පුරවැසි කොලම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරිලා තියෙන බලතල අනුව පාර්ලිමේන්තුවේ වාර අවසන් කරලා.අලුත් සැසිවාරය පටන් ගන්නේ 2022 ජනවාරි 18 වෙනිදා.මාසයයි දවස් හයක් පාර්ලිමේන්තුව වහලා.පාර්ලිමේන්තුව වහාලා ජනාධිපතිතුමා සිංගප්පූරු ගිහිල්ලා.දැන්නං ඇවිත්ලු.පාර්ලිමේන්තුවේ වාර අවසන් කරපු හේතුව වගේම ජනාධිපතිතුමා රට ගිය හේතුව තවම රටට නං පැහැදිලි නෑ.
කොහොම උනත් හදිස්සියේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම ගැන සමාජයේ බරපතල සංවාදයක් ඇතිවෙලා තියනවා.ඒ ගැන විවිධ දේශපාලනය කෝනවලින් බලලා කරන විග්‍රහයන් ගොඩක් තියනවා.ඇත්තටම මෙතනදී සලකලා බලන්න ඕනි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න ජනාධිපතිතුමාට තියෙන බලය ගැන නං නෙවෙයි.ඒක ඉතින් හැම විධායක ජනාධිපති කෙනෙකුටම තිබුණ බලයක්.ආය ගෝඨාභය එනකොට ඇමරිකාවෙන් ගෙනාපු බලයක් නෙවෙයි.ඒ බලය හැම ජනාධිපතිවරයාම වගේ පාවිචි කළා.හැබැයි ඒ කිසිම කෙනෙක් ඒ බලය පාවිච්චි කළේ යුක්තිය සහගතව නෙවෙයි.ඒක නිසා රටේ රාළ නං බලන්නේ මේ අශිෂ්ඨ විධායක ජනාධිපති කියන උපකරණයේ අඩුපඩු ජනතාවට දික් කරන්නේ මොන සදාචාරය යටතේද කියලා.ජනාධිපති ගෝඨාභය ඒ බලය පාවිච්චි කිරීම යුක්ති සහගතද නැද්ද කියලා.අනික එතුමා ඒ බලය පාවිච්චි කිරීම කොහොමද රට ඉස්සරහා සාධාරණීකරණය කරන්නේ කියලා.
මහචාර්ය ජී.එල් පීරිස් උන්නැහැට අනුව නං අපිට ඒ ප්‍රශ්නය අහන්න තහනම්.එයාට අනුව ඒක ප්‍රශ්න කළ නොහැකි ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන පරම බලයක්. ඒ බලයට අනුව ජනාධිපතිතුමාගේ අභිමතය ක්‍රියාත්මක කිරීමක්.අනේ ඉතින් රටේ රාළට ජී.එල්ට කියන්න තියෙන්නේ නිවටකමටත් මෝඩකමට වගේම බෙහෙත් නෑ කියලා විතරයි.හැබැයි ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී,ඒ වගේම හිටපු ශ්‍රීලනිප මහ ලේකම්වරයෙකු වෙච්චි අනුර ප්‍රියදර්ශන යාපා මෙතනදී කට ඇරලා තියනවා.ඒ වචන ටිකට රටේ රාළ යාපාට ස්තුති වන්ත වෙනවා.අනුර යාපාට අනුව අපට ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්. අනුර ප්‍රියදර්ශන කියන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම යුක්ති සහගත නෑ කියලා.ඒක එතුමා සතු ව්‍යවස්ථාපිත බලයක් උනත් එක පාවිච්චි කරන්න ඕනි ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්මවලට අනුකූලව කියලා.ඇත්තටම අනුර ප්‍රියදර්ශන කියන විදිහට ජනාධිපතිවරයා ඒ තීරණය අරන් තියෙන්නේ පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න තරම් අසාමාන්‍ය තත්වයක් රටේ උද්ගත වෙලා නැති වෙලාවක.
ඒ කියන්නේ රට සාමාන්‍ය තත්ත්වයෙන් දුවන වෙලාවක.එතනදී අනුර ප්‍රියදර්ශන කියනවා ඇත්තේ ආණ්ඩු පෙරළියක් වගේ තත්වයක් ගැන වෙන්න ඕනි.හැබැයි මේ වෙලාවේ රට තියෙන්නේ අසාමාන්‍ය ආර්ථික අර්බුදයක් ඉස්සරහා.සමහරවිට හෙට උදේ අපි නැගිටින කොට රට බංකොලොත් වෙලා තියෙන්න පුළුවන්.ඇත්තටම මේ වගේ තත්වයක් ඉස්සරහා තියන රටක පාර්ලිමේන්තුව වහලා දානවා කියන්නේ වගකීම සහගත වැඩක් නෙවෙයි.පාර්ලිමේන්තුව වැහුවා කියලා රට බංකොලොත් වෙන එක නතර වෙනවා නං ඇත්තටම ඕක සදහටම වැහුවත් කමක් නෑ.හැබැයි මතක තියාගන්න මේ වහන්නේ වෙන මොකකටවත් නෙවෙයි.ආර්ථික අර්බුදය නිසා ඇතිවෙන දේශපාලන අර්බුදයට බයේ. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් උනාට පස්සේ නැගෙන ජනතා හඩ යටපත් කරන්න.
ගෑස් සිලින්ඩරය පුපුරණකොට,පෝර කෑන් එක පුපුරනකොට,ගොවියාට පෝරටික නැති වෙනකොට.අත්‍යවශ්‍ය බඩු ටික නැති වෙනකොට,ජනතාවට බඩගින්න දැනෙනකොට.රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනකොට ඒ හඩ නගන්න තියෙන උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුව.දැන් ඒකත් වහලා.ජනතාවගේ හඩ මෙහෙම නිහඩ කරන්න යෑමෙන් වෙන්නේ රටේ රාළ අර කියන ජනතා නැගිටීම තව තවත් ඉක්මන්වීම විතරයි.කොහොම උනත් මේ තත්වය ගැන රටට ඇත්ත කතා කරන්න ධෛර්යය තිබීම ගැන රටේ රාළ අනුර ප්‍රියදර්ශනට ස්තූති වන්ත වෙනවා.හැබැයි 20 වෙනි සංශෝධනයෙන් මේ අත්තනෝමතික බලය ජනාධිපතිවරයාට ලබාදෙන්න අනුර ප්‍රියදර්ශනගෙත් අත ඉස්සුනා.ඒවට පව් සමාකරගන්න ඔහොම ප්‍රකාශවලින් නං බෑ මහත්තයෝ කියලත් රටේ රාළ අනුර ප්‍රියදර්ශනට කියනවා.ඒකට අඩුම ගානේ ජනතාව ඉස්සරට ඇවිත් 20 ට අත උස්සපු අයට සමාව ගන්න වෙනවා.අනුර ප්‍රියදර්ශනටත් ඒ පෝලිමට එකතු නොවී දැන්මම ඒක කරන්නත් පුළුවන්.
ඇත්තටම ඇයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේ?සමහරු කියන්නේ ආණ්ඩුව ඇතුළේ බරපතල අර්බුදයක් නිරීමාණය වෙලා කියලා. රාජපක්ෂලාට විරුද්ධ ආණ්ඩුව ඇතුළේම රහසිගත සන්ධානයක් වැඩෙනවා කියලා.ඒ සාකච්ඡාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැට හැත්තෑවක් ඉන්නවා කියලා.ගොඩ දෙනෙක් ජේෂ්ඨයෝලු.එහෙම ඉඟිත් පහුගිය කාලේ එක එක්කෙනාගෙන් එළියට පැන්නා.රටේ රාළත් කියන්නේ එහෙම එකක් තියනවා තමයි.ඒත් තවම ආණ්ඩු පෙරළියකට යන්න තරම් ඒ තත්වය මෝරලා නෑ.ඕන්නං රටේ රාළ හරියටම කියන්නම් ඒක පටන් ගන්න දවස. ආණ්ඩුවෙන් පළවෙනි කණ්ඩායම එළියට බහින්නේ පෙබරවාරි මාසේ.ඒකට බයේ පාර්ලිමේන්තුව වැහුවා නම් ජනවාරි 18 අරිනවා කියන්නේ වැහුවට වඩා ලොකු මෝඩකමක්.
ඊළගට තියෙන තවත් මතයක් තමයි ජනාධිපතිවරයයි,මුදල් ඇමතිවරයයි අතර ඇතිවෙලා තියෙන බල අරගලයේ ප්‍රතිථලයක් විදිහට ජනාධිපති ගත්ත තීරණයක් කියලා.බැස්ල් ඊයේ රෑ ඇමරිකාවේ ගිහින්. කොහොම උනත් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරගේ හැසිරීම මුල් කරගෙනය රාජපක්ෂවරු අතර ලොකු මත ගැටුමක් තියෙන බව පේනවා.එතනදී රාජපක්ෂ පවුලේ බහූතරය පී.බී විරෝධී ස්ථාවරයක ඉන්නවා. ආණ්ඩුව ඇතුළේත් පී.බීට ලොකු විරෝධියෙක් තියනවා.ඊයේ විමලුත් ඇහැළියගොඩදී පී.බීට ගැහුවා.කොහොම උනත් බැසිල් ඉන්නේ පී.බි එක්ක කියලයි ආරංචි.විමල් පී.බීට ගැසීමෙන් ඒක තහවුරු වෙනවා.ඒ වගේම විමල් කියන්නේ දේශපාලන නිවටයෙක් කියලා ආයෙත් විමල් ඔප්පු කළා.කෙලින්ම රාජපක්ෂලාට ගහන්න බැරි විමල් මිටි තැන්වලට ගහනවා.ඒක විමල්ගේ ජාති ලක්ෂණයක්.ඇත්තටම මෙතනදි පී.බීට ගහන්න ඕනි රාජපක්ෂලා එක්ක එකට තියලා මිසක් රාජපක්ෂලාගෙන් වෙන් කරලා පීබී අරන් නෙවෙයි.
ඊළඟට මෙතන ඇත්ත ප්‍රශ්නයක් තියනවා. රටේ රාළ ඒක කියන්නම්.20 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිට මොනතරම් බලතල හම්බ උනත් මේ ආණ්ඩුවේ බලවතා බැසිල්.බැසිල් ඒ බලය අත්පත් කරගෙන ඉවරයි.මොකද පොදුජන පෙරමුණේ බහුතර බලය තියෙන්නේ බැසිල් අතේ.බැසිල් විරෝධීන් හිටියත් එයාලා ගෝඨාභයට පක්ෂපාතී නෑ. ඊළඟට බැසිල් ශ්‍රීලනිපය ෂේප් කරගත්තා. දයාසිරිත් සාක්කුවේ දාගත්තා.විමල්ලා වගේ අය ෂේප් කරගන්න බැසිල් මහන්සි වෙන්නේ නෑ.ඒවට බඩු බැසිල්ගාව වෙනමම තියනවා. රටේ ආර්ථික ක්‍රියාවලිය බිද වැටිලා තමයි. හැබැයි ඒක තමයි තවමත් අපේ රටේ බලවත්කම ක්‍රියාවලිය.ඒක හසුරුවන්නේ බැසිල්.ඒක නිසා බැසිල්ගේ බලපෑම ජනධිපතිගේ සිට හැම තරාතිරකම කෙනෙකුට තියනවා.ඒකෙන් මිදෙන්න ලේසි පුතෙකුට බෑ.රටේ රාළ මිට ඉස්සෙල්ලා කියලා ඇති බැසිල්ගේ ව්‍යාපෘතිය ඇතුළේ ගෝඨාභය ඉත්තෙක් විතරයි කියලා.ඇත්තටම මෙතන ගලිවර් බැසිල්.අනිත් ඔක්කොම ලිලිපුට්ටෝ. ගලිවර්ට වැඩ බැරි එක වෙනම කතාවක්.එයා ගලිවර් කෙනෙක් වෙන්නේ ලිලිපුට්ටන්ට මොකුත්ම බැරි නිසා.
ඒ තත්වයට බැසිල් පොදුජන පෙරමුණ පත් කරගෙන ඉවරයි.බැසිල්ට ඕනි විදිහට වැඩේ වෙන්නේ නැත්තං මම ඔක්කොම දමලා ගහලා ඇමරිකා යනවා කියන්න තරම් බැසිල් බලවත් වෙලා.එහෙම කිව්වොත් ඔක්කොම රාජපක්ෂලා බැසිල් ඉස්සරහා දන ගහනවා. නැත්තං ගිය දවසේ ඉදන් එන්න කියලා කතා කරනවා.රටේ රාළට බැසිල් පොරක් නූනට රාජපක්ෂලාට ඉන්න එකම පොර බැසිල්.මීට ඉස්සර ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවලට පත් කරපු ගොඩක් නිළධාරින් දැන් ඉල්ලා අස්වෙලා ඉවරයි.එතන හොඳ මිනිස්සු ගොඩක් හිටියා.ඒත් එයාලට වැඩ කරන්න දුන්නේ නෑ. නිකං හිතන්න කාගේද ඒ හස්තය?අද ජනාධිපතිට පීබී අස්කරලා තමන්ට ඕනි මිනිහා ලේකම්ට දාගන්න බෑ.කාගෙද ඒ හස්තය?ඒ ආධිපත්‍යය තියෙන්නේ බැසිල්ට. මහින්දටත් ඒ ආධිපත්‍යය ඇති.ඒත් මහින්දට මුවා වෙලා ඒ බලය නිල හා නිල නොවන විදිහට පාවිච්චි කරන්නේ බැසිල්.ඒකට බැසිල්ට වෙනම සෙට් එකක් ඉන්නවා.
පී.බී කියන්නේ එක්කෙනෙක්.චරිත හේරත් කියන්නේ තව එක්කෙනෙක්.එතන ඉදන් බටු කුට්ට්යා දක්වා මිනිස්සු බැසිල්ට ඉන්නවා.ඒ ටික අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට කළමණාකරණය කරන්න බැසිල්ට පුළුවන්. කොහොම උනත් පහුගිය දවස්වල වෙච්චි ගොඩක් සිද්ධි මේ ක්‍රියාවලිය එක්ක සම්බන්ධයි කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන් BOI සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉල්ලා අස්වීම මේ දාමයත් එක්ක ගැට ගැහෙනවා.BOI සභාපති සංජය මොහොට්ටාල ඇතුළු කණ්ඩායමේ ඉල්ලා අස්වීම ජනාධිපති මුල්වටයේදී බාර අරගෙන තිබුණේ නෑ.ඒත් ආය සංජය මොහොට්ටාලට ඇවිත් BOI එකේ වැඩකරන්න ඕනි පසුබිම හැදුනේ නෑ.එතකොට කවුද මේ ජනාධිපතිටත් උඩින් ඉන්න ලොක්කා.ඔන්න ඔතනදී තමයි ඔය ප්‍රශ්නයට පී.බී වගේම පාර්ලිමේන්තුවේ කොප් කමිටුවත් ඇදිලා එන්නේ.කොප් කමිටුවේ සභාපති චරිත හේරත් කියන්නේ පට්ට බැසිල්වාදියෙක්.
දැන් ගොඩක් අය කියන්නේ ජනාධිපතිට ඒ කරපු මදි පුංචිකමට ජනාධිපති පාර්ලිමේන්තුවටම වැඩේ දුන්නා කියලා. ඔය කතාවල ඇත්ත නැත්ත රටේ රාළ දන්නේ නෑ. හැබයි රටේ රාළ එකක් දන්නවා.ජනාධිපති පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම පිටේ පස්සේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා.අපේ රටේ ජනාධිපතිවරු ජොලියට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්නේ නෑ.ඉතිහාසයේ ජනාධිපතිවරු පාර්ලිමේන්තුවේ වාර අවසාන කරනකොට ඒ අර්බුදය රටට පෙනුනා.හැබැයි මෙතන පේන්න නිමිත්තක් නෑ.එහෙනම් නිමිත්තක් තියෙන්නේ හැංගිලා.රටේ රාළටත් මේ තත්වය යටතේ සැක හිතෙනවා ජනාධිපති,බැසිල් බල අරගලය උග්‍ර වෙලා ඇති කියලා.බැසිල් ආයෙත් මාසෙකට ඇමරිකා ගිය බව ආරංචි.හැබැයි බැසිල් මාසයක් ඇමරිකාවේ හිටලා ආවොත් ඒන්නේ සුනාමියක් එක්ක තමයි.
එදා විජේවීර කිව්වා ඇමරිකාවට හෙම්බිරිස්සාව හෑදෙනකොට ලංකාවට නිව්මෝනියාව හැදෙනවා කියලා.ඒ පිරුළට අද රටේ රාළ අලුත් සංශෝධනයක් එකතු කරනවා.බැසිල් මාසයක් ඇමරිකාවේ හිටලා ආවොත් ලංකාවටම Sorry.Com තමයි කියලා.හැබැයි ඉතින් බැසිල් ගෝඨාභය ගැටුමෙන් බොරුවට ආණ්ඩුව වැටෙයි කියලා බලා ඉන්න එපා.රටේ රාළ නං එහෙම මෝඩ චූන් ගන්නේ නෑ.රාජපක්ෂලාට තමන්ගෙන් බලය ගිලිහෙන බව දැනුනොත් ටක් ගාලා සමගි වෙනවා.සමගි වෙලා පීබී වගේ කෙනෙක්ගේ බෙල්ල කපලා වැඩේ Close කරනවා.සමහරවිට විමල් දැන හෝ නොදැන කරන්නේ ඔය කොන්ත්‍රාත්තුව වෙන්න පුළුවන්.රාජපක්ෂලා වෙනුවෙන් බිලි වෙන්න බිලි boys ලාත් ඕනිතරම් ඉන්නවා.හැබැයි මෙතන තියන බරපතල ප්‍රශ්ණය ඒක නෙවෙයි.රාජපක්ෂලාගේ තියෙන අත්තනෝමතිකම,උද්දච්චකම කොච්චර කියන එකයි.එයාලගේ ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුව වහන්න උනත් එයාලා ලෑස්ති.ඔය පාර්ලිමේන්තුව ශත පහකට වැඩක් නෑ තමයි.
ඒක නිසා වහනවා නං පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි ජනාධිපති ධූරයත් වහන්න ඕනි. ඒකත් තුට්ටුවකට වැඩක් නෑ.හැබයි පාර්ලිමේන්තු ක්‍රියාවලිය ඇතුළේ සිද්ධ වෙන තවත් ලොකු ක්‍රියාවලියක් තියනවා.ඒ ජාතිකව වගේම ජාත්‍යන්තරව රටට වැදගත්.රට බංකොලොත් වෙන්න නියමිත තීරණාත්මක කාලපරිච්ඡේදයේදී රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව වහලා. පිස්සුනේ. පාර්ලිමේන්තුවක් ඇතුළේ ක්‍රියාත්මක කෝප් කමිටුව,මහජන පෙත්සම් කාරක සහාව වගේ අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු තේරීම් කාරක සහා ඔක්කොම ඉවරයි.ඉවරයි කියන්නේ ආය පාර්ලිමේන්තුව ඇරියා කියලා ඒවා සක්‍රීය වෙන්නේ නෑ.කෝප් කම්ටුවට ආය චරිත හේරත් එන්නේ නෑ.ආවත් වැඩකුත් නෑ. ඇත්තටම මොන දේශපාලන ප්‍රශ්න තිබුණත් කෝප් කමිටුවට ඕනි හදුන්නෙත්ති කෙනෙක්, ඩිව් ගුණසේකර කෙනෙක්.හැබැයි මේ තියන එකත් අක්‍රීය කිරීම අපරාධයක්.
මොකද ඔය බලය ගෝඨාභයට වගේම බැසිල්ට හම්බ වෙලා තියෙන්නේ තමන්ට හම්බ උන ජනවරමට එකඟව පාවිච්චි කරන්න.ඇත්තටම මෙතනදී ගෝඨාභයට විතරයි ජනවරමක් තියෙන්නේ.බැසිල්ට ඇති ජනවරමක් නෑ.රටේ රාළ හැමදාම කියන විදිහට බැසිල් කළේ අනුන්ගේ ජනවරමක් මංකොල්ල කෑම.ඒක නිසා මෙතන වැඩි වගකීම තියෙන්නේ ජනාධිපතිට.එතුමා වැඩකරන්න ඕනි ජනවරමට අනුකුලව. ජනවරමට අනුකුලව වැඩ කරන්න නොදෙන අයට විරුද්ධව බලය පාවිච්චි කිරීමේ අයිතිය එතුමාට තියනවා.එහෙම නැතුව ඒ කෙනෙහිලිකම් හින්දා සමස්ථ ජනතාවගෙන් පලිගන්න එතුමාට අයිතියක් නෑ.ඒක නිසා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ හේතුව රටේ ජනතාවවට දැන ගැනීමේ අයිතියක් තියනවා.ඒ ගැන සාධාරණ උත්තරයක් රටට දෙන්න ජනාධිපතිතුමා බැදිලා ඉන්නවා.
එහෙම නැතිව තනි තනිව පොරවල් වෙන්න, තනි උවමනාවන් වෙනුවෙන් බලය පාවිච්චි කරන්න කාටවත් අයිතියක් නෑ.එහෙම පාවිච්චි කරනවා නං තාවකාලිකව පොඩි ජොලියක් තියෙයි.හැබැයි ඉතිහාසයේ විනිශ්චය ඉස්සර ඔය මොන රාජපක්ෂලාවත් පොරවල් නෙවෙයි.මේ කතාව කියන නිසා ඕනි නං ඇවිත් රටේ රාළ මරලා දායි.හැබැයි මතක තියාගන්න ඒකටත් ඉතිහාසයේ විනිශ්චයක් තියෙයි.ඔය වගේ ඔලමොට්ටල තීරණ ගන්න නායකයන් පිලිගන්න ඉතිහාසයේ කුණු බක්කිය බලා ඉන්නවා.ඔය කවුරුත් ඉතිහාසයේ ඒ අපක්ෂපාතී ගෞරවණීය විනිශ්චයට යටයි.
එහෙම ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.
මීට
රටේ රාළ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More