍රී ලංකාවේ අන්තවාදීන්ට එතරම් දුර නොගොස් පකිස්ථානය හරහා ඇෆ්ගනිස්ථානයට ඇතුල්වී අවශ්‍ය පුහුණුව ලබා ගැනීමේ පහසු මඟක් විවෘත වී ඇත. පසුගිය දින ශ්‍රී ලංකාවෙන් නවසීලන්තය සංක‍්‍රමණය වූ ඉස්ලාම් අන්තවාදයෙන් ඔලූව අවුල් කරගත් පුද්ගලයෙකු විසින් සිදුකල ඝාතන නිසා ශ්‍රී ලංකාව අන්තවාදීන් අපනයනය කරන රටක් ලෙස ද අපකීර්තියට පත්විය. ඉස්ලාම් අන්තවාදය බිහිකිරීම සහ පෝෂණය කිරීම සඳහා අවශ්‍ය මූලයන් නබිතුමාගේ ඉගැන්වීම සහ ශුද්ධ වූ කුරාණය තුළින්ම සොයාගත හැකි බැවින් සාමාන්‍ය ජනයා විශේෂයෙන්ම දරුවන් දිර්ඝ කාලීනව ඊට ගොදුරකර ගැනීම ඉතා පහසු වී ඇත. ඒ නිසා සෑම රටකම ඉස්ලාම් අන්තවාදයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය මුස්ලිම් ජනයාය. විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් බවට විවාදයක් නැත. නබිතුමා මක්කම දී දේශනා කළ සාමකාමී පැවතුම් වලට අදාල ආගමික ඉගැන්වීම් සහ මදීනා නුවර දී දේශනා කරන ජිහාඞ් නම් වූ ශුද්ධ වූ යුද්ධයට අදාළ ඉගැන්වීම් යන ද්විත්වීය ඉගැන්වීම් හෙවත් කුරාණයේ ද්විත්ව ස්වරූපය නිසා අන්තවාදීන්ට ඉතා පහසුවෙන් අන්තවාදය සාමාන්‍යකරණය කිරීමට හැකියාව ලැබී ඇත.

එහිදී අන්තවාදය පෝෂණය කිරීම සහ ජාතිවාදී පදනමෙන් දේශපාලන පක්ෂවලට ජනතාව පෙළගැස්වීම යන ක‍්‍රියාවලි දෙකම එකට බැඳී ඇත. එ් නිසා සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය වැනි ඉස්ලාම් අන්තවාදය ප‍්‍රචලිත කරන රාජ්‍යය සහ එම රාජ්‍ය තුළ ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර අන්තවාදී සංවිධාන වලට අප වැනි රටවල මුස්ලිම් දේශපාලන නායකයින් යොදාගනිමිනි අන්තවාදය පෝෂණය කිරීමේ ක‍්‍රියාවලිය නිරුපද්‍රිතව පවත්වා ගෙන යාමට හැකිවී ඇත. ආරම්භයේදී අන්තවාදීන් විසින් එවැනි ජාතිවාදී දේශපාලන නායකයින් බිය වද්දමින් සහ නටවමින් තම ක‍්‍රියාකාරකම් වලට ආවරණය සහ ආරක්ෂාව ලබා ගනිති. අන්තවාදීන් ක‍්‍රමයෙන් බලවත් වීමේ දී එම දේශපාලන නායකයින්ට අන්තවාදීන්ගේ සරණ යාමට සිදුවේ. එම ක‍්‍රියාවලිය තුළ අන්තවාදී බලවේගවලින් ඉහත සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තර අන්තවාදී බලවේගවලින් දෙපාර්ශ්වයටම මූල්‍යමය දිරිගැන්වීම් ලැබේ. අන්තවාදය ප‍්‍රචලිත කිරීමට ඉදිරිපත් නොවන දේශපාලන නායකයින්ට එම දිරිගැන්වීම් නොලැබෙන අතර ඔවුන් අන්තවාදීන්ගේ උදහසට ලක්වේ. මෙම විෂම චක‍්‍රය තුළ අවසානයේදී අන්තවාදීන් මෙන්ම අන්තවාදය පෝෂණය කරන දේශපාලන බලවේග යන පාර්ශව දෙකම එකක් බවට පත් වන අතර එ් සමස්ත ක‍්‍රියාවලිය ශක්තිමත් වේ. එම විෂම චක‍්‍රය බිඳීමෙන් තොරව ඉස්ලාම් අන්තවාදයෙන් රට ගලවා ගැනීමට හෝ සාමාන්‍ය මුස්ලිම් ජනතාව එම පීඩනයෙන් ගලවා ගැනීමට හැකිවන්නේ නැත. එහෙත් ඊට එරෙහිවන බාධක රාශියක් ඇත. පළමුවැන්න ඉහත සඳහන් කළ ආකාරයට බෙදුම්වාදය න්‍යායාත්මකව විග‍්‍රහ කරගැනීමේ දී සිදු වූ ආකාරයට ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක‍්‍රියා කිරීම ජාතිවාදයක් ලෙස හෝ මුස්ලිම් ජනයාට එරෙහි වීමක් ලෙස වැරදියට අර්ථ දැක්වීම ය. ඒ නිසා පළමුවෙන්ම ඉස්ලාම් ආගමේ දේශපාලන ඉගැන්වීම් හෙවත් මදීනා නුවර ඉගැන්වීම හෙවත් දේශපාලන ඉස්ලාමය සහ මුස්ලිම් ජනයා අතර සම්බන්ධය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. දේශපාලන ඉස්ලාමයට හෙවත් ඉස්ලාම් අන්තවාදයට එරෙහිවීම මුස්ලිම් ජනයාට විරුද්ධ වීමක් ලෙස ලෙෂ හෝ ජාතිවාදයක් ලෙස අර්ථ දැක්වීම අන්තවාදය අවියක් ලෙස යොදා ගන්නා අධිරාජ්‍යවාදීන්ගේ මානසික යුධ උපක‍්‍රමයකි. ඒ නිසා ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට නම් බෙදුම්වාදයට එරෙහිවීම දේශපාලන අධිරාජ්‍යවාදයට එරෙහි වීමක් ලෙස සහ එය අධිරාජ්‍ය විරෝධී සටන් බිමේ ප‍්‍රධාන සටන් පෙරමුණක් ලෙස විග‍්‍රහ කළ ආකාරයට මෙදා ඉස්ලාම් අන්තවාදයට එරෙහිවීම අධිරාජ්‍ය විරෝධි අරගලයේ ප‍්‍රධාන සටන්් බිමක් ලෙස පිළිගැනීමට සිදුවේ.

කුරාණයේ ද්විත්ව ස්වරූපය

එහෙත් එම පිළිගැනීමට එරෙහිව මානසික බාධක රාශියක් පැනවේ. එහිදී ඉහත සඳහන් කළ ආකාරයට ජාතිවාදී හෝ ආගම්වාදී විශේෂයෙන්ම බෞද්ධ අන්තවාදී ලේබලය ඇලවීම පිළිබඳව බිය වීමට අමතරව පොදු මුස්ලිම් ජනයා අතර අප‍්‍රසාදයට ලක් වනු ඇති බවට ද මානසික බාධක පැනවේ. එම දෙවන බාධකය ඉතා සූක්ෂම ලෙස අන්තවාදය සමග දීග කන මුස්ලිම් දේශපාලන නායකයින්ගේ ඡන්ද පොදියක් පෙන්වා කරනු ලබන දේශාපලන කේවල් කිරීමේ ක‍්‍රියාවලිය තුළ පැනවෙන්නෙකි. ඒ නිසා බොහෝ සෙසු දේශපාලන නායකයින් මුස්ලිම් ඡුන්ද ප‍්‍රතිශතයක් වෙනුවෙන් සත්‍ය කතා කිරීමට බිය වෙති. ඒ කුරාණයේ ද්විත්ව ස්වරූපය තුළ අන්තවාදීන්ට තවදුරටත් සාමාන්‍ය මුස්ලිම් ජනයා අතර බලය තහවුරු කර ගැනීමට ඉඩ ලැබේ. තුන්වන මානසික බාධකය පැන වෙන්නේ අන්තවාදීන් විසින් කරනු ලබන වක‍්‍ර බියගැන්වීම මගිනි. උදාහරණයක් පාස්කු ප‍්‍රහාරය සහ ප‍්‍රියන්ත දියවඩන ඝාතනය තුළ එම බිය ගැන්වීමේ සාධකය සැඟවී ඇත. පාකිස්ථානය තුළ දේව අපහාසය දණ්ඩනීති සංග‍්‍රහයට ඇතුල් කර ඇති මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදකි. ඒ නිසා විනිසුරුවරුන්ට සහ නීතිඥයන් ට පවා විවෘත උසාවියක සාක්ෂි කැඳවීමේදී සහ හරස් ප‍්‍රශ්න ඇසීමේදී දේව අපහාසයක් සිදුවේදැයි මානසික බාධක පැනවේ. එය එක්තරා හාස්‍යජනක තත්ත්වයක් වුවද මහ පොළොවේ යථාර්ථයකි. ඒ නිසා ප‍්‍රියන්තට සිදු වූ දේ සිදු වේ යැයි බියට පත්වන පිරිස් බොහෝවිට සත්‍ය සඟවමින් බොරු කියති. එසේ නැතහොත් නිහඬව සිටිති.

නමුත් එම තුන්වන බාධකය හෙවත් සාධකය බෙදුම්වාදයට එරෙහි මතවාදී සටන්් තුළ දී තීරණාත්මක වූයේ නැත. ඒ නිසා එය විශේෂිත තත්ත්වයක් බව පිළිගැනීමට සිදුවේ. එදා සියලූ වාමාංශික පක්ෂ සහ තම පක්ෂයේ යම් පිරිස් බෙදුම්වාදීන්ට බිය වීම හෝ එය වරදවා විග‍්‍රහ කර ගැනීම නිසා ඊට පක්ෂ වන තත්ත්වයකදී ඊට එරෙහිවීමට රෝහණ විජේවීරයන් ට න්‍යායාත්මක අවබෝධයක් සහ දේශපාලන ධෛර්යය තිබුණි. බෙදුම්වාදී ත‍්‍රස්තවාදීන් එදා සිංහල ගම්මාන වල කුඩා දරුවන් පවා මිලේච්ඡ ලෙස ඝාතනය කළ අතර තෝරාගත් දේශපාලන නායකයින් ද ඝාතනය කරනු ලැබීය. අධිරාජ්‍යවාදී  ඒජන්සි ආයතන ඒ සියල්ල දෙස නිහඬව බලා සිටි බව රහසක් නොවේ. නමුත් ඉස්ලාම් අන්තවාදයේ මිලේච්ඡත්වය බෙදුම්වාදයේ ම්ල්ච්ඡුත්වයට වඩා බරපතළ සහ බිහිසුණු බවට විවාදයක්් නැත. එහෙත් ඊට එරෙහිවීම වෙනුවට යටත්වීම තෝරා ගනු ලැබුවහොත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට විනාශය කැඳවන මහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලියකට ක‍්‍රමයෙන් රට ගොදුරු වනු ඇත. එදා ජාතියක් ලෙස අප බෙදුම්වාදයට එරෙහි නොවුවානම් අද ශ්‍රී ලාංකිකයන් යනු සුඩාන වැසියන් මෙන් දේශසීමාව දෙපස එකිනෙකා මරා ගන්නා අවාසනාවන්ත ජාතියකි.

ජනාධිපතිවරයා  සහ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව

ඒ නිසා වහබ්වාදය හෝ සලාෆ් වාදය හෝ ඞ්ඹ්බන්ඞ් වාදය හෝ හෝ කුමන නමකින් හැඳින්වුවත් ඒ සෑම අන්තවාදී ප‍්‍රභේදයක්ම ඉස්ලාම් අන්තවාදයේ බිහිසුණු මුහුණතක් සේ සලකා ක‍්‍රියාකිරීම ඉතා වැදගත් වේ.ඒ නිසා එම හඳුනාගැනීමේදී කඳවුරු කිහිපයක් නැත. එහිදී වෙන් කරගත යුතු වන්නේ කඳවුරු දෙකක් පමණි. පළමුවැන්න ඉස්ලාම් අන්තවාදය ප‍්‍රචලිත කරන සහ වචනයෙන් හෝ නිහඬව ඊට සහාය දක්වන කදවුර වන අතර දෙවැන්න ඊට එරෙහිවන කඳවුරය. කෙටිකාලීනව බියපත්ව නිහඬව සිටින පිරිස් මෙන්ම සාමාන්‍ය මුස්ලිම් ජනයාද එම දෙවන කඳවුරට අයත් වේ. ඒ නිසා කිසි විටෙක අන්තවාදයට එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ග මගින් දෙවන කඳවුරේ පිරිස පළමු කඳවුරට තල්ලූ නොකළ යුතුය. එහිදී වැදගත් වන ප‍්‍රධාන කරුණක් ද ඇත. ඒ මතුපිටින් සාමකාමී බව පෙන්නමින් යටිසිතින් සහ රහසිගතව අන්තවාදය ඇලූම්කරන සහ ඊට සහාය දක්වන පිරිස් හඳුනා ගැනීමය. කුමන හෝ අන්තවාදී ක‍්‍රියාවක් සිදු වූ විට එය සැබෑ ඉස්ලාම් දහමට විරුද්ධ බව හෝ තමා එය හෙළා දකින බවට ප‍්‍රකාශ නිකුත් කරන බොහෝ ඉස්ලාම් වියතුන්, සංවිධාන සහ දේශපාලකයින් එම කඳවුරට අයත් වන බව සැඟවිය නොහැකි සත්‍යයකි. ඔවුන් යම් නිශ්චිත අන්තවාදී ක‍්‍රියාවක් සිදු වූ විට ඊට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කළ ද අන්තවාදය සහ අන්තවාදීන් නිෂ්පාදනය කරන දේශපාලන සහ පරිපාලන ක‍්‍රියාවලියට සහ සංස්කෘතියට එරෙහිව වචනයක් හෝ කතා නොකරති. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා විසින් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඉස්ලාම් අන්තවාදය මැඩලීම සඳහා 2021-02-18 දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව මගින් ඊට අදාළ ක‍්‍රියාමාර්ග 57ක් සඳහා අනුමැතිය ලබා ගන්නට යෙදුණි. එහි පළමුවැන්න දරුවන් අන්තවාදයට ගොදුරු කරන මද්‍රසා පාසල් රජයේ පාසල් පද්ධතියට අවශෝෂණය කිරීමය. දෙවැන්න මද්‍රසා පාසැල් වයස 16ට වැඩි සහ මව්ලවීවරුන් ලෙස පුහුණුව ලැබීම සඳහා පමණක් යොදා ගැනීමය. තුන්වැන්න පෙර පාසල් තුළ අන්තවාදයට දරුවන් පොළඹවන මක්තබ් ඉගැන්වීම් ක‍්‍රියාවලිය අහෝසි කිරීමය. හතරවැන්න මුස්ලිම් කාන්තාවන්ගේ අයිතීන් තහවුරු කිරීම සඳහා විවාහ වයස් අවුරුදු 18 ලෙස නියම කිරීම සහ මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනය කිරීම ය. නමුත් එ් කිසිවක් ක‍්‍රියාත්මක කිරීමට මේ වන තුරු නොහැකි වී ඇත්තේ ජනාධිපතිතුමාටත් උඩින් සිටින සහ ඉස්ලාම් අන්තවාදීන්ගේ සරණ යමින් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට සිහින දකින පිරිස් නිසා දැයි සැක මතුවේ. එදා බෙදුම්වාදී යුද්ධය තුළ සාම සාකච්ඡුා පවත්වමින් යුද්ධයට එරෙහිව වූ පිරිස් මෙන්ම මෙදා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව පියවර ගැනීමේ දී ඊට එරෙහි වන පිරිස් ආණ්ඩුව අභ්‍යන්තරය තුළම සිටින බව රහසක් නොවේ. එම තත්ත්වය වෙනස් කළ හැක්කේ එදා වාමවාදී සහ ජාතිකවාදී පිරිස් අධිරාජ්‍යවිරෝධිී අරගලයේ කේන්ද්‍රීය සටනබිමක් ලෙස බෙදුම්වාදයට විරුද්ධ වූ ආකාරයට ඉස්ලාම් අන්තවාදයට ද නොබියව සහ විවෘතව විරුද්ධ වීම මගිනි. එහිදී ජාතිවාදයට හෝ වෙනත් ආගම් මුල්කරගත් යම් අන්තවාදී ප‍්‍රවණතාවයන්ට ඉඩ නොදෙන අතර පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනාගැනීම ද වැදගත් වේ.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා ක‍්‍රියාන්විතය තුළ පළමු ප‍්‍රමුඛතාවය හිමි විය යුත්තේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා 57ක් ක‍්‍රියාත්මක කිරිම සඳහා සහාය දීම සහ ඒ සඳහා බල කිරීමය. එදා යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරියට තැබූ පය ආපසු ගැනීමට ඉඩ නොදී එදා සිටි ආරක්ෂක ලේකම්වරයාට සහාය ලබාදුන් ආකාරයට සහ බලපෑම් කළ ආකාරයට මෙම කාරණාවේදී ද ජාතික බලවේග දැඩි ලෙස ක‍්‍රියා කළ යුතුය. ඊට අමතරව ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය ආශ‍්‍රිතව ගොඩනැගෙන තත්වයන් තුල ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කලාපීය සහයෝගිතාවක් ගොඩනැගීම ද වැදගත් වනු ඇත. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඊට අදාලව ජාත්‍යන්තර වේදිකාවක ප‍්‍රකාශයක් සිදුකිරීම විශේෂ තත්ත්වයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී මුහුණ දෙන ආර්ථික ප‍්‍රශ්න යොදාගනිමින් ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරනු ලබන යම් රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ රාජයට මානසික බාධක දැමීමට ඉඩ ඇත. ඒ සියළු බාධක ජය ගත හැක්කේ එදා ඉතා බරපතළ ජාත්‍යන්තර බලපෑම් හමුවේ බෙදුම්වාදී යුද්ධයට මුහුණදුන් ආකාරයටමය. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට ඊට වඩා බරපතළ අභ්‍යන්තර දේශපාලන මානසික බාධක ජය ගත හැක්කේ පළමුවෙන්ම න්‍යායාත්මක විග‍්‍රහය නිවැරදි කර ගැනීම මගිනි. එනම් ඉස්ලාම් අන්තවාදයට එරෙහිවීම යනු අධිරාජ්‍යවිරෝධී අරගලයේ ප‍්‍රධාන සටන් පෙරමුණක් ලෙස පිළිගැනීම මගිනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More