පුරවැසි කොලම

වස විෂ නොමැති ගොවිතැන් ක්‍රම සහ ආහාර ප්‍රචලිත කිරීම සඳහා රසායනික පොහොර තහනම් කරන බව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කළද දැන් ගොවීන් විසින් ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇත. ඇත්ත වශයෙන්ම වස විෂ නැති ආහාර පිළිබඳව කතා කිරීමේදී පළමු ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ පළිබෝධනාශක පාලනය කිරීමටය. එතැනින් පටන්ගැනීම වෙනුවට පොහොර වලින් පටන්ගැනීම නිසා දැන් ආණ්ඩුවට අවසානය කුමක්දැයි තීරණය කිරීම දුෂ්කරවී ඇත. යම් පිරිස් ගොවි සටන් මැදට පැන ඒවා තමන් විසින් සංවිධානය කළ බව පෙන්වීමට උත්සාහ කළද ගොවීන් ස්චේඡාවෙන් සටන් බිමට බැස තිබෙන බව ඉතා පැහැදිළිව දැක ගත හැක. ආණ්ඩුව විසින් සද්භාවයෙන් ගනු ලැබූ තීන්දුව  කාබනික පොහොර ජාවාරම්කරුවන් විසින් අවභාවිතා කිරීම නිසා තත්වය තවදුරටත් බරපතළ වී ඇත. ආණ්ඩුව, තමා විසින් ගනුලැබූ තීන්දුව නිසි ලෙස ගොවීන් අතරට ගෙනයාම සඳහා මෙන්ම ගොවින්ගේ ආශිර්වාදය සහිතව යම් කාලරාමුවක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා, නම්‍යශීලී නොවීම නිසා මෙම අර්බුදය පැන නැගුණු බවට විවාදයක් නැත. එක් පැත්තකින් බාහිරින් ආනයනය කරනු ලබන රසායනික යෙදවුම් සීමා කිරීම මගින් නිෂ්පාදන පද්ධතිය සහ ගොවියා පරාධීනත්වයෙන් ගලවා ගැනීමේ උවමනාව ආණ්ඩුව විසින් අවධාරණය කරනු ලැබුවේ නැත. අනෙක් පැත්තෙන් ඒ වෙනුවට වස විස නැති ආහාර සංකල්පය ඉහළට එසවීම නිසා යම් විද්වතුන් විසින්  ඊට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ තත්වයක්ද පැන නැගුණි.  ඇත්ත වශයෙන්ම වස විෂ නැති ආහාර මෙන්ම කෘෂි පරිසර පද්ධතිය දීර්ඝකාලීනව  ආරක්ෂා කිරීම යනු නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලවා ගැනීම මගින් ලැබෙන අතුරු ප්‍රතිඵලයකි.  කෙසේ වෙතත් අවසානයේදී පොහොර සඳහා වැඩි අවධානය යොමුවීම නිසා දීර්ඝකාලීනව පළිබෝධනාශක පාලනය සඳහා නීතිමය රාමුවක් පැනවීමේ උවමනාව යටපත්වේ.

ශ්‍රී ලංකාවේ විගණකාධිපති විසින් 2019 දී නිකුත් කළ පළිබෝධ නාශක අනායනය සහ භාවිතයට අදාළ පරිසර විගණන වාර්තාව අනුව අප රටට ආනයනය කරන විවිධ පළිබෝධනාශක සන්නාම වල අඩංගු වන සක්‍රීය රසායනික වර්ග ප්‍රමාණය 200 කි. නමුත් ඒ අතුරින් ශ්‍රී ලංකාවේදී පරීක්ෂණ වලට භාජනය කෙරෙන්නේ රසායනික 18 ක් වැනි සුළු ප්‍රමාණයකි. සෙසු විෂ රසායනික වෙළඳපළට නිකුත් කිරීමට අවසර ලැබෙන්නේ ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරන සහතික මතය. ඒ ආකාරයට වසරකදී රට තුළට ආනයනය කරන සමස්ථ පළිභෝධ නාශක ප්‍රමාණය මෙ.ටො 8000 ක් පමණ වේ. එසේ රටතුළට පළිබෝධ නාශක ආනයනය කරන වෙළඳුන් 80 ක් 1980 දරණ 33 පළිබෝධනාශක පාලන පනත යටතේ ලියාපදිංචි වී ඇත. කෙසේ වෙතත් මහජනයාට පළිබෝධනාශක විකුණන ආයතන 2294 දෙනෙකු අතුරින් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචිය ඇත්තේ 1079 දෙනෙකු පමණි. ඒ අනුව වසරකට විෂ මෙ.ටො 8000 ක් නිසි නිර්දේශ හෝ නිසි පාලනයකින් තොරව පරිසරයට මුදා හැරෙන බව පිළිගැනීමට සිදු වේ. එම ක්‍රියාවලිය සාධාරණිකරණය කරනු ලබන්නේ බෝග ආරක්ෂා කිරීම සහ අස්වනු වැඩි කිරීම සඳහා පළිබෝධනාශක වල අවශ්‍යතාවය අවධාරණය කිරීම මඟිනි.

මීට වසර 20 කට පෙර එනම් 2000 වසරේදී අප රටේ පළිබෝධනාශක අඩංගු වන සක්‍රීය රසායනික ද්‍රව්‍යය 105 ක් ලියාපදිංචි කර තිබුණි. එනම් කෘමිනාශක රසායනික වර්ග 50, දිලීර නාශක රසායනික ද්‍රව්‍ය 30 ක් සහ ඉතිරිය වල්නාශක රසායනික ද්‍රව්‍යය සහ සංයෝග ලෙස එම වකවානුවේදී රටට ආනයනය කළ සමස්ථ පළිභෝධනාශක ප්‍රමාණය මෙ.ටො 4000 ක් පමණ විය. ඒ අනුව අදවන විට ලියාපදිංචි කර ඇති සක්‍රීය රසායනික ද්‍රව්‍ය වර්ග සහ ප්‍රමාණය දෙගුණයකින් වැඩි වී ඇති බව පැහැදිළි වේ. එසේ වුවත් ඉහත සඳහන් කළ ආකාරයට ඒවා විකිණීම සඳහා බලපත්‍රය අනිවාර්ය නොවන අතර මිලදී ගැනීම සඳහා විශේෂඥතාව සහිත නිලධාරියෙකුගේ නිර්දේශ අවශ්‍යශ නොවේ. අප රටේ ඖෂධ වැරදි ලෙස භාවිත කිරීම මඟින් එක් පුද්ගලයෙකුට හානියක් සිදුවීම වැළැක්වීම සඳහා ඖෂධ විකිණීම සහ මිලදී ගැනීම පාලනය කිරීම සඳහා දැඩි නීති පනවා ඇත. එහෙත් යම් ප්‍රදේශයක කුඹුරු සහ ඇළ දොළ ගංගා වලට විෂ එකතු කර දහස් ගණනකගේ සෞඛ්‍යට හානිකළ හැකි පළිභෝධනාශක ඕනෑම ප්‍රමාණයක් කිසිඳු නිර්දේශයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගත හැක. ඒ අනුව අප රටේ පළිබෝධනාශක පාලන නීතිය යොදාගනු ලබන්නේ මහා සමාගම් වලට වෙළඳපොළ නිර්මාණය කිරීමට මිස පරිසරය හෝ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නොවන  බව ඉතා පැහැදිළිය.

විස්කොන්සින් සම්මුතිය

ඒ ආකාරයට පාලනයකින් තොරව පොහොර සහ පළිභෝධනාශක භාවිතය ඉතා බරපතල ලෙස දක්නට ලැබෙන්නේ කෙටි කාලීන බෝග වගාව ආශිතවය. එම ක්‍රියාවලිය කිසිදු පාලනයකට යටත් නොවන අතර අස්වනු නෙළීමට මොහොතකට පෙර පවා පළිබෝධනාශක යෙදීම පිළිබඳ බොහෝ සාක්ෂි ඉදිරිපත් වීඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 1992 දී පමණ ඈතකදී කරනු ලැබූ සමීක්ෂණයක් එළිදරව් වූයේ බහුලව ළූණු සහ එළවළු වගා කරන කල්පිටිය ප්‍රදේශයේ භුගත ජලයේ ඉතා ඉහළ ප්‍රමාණයක් නයිට්‍රජන් සහ පළිභෝධනාශකවල අඩංගු සක්‍රීය රසායනික ද්‍රව්‍ය අඩංගු වන බවය. යූරියා සහ පොස්පේට් පොහොර වැඩි වශයෙන් යෙදීම නිසා ජලාශවල නයිට්‍රජන් සහ පොස්පරස් ඉතා ඉහළ මට්ටම්වලින් අඩංගු බවට ජලසම්පාදන දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ යම් සමීක්ෂණ වලින්ද හෙළි විය. කෙසේ වෙතත් ලෝකය පුරා කහනම් කරනු ලැබූ රසායනික ද්‍රව්‍ය 40 ක් පමණ ශ්‍රී ලංකාවේද තහනම් කර ඇත. පළිබෝධනාශක පාලන පනත යටතේ එම ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබුවේ 1984 පමණ සිටය. එසේ වුවත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් ඒකාබද්ධ පළිබෝධනාශක ක්‍රමවේද යටතේ පවා රටේ සමස්ථ පළිබෝධනාශක භාවිතයේ අඩුවීමක් දක්නට නැත.

ලෝක පරිමානයෙන් උග්‍ර විෂ සහිත පළිබෝධනාශක භාවිතය අවම කිරීම සඳහා 1989 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විෂ මට්ටම අනුව වර්ගීකරණයක් හඳුන්වා දෙනු ලැබීය. එය පදනම් වූයේ මීයන් ඝණයකින් 50% මියයාම සඳ හා අවශ්‍ය අවම විෂ ප්‍රමාණය මතය. එම ප්‍රමාණය හඳුන්වනු ලැබුවේ එල්.ඩී 50 අඟය ලෙසය. ඒ අනුව උග්‍ර විෂ වර්ග පළමු පන්තිය, ලෙස සහ සෙසු රසායනික දෙන සහ තුන්වන පන්තිය ලෙස වර්ගීකරණය කරනු ලැබීය. එම ක්‍රමවේදය අනුව හදිසි විෂ වීම පිළිබඳව අවධානය යොමු වුවද දීර්ඝ කාලීනව ඇතිවන හානිය සැලකිල්ලට ගැනෙන්නේ නැත. නමුත් පසුකාලීනව මිනිසා ඇතුළු සත්වයින්ගේ අන්තරාසර්ග පද්ධතියට හෙවත් හෝමෝන පද්ධතියට හානි කළ හැකි සහ ශරීරයේ මේද වල තැන්පත්ව ක්‍රමයෙන් එකතු වී ආහාර දාමයට  එකතු වන පළිබෝධනාශක පිළිබඳව ලෝකය පුරා කථිකාවක් ඇතිවීම නිසා එවැනි රසායනික ද්‍රව්‍ය පාලනය පිළිබඳ සම්මුතීන් ඇති විය. ඇමෙරිකානු විද්වතුන් පිරිසක් විසින් 1991 දී විස්කොන්සින්හිදී ඇතිකරගත් සම්මුතිය එවැන්නකි. කැනඩාවේ ලෝක වනසත්ව අරමුදල විසින් එවැනි රසායනික ද්‍රව්‍ය 70 ක් ලැයිස්තුගත කර ඇත. එම ලැයිස්තුවට ඇතුල්වන ලෝකය පුරා බහුලව භාවිතා වූ ඩී.ඩී.ටී මුල්කාලයේදී විෂ්මය ජනක රසායනිකයක් ලෙස හැඳින්විය. එම රසායනිකය සොයාගත් පොල්මුලර් නම් විද්‍යාඥයාට 1948 දී නොබෙල් ත්‍යාගය පවා හිමිවිය. නමුත් එම රසායනික භාවිතය නිසා මිනිස් සහ සත්ත්ව සංහතියටම සිදුවූ විනාශය වෙනත් කිසිදු රසායනික ද්‍රව්‍යකින් සිදු වී නැති බව කියවේ. ඉහත සඳහන් කළ ආකාරයට එවැනි බරපතල විෂ සහිත රසායනික 40 ක් පමණ අප රටේ තහනම් කර ඇතත් මේ වන තුරු තහනම් කර නොමැති එහෙත් තහනම් කළ යුතු රසායනික ද්‍රව්‍යය 10 ක් පමණ තිබෙන බව කියවේ.

ඇමෙරිකාවේ ප්‍රභල කෘෂි රසායනික සමාගමක් වූ සින්ජෙන්ටා සමාගම විිසින් වෙළඳපොළට ඉදිරිපත් කළ පැරකොට් නම් වූ උග්‍ර විෂ සහිත වල් නාශක රසායනික ද්‍රව්‍යයට එරෙහිව 2002 දී පමණ සිට ප්‍රභල ජනමතයක් ඇති විය. නමුත් එය තහනම් කිරීම වැළැක්වීම සඳහා එම සමාගම ලෝකය පුරා ප්‍රභල බලපෑමක් ඇති කළ බවට චෝදනා එල්ල විය. එම රසායනික වර්ගයේ සමස්ථ නිෂ්පාදනයෙන් 70% ක් භාවිතා කරනු ලැබුවේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවලය. පූර්ණ වල්නාශකයක්වන එම රසායනිකය 1960 දශකයේදී ග්‍රැමක්සෝන් නැමැති වෙළදනාමය යටතේ අප රටේදී ඉතා පුළුල් ලෙස ප්‍රචලිත කරනු ලැබීය. එහිදී එහි අඩු කාලයක් තුළ වතුර බැඳ තැබීම මඟින් බිම් සකස් කළ හැකි බවට ප්‍රභල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කෙරුණි. අප රටේ වාරි ඉන්ජිනේරුවන් පිරිසක් ඊට පහසුකම් සැලසීම සඳහා ජල පාලනය නාමයෙන් බිම් සකස් කිරීම සඳහා ජලය නිකුත් කිරීමේදී යම් සීමාවන් පැනවීමට ක්‍රියාකළ බවටද චෝදනා එල්ල විය. කෙසේ වෙතත් 2008 දී ශ්‍රී ලංකාවේ පැරකොට් ආයතනය තහනම් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේදී එම රසායනිකය සියදිවි නසා ගැනීම සඳහා බහුලව භාවිතා වූ අතර ඒ මඟින් ඇති වන දීර්ඝකාලීන සංකූලතා නිසා සෞඛ්‍ය පද්ධතියට විශාල බරක් දැරීමටද සිදු විය. කෙසේ වෙතත් සිය දිවි නසා ගැනීම සඳහා බහුලව භාවිතා වන්නේ ස්නායු පද්ධතියට සිදු වන හානිය නිසා ක්ෂණිකව මරණය ඇති කරන ඕගනෝපොස්පේට් කාණ්ඩයේ රසායනිකයන්ය.

රොටර්ඩෑම් සම්මුතිය

සිය දිවි නසා ගැනීම් පාලනය කිරීම මුල් කරගෙන 80 දශකයේදී ලෝකය පුරා පළිබෝධනාශක භාවිතය සීමා කළ යුතු බවට ප්‍රභල ජනමතයක් ඇති විය. නමුත් අද මෙන් එදා වස විෂ නොමැති ආහාර නිපදවීම සඳහා හෝ වකුගඩු රෝග පාළනය සඳහා ‌පළිබෝධනාශක භාවිතය අවම කළ යුතු බවට ජනමතයක් ගොඩනැගී තිබුණේ නැත. කෙසේ වෙතත් 1985 දී ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ස්වේච්ඡාවෙන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් මඟින් පළිබෝධනාශක විකිණීම සහ භාවිතය පාලනය කිරීමට උත්සහායක් ගනු ලැබීය. ඉන්පසුව එක්සත් ජාතීන්ගේ පරිසර වැසටහන මඟින් රටවල් අතර විෂ වර්ග පිළිබඳ ස්වේච්ඡාවෙන් තොරතුරු හුවමාරුකර ගැනීම    දිරිමත් කරනු ලැබීය. එසේ වුවත් මහා සමාගම් වල බලපෑම නිසා එම ක්‍රියාවලීන් මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි විය. ඉන් පසුව 1992 මිහිකත සමුළුව මඟින් පළිබෝධනාශක වෙළඳාම සඳහා අනිවාර්ය පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බවට තීරණය කරනු ලැබීය. ඒ අනුව 1998 දී රොටර්ඩෑම් සම්මුතිය ඇතිකරගත් නමුත් එය බලාත්මක කිරීමට 2004 දක්වා කාලය ගත විය. ඒ අතර දීර්ඝ කාලීනව ශරීරයේ තැන්පත්වන අන්තරායර්ග හෝමෝන පද්ධතියට බලපෑම ඇති කරන රසායනික ද්‍රව්‍යය පාලනය සඳහා ඒ සඳහාම වූ සම්මුතියක් ස්ටොක්හෝම් සම්මුතිය නමින් ඇතිකරගනු ලැබීය. නමුත් මහා සමාගම්වල බලපෑම නිසා ලෝකය පුරා පළිබෝධනාශක භාවිතය පාලනය කිරීම බෙහෙවින් අසීරු කාර්යයක් බවට පත් වී ඇත. එවැනි තත්වයක් තුල ශ්‍රී ලංකාවේදී රසායනික පොහොර භාවිතය තහනම් කිරීමටසහ පළිබෝධනාශක භාවිතය සීමා කිරීම සඳහා යම් පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම යනු ඉතා සුවිශේෂී තත්වයකි. එසේ වුවත් එම දේශපාලන තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා තෝරන ලද උපාය මාර්ගික ප්‍රවේශයේ දුර්වලකම් නිසා එම තීන්දුව  ආපසු හැරවීම සඳහා මහා සමාගම්වලට සහ පටු ආණ්ඩු විරෝධී දේශපාලන බලවේගවලට හැකියාව ලැබී ඇත.

රසායනික පොහොර තහනම් කිරීමේ ගැසට් නිවේදනය මඟින් යම් පළිබෝධනාශක කාණ්ඩ ආනයනයට පමණක් අවසරදී ඇතත් ප්‍රායෝගිකව ලියාපදංචි කර තිබෙන රසායනික ද්‍රව්‍යය ආනයනයට බාධාවක් නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් අනුමැතිය ලබාදිය යුතු පළිබෝධනාශක ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ. එසේ වුවත් ඊට අදාළව පැහැදිළිතාවයක් නොමැති බව ගොවීහු මෙන්ම කෘෂි විද්වත්හු පවසති. ඊට අමතරව රසායනික පොහොර තහනම් කිරීමෙන් පසුව කාබනික පොහොර ලෙස රසායනික පොහොර වර්ග සහ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ පොහොර වර්ග ආනයනය කිරීම සඳහා ඉඩ සලසමින් නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවද සත්‍යයකි. එවැනි තත්වයක් තුළ පළිබෝධනාශක ආනයනයට සහ භාවිතයට අදාළව විධිමත් භාවයක් ඇති කිරීම මෙන්ම ඒවා භාවිතය අවම කිරීම සඳහා මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග සියල්ලට අමතරව ගතයුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ඇත. ඒ අවම හෝ අත්‍යවශ්‍ය පළිබෝධනාශක ලැයිස්තුවක් හඳුන්වාදීමය.

එම ලැයිස්තුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1977 දී හඳුන්වා දුන් අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට යම් ආකාරයකට සමාන වේ. ඒ මඟින් සමාගම්  විසින් වෙළඳපොළට ඉදිරිපත් කරන දහස් ගණන් වූ ඖෂධ අතුරින් 300 ක් පමණක් අත්‍යවශ්‍ය බවට හඳුනා ගැණුනි. නමුත් බොහෝ විද්වතුන් එවැනි පළිබෝධනාශක ලැයිස්තුවකට අත්‍යවශ්‍ය යන විශේෂණ පදය යෙදීම වරදක් බව පිළිගනිති. ඊට හේතුව ඒ මඟින් පළිබෝධනාශක අත්‍යවශ්‍ය බවට මතයක් තහවුරුවීමය. ඒ නිසා වඩා සුදුසු වන්නේ එය අවම පළිබෝධනාශක ලැයිස්තුවක් ලෙස හැඳින්වීමය. ශ්‍රී ලංකාවේ 2000 වසරේද ඇඹිලිපිටිය ආශ්‍රිතව සිදු කළ පර්යේෂණයකට අනුව ගොවීන් 300 දෙනෙකුගේ නියැදියක් පළිබෝධනාශක වර්ග 100 ක් භාවිතා කරන බව වාර්තා විය. ඒ අනුව අලෙවිකරුවන්ගේ උපදෙස් අනුව ගොවීන් විසින් කිසිදු වග විභාගයක් නොමැතිව පළිබෝධනාශක භාවිත කරන බව ඉතා පැහැදිළිය. එම තත්වය වෙනස් කිරීම සඳහා යහපත් කෘෂිකර්ම පුරුදු සහ ඒකාබද්ධ පළිබෝධපාලනය ආදී වැඩසටහන් මෙන්ම ගොවි අධ්‍යාපන වැඩසටහන්ද රාශියක් හඳුන්වා දී ඇත. එහෙත් නීතිමය රාමුවක් තුළ වෙළඳපොළ තුළ පාලනයක් ඇති කිරීම සඳහා පියවර නොගැනීම නිසා ගොවියාගේ හැසිරීම පාලනය කිරීමට නොහැකි වී ඇත. මහින්ද රාජපක්ෂ පාලනය තුළදී පළිබෝධනාශක වර්ග වෙළඳ දැන්වීම් මඟින් ප්‍රචාරය කිරීම තහනම් කළද මේ වන තුරු ඒවා ඖෂධ මෙන් නිර්දේශ මත පමණක් විකිණීම සහ මිලදී ගැනීම සඳහා රෙගුලාසි පනවා ඇත. එසේ රෙගුලාසි පැනවීමට පෙර මූලික පූර්ව කොන්දේසිය වන්නේ අවම පළිබෝධනාශක ලැයිස්තුව හඳුන්වා දීමය. අලෙවිකරුවන් ලියාපදිංචිය සහ නිර්දේශ අනුව පමණක් පළිබෝධනාශක විකිණීම වැදගත් වන්නේ ඊට පසුවය.

පළිබෝධනාශක වලට අත්‍යවශ්‍ය වන විශේෂණය කිසිසේත්ම යෙදිය යුතු නැති බවට පළපුරුදු අත්දැකීම් සහිත ගොවීහු පවා සාක්ෂි ඉදිරිපත් කරති. අප රටේ ප්‍රධානතම භෝගය වන වී වගාවේදී පළිබෝධනාශක නොමැතිව පාලනය කළ නොහැකි යැයි ප්‍රකාශවන පළිබෝධකයින් ඇත්තේ 7 ක් පමණි. නමුත් එම පළිබෝධකයින් විනාශ කරන වෙනත් යහපත් ජීවීන් 27 ක් කුඹුරු ආශ්‍රිතව ජීවත් වෙති. ඒ අනුව පළිබෝධනාශක මඟින් අහිතකර ජීවීන් 7 ක් විනාශ කරන විට ඒ සමඟම හිතකර ජීවීන් 27 විනාශ කෙරෙන බව පැහැදිළිය. ඊට අමතරව තවත් සරල උදාහරණයක් ගතහොත් වී වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කරන ගොවියෙකු විසින් නියරේ තණකොළ නිරන්තරයෙන් කපන බැවින් කුඹුරු ආශ්‍රිතව මීයන් බෝවන්නේ නැත. ඊට හේතුව උන් විවිධ මාංශ භක්ෂක වල කුරුල්ලන්ට ගොදුරු වීමය. එසේම මහා වාරිමාර්ගවල කන්නයට අනුව නිවැරදිව ජලය නිකුත් කරන්නේ නම් සහ හොඳින් මඩකර වී ඉසින්නේ නම් ග්ලයිෆොසේට් වැනි උග්‍ර විෂ සහිත  පූර්ණ වල්නාශක යෙදීමට අවශ්‍ය වන්නේ නැත. ඒවා ලෝකය පුරා ගොවිබිම් වල වැඩි වශයෙන්ම යොදා ගන්නා පළිබෝධනාශක වර්ග බව හඳුනාගෙන ඇත. අප රටේ “කෘෂිකාර්මික වකුගඩු රෝගයට” ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ග්ලයිෆොසේට් අධිභාවිතය බවට සාක්ෂි ඉදිරිපත්වී ඇත. එවැනි තත්වයක් තුළ සමාගම්වල වාණිජ උවමනාවන්ට අනුව සක්‍රීය රසායනික 200 ක් ලියාපදිංචි කිරීමට ඉඩ ලබාදීම සාධාරණීකරණය කළ හැක්කේ කෙසේද? ඒ නිසා පළිබෝධනාශක භාවිතය අවම කිරීම සඳහා වඩා වැදගත් මූලික පූර්ව කොන්දේසි වන්නේ අවම පළිබෝධ නාශක ලැයිස්තුවක් නීතිගත කිරීම බව ඉතා පැහැදිළිය. මේ වන විට  එවැනි උපායමාර්ගික තීන්දුවක වැදගත්කම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත්කරන බවක් වාර්තා වේ. පමා වී හෝ එහි වැදගත්කම අවබෝධවීම සතුටට කරුණකි. රසායනික පොහොර සීමා කිරීමට අදාලවද  යම් කාල සටහනක් ඉදිරිපත් කර එම කාලය තුළ ගොවියා ස්වභාවික ගොවිතැන් ක්‍රමවලට ක්‍රමානුකූලව දිරිමත් කිරීම සඳහා නම්‍යශිලීව තීන්දුවක් ගනු ලබන්නේනම් තත්වය වෙනස් විය හැක. නමුත් එහිදී පුර්ව කොන්දේසියක් වන්නේ පස සුරැකීම සහ ගොවිතැන් ක්‍රම වෙනස් කිරීම පිළිබඳව අවධාරණය කිරීම වෙනුවට කාබනික වගාව නැමති වැරදි නිර්වචනය යොදාගැනීමේ වරද නිවැරදි කිරීමය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More