දේශීය පුවත්

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව විභාගවන නඩුව ඊයේ(29) දින විභාගයට ගත් අතර ඊට අදාළව වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාද අද (29) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ අධිකරණය හමුවේ පිළිගනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වනතෙක් තමන් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා නොදුන් බවයි.

නිලන්ත ජයවර්ධන මහතා වෙත හරස් ප්‍රශ්න යොමුකරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ,ප්‍රහාරයට පෙර අප්‍රේල් 04 වනදා ලද විදෙස් පෙර දැනුවත් කිරීම අප්‍රේල් 20 වනදා දක්වා නිශ්චිත බුද්ධි තොරතුරක් බවට පත් කරගැනීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වුනේද යනුවෙන් විමසා සිටියේය.

ඒ අනුව සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ ප්‍රහාරයට පෙර දින පස්වරු 04.12ට විදෙස් බුද්ධි අංශයේ තොරතුරුකරුගෙන් තමන්ට යළි ඇමතුමක් ලැබෙන තුරු අප්‍රේල් 04 ලද තොරතුර නිශ්චිත බුද්ධි තොරතුරක් ලෙස තහවුරු කිරීමට තමන් ළඟ දත්ත නොතිබූ බවයි.

විත්තියේ නීතිඥවරයා යළි ප්‍රශ්න කරමින් අප්‍රේල් 04 සිට අප්‍රේල් 20 දක්වා වූ කාලය තුළ ඔහු විසින් එවකට පොලිස්පතිවරයාට ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් ලබා නොදුන් බව පිළිගන්නේද යනුවෙන් විමසා සිටියේය.

“ඔව් මම පිළිගන්නවා. ප්‍රහාරයට පෙර දිනය වෙනකම් මම ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් ලබාදුන්නේ නැහැ. නමුත් මම අප්‍රේල් 04 ලද තොරතුර, සහරාන් හෂිම් අප්‍රේල් 16 කර තිබු පෙර පුහුණුව වැනි දේ පිළිබඳ තොරතුරු ලබාදුන්නා” යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා පවසා සිටියේය.

මෙහිදි විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා, ප්‍රහාරයට පෙර දින ලද නිශ්චිත බුද්ධි තොරතුර ඒ වන විට රටේ ආරක්ෂක අමාත්‍යවරයා රට තුළ නොසිටි වටපිටාවක එය අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ලබාදීමට ඔහු කටයුතු කළේද යන්න විමසා සිටියේය.

සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා එම ප්‍රශ්නයට සෘජුවම පිළිතුරු දෙමින් පවසා සිටියේ තමන් ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු නොකළ බවයි.

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නිලන්ත ජයවර්ධන මහතාට පසුව සාක්ෂි ලබාදෙමින්,
” සෑම විටම රාජ්‍ය බුද්ධි අංශයෙන් නිශ්චිතම බුද්ධි තොරතුරු ලැබෙන්නේ නැහැ. පොලිස්පතිවරයා තමයි පවතින තොරතුරු වර්ධනය කිරීමට සහ ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය පියවර ගත යුත්තේ. එබැවින් යම් දෙයක් විය හැකි කියලා තියෙනවා නම් ඒ දේ වුණොත් මොනාද කරන්නේ කියන තැන ඉඳලයි කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් හැටියට හෙට යම් ත්‍රස්ත ප්‍රහාරයක් වෙනවා කියලා තොරතුරක් ආවොත් අද එය වුනොත් කියන අවදානම අරගෙනයි ආරක්ෂිත වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ.” යනුවෙන් පවසා සිටියේය.

තමාට පොලිස්පතිවරයා ලෙස ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශයකින් තොරතුරක් ලැබුණහොත් තමා එය හොඳින් අධ්‍යයනය කර, බුද්ධි අංශ සහ වෙනත් පළපුරුදු විශේෂඥයන් සමඟ සාකච්ඡා කර පියවරගන්නා බව අවධාරණය ළේය.

ඔබට අති රහස්‍ය වාර්තාවක් ලැබුණහොත් ඔබ එය එලෙසින්ම පහළ නිලධාරින් වෙත යවන්නේ දැයි මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමසනු ලැබුවේය.

“මම එසේ කරන්නේ නැහැ. මම කරන්නේ එම වාර්තා හොඳින් අධ්‍යනය කරලා, අවශ්‍ය උපුටා ගැනීම් කරලා පොලිස්පතිවරයාගේ සුදුසු නියෝග සමඟ පහළට යවන එක. මොකද රාජ්‍ය නායකයෙක් තරමටම පොලිස්පතිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා මම නියෝග දුන්නේ නැහැ. මම දන්නේ නැහැ කියන්න බැහැ.” යැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊට පිළිතුරු දුනි.

නඩු විභාගය ලබන වසරේ ජනවාරි මස 18 වනදා දක්වා කල් තැබුණි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More