පුරවැසි කොලම

රටේ රාළ ඊයේ ලියපු ” දයාසිරි කියන ශ්‍රීලනිප – ජවිපෙ සන්ධානය යථාර්ථයක්ද?ලිපිනයෙන් කියූ දෙය ඊයේ ඇස් පනාපිට ඔප්පු උනා.ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දයාසිරිව දේශපාලන වශයෙන් නිරුවත්ම කළා. ඇත්තටම දයාසිරිලා පොහොට්ටුව ඇතුළේ ජෝක් වෙලා තියන විදිහත් ඊයේ රටේ රාළ කිව්වා.

දයාසිරි ජවිපෙ ඉස්සරහා නිරුවත් වෙලා විතරක් නිකං හිටියේ නෑ තමන්ගේ පක්ෂයත් රට ඉස්සරහා නිරුවත් කළා.රටේ රාළ කිව්වේ දයාසිරි කරන යෝජනාව හොදයි.ඒත් ඒ යෝජනාව කරන්න සදාචාරමය බලයක් දයාසිරිට නෑ කියලා.ශ්‍රීලනිපය මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුව ආරක්ෂා කරන ගමන්, දයාසිරිලා රාජපක්ෂලාට නිරුවතින් කඩේ යන ගමන් වමක් හදන්න කතා කරනවා.ඇත්තටම ඒක පිස්සුවක්.ඒකට ගහන්න ඕනි.ඊළඟට දයාසිරි ශ්‍රීලනිප මහ ලේකම්ධූරය කියන එක, මහ ලේකම්වරයාගේ භූමිකාව කියන එක බිංදුවටම දැම්මා.පක්ෂයක මහ ලේකම් කියන්නේ ඒ පක්ෂයේ නිල අයිතිකාරයා. පක්ෂයක නිල මතය වෙන්නේ පක්ෂ මහ ලේකම්ගේ මතය.ඔයාලා දන්නවා ඇති මැතිවරණ කොමිසම උනත් පිලිගන්නේ පක්ෂයක ලේකම්වරයා කියන මතය ඒක නිසා පක්ෂ මහ ලේකම්වරයා කියන්නේ පක්ෂයේ නිල ප්‍රකාශකයා.

ඒක මතය හැමවෙලේම පක්ෂයේ ඉහල දේශපාලන ආයතන,විශේෂයෙන්ම ශ්‍රීලනිපය වගේ පක්ෂයක නම් මධ්‍යම කාරක සභාවට සමානුපාතිකයි.එහෙම නැතිව දයාසිරිට හිතෙන හිතෙන ඒවා කියවන්න බෑ.එහෙම කියවලා තමයි ඊයේ ටිල්වින් අතින් ශ්‍රීලනිපය හා දයාසිරි ගෙල සිඳගත්තේ.එහෙම තීරණයක් නෙවෙයි එහෙම සාකච්ඡාවක්වත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තිබිලා නෑ.ඇත්තටම දයාසිරි මේ වෙලාවේ මේ ආණ්ඩුව රකිමින් ජනතාවගේ ඇස්වලට වැලි ගහමින් ගන්න හදපු මෝඩ චුන් එක ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් කුඩුපට්ටම් කළා.දයාසිරි Vs ටිල්වින් සටනෙන් එකට බිංදුවක් විදිහට ටිල්වින් ජයග්‍රහණය කළා.ඒ සටනින් ජවිපෙ දිනුන් බව රටේ රාළත් පිළිගන්නවා.ඒක ජවිපෙ සමාජිකයාට තව දවස් කීපයක් තලු මර මරා කියවන්න පුළුවන් ජොලි වැඩක්.

හැබැයි දයාසිරි ඉස්සරහා පොහොසතාගේ පාට් එක ඇක්ට් කරපු ටිල්විනුත් මේ රටේ දේශපාලනය ඉස්සරහා තමන්ගේ දුප්පත්කමත් පෙන්නුවා.ඇත්තටම ටිල්වින්ගේ ප්‍රකාශය කියන්නේ ජවිපෙ ඇත්ත පිළිබිඹුව රටට පෙන්නන්න අවස්ථාවක්.රටේ රාළ කියන්නේ ටිල්වින්ගේ ඒ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන එකම සත්‍යය තමයි ජවිපෙ කියන්නෙත් රාජපක්ෂලා වගේම වැඩවසම් චින්තනයක් තියන පක්ෂයක් කියලා.ටිල්වින් පෙන්නුවේ ජවිපෙට මහ සමාජය තේරුම් අරන් වැඩ කරන්න බැරි චින්තනමය අවුලක් තියන බවයි. තමන් හදපු අච්චුවට පිටින් ගිහින් හිතන්න ජවිපෙට බැරිකම එදා වගේම අදටත් ජවිපෙට තියනවා.ටිල්වින් කියන්නේ මේ රට විනාශ කරන්න දායක උනු මහ පක්ෂ දෙකත් එක්ක ජවිපෙට ගපුදෙනුවක් නෑ කියලා.එතකොට ඒකේ එකක් ශ්‍රීලනිපය කියලා පැහැදිලි. හැබැයි අනික මොකද්ද.එජාපයද?හරි එතකොට පොහොට්ටුව හා සජබෙ කියන්නේ මොකද්ද?

ටිල්වින් කියන්නේ තමන් හදපු කෝව ඇතුළට ඒ පක්ෂවල ඉන්න හොද මිනිස්සු ගන්නවා කියලනේ.අදූෂිතයෝ ගන්නවා කියලනේ. හැබැයි ටිල්වින් කියන්නේ ඕනි මොකද්ද ඒ අදූෂිතයන් මනින මිනුම් දණ්ඩ කියලා.රටේ රාළ නං පිලිගන්නේ හොද වගේම නරක මිනිස්සු ඔය හැම පක්ෂයකම ඉන්නවා.ඒක ශ්‍රීලනිපයට වගේම ජවිපෙටත් සාධාරණයි.ඒක අනිත් පක්ෂවලටත් එහෙමයි.හැබැයි මේ සමාජයෙන් හොද මිනිහා තෝරාගන්න වැඩපිළිවෙළ මොකද්ද?ජවිපෙද හොද මිනිහා නම් කරන්නේ.එහෙම නම් කෝ ඒකට නිර්නායක.ජවිපෙ කරන්නේ රටට හොද වැඩපිලිවෙලට ඉදිරිපත් නොකර ප්‍රශ්නය මඟාරින එක.මෙහෙම හිතන්නකෝ ජවිපෙ කියනවා අපි විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා.ඒක හොද වැඩක්.ඊට පස්සේ බලන්න ඕනි ඒ හොද වැඩේට එකතු වෙන්නේ කවුද කියලා.එතකොට ඒ වැඩපිළිවෙළ එකඟ වෙලා ශ්‍රීලනිපය එනවානම්,එජාපය එනවානම්,43 එනවානම්,කරූ එනවානම්, පෙරටුගාමීන් එනවානම්.එතකොට ජවිපෙ කරන්නේ ඒ බලවේග ප්‍රතික්ෂේප කරලා ඒවායේ හොද මිනිස්සු හොයන එකද.

ඒක මහ ග්‍රාමය වගේම ගෝත්‍රික සංකල්පයක්.ජවිපෙ කරන්න ඕනි රටට පිලිගන්න පුළුවන් පොදු වැඩපිළිවෙලක් ඉදිපරිපත් කරලා ඒ වැඩපිළිවෙළ වටේට මිනිස්සු එකතු කිරීම.හැබැයි ජවිපෙ එහෙම වැඩපිලිවෙලක් නැතිකම විසින් ජවිපෙ වැඩවසම් චින්තනයක් දක්වා පසු බස්සලා තියනවා.හරි රටේ රාළ අහනවා ජවිපෙ ඔය විග්‍රහට අනුව ජවිපෙන් හරි එළියේ සමාජයෙන් හරි එක හොද මිනිහෙක් නම් කරලා පෙන්නන්න.එතකොට ජවිපෙට ධනේශ්වර ක්‍රමය සම්බන්ධ තිබුන විග්‍රහ දැන් වෙනස් කරලද?ධනේවර ක්‍රමයේ අවපාත අවධියේදී ශුද්ධවූ සියල්ල වැනසේ කියන කතාව දැන් ජවිපෙ පිලිගන්නේ නැද්ද?දැන් එතකොට මේ අශුද්ධ සමාජයේ ශුද්ධ වූ මිනිස්සු ඉන්නවාද?ඇත්තටම මේ සමාජය ඇතුළේ කොහොමද හොද මිනිහා තෝරන්නේ.ටිල්වින් හොදද?රටේ රාළ සහ ටිල්වින් ඒක දන්නවානේ.අනුර හොදද?ඒකත් අනුරයි රටේ රාළයි දන්නවානේ. රටේ රාළ හොඳද ඒකත් අනුරයි,ටිල්විනුයි දෙන්නාම දන්නවානේ.

ඒක නිසා මේ සමාජයේ ඉන්න හැම මිනිහෙක් ඇතුළෙම හොද හා නරක දෙකම තියනවා. සාපේක්ෂව ඒකේ අඩු වැඩියක් පවතින්න පුළුවන්.හැබැයි සමාජ චලිතයකදී ඒක වැදගත් නෑ.සමාජ චලිතයකදී වැදගත් වෙන්නේ පොදු සාරධර්ම පද්ධතියක්,ආර්ථික වැඩපිළිවෙලක්,දේශපාලන ප්‍රතිසංස්කරණයක් සහිත වැඩපිළිවෙළට ජනතාව දිනා ගැනීම. බලවේග දිනා ගැනීම.එහෙම නැතිව බලවේගය දිනා නොගෙන ඒ බලවේග ඇතුළේ තනි තනි පුද්ගලයෝ දිනා ගැනීම නෙවෙයි.තනි තනි පුද්ගලයෝ දිනා ගැනීමෙන් බලවේග දිනා ගන්න බෑ.කරන්න ඕනි පොදු වැඩපිළිවෙළ බිදින්න බැරි සංකල්පයක් රටේ හදන එක. ඒකෙන් තමයි ලෝකේ රටවල් ඉස්සරහට ගියේ.ඉන්දියාවට පුළුවන් උනා Mother India කියන සංකල්පයට මුළු ඉන්දියාවම එකතු කරන්න.ඒ එකතු උන මිනිස්සු අතර හොද වගේම නරක මිනිස්සු ඉන්න ඇති.හොරු තක්කඩියෝ ඉන්න ඇති.

හැබැයි ඒ හැම කෙනාම මහා ඉන්දියානු සංකල්පයට යටයි.ඒක අතික්‍රමණය කරන්න කාටවත් බෑ.ඒක බිදින කෙනා ඉන්දියානු මහා සංකල්පය ඉස්සරහා වැරදිකාරයෙක්.එහෙනම් එතන තියනවා ඉන්දියානුවා හොද නරක කියලා බෙදන්නේ නැතිව ඉස්සරහට ගෙනියන සංකල්පයක්.ඒ සංකල්පයට අනුව යථාර්ථයක් කරපු වැඩපිළිවෙළක්.නිකං මෙහෙම හිතන්නකෝ දැන් කාටහරි පුළුවන් විමල්ට හොරෙක් කියලා කියන්න.හැබැයි විමල් ජවිපෙන් අයින් වෙනකොට හොරෙක් නෙවෙයිනේ.ජවිපෙන් ඉවත් වෙලා තත්පරයක් යනකොට ජවිපෙ විමල් නරක මිනිහෙක් කළා. ඒක තීරණය කළේ ජවිපේ.එතකොට එයා මරලා දාන්නද ඕනි.ඒකට කවුද එකඟ.මම හිතන්නේ නෑ මේ රටේ ජවිපෙ නොවන කිසිකෙනෙක් ඒකට එකඟ වෙයි කියලා. ජවිපෙන් ඉවත්වීම මරණිය දණ්ඩනයට සුදුකමක් නෙවෙයි.

හැබැයි ජවිපෙ විමල් මරන්න හැදුවේ නැද්ද?ඒකට කෙනෙක් ජානීපේ මූලස්ථානට එව්වේ නැද්ද?එයා එව්වේ ටිල්වින් නෙවෙයි.(මේ ප්‍රකාශය රටේ රාළ කරන්නේ ඉතාමත් වගකීමෙන්,මේක බරපතල ප්‍රකාශයක්.ඒක නිසා මේක බොරුවක් නම් ටිල්වින්ට පුළුවන් රටේ රාළට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගක් ගන්න.මොකද මේක ජාතික ජනබලවේගයේ නිර්මාණකරුවා වන ජවිපෙ ප්‍රධාන ලේකම්ට එරෙහිව කරන බරපතල චෝදනාවක්)රටේ රාළ ඒ උදාහරණය ගන්නේ ඔය ජාතික ජන බලවේගය ඇතුළේ ඉන්න ඕනිම කෙනෙකුට ඒ තත්වය උදා වෙන්න පුළුවන් හින්දයි.ඒක නිසා රට සම්බන්ධ වැඩපිළිවෙලක් තියනවා නම් ඕනි කෙනෙක් ඒක රට හමුවේ තියන්න ඕනි. ඒක හංගපු වැඩපිළිවෙලක් වෙන්න බෑ.අපේ රටටත් ඕනි දැවැන්ත ධනේශ්වර ප්‍රතිසංස්කරණයක් සහිත වැඩපිලිවෙලක්.ඒක ජවිපෙ හදනවා නම් රටේ රාළට කිසි ප්‍රශ්නයක් නෑ.

ඒක හොද නම්.ඒකෙන් සමාජ සංවර්ධනයට හිතකර කොන්දේසි හදනවා නම්.ඒක වටේට ගොනු වෙන්නේ හොද මිනිස්සු තමයි.ඒක වටේට ගොනු වෙන්නේ හොද බලවේග තමයි. ඒ බලවේග ඇතුළේ අඩුපාඩු සහිත මිනිස්සු ඉන්න පුළුවන්.හැබැයි එයාලා අර හොද වැඩපිලිවෙලකට යටත් කරලා තියනවා.ඒ වැඩපිළිවෙළ විසින් තමයි මිනිස්සුන්ගේ නරක යට කරලා හොද මතු කරගන්නේ.මේ වගේ සංකීර්ණ විපරීත සමාජයක් එක්ක ගනුදෙනු කරන්න ඒ පරිනතකම තියෙන්න ඕනි. ඇත්තටම ජවිපෙ එතෙන්ට වෙනස් වෙන්න සුදානම් නෑ වගේම ජවිපෙට එතෙන්ට වෙනස් වෙන්න බෑ.ඔතනදී තමයි ජවිපෙ චින්තනමය වශයෙන් රාජපක්ෂලාගේ වැඩවසම් චින්තනයේම කොටස්කාරයෝ වෙන්නේ. රාජපක්ෂලා ඔය හැමදේම කලා.ඒ වෙනුවෙන් මිනිස්සු වීරයෝ කලා.සමහරු ද්‍රෝහියෝ කලා. මොනවා කලත් අවසානයේ වාසිය පවුලට පටු කර ගන්නවා.

සියලු සුද්ධවන්තයෝ ඉන්නේ ඒ පවුලේ.සියලු දක්ෂයෝ ඉන්නේ ඒ පවුලේ.මොල හතානෝ ඉන්නේ ඒ පවුලේ.හොද ගායිකාවෝ ඉන්නේ ඒ පවුලේ මෙකී නොකී සියලු හොද තියෙන්නේ ඒ පවුලේ.ඒ හොදට වශී උන 69 ලක්ෂක් අද එයාලට වගේම රටට කරගෙන තියෙන විනාශයක් පේනවානේ.ජවිපෙ මේ කරන්න හදන්නේ වැඩවසම් මහින්ද චින්තනයේ අනිත් පැත්ත.ඒ ජවිපෙ කෝවට අනුව සියල්ල සිදුවිය යුතුයි කියන මූලධාර්මික වැඩවසම් සංකල්පය.රටේ රාළ කියන්නේ ඒක විනාශ කාරී එකක්.අද මේ ක්‍රමය ඇතුළේ රෑට රෑට ඇදගෙන ගිහින් හිරකාරයෝ මරනවා.ඒයාලා මේ සමාජය ඉස්සරහා වැරදිකාරයෝ නිසා බහුතර සමාජය ඒක අනුමත කරනවා. අනුමත නොකලත් නිහඩ වෙනවා.ඒයාලා වැරදිකාරයෝ උනත් එයාලට දඩුවම් දෙන්න ඕනි නීතියෙන් මිසක් පොලීසියෙන් නෙවෙයි. රටේ රාළ දකින්නේ ඒ රෑට අරන් ගිහින් මරන එකා වගේම තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ විමල් මරන්න ජවිපෙ තමන්ගේ සාමාජිකයෙක් යෙදීම එක හා සමාන වරදක්.සමාව දෙන්න බැරි වරදක්.

ඒ වගේ තනි තීරණ ගන්න බලය ජවිපෙට නෙවෙයි කිසි කෙනෙකුට නොදී ඉන්න මේ රටේ ජනතාව බුද්ධිමත් වෙන්න ඕනි.කොලේ වහලා කරන කිසිම ගනුදෙනුවකට ඉඩ දෙන්න කාටවත් අයිතියක් නෑ.ඒක රටට වගේම ජවිපෙටත් විනාශකාරි එකක්.තවත් ම්ලේච්ඡ තැනකට ජවිපෙ අභයන්තරිකව තල්ලු වෙන්න පුළුවන්.රටට පිලිගත හැකි සමස්ථ ප්‍රතිසංස්කරණයක් ගැන රට ඉස්සරහා සාකච්ඡාවක් මතු කළ යුතු වෙලාවක ජවිපෙ බොරදියේ මාළු බාමින් කරන්නේ රටට දැවැන්ත හතුරුකමක්.ඒ හතුරුකම සමාන වෙන්නත් මේ මොහොතේ රාජපක්ෂලා මේ රටට කරන හතුරුකමට විතරයි.ඒක අද නොතේරෙන බොහෝ දෙනෙකුට හෙට තේරෙන්න ඕනි.හැබැයි ප්‍රශ්නය තියෙන්නේ එතකොට අපි විනාශයේ කරවටක් ගිලිලා ඉවරයි.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.

මිට
රටේ රාළ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More