පුරවැසි කොලම

පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනයේ ස්වභාවය තීරණය කරන තීරණාත්මක සාධකයක් ලෙස විදේශීය ඔත්තු සේවාවන්ගේ මැදිහත්වීම හඳුනාගත හැකිය. එහෙත් මෙම සුවිශේෂී සාධකය විවිධ මතුපිට හැඩතල විසින් සඟවා ඇති අතර, ඒ හේතුවෙන් එම සාධකයට චිරාත් කාලයක් ලාංකේය දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන්නට, ආණ්ඩු පක්ෂ – විරුද්ධ පක්ෂ සිය උපාය මාර්ගික භූ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කළමනාකරණය කරන්නට හැකි වී තිබේ. මෙබඳු පසුබිමක ජනතා පරමාධිපත්‍යය යන්න කෙතරම් විකාරරූපී ස්වරූපයක් ගෙන ඇත්ද යන්න වර්තමාන ලාංකේය දේශපාලනය තුළින්ම වුව හඳුනාගත හැකිය.

ලාංකේය ආණ්ඩු පක්ෂ – විපක්ෂ දේශපාලන ගතිකයන් පිටුපස මෙම විදේශීය ඔත්තු සේවා ක්‍රියාත්මක වූ ඓතිහාසික අවස්ථා ලෙස, අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය, අගමැති සිරිමා බණ්ඩාරනායකගේ රජයට එරෙහි කුමන්ත්‍රණය (1962), 1971 ආපදා අධිරාජ්‍යවාදයේ පළමු ලාංකේය අත්දැකීම, 1977 ජේ.ආර්.ජයවර්ධන බලයට ගෙන ඒම, 1983 කළු ජූලිය හා දෙමළ ඊළාම් බෙදුම්වාදී ව්‍යාපාරය ඇතුළු පසුකාලීන ප්‍රකට මෙන්ම අප්‍රකට අවස්ථා ගණනාවක් හඳුනාගත හැකිය. එහිදී ඇමරිකාවේ සී.අයි.ඒ., ඉන්දියාවේ රෝ සහ ඊශ්‍රායලයේ මොසාඩ් යන ප්‍රධාන ඔත්තු සේවා අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකාව සිය දඩබිමක් ලෙස පාවිච්චි කර ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

1947 -1952 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන විසින් 1950 දී මෙරට මහ බැංකුව පිහිටුවීමේදී උපදෙස් ලබාගැනීමට ඇමරිකානු ආර්ථික විශේෂඥයකු වූ ජෝන් එක්ස්ටර්ගේ සේවය ලබාගැනීමත්, මෙරට පළමු මහබැංකු අධිපතිවරයා ලෙස ඔහු පත්කිරීමත් ඇමරිකානු මූලෝපායික සැලසුමේ කොටසක් ලෙස හඳුනාගනු මිස අහම්බයක් ලෙස කිසිසේත්ම හඳුනාගැනීමට නුපුළුවන. ලංකාවට මැදිහත්වීමේ එක්සත් ජනපද මූලෝපායික සැලැස්මේ සමාරම්භක අවස්ථාවක් ලෙස මෙය සැලකිය යුතු අතර, එතැන් සිට වර්තමානය දක්වාම එකී සැලැස්ම විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක වෙමින් තිබේ. විවිධ පුද්ගල සාධක විවිධ රටවල ආර්ථික මර්මස්ථාන තුළ පැළ කරමින් තමන්ගේ දීර්ඝකාලීන මූලෝපායික වුවමනාව වෙනුවෙන් කළමනාකරණය කිරීම ඇමරිකාවට අලුත් දෙයක් නොවේ. මෙහිදීද පදනම් සාධකය ලෙස ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ ඔත්තු සේවා භූමිකාවයි.

ඔත්තුකාර වෘත්තියේ ස්වභාවය

ලොව ඉපැරණිම වෘත්තිය කුමක්ද යන්න ප්‍රකට වුවද, ලොව දෙවැනියට ඉපැරණි වෘත්තිය කුමක්ද යන්න එතරම් ප්‍රසිද්ධ නැත.

ඒ වෘත්තිය වූ කලී ඔත්තුකාර හෙවත් චරපුරුෂ වෘත්තියයි.

“භූත ලෝකයේ දැනුම ලබාගත යුතු වන්නේ දිවැසිනි. ස්වභාවික විද්‍යාව පිළිබඳ තොරතුරු ලබාගත හැක්කේ තර්කානුකූල නිගමනවලට බැසීමෙනි. විශ්වයේ නීති විමසා බැලිය හැක්කේ ගණිතමය ගණන් බැලීම්වලිනි. එහෙත් සතුරාගේ සැලසුම් දැනගත හැකි වන්නේ ඔත්තුකරුවන්ගෙන් (චරපුරුෂයින්ගෙන්) ම පමණි.”

ක්‍රිස්තු පූර්ව හාරසිය ගණන්වලදී චීන ජාතික සන් – ට්සූ එසේ ලියුවේ සිය “යුද කලාව” ග්‍රන්ථයේය. වර්තමානය වන විට මෙම ග්‍රන්ථය පෙර අපර දෙදිගම යුද්ධෝපාය සම්බන්ධව පමණක් නොව, රාජ්‍ය පාලනය, ව්‍යාපාර පරිපාලනය සම්බන්ධවද ගුරු පොතක් ලෙස අධ්‍යයනය කරමින් එහි උපදෙස් අනුගමනය කරනු ලැබේ.

සන් – ට්සූ පෙන්වා දෙන ආකාරයට ඔත්තුකරුවන් වර්ග 5ක් සිටිති.

  1. ප්‍රදේශයේ (රටේ) ඔත්තුකරුවන් – ප්‍රදේශයේ ඔත්තුකරුවන් යනු ඔත්තුසේවයට බඳවාගැනෙන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
  2. අභ්‍යන්තර ඔත්තුකරුවන් – අභ්‍යන්තර ඔත්තුකරුවන් යනු සතුරාගේ නිලධාරීන් ප්‍රයෝජනයට ගැනීමය.
  3. වෙනස් වූ ඔත්තුකරුවන් – හරවාගත් (වෙනස් වූ) ඔත්තුකරුවන් යනු සතුරාගේ චරපුරුෂයින් අල්ලාගෙන ඔවුන් තම අරමුණු සඳහා යොදවා ගැනීමය.
  4. මරණයට නියම වූ ඔත්තුකරුවන් – මරණයට නියම වූ ඔත්තුකරුවන් සිටීම යනු රැවටීම සඳහා විවෘතවම ඇතැම් කාර්යයන් කිරීම සහ තම ඔත්තුකරුවන්ට එවා දැනගන්නට ඉඩහැරීම සහ සතුරාට ඔවුන් ගැන දැනුම්දීමය.
  5. දිවි බේරාගෙන සිටින ඔත්තුකරුවන් – ජීවිතය බේරාගත් චරපුරුෂයින් යනු සතුරු කඳවුරේ සිට ආරංචි රැගෙන එන්නන්ය.

ඉපැරණි රාජාණ්ඩු දේශපාලනයට ‘සන් ට්සූ’ සඳහන් කරන මෙම ඔත්තුකරුවන් වර්ග 5 ප්‍රමාණවත් වුවද, නූතන ලෝක දේශපාලනය තුළ ඔත්තුකරුවන්ගේ කාර්යභාරය වඩාත් පුළුල් වී තිබේ.

Bob Burton  විසින් ලියන ලද Top Secret: The Dictionary of Espionage and Intelligence ග්‍රන්ථයට අනුව CIA ඒජන්තයින් වර්ග 14ක් සිටිති.

  1. ක්‍රියාබද්ධ ඒජන්ත (Action Agent) – ප්‍රධාන ඒජන්ත හෝ අවස්ථාවට සම්බන්ධ නිලධාරියා විසින් ප්‍රචණ්ඩ ක්‍රියා, පිපිරවීම් හෝ වෙනත් වර්ගයක ක්‍රියාවක් සිදු කිරීම සඳහා වන සාමාන්‍යයෙන් එක් වරක මෙහෙයුමකට යොදා ගැනීමේ අපේක්ෂාවෙන් කුළියට ගනු ලබන ඒජන්තයෙකි.
  2. ඒජන්ත (Agent) – ඍජුවම ප්‍රධාන ඒජන්ත යටතේ වැඩ කරන සහ බුද්ධි තොරතුරු රැස්කිරීමෙහි නිරත වන හෝ රහස්‍ය මෙහෙයුම්හි නිරත වන ඒජන්තයාය.
  3. ඒජන්ත – Bolvan (Bolvan Agent) – මොස්කව් මධ්‍යස්ථානයේ බස් වහරට අනුව ව්‍යාජ ඒජන්තයකු ලෙස අර්ථ විවරණය කර ඇත.
  4. ස්ථානීය ඒජන්ත (Agent in place) – ඇමරිකා එක්සත් ජනපදය වටිනා මර්මස්ථාන ලෙස විශ්වාස කරන රටක, පක්ෂයක හෝ කාර්යයක් තුළ රැකියාවක හෝ තනුරක සිට අවශ්‍ය දෝෂය කිරීමට හෝ ඊට ප්‍රතිවිරුද්ධ දෙය සඳහා අතහැර දැමීමට බොහෝ විට ප්‍රයෝජනයට ගනී.
  5. බලපෑම් ඒජන්ත (Agent of Influence) – මෙම පුද්ගලයා වැටුප් ලේඛනය තුළ සිටිනවා හෝ නොසිටිනවා විය හැකිය. සාමාන්‍යයෙන් ඔහු සී.අයි.ඒ. කැමති රටක සිටින කොමියුනිස්ට් විරෝධී නිලධාරියෙකි. ඔහු දේශීය ව්‍යාපාරිකයකුට හෝ පුවත්පත්කලාවේදියකුට සමාන විය හැකිය.
  6. පොළඹවන ඒජන්ත (Agent Provocateur) – පැරණි ඔත්තුකාරයා ලෙස හඳුන්වන, පැළ කළ ඒජන්තයකු හෝ නිලධාරියකු  ඔහුට සම්බන්ධ වීමට විධානය කළ නිශ්චිත ඉලක්ක කණ්ඩායම සමග හෝ සැක කළ පුද්ගලයා සමග ඔහු අනුකූලතාවක්/එකඟතාවක් ආරූඪ කර ගත යුතුයි.
  7. වෘත්තීය ඒජන්ත (Career Agent) – තොරතුරු එකතු කිරීමට සහ පරීක්ෂා කොට පසුව ලබාදීමට මුදල් ගෙවන කෙනෙකි.
  8. කොන්ත්‍රාත් ඒජන්ත (Contract Agent) – සමහර අවස්ථාවල “පෙර ඒජන්ත” ලෙස හඳුන්වා ඇති කොන්ත්‍රාත් ඒජන්ත, විවිධ කාලවල විවිධ අවුරුදු ඉක්මවා විවිධ ව්‍යාපෘති ලෙස කුමන්ත්‍රණ සංවිධානය සඳහා බඳවාගෙන තිබෙනු විය හැකිය.
  9. කාල්පනික ඒජන්ත (Notional Agent) – ඔත්තු සේවා සංවිධානයක් විසින් මුලා කිරීමේ මෙහෙයුමක් තුළ උපක්‍රමයක් හෝ ප්‍රබන්ධයක් ලෙස පාවිච්චි කළ අතථ්‍ය ඒජන්තයෙකි.
  10. ප්‍රධාන ඒජන්ත (Principal Agent – PA) – රහස් මෙහෙයුම් හා සන්නිවේදනයේ සියලු අංග සහිතව නිලධාරී තත්ත්වයකට සී.අයි.ඒ. මගින් පුහුණු කළ හා පත්වීම කළ ඒජන්තයෙකි.
  11. ද්විතීයික හෝ උප ඒජන්ත (Secondary or Sub Agent) – ප්‍රධාන ඒජන්ත යටතේ සේවය සලසන ඒජන්තයෙකි.
  12. රහස්‍ය ඒජන්ත (Secret Agent) – ඔත්තුකරුවකු වශයෙන් රහස්‍ය ලෙස ක්‍රියාකරන ඒජන්තයෙකි.
  13. සහායක ඒජන්ත (Support Agent) – ප්‍රධාන ඒජන්ත හෝ ඒජන්ත විසින් පත් කරන ලද ආරක්ෂිත නිවාස, මෝටර් රථ හෝ තැපැල් පෙට්ටි ආදිය කුළියට ගැනීමට සහ විශේෂ බුද්ධි මෙහෙයුමක සහායට අවශ්‍ය වූ අනෙකුත් කාර්යයන් කිරීමට බැඳී සිටින්නාය.
  14. අවබෝධයක් නැති ඒජන්ත (Unwitting Agent) – නිලධාරීන්ගේ මෙහෙයුම් පරිශ්‍රමයන් තුළ ප්‍රයෝජනයට ගනු ලබන ඉලක්ක ප්‍රදේශවල මිනිසුන් රහස් ක්‍රියා සඳහා බුද්ධි තොරතුරු නාලිකාවක් වශයෙන් නොදැනුම්වත්ව සේවය සලසති.

මෙම ඒජන්තයින් වර්ග 14 නූතනය වන විට එක්සත් ජනපද සී.අයි.ඒ. ආයතනයට පමණක් සීමා වූ ඔත්තුසේවා හැඩතලය නොවන අතර, මොසාඩ්, රෝ, කේ.ජී.බී. ඇතුළු අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සියලුම ඔත්තු සේවාවන්ගේ වෘත්තීය භූමිකා හැඩතල වී තිබේ.

ඒ අනුව ඉහත සඳහන් ඔත්තු සේවා ඒජන්තයින්ගේ භූමිකාව හඳුනාගත් විට වර්තමානයේ ලාංකේය දේශපාලනය කියවා ගැනීමට, එහි විවිධ පුද්ගල සාධකවල, දේශපාලන සංවිධානවල උපායමාර්ගික භූමිකාවේ මහා චිත්‍රය කුමක්ද යන්න පහසුවෙන් නිරාවරණය කර ගැනීමට පිළිවන. මේ වර්ග සියල්ලටම අයත් ඒජන්තයින් මේ මොහොතේ සී.අයි.ඒ. නියෝජනය කරමින්ද, රෝ නියෝජනය කරමින්ද ලාංකේය දේශපාලන ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීයව සිටී.

විශේෂයෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය වටිනා මර්මස්ථාන ලෙස විශ්වාස කරන රටක, පක්ෂයක හෝ කාර්යයක් තුළ රැකියාවක හෝ තනුරක සිට අවශ්‍ය දෝෂය කිරීමට හෝ ඊට ප්‍රතිවිරුද්ධ දෙය සඳහා අතහැර දැමීමට බොහෝ විට ප්‍රයෝජනයට ගන්නා, ස්ථානීය ඒජන්ත Agent in place ලෙස හැඳින්වෙන ‘සාධකය’ හා/හෝ සාධකවල මැදිහත්වීම මේ මොහොතේ ලාංකේය දේශපාලනයේ මැනවින් හඳුනාගත හැකිය. මෙබඳු සාධක එක් තැනකින් ගැලවුනද, වෙනත් තීරණාත්මක තැනක නැවත පැළ කොට සිය උපාය මාර්ගික අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙම ඔත්තු සේවා මැලි නොවන්නේ පියවරක් පසුපසට ගෙන නැවත පියවර දෙකක් ඉදිරියට තැබීමේ උපක්‍රමය මැනවින් අත්හදාබලා තිබෙන බැවිනි.

ආර්ථික ඝාතකයා’: ඒ කෙබඳු සතෙක් ද?

‘ආර්ථික ඝාතකයා’ යන වචන වර්තමාන ලාංකේය දේශපාලන – ආර්ථික කතිකාව තුළ විමල් වීරවංශ මහතා විසින් වැඩි පුර යොදා ගනු ලැබුවද ඒ වචන ඔහුගේ නිර්මාණයක් නොවන බව අපගේ වැටහීමය. මෙම වදන ලාංකේය දේශපාලන සාහිත්‍යයට එක් වූයේ ලීලානන්ද ගමාච්චි මහතා විසින් පරිවර්තනය කොට 2008 වසරේ පළ කරන ලද “ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය” නමැති ග්‍රන්ථයෙනි. ගමාච්චි මහතා විසින් මෙනමින් පරිවර්තනය කරන ලද්දේ ඇමරිකානු ජාතික ජෝන් පර්කින්ස් විසින් රචිත Confessions of an Economic Hit Man ග්‍රන්ථයයි.

ජෝන් පර්කින්ස් සමග 2006 වර්ෂයේදී වෙබ් අඩවියක් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පවසයි.

ප්‍රශ්නයආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණයනම් ඔබගේ කෘතිය තමන්ට හිතවත් නායකයන් බිහිකර ගැනීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුව හා සමාගම් විවිධ රටවල ක්‍රියාත්මක වන ආකාරය විස්තර කර දෙනවා. ආර්ථික ඝාතකයකුලෙස තමන්ව හඳුන්වා ගන්නා ඔබ එයින් අදහස් කරන්නේ කුමක්ද?

ජෝන් පර්කින්ස්පසුගිය වසර 30 – 40ක කාලය තුළ ක්‍රියාත්මක වූ අප වැනි ආර්ථික ඝාතකයින් සැබැවින්ම ලොව ප්‍රථම ගෝලීය අධිරාජ්‍යය නිර්මාණය කළා. මූලික වශයෙන්ම අප මෙය සිදු කළේ ආර්ථික මෙහෙයුම් මගින්. හමුදාමය මැදිහත්වීමක් සිදු වුනේ බැරිම තත්ත්වයක් වුනොත් විතරයි. මේ ක්‍රියාවලිය සිදු කළේ ඉතාම රහසිගතවයි. මෙම අධිරාජ්‍යය අප විසින් ගොඩනැඟූ බව එක්සත් ජනපදයේ බොහෝ දෙනෙකු දන්නේ නැහැ. පැරණි අධිරාජ්‍යවල සිදු වූ පැහැදිලි හමුදා කඩා වැදීම්වලින් තොරව මුළු ලොව පුරා ඉතා නිහඬව එය ක්‍රියාත්මක වුණා.

අප බොහෝ උපක්‍රම භාවිත කළා. ඒවායින් නිතර භාවිත වූ ක්‍රමය වූයේ ඛනිජ තෙල් වැනි සම්පත් ඇති රටකට ගොස් ලෝක බැංකුව හෝ එහි සහෝදර ආයතන මගින් එම රටට අති විශාල ණය යෝජනා ක්‍රම සැලසුම් කිරීමයි. ඇත්තෙන්ම එම මුළු ණය ප්‍රමාණයම පාහේ එම රටේ රැඳෙනු වෙනුවට බැච්ටෙල්, හැලිබර්ටන්, ජෙනරල් මෝටර්ස්, ජෙනරල් ඉලෙක්ට්‍රික් වැනි එක්සත් ජනපද සමාගම් වෙත ගලා එනු ඇති අතර, එම සමාගම් විසින් ධනවතුන්ට සේවය කරන්නා වූ සහ දුප්පතුන්ට කොහෙත්ම ප්‍රයෝජනයක් නැති, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, වරාය, කාර්මික උද්‍යාන ඒ වෙනුවෙන් එම රටට ඉදිකර දෙනු ඇති. සත්‍ය ලෙසම මෙම අති විශාල ණය ආපසු ගෙවිය යුතු බැවින් දුප්පතුන්ට අතිශය දුක් විඳීමට කරුණු යෙදෙනු ඇති. ණය පියවීමෙන් අදහස් වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු අනෙකුත් සමාජ සේවාවන දුප්පතුන් වෙත ළඟා නොවනු ඇති බව සහ අති විශාල ණය හේතුවෙන් උද්ධමනය ඉහළ යනු ඇති බවයි.

මා බඳවාගනු ලැබුවේ අද වන විට පුද්ගලයින් පිළිබඳ ඔත්තු බැලීම ගැන ප්‍රසිද්ධියට පත් වී ඇති ජාතික ආරක්ෂක ඒජන්සිය (National Security Agency) මගිනුයි. NSA හා CIA වැනි සංවිධාන බොහෝ විට ආර්ථික ඝාතකයින්’, ‘සිවලුන්’, ‘මිනීමරුවන්සහ ‘007’ (ජේම්ස් බොන්ඩ්) පන්නයේ පුද්ගලයින් බඳවාගනු ලැබුවා. ඔවුන් අපව බඳවාගත්තත්, (සමහර විට අපව පුහුණු කරනු ඇති) අපව පෞද්ගලික සමාගම්වලට අනුයුක්ත කරනු ලබනවා. එසේ කරනු ලබන්නේ, සබඳතා හෙළිදරව්වීම වැළැක්වීම සඳහායි. මෙම රටවල් එකකදී මා කරනු ලබන දෙයක් වෙනුවෙන් මා අල්ලා ගනු ලැබුවහොත් එයට මගේ ආණ්ඩුවේ සබඳතාවක් නිරූපණය නොකරනු ඇති. එයින් පිළිබිඹු කෙරෙන්නේ මා සේවය කළ සමාගම පමණයි. මා සේවය කළේ බොස්ටන් නගරයේ විශාල උපදේශක සමාගමක් වන චාල්ස් ටී. මේන් නම් සමාගම වෙනුවෙනුයි.

ආර්ථික විද්‍යාඥයකු ලෙස මා රැකියාව ආරම්භ කළ අතර, පසුව පුද්ගලයින් දුසිම් ගණනක් මා යටතේ සේවය කළා. මා ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා බවට පත් වුණා. ඉලක්ක කළ රටවල් අති විශාල ණය ගැනීම් සඳහා පොළඹවා ගැනීමත්, ණය දීම සඳහා බැංකු සම්බන්ධ කර ගැනීමත් මුදල් ආපසු එක්සත් ජනපද සමාගම් වෙත යන පරිදි ගිවිසුම් සකස් කිරීමත් මා අතින් සිදු කෙරුණා.

‘ආර්ථික ඝාතකයකු’ ලෙස පර්කින්ස්ගේ මෙම වචන ලංකාව ඇතුළු පරිධියේ රටවල ආර්ථික – දේශපාලන ගතිකයන්ගේ හැසිරීම පිළිබඳ සිදුකරන නිරුවත් කිරීම අතිශය වැදගත් එකකි.

නූතන ලාංකේය ජාතික ව්‍යාපාරය මෙබඳු පර්යාලෝකයක් තුළ පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනය නැවත කියවීමට ලක් කළ යුතු බව අපගේ යෝජනාවයි. නූතන විදෙස් ඔත්තු සේවා විසින් නිරූපණය කරනු ලබන භූමිකාව පිළිබඳ මෙම දේශපාලන සාක්ෂරතාවයෙන් තොරව නූතන දේශපාලන – ආර්ථිකයේ මූල සාධක මෙන්ම ඒ හා සබැඳි බල දේශපාලන හැඩතල හඳුනාගත හැකි නොවේ.

පුංචි පුංචි බණ්ඩලා නියෝජනය කරන ලොකු දේශපාලන චිත්‍රය හඳුනාගනිමින් අභියෝග ජයගත හැකිවනු ඇත්තේ එබඳු භාවිතයක් තුළ පමණි.

ප්‍රභාත් චින්තක මීගොඩගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More